ලොව හෙල්ලූ ඔත්තුකාරියෝ 5ක් | Page 2 | සිළුමිණ

ලොව හෙල්ලූ ඔත්තුකාරියෝ 5ක්

චරපුරුෂ සේවයේ ඉතිහාසය විමසන විට පුරුෂයන්ගේ ආධිපත්‍යයක් දක්නට ලැබුණ ද ඔත්තුකාරියක් ලෙස ස්ත්‍රීන් ද අතිශය වැදගත් භූමිකාවක් ඉටු කර ඇති අයුරු පැහැදිලිය. ඉතිහාසයේ ඇතැම් වැදගත් බුද්ධි ක්‍රියාන්විතයන් සපුරා ඇත්තේ ඔක්තුකාරියන් සහ රහස්‍ය ඒජන්තවරියන් විසිනි. ඔත්තුසේවා ඉතිහාසයේ සුප්‍රකට ඔත්තුකාරිනිය මාතාහාරිය. ඇයගෙන් පටන්ගෙන මෑත අතීතයේ ඇනා චැප්මන් දක්වා එම භූමිකා අධ්‍යයනය කිරීමේදී බුද්ධි තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් කාන්තාවන් ලෙස ජීවිත අවදානම ද නොතකමින් ඔවුන් උපාය උපක්‍රම යෙදූ අයුරු දැකිය හැකිය. මෙහි දැක්වෙන්නේ එවැනි ලෝ පතළ ඔත්තුකාරියන් පස්දෙනෙකි. එම භූමිකා ඇසුරින් සාහිත්‍ය කෘති මෙන්ම සිනමා නිර්මාණ ද විශාල ප්‍රමාණයක් බිහිවී තිබේ.

මාතාහාරි (1876 – 1917)

“මාතාහාරි” යනුවෙන් ප්‍රකට වුවද ඇයගේ සැබෑ නම මාහරීතා ගර්ටෘඩා මැක්ලොයිඩ් ය.

එතෙක් මෙතෙක් ලොව බිහිවූ සුප්‍රකට ඔත්තුකාරිය ඇයයි. නළඟනක් ලෙස ප්‍රසිද්ධියට පත්වූ ඈ පළමු සංග්‍රාම අවදියේ ජර්මන් ඔත්තුකාරියක ලෙස කටයුතු කළ අයෙකි. නෙදර්ලන්තයේ උපත ලැබූ ඇයගේ සැමියා රුඩොල්ෆ් මැක්ලොයිඩ් නම් ඕලන්ද හමුදාවේ කපිතාන්වරයෙකි. නළඟනක ලෙස ඇය එක්රැයකින් ජනප්‍රිය වූ චරිතයකි. කෝටිපති කර්මාන්තකරුවෙක් වූ එමිලි ගුයිමෙට් ගේ භාර්යාව ලෙස ද කලක් ප්‍රකට වූ ඇය බොහෝ බලවත් චරිත සමඟ ඈඳුණු චරිතයකි. ඔටුන්න හිමි විල්හෙල්ම් කුමරා අනුරාගයෙන් පොලඹවා ගනිමින් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ප්‍රංශය ඇය යෙදවූ අතර පසුව හෙළිදරව් වූයේ ඇය ජර්මනිය වෙනුවෙන් ද ඔත්තු බලා ඇති බවය. ඇයගේ එම භූමිකාව හේතුවෙන් ප්‍රංශ සෙබළු දහස් ගණනකට ජීවිත අහිමි වීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගෙන නඩු විභාගක් ද සිදු විය. කෙසේ වුවද ඕපාදූප හැර විශේෂිත බුද්ධි තොරතුරක් ඇය ජර්මනියට ලබා දී නැතැයි ද මත පළවේ. ප්‍රංසය ඇය මත වරද පැටවුවද තවත් බොහෝ දෙනා ඇය අහිංසක චරිතයක් ලෙස ද සලකති. ඇයට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක විය.

