අනුර කුමාරගේ පිටට ඇමැති බැසිල්ගෙන් තට්ටුවක් | සිළුමිණ

අනුර කුමාරගේ පිටට ඇමැති බැසිල්ගෙන් තට්ටුවක්

දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන කාරණයක් පසුගිය 18 වැනිදා සිදුවිය. එදින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කළේ උදෑසන 10.00 ට පමණය. ජනාධිපතිවරයා විසින් මෙම පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරන දිනයේ දී යම් තීරණාත්මක දේශපාලන සිදුවීම් සිදුවන බවට විරුද්ධ පක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ සමාජ මාධ්‍ය ජාලා මඟින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය ද එවැනි කිසිවක් පාර්ලිමේන්තුවේ එදින සිදු වුණේ නැත.

 

සමගි ජනබලවේගය විසින් සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය වර්ජනය කළත් සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයට පැමිණ තිබීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් විය.

ඒ වගේම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එදින පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1 පැවැත්වුණු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පසුගිය දා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත පැමිණ සිටීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ තවත් කරුණක් විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ උදෑසන 9.40 ට පමණය.

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ප්‍රධාන මාර්ගය දෙපස ජාතික කොඩිවලින් සරසා තිබුණු අතර සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුව චාම් උත්සවයක් 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කොට තිබුණි.

ජනාධිපතිවරයා පිළිගන්නා ලද්දේ පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක විසිනි.

ජනාධිපතිවරයා ඉන්පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ පැළඳුම් කාමරයට වී සිටියේ සම්ප්‍රදානුකූලව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම සඳහා අවස්ථාව උදාවනතුරුය.

 

ජනපතිට අත්පොළසන්

 

මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණියේ උදෑසන 9.35 ට පමණය. කතානායකවරයා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේය.

උදෑසන 10.00 ට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කළ අතර පැයකට ආසන්න වේලාවක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමුකළේ කොවිඩ් ලෝක වසංගතයෙන් පසුව ඇති වී තිබෙන ආර්ථිකය ඇතුළු විවිධ අභියෝගවලට රටක් වශයෙන් මුහුණදීම සඳහා රජය ගත් පියවර සහ ඉදිරියේදී ගනු ලැබීමට සැලසුම්කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳවයි.

උදා වූ 2022 නව වසර, සියලුම රටවැසියන්ට සුබ නව වසරක් වේවා’යි ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

කොවිඩ් ලෝක වසංගතයට මුහුණ දෙමින් රට හා ජනතාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වූයේ අත්පොළසන් නාදයකි.

විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක, ආර්. සම්බන්ධන්, ජාතික ජනබලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ඩී.වී. විග්නේෂ්වරන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු විරුද්ධ පක්ෂයේ නායකයන් ද තම ආසනවලට වී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට උනන්දුවකින් අවධානය යොමු කරන ආකාරය දක්නට ලැබිණ.

 

වෙල්ගමගෙන් අගමැති මහින්දට ආරාධනාවක්

 

ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන විට විරුද්ධ පක්ෂයෙන් කිසිදු බාධා කිරීමක් සිදු නොවූවක් අවස්ථා කිහිපයකදී විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තරමක් උස් හඬින් යමක් ප්‍රකාශ කරනු දක්නට ලැබිණ.

පැයකට ආසන්න වේලාවක් ජනාධිපතිවරයා විසින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළේ මේ රට අයිති වර්තමානයේ ජීවත්වන මෙන් ම අනාගතයේ ජීවත්වන ජනතාවට බවයි.

"අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අප සියලු දෙනාම අනාගත පරම්පරාවට වගකිව යුතුයි.

ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බොහෝම හැඟුම්බරවයි.

ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය අවසන් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපදෙස් අනුව සංවිධානය කර තිබුණේ මන්ත්‍රී භෝජනාගාරයේය.

ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත්, කතානායකවරයාත් ඇතුළු මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විවිධ රටවල මෙරට සිටින තානාපතිවරු ඇතුළු පිරිසක් මෙම තේ පැන් සංග්‍රහයට සහභාගී වූහ.

සමගි ජනබලවේගය මෙම තේ පැන් සංග්‍රහයට සහභාගී නොවීමට තීරණය කර තිබුණ ද සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම තේ පැන් සංග්‍රහයට පැමිණ සිටීම බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය.

කුමාර වෙල්ගම තේ බොමින් මුලින්ම කතාබස් කරමින් සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් සමඟයි.

