
ලංකාවේ 10,175 ක් වන පාසල් පද්ධතියෙන් 373 ක් ජාතික පාසල් වන අතර ඉතිරිය පළාත් පාසල් වෙයි. එසේම ලංකාවේ 4,061,653 ක් වන සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් සිසුන් 798,372 ක් එනම් 19.7% ක් ජාතික පාසල්වලද, 3,263,281 ක් එනම් 80.3% ක් පළාත් පාසල්වලද අධ්‍යාපනය ලබති.
ලංකාවේ 373 ක් වූ ජාතික පාසල් පද්ධතිය ඒ ඒ දිස්ත්‍රීක්ක අනුව ව්‍යාප්ත වී ඇති ආකාරය වෙනස් වන අතර දිස්ත්‍රික්ක වශයෙන් ජාතික පාසල් ගත් කළ 37 ක් කොළඹ ද, 19 ක් ගම්පහ ද, 18 ක් කළුතරද, 35 ක් නුවරද, 12 ක් මාතලේ ද, 7 ක් නුවරඑළියේද, 29 ක් ගාල්ලේ ද, 22 ක් මාතර ද, 16 ක් හම්බන්තොට ද, 7 ක් යාපනයේ ද, 5 බැගින් මන්නාරමේ හා වවුනියාවේ ද, 3 ක් මුලතිව්ද, 2 ක් කිලිනොච්චියේ ද, 13 ක් මඩකලපුවේ ද, 16 ක් අම්පාරේ ද, 11 ක් ත්‍රිකුණාමලයේ ද, 30 ක් කුරුණැගල ද, 7 ක් පුත්තලමේ ද, 6 ක් අනුරාධපුරයේ ද, 9 ක් පොලොන්නරුවේද, 27 ක් බදුල්ලේ ද, 9 ක් මොනරාගල ද, 14 බැගින් රත්තපුර හා කැගල්ලේ ද ව්‍යාප්තව ඇත.
නමුත් බොහෝමයක් අධ්‍යාපන කලාප වල ජාතික පාසල් විසිර ගොස් නොමැති අතර පාදුක්ක, දිවුලපිටිය, අගලවත්ත ,පාලින්ද නුවර, වලල්ලාවිට, උඩදුම්බර, පන්විල, ගලේවෙල, රත්තොට, ලග්ගල, විල්ගමුව, හැටල් හා නුවරඑළියේ සමහරක් අධ්‍යාපන කලාප, උඩුගම,මොරවක, හක්මන, ලුණුගම්වෙහෙර, යාපනයේ දුපත් වන ඩෙල්ෆ්, කරෙයිනගර්, කයිට්ස් මෙන්ම රබෑව, මිහින්තලේ ඉන් කිහිපයකි.
ලංකාවේ 373 ක් වූ මේ ජාතික පාසල් අතරින් 1AB පාසල් 346 ක් 1C පාසල් 26 ක් Type2 1 වශයෙන්ද ඇත.
රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය ගුණාත්මක ව ඉහළ නැංවීමට පමණක් නොව ලංකාවේ ලක්ෂ 4 ක් වන දරු පිරිසට සම අධ්‍යාපන අයිතීන් උරුම කිරීම, පාසල්හි සම්පත් උපරීම අයුරින් භාවිතයට ගැනීම මෙන්ම පාසල්වල යටිතල පහසුකම් හා මානව සම්පත් වැඩි දියුණු කිරීම තුළින් ප්‍රියමනාප පාසල් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් අලුතින්ම පළාත් පාසල් 796 ක් ජාතික පාසල් පද්ධතියට එක් වන්නේය.
මේ දැවැන්ත කාර්ය තුන් අවුරුදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වන අතර අවසානයේ ජාතික පාසල් 1,169 ක් සිසු අයිතියට පත්වන අතර ලංකාවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 70% කට පමණ ජාතික පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උරුම වෙයි. මේ ජාතික ක්‍රියාන්විතයට මූලාරම්භය සපයන්නේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දැක්වෙන පාසල් අධ්‍යාපනයේ නවෝදය වැඩ සටහනෙනි.