 

ක්‍රිස්ටීන් ග්‍රැන්විල් (1908 – 1952)

ක්‍රිස්ටින් ග්‍රැන්විල් යනුවෙන් ප්‍රකට වුවද ඇයගේ සැබෑ නම ක්‍රිස්ටිනා ස්කාර්බෙත්ය. පෝලන්ත ජාතිකයෙකි. ක්‍රිස්ටින්ගේ ජීවිත කතාව ලියමින් ක්ලෙයාර් මුලේ දක්වන පරිදි 1940 ගණන්වලදී බොහෝ දෙනා සිතා සිටියේ, සියලු ඔත්තුකාරියන් රූමතියන් වූ බව සහ ඔවුන් සිය භූමිකාව ඉටුකිරීමේදී එකී රූමත් බව උපයෝගී කර ගත් බවටය. කෙසේ වුවද, මෙය සෑම විටම සත්‍යක් නොවූ නමුත් ක්‍රිස්ටින් සම්බන්ධයෙන් නම් එය සාධාරණ විය. රූමත් බවට අමතරව ඇය නිර්භීත බව, බුද්ධිමත් බව, කැපවීම ආදී කාරණා වලින්ද යුතු විණි. ක්ෂණිකව තීරණ ගනිමින් ක්‍රියා කිරීමට ඇය සතු වූයේ මනා දක්ෂතාවකි.

දෙවැනි ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඔත්තු බලමින් විශේෂ මෙහෙයුම් සඳහා ඇය දායක වූවාය. ඇලිස්ටෙයාර් හෝර්ත් නම් මාධ්‍යවේදියා පවසන පරිදි ඇය නිර්භීත අය අතර ද නිර්භීතම චරිතයකි. ‘SOE’ බ්‍රිතාන්‍ය බුද්ධි සේවය ආරම්භයේදීම ඊට එක්වූ ඇය එහි පළමු බ්‍රිතාන්‍ය ඔත්තුකාරියයි. යුද සමයේ වැඩිම කාලයක් සේවය ලබා දුන් රහස්‍ය ඒජන්තවරිය ද ඇයය. සිය වෘත්තිය වෙනුවෙන් බොහෝ දෙනෙක් සමඟ ගත කළ ඇය මරණයට පත්වූයේ ද ඇය කෙරෙහි ආලයෙන් වෙළුණ එක් තැනැත්තෙක් අතින්මය.

 

වර්ජිනියා හෝල් (1906 – 1982)

අමෙරිකානු ජාතික වර්ජිනීයා හෝල් ඉහළ අධ්‍යාපනයක් ලැබූ දක්ෂ භාෂාවේදිනියක වූවාය. ඇය යුරෝපයට සංක්‍රමණය වූයේ ප්‍රංශයේදී අධ්‍යාපන කටයුතු කිරීම වෙනුවෙනි. දඩයමේ යාමේදී සිදුවූ පාදයේ අනතුරක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස අමෙරිකාවට සේවය කිරීමට තිබූ අවස්ථාව ඇයට අහිමි කළේය. කෙසේ වුවද ඇය රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ 8 වසරක්ම සේවය කළාය. පසුකලෙක විශේෂ මෙහෙයුම් ඒකකය (SOE) සමඟ එක්වීමට පෙර ගිලන්රථ රියැදුරුවරියක ලෙස ස්වේච්ඡා සේවයේ යෙදිණි. 1941 දී ‘නිව්යෝක් පෝස්ට්’ පුවත්පතේ වාර්තාකාරිනියක ලෙස පෙනී සිටිමින් කිසිවකුගේ හෝ සැකයට භාජන නොවී තොරතුරු රැස්කිරීමට ඇයට හැකිවිය. එම තොරතුරු බ්‍රිතාන්‍යයට ලබාදීම සිදුවිය. ප්‍රංසයට මෙන්ම ජර්මනියට ඇයගේ සැබෑ අනන්‍යතාව රහසක් විය.

දෙවැනි ලෝක සංග්‍රාමයේදී ප්‍රංසය නාසින් විසින් අල්ලා ගැනීමත් සමඟ ඇය පලා ගියාය. යුද්ධයේදී ඉටුකළ මෙහෙවර වෙනුවෙන් “අසාමාන්‍ය වීරත්වය” සඳහා වන සම්මානයෙන් පුද ලද ඇය එලෙස සම්මානයට පාත්‍ර වූ එකම සිවිල් කාන්තාව ද වේ.