"මොකද මේ දේශපාලන පක්ෂ දෙකක නායකයන් සහ මහලේකම් කෙනෙක් කතා කරන්නේ." යනුවෙන් අසල සිටි මාධ්‍යවේදියෙකු කුමාර වෙල්ගමගෙන් විමසා සිටියේය.

"මොකද පොහොට්ටුවත් එක්ක එකතු වෙන්නද කතා කරන්නේ." යනුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විමසා සිටියේ සාගර කාරියවසම්ගේ පිටට තට්ටුවක් ද දමමිනි.

"පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් මං ආරාධනා කරනවා." යනුවෙන් කුමාර වෙල්ගම ප්‍රකාශ කළේය.

"ඒ කියන්නේ ඔබේ පක්ෂයෙන් ද මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ආරාධනා කරන්නේ?" යනුවෙන් එම මාධ්‍යවේදියා විමසා සිටියේය.

"ඔව්. ඔව්. මං හදන දේශපාලන සන්ධානයට එකතු වෙන්න කියලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ආරාධනා කරනවා. ඒ වගේම මේ රටේ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ටත් මං ආරාධනා කරනවා. ඒ වගේම ඒ දේශපාලන පක්ෂ නායකයින් සමඟ මං ළඟදීම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා." යනුවෙන් කුමාර වෙල්ගම ප්‍රකාශ කළේය.

 

කරු ජයසූරිය පාර්ලිමේන්තුවට

 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර තේ පානය කරමින් සිටි ආසනයට එහා පැත්තේ ආසනයේ අසුන්ගත් කුමාර වෙල්ගම බර කතාවකට මුල පුරන ආකාරයක් දක්නට ලැබුණි.

ඒ අසලම සිටි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කියා සිටියේ පක්ෂයේ ලොක්කෝ දෙන්නෙක් මොනවා ගැන ද මේ කතා කරන්නේ කියාය.

ඒ කතාවට එතැන සිටි සියලුම දෙනා සිනහසුහ.

මේ අතර මෙම තේ පැන් සංග්‍රහයට තවත් විශේෂ පුද්ගලයකු පැමිණ සිටියේය. ඒ පාර්ලිමේන්තුවට හුරු හුරුපුරුදු චරිතයක් වූ හිටපු කථානායක කරු ජයසූරියයි.

හිටපු කථානායක කරු ජයසූරිය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමඟත් ටික වේලාවක් කතාබස් කරමින් සිටියේය.

 

මෛත්‍රී නොමැතිව ශ්‍රී.ල.නි.ප. ප්‍රබලයෝ ජනපති හමුවෙති

 

මේ අතර මේ දිනවල දේශපාලන වශයෙන් යම් කතාබහකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක් වී තිබෙන්නේ ඇතැම් කාරණාවල දී දැඩි ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිසාය.

එහිදීත් වඩාත් කැපී පෙනෙන චරිතයක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අතර විනාඩි 5 ක පමණ කෙටි කතාබහක් සිදු වුයේ මෙම තේ පැන් සංග්‍රහය අතරතුරේදීය.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ජනාධිපතිවරයා සමඟ කෙටි කතාබහක නිරත වූ බව වාර්තා වේ. මේ අතර පසුගිය 18 වන දින දහවල් 11.30 ට පමණ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 දීය. එයට හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත එක්වීම විශේෂත්වයක් විය.

මේ අතර පාර්ලිමේන්තුව එදින අවසන් වී ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් ලබාගැනීමට මාධ්‍යවේදීන් තුළ තිබුණේ දැඩි උනන්දුවකි.

ජාතික ජනබලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රාජාසන කතාව ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියේය‍.

"පාර්ලිමේන්තුව වාර අවසාන කළේ ඇයි කියලා ජනාධිපතිතුමා කියාවි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ වගේම රටේ මූලික ප්‍රශ්නවලට අවධානය යොමු නොකරන ලද එතුමාම ජීවත්වන සිහින ලෝකයක අදහස්, යෝජනා තමයි එතුමා ඉදිරිපත් කරණු ලැබුවේ." යනුවෙන් අනුර කුමාර දිසානායක අදහස් ප්‍රකාශ කරමින් සිටින විට එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අනුර කුමාරගේ පිටට පොඩි තට්ටුවක් දැමීමට ද අමතක නොකළේය.

තමාට පිටුපසින් තට්ටුවක් දමා ගෙන ගියේ කවුද කියා අනුර කුමාර මඳක් හැරී බලන විට තට්ටු දමා ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව දැනගත් අනුර කුමාර තරමක පුදුමයට පත් විය.

තවදුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් සිටි අනුර කුමාර දිසානායක ඈතට යන බැසිල් රාජපක්ෂ දෙස බලා ඇස් දෙකෙන් යම් ප්‍රතිචාරයක් දැක්වීය.

 

නාමල් ජනපතිගේ රියදුරු වෙද්දී ජොනී අගමැතිගේ රියදුරු වෙයි

 

කොළඹ නුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ඉකුත් සෙනසුරාදා ජනතා අයිතියට පත් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් ප්‍රධානත්වයෙනි.

මීරිගම අධිවේගී පිවිසුම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා තිබීම නිසා ගම්පහ දිස්ත්‍රික් නායකත්වය උසුලන ප්‍රසන්න රණතුංග තරමක් කාර්යබහුල විය.

මීරිගම සංවිධායක කෝකිලා හර්ශනී ගුණවර්ධන මන්ත්‍රීවරිය සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කිරීමේ වගකීම පැවරී තිබුණේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාටයි.

හරියටම සවස 4.00 වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මීරිගම අධිවේගී පිවිසුමට පැමිණියේය. ඒ සමඟ ම අගමැති මහින්ද රාජපක්ෂයන්, නාමල් රාජපක්ෂ එහි පැමිණියහ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් මහජන නියෝජිතයන් පිරිසක් ඒ වන විටත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බලාපොරොත්තුවෙන් එහි රැදී සිටියහ.

අගමැතිවරයාගේ සුරතින් අධිවේගී පිවිසුමේ සමරු ඵලකය නිරාවරණය විය.

මේ සෑම අවස්ථාවකම ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා, අගමැතිවරයා ආසන්නයේම රැදී සිටියේය.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එක්ව පීත්ත පටිය කපා මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව පිරිස අධිවේගී මාර්ගය ඔස්සේම කුරුණෑගල සංවිධානය කර තිබූ උත්සවය සඳහා සහභාගිවීමට පිටත් වූහ.

නාමල් ඇමැතිවරයා ජනාධිපතිවරයා නැගි වාහනයේ රියදුරු විය. ජොන්ස්ටන් ඇමැතිවරයා අගමැතිවරයා නැගි වාහනයේ රියදුරු විය.

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී අගමැති ප්‍රසන්නව හොයයි

 

නාමල් ඇමතිවරයා වාහනයට නැගීමට යන අතරේ "අය්යේ, එන්න අපිත් එක්ක යමු" යි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ට කීවේය.

"ඔව්..ඔව්.. ප්‍රසන්න අපිත් එක්ක යමු" ජනාධිපතිවරයා ද කීවේය.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ජනාධිපතිවරයාගේ වාහනයේ පිටුපස අසුනට ගොඩවිය.

අධිවේගී පිවිසුමේදී නියමිත මුදල් ගෙවූ වාහන කුරුණෑගල දක්වා ගමන් ඇරඹීය.

වාහන ගමන් ඇරඹීමත් සමඟ අගමැතිවරයා "කෝ අපේ ප්‍රසන්න" යි ජොන්ස්ටන් ඇමතිවරයාගෙන් විමසුවේ ආපසු හැරී පිවිසුම දෙස බලන අතරේයි.

"ප්‍රසන්න ඇමතිතුමා ජනාධිපතිතුමාගේ වාහනයට නැග්ගා."

"ආ.. කමක් නැහැ. කමක් නැහැ. මං බැලුවේ කෝ කියලා" අගමැතිවරයා කීවේය.

ඒ සමඟ ම ආරක්ෂක රථ පසු කරමින් අගමැතිවරයා ගමන් ගත් වාහනය වේගයෙන් ඉදිරියට ගෙන ගිය ජොන්ස්ටන් ඇමතිවරයා ජනාධිපතිවරයා ගමන් ගත් වාහනයට සමාන්තරව අගමැතිවරයාගේ වාහනය ද ධාවනය කළේය. ඒ අතරතුර ප්‍රසන්න ඇමැතිවරයාට අතින් සංඥා කළේ වාහනයේ වීදුරුව පහත් කරන ලෙසයි.

"අයියාට මොකක් හරි කියන්න යන්නේ" යි නාමල් ඇමැතිවරයා කීමත් සමඟ ජනාධිපතිවරයා ද එදෙස බැලුවේ එය අනුමත කරමිනි.

ප්‍රසන්න ඇමැතිවරයා වාහනයේ වීදුරුව පහත් කළේය. ඒ සමඟ ඇමතිවරයා දුටු අගමැතිවරයා සිනහසුනේ "ආ ඔය ඉන්නේ" කියන්නා සේය.

