අද දසත අසන්නට ලැබෙන්නේ බලෙන් ලබා ගන්නා ගෞරව නම්බුනාම පිළිබඳවය. අචාර්ය උපාධි පිළීබඳවය. විශ්වවිද්‍යාල තනතුරු පිළිබඳවය. එසේ ලබා ගන්නා තනතුරු, ගෞරව නාමවලට අමතරව මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරය කර ගනිමින් ලබා ගන්නා ප්‍රසිද්ධිය පිළිබඳව. සේ සියල්ල අතර පිරිනමන්නා වූ ආචාර්ය උපාධියකට තමන් සුදුස්සෙක් නොවන බව පවසමින් මුළු මහත් ලෝකයේම අවධානය දිනා ගැනීමට ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් සමත් වූයේය.
පසුගියදා බැංගලෝර් සරසවිය විසින් රාහුල් ඩ්‍රාවිඩ්ට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන බව දැනුම් දුන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉන්දියාවට කරන ලද සේවයද අගය කරමිනි. එහෙත් එම පුවත අසන්නට ලැබුණු පසු රාහුල් ඩ්‍රාවිඩ් පවසා සිටියේ තමන් ආචාර්ය උපාධියක් ලැබීමට සුදුස්සකු නොවන බවයි.
ක්‍රිඩාව සම්බන්ධව පර්යේෂණයක් සිදු කර ආචාර්ය උපාධියක් උපයා ගැනීමට කටයුතු කිරීමට තමා අදහස් කරන බව පවසා සිටි ඩ්‍රාවිඩ් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගැනීමට තමා තරම් නොවන බව පවසා සිටියේය. එසේම ආචාර්ය උපාධියක් ලබා ගැනීම බොහෝ කැපකිරීම් කිරීමෙන් පසුව සිදු කළ යුතු දෙයක් බවත්, උපයා ගන්නා දැනුම එම ‘ආචාර්ය‘ නාමය දැරීමට සුදුසු විය යුතු බවත් ඔහ පවසා තිබේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තම බිරිය මෙන්ම මවත් ආචාර්ය උපාධි ලබaාඇති බවත්, ඔවුන් ඒවා ලබා ගත්තේ දැඩි සේ කැපවීම් කොට හැදැරීම් කිරීමෙන් මෙන්ම රාත්‍රී ගණන් නිදි වරා අධ්‍යයන කටයුතුවල යෙදීමෙන් පසු බවයි. ඔවුන් එබැවින්ම ආචාර්ය නාමය දැරීමට සුදුසු බවත්, එවැනි කිසිදු හැදැරීමක් නොකළ තමන්ට ආචාර්ය උපාධියක් පිරිනැමීම ආචාර්ය උපාධියට කරන අගෞරවයක් බවත් ඩ්‍රාවිඩ් වැඩිදුරටත් පවසා තිබේ.
රාහුල් ඩ්‍රාවිඩ්ගේ මේ අදහස් දැක්වීම සෙසු ලෝකය මෙන්ම විශේෂයෙන් ඉන්දියාව කළඹා ඇත්තේ බොහෝ ඉන්දීය විශ්වවිද්‍යාල ජනප්‍රිය චරිතවලට ආචාර්ය උපාධි ලබාදීම ඉතා සුලබව සිදු කරමින් සිටින බැවිනි.
ඉන්දියාවේ විශ්වවිද්‍යාල තුනකින් ජනප්‍රිය නළු ශාරුක් ඛාන්ට ආචාර්ය උපාධි පිරිනමා ඇති අතර වරක් ඔහු ආචාර්ය උපාධිය ලබා ගත්තේ අවු කන්නඩි පැලඳ සිටියදීමය. මීට අමතරව අමිතාබ් බච්චන්, ආක්ෂේ කුමාර්, ප්රිති සින්තා යනාදී ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන්ටද විවිධ ඉන්දීය විශ්ව විද්‍යාල ආචාර්ය උපාධි පිරිනමා තිබේ.
කෙසේ වුවද මෙලෙස ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන්ම රාහුල් ඩ්‍රාවිඩ්ට ‘ඩොක්ටර් කූල්‘ යන අන්වර්ත නාමය පට බැඳී ඇතැයි වාර්තා වේ.