මේ යටතේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අංග සම්පූර්ණ ත්‍රෛභාෂා ද්විතියික පාසල් 20 ක්ද ස්ථාපනය වීමට නියමිතය.
මේ වන විට ලංකාවේ වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330 න් 123 කම කිසිදු ජාතික පාසලක් නැත.
මෙය තුන් වසරක ජාතික සැලැස්මකි. 9,792 ක් වූ පළාත් පාසල්වලින් ජාතික පාසල්වලට තෝරා ගැනීමේ ක්‍රමවේදය පසුගිය කාලය පුරාවටම වඩාත් විනිවිද පෙනෙන ආකාරයට පිළිගත් නිර්ණායක හරහා සිදු කරන්නට අධ්‍යාපන බලධාරීන්ට හැකි විය.
ඒ අනුව මුල් වටයට ජාතික පාසල් බවට පත්වන පාසල් 123 තෝරා ගෙන ඇත්තේ එකම නිර්ණායකයක් වන කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123 ය.
එසේම ඉතිරි පාසල් 673 තෝරා ගැනීම සඳහා පිළිගත් නිර්ණායක 10 ක් පදනම් කර ගත් අතර එයින් රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වීම විශේෂිත කරුණක් විය.
මෙම පාසල් තෝරා ගැනීමේදී නිර්ණායක 10 ක් කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.
මෙම පාසල් හඳුනා ගැනීමේදි ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ සිසුන්ටය. කිසිදු දරුවකුට ඉගෙනුම් අවස්ථා අහිමි නොවීම මෙහි මුඛ්‍ය අරමුණ වෙයි.
ජාතික පාසලක් සඳහා දියුණු වන කේන්ද්‍රිය පාසල 6-13 ද්විතීයික පාසලක් විය යුතු අතර එහි සිටිය යුතු අවම ශිෂ්‍ය සංඛ්‍යාව 750 ක් විය යුතුය.
එසේම ශිෂ්‍ය ගලනය හෙවත් පසුගිය වසර 5 ක කාලය තුළ මෙම පාසලට ඇති ශිෂ්‍ය ඉල්ලුම විශේෂයෙන් සලකා බැලීමට කටයුතු කර ඇත.
මෙසේ හඳුනාගත් පාසල ඉදිරි සංවර්ධන සැලසුම් එනම් ක්‍රිඩා පහසුකම්, විෂය බාහිර ක්‍රියාකාරකම් ආදිය සඳහා ඉඩකඩ ප්‍රමාණවත්ව තිබිය යුතුය.
එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සහතික කරන අවදානම් රහිත භූමියක පාසල පිහිටා තිබිය යුතුයි.
එපමණක් නොව අ.පො.ස උසස් පෙළ ශිෂ්‍ය ගලනය මෙන්ම පාසලේ ශිෂ්‍ය ජනගහනයද මෙම තෝරා ගැනීම් සඳහා භාවිතා කර ඇත.
මන්ද සීමිත සිසුන් සංඛ්‍යාවක් සඳහා අ.පො.ස උසස් පෙළ විෂය ධාරාවන් පවත්වා ගෙන යාම ඵලදාවයි නොවන හෙයින් අ.පො.ස උසස් පෙළ විෂය ධාරා සඳහා ප්‍රමාණවත් සිසුන් සිටින පාසල් හඳුනා ගෙන එම පාසල් විචාරවක් කිරීමට අපේක්ෂා කෙරෙයි.
එසේම මෙසේ තෝරාගත් කේන්ද්‍රීය පාසල්වල ත්‍රෛභාෂා මාධ්‍ය ඉගෙනුම් සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට ප්‍රමාණවත් විය යුතුය.
මෙම පාසල් තේරීමේදී ප්‍රදේශවල පවත්නා සුවිශේෂි සමාජ ආර්ථික වාතාවරණයද සැලකිල්ලට බඳුන් කර තිබුණි.
පසුගියදා ආරම්භ වූ මේ වැඩ සටහනේදී පළාත් නවය නියෝජනය වන පරිදි පාසල් 9 ක් ජාතික පාසල් බවට පත්වීම සුවිශේෂි කරුණකි.