 

සජබ තේ පැන් සංග්‍රහය වර්ජනය කළ හැටි

 

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් දෙකක් පැවැත්වුණේය. පාර්ලිමේන්තු සතියේදි කටයුතු කළයුතු ආකාරය ගැන එක් සාකච්ඡාවක් පැවැත්විණි.

"ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි මොකද කරන්නේ" විපක්ෂ නායක සජිත් ‍ෙප්‍ර්මදාස ඇසුවේය.

"ජනාධිපතිවරයා හිතුවක්කාරී ලෙස පාර්ලිමේන්තුව වහලා දැම්මා. එහෙම වහලා අලුතින් විවෘත කරන්න තියෙන්නේ මොකක්ද? මේක උත්සවාකරයෙන් විවෘත කරන්න තියෙන දෙයක්ද" ඉරාන් වික්‍රමරත්න මන්ත‍්‍රීවරයා ප්‍රශ්න කළේය.

"ඉරාන් මන්ත්‍රීතුමා කියන කතාව ඇත්ත. අපි කණ්ඩායමක් විදියට පාර්ලිමේන්තුව රැස්වන දවසේ උදේ හමුවෙලා තීරණයක් ගනිමු" සජිත් තීරණය ගැනීමේ වගකීම පාර්ලිමේන්තු කණ්ඩායමට පැවරුවේය. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වූ දිනයේ උදෑසන කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.

"අපි පාර්ලිමේන්තුව වර්ජනය කරන්න ඕන නෑ. මේ වෙලාවේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරන්න පාර්ලිමේන්තුව පැවැත්වීම වැදගත්" සජිත් කීවේය.

එහෙත් ජනාධිපතිවරයා විසින් ලබාදෙන තේ පැන් සංග්‍රහය වර්ජනය කිරීමට මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කළේය.

 

හේෂා හා චමින්දගෙන් අලුත් වැඩක්

 

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක සමගි විහිදුම් බළකායේ ප්‍රධාන කාර්යාලය සජිත් අතින් විවෘත වුණේ පසුගිය සතියේදීය. ඒ අතර රට වටා පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවක ආරම්භක සම්මන්ත්‍රණය පැවැත්වුණේ රත්නපුරයේය.

අද වෙනකොට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල පහළ අඩියටම වැටෙමින් සිටින තත්ත්වයක් තුළ මේ රටට ආයෝජකයින් කිසිවකු පැමිණෙන්නේ නෑ. අඩු පොලියට ණයක් හෝ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා. එපමණක් නොව අත්‍යවශ්‍ය ඖෂධ ටික, අත්‍යාවශ්‍ය ආහාර හෝ කර්මාන්තවලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තෙල් ටික හෝ ගෙන්වා ගැනීමටත් බැහැ" සජිත් කීවේය.

සිරගත කර සිටින රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට සජිත් පසුගිය සතියේ දී බන්ධනාගාරයට ගියේය. රන්ජන්ගේ සුව දුක් විමසූ ඔහු රන්ජන්ට පොරොන්දුවක් දුන්නේය. "අපි ඔයාව නිදහස් කරගන්න කොහොම හරි කටයුතු කරනවා. ඔයා නිදහස් කරගන්න සටන හරින් ප්‍රමුඛ තරුණ මන්ත්‍රීවරුන්ට භාර කරනවා" සජිත් කීවේ රට පුරාම රන්ජන් නිදහස් කරන ලෙසට වන සටනට ශක්තියක් දෙමිනි.

 

රනිල්ගේ කතාවට පැසසුම්

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය ඉකුත් 19 හා 20 යන දින දෙකෙහි දී පැවැත්විණි. එජාප නායකයා එහිදි අදහස් දැක්වූවේ 20 දා ය. රට දියුණු කළ හැක්කේ ප්‍රතිපත්ති දේශපාලනයෙන් මිසක පුද්ගල දේශපාලනයෙන් නොවන බව පෙන්වමින් නායකයා සිය කතාව ඉදිරිපත් කළේය.

"අපට අවශ්‍ය වැටුණු ආණ්ඩුව නැගිටුවීම නොව අපට අවශ්‍ය වැටුණු මිනිසුන් ගොඩ ගැනීමයි." නායකයා සිය කතාව අවසන් කළේ එසේ කියමිනි.

නායකයා කතාව නිමවා අසුන්ගත් පසු අසල සිටි මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම එම කතාව අගය කළහ. කතාව අවසන් කොට ස්වල්ප වේලාවක් ආසනයේ සිටි නායක රනිල් පාර්ලිමේන්තු ලොබියට පැමිණෙද්දී එහි සිටි මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඔහු හා සුහද කතාබහකට පැමිණි අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ඒ අතර වූහ.