 

ඈන් ඩෝසන් (1896 – 1989)

පළමු ලෝක සංග්‍රාමයේදී සතුරු ආරක්ෂක වළල්ල පිටුපස ක්‍රියාත්මක වූ ඔත්තුකාරියන් දෙදෙනාගෙන් අයෙකි. ඇය බ්‍රිතාන්‍ය - ඕලන්ද ජාතිකයෙක් වූවාය. GHQ බුද්ධි සේවයට සම්බන්ධව ක්‍රියාත්මක වූ ඇයගේ භාෂා දැනුම එම භූමිකාවට බොහෝ ප්‍රයෝජනවත් විය. ඇය වාග්වේදිනියක ලෙස ද ප්‍රකටය. යුද්ධයට පෙර ඇය බොහෝ කලක් ජීවත් වූයේ බෙල්ජියමේය. ඇයගේ සංකේත නාමය “වැලිංගර් ලන්ඩන්” ය. එනමින් තමන් ඉටු කළ භූමිකාව ගැන ඇය මරණයට පෙර සිය වැඩිමහල් පුතු සමඟ සඳහන් කර තිබිණි. ජර්මන් සතුරු පෙරමුණේ බ්‍රිතාන්‍ය ජාතිකයකු ඔත්තු බැලීම සඳහා යෙදවීම අසාමාන්‍ය දෙයක් වුවද ඇය සමඟ සිටි අනෙක් ඔත්තුකාරිය ඉඩිත් කැවෙල් ද බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඈන් බොහෝ අනතුරුදායක තත්ත්ව යටතේ සිය රාජකාරිය ඉටු කළ අයෙක් ලෙස ප්‍රකටය. එම කාර්යභාරය වෙනුවෙන් ඇය ඉහළම හමුදා සම්මාන වලින් පිදුම් ලැබුවාය. ජීවිතයේ පසුකාලය ගෘහණියක ලෙස ගෙවී ගියද යුද්ධයට පෙර ඇය දක්ෂ ලේඛිකාවක ලෙස ද මතු වූවාය. ඓතිහාසික නවකතා 2ක් ඇය අතින් බිහිවී තිබේ.

 

ඇනා චැප්මන් (1982)

1982 දී උපත ලැබූ ඇනා මෑත භාගයේ විශාල අවධානයකට ලක්වූ මෙන්ම ජනප්‍රියත්වයට පත්වූ රහස්‍ය ඒජන්තවරියකි. රූපවාහිනී නිවේදිකාවක ලෙස ද නිරූපිකාවක ලෙස ද ඇය විශාල ආකර්ෂණයක් දිනා සිටී. 2010 ජුනි මස ඔත්තු බැලීම පිළිබඳ චෝදනා කරමින් අත්අඩංගුවට ගැනුණු ඇය අමෙරිකාවෙන් පිට කෙරිණි.

විවාහයෙන් ඇයට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ද ලැබිණි. ඇලෙක්ස් චැප්මන් සමඟ විවාහ වී සිටි ඇය 2006 දී දික්කසාද විය. පසුව පුරවැසිභාවයද අවලංගු කෙරිණි. ඇනා සමඟ තවත් පිරිසක් ද ක්‍රියාත්මක වූ බව සැලකේ. ඔවුන් ද අත්අඩංගුවට පත්විය. FBI මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය ජනප්‍රිය කලාකරුවන් මෙන් ප්‍රසිද්ධියක් ලැබුවාය. චැප්මන්ගේ නිරූපණ විලාසිතාවලින් සඟරා කවර සැරසිණි. Maxim සඟරාව රුසියාවේ අනුරාගීම කතුන් 100 දෙනා අතරට ද ඇය ඇතුළත් කර ඇත.

සිය සැමියා සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළීම හේතුවෙන් ඇය ව්‍යාපාරිකාවක ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටී.

 

 

Comments