"කාක්කෙකු ඉගිළ යන විදියත්, හංසයෙකු ඉගිලී යන විදියත් පාර්ලිමේන්තුවේ අද උදේ විපක්ෂයේ කතා අහගෙන ඉදිද්දී අපට දකින්න ලැබුණා." ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු එජාප නායකයාට කීවේ සිනාසෙමිනි.

 

චම්පිකගේ 43 වෙනි සේනාංකය සිරිකොතට

 

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට ද ඉකුත් සතියේ ආරාධනාවක් ලැබුණේ අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන්ගේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගී වීමටය. අමරපුර සංඝ සභාවේ නිකායාභිවෘද්ධි කමිටුවේ උප සභාපතිවරුන් වන්නේ ජනාධිපතිවරයා හා එ.ජා.ප. නියෝජ්‍ය නායකයාය. නියෝජ්‍ය නායකයාට එහිදි මහනාහිමියන්ට සපිරිකර පූජා කිරීමට ද අවස්ථාව හිමිවූවේය.

නියෝජ්‍ය නායක රුවන් අඟහරුවාදා හා බදාදා යන දින දෙක පුරාම නායකයාගේ උපදෙස් මත සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැදෙමින් පක්ෂ ඉදිරි සැලසුම් ගැන සොයා බැලුවේය. බදාදා පක්ෂ මූලස්ථානය වෙත 43 වෙනි සේනාංකයේ කරු පරණවිතාන හා ධනුෂ්ක රාමනායක සිරිකොතට පැමිණියේ ලබන ඉරිදා පැවැත්වෙන ඔවුන්ගේ පළමු සංවත්සරයට ආරාධනා කිරීමටය. නියෝජ්‍ය නායකයාට හා උපනායක අකිලට ආරාධනා පත්‍ර පිරිනැමූ ඔවුන් නායකයා ද මුණ ගැසී ආරාධනා කර තිබුණි.

 

වජිර වැලිකඩ බන්ධනාගාරයට

 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

පක්ෂයේ ඉදිරි වැඩකටයුතු වේගවත්ව සිදුකරගෙන යාමට අවශ්‍ය පියවර සම්බන්ධව අවධානය යොමු කරමින් පැවැති මෙම සාකච්ඡාවට රුවන්, වජිර, රංගේ, අකිල, සාගල, ශමල් ඇතුළු පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයෝ රැසක් සහභාගී වූහ.

පසුගිය කාලය පුරාවට සැලසුම් සකස් කරගත් පරිදි පක්ෂයේ සංවිධාන ජාලය තර කිරීමේ වැඩකටයුතු ඉතා වේගවත්ව සිදුකළ යුතු බවත්, ඒ සම්බන්ධව කමිටු කිහිපයකට වගකීම් පැවරුව ද ඇතැම් කමිටුවලින් ඒ වගකීම් නිසි පරිදි ඉටු නොවන බවත් නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ වහාම අඩුපාඩු සම්පූර්ණ කර වැඩට බහින ලෙස උපදෙස් ලබාදෙමින්ය.

පසුගිය බදාදා වජිර වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණියේ ගාල්ල මහින්ද විද්‍යාලයේ තම පාසල් මිතුරෙකු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන්ගේ සුව දුක් විමසා බැලීමටය.

එමිල් රන්ජන්ට මුහුණ පෑමට සිදුවූ දුක්බර සිදුවීම් සේම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දිගු වේලාවක් දෙදෙනා කතාබහ කිරීමෙන් අනතුරුව එම රෝහලේ ම ප්‍රතිකාර ලබන රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීම ද වජිර අමතක නොකළේය.

ඒ අනුව රන්ජන් අසලට පැමිණි වජිර ඔහු සමඟ ද කතාබහ කරමින් රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුම්වත් කළේ රන්ජන්ට ඉක්මනින් යළි දේශපාලනයට පිවිසීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරමින්ය.

එදින කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වු වජිරට එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණේය. එම විවාහ මංගල උත්සවයට විමල්, බන්දුල, කරු ජයසූරිය සහ කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.

දිගු වේලාවක් එහි රැඳී සිටි වජිර අගමැතිවරයා ප්‍රමුඛ පැමිණ සිටි දේශපාලනඥයින් හා අනෙකුත් ප්‍රභූන් සමඟ සුහද කතා බහක නිරතව සිටි අයුරු දක්නට ලැබිණි.

Comments