කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් දාස් කැපිටාල් හෙවත් ‘ප්‍රාග්ධනය‘ කෘතිය ලොවට තිළිණ කරමින් සමාජවාදී දේශපාලන ක්‍රමයක් යනු කුමක්දැයි ලොවට පැහැදිලි කර දුන්හ. එහෙත් එය ප්‍රායෝගිකව මිහි මත ක්‍රියාත්මක කිරීම කෙතරම් අපහසුද යන්න ඔවුහු මැනවින් වටහාගෙන සිටියහ.
එහෙත් 1917 වසරේදී වී අයි ලෙනින් ප්‍රධාන කර ගනිමින් එකම මතයක් වටා, එකම අධිෂ්ඨානයක් වටා එකතු වූ ශක්තිමත් මිනිසුන්ට මිහි මත සමාජවාදී පාලනයක් ස්ථාපිත කළ හැකි විය. ඒ, ලෝකයේ පළමුවැනි සමාජවාදී රාජ්‍යය විය. එය ස්ථාපිත කිරීම කිසිසේත් පහසු ක්‍රියාවක් වූයේ නැත. රුසියාව යනු උතුරු අර්ධගෝලයේ වැඩිම ඉඩක් හිමි කර ගන්නා රටය. එසේම එහි දේශගුණයට අනුව වසරේ වැඩි කලක් හිමෙන් වැසුණු භූමිය ජනතාවට සැපවත් ජිවිත අත් කර දෙන්නේ නැත. එවැනි වූ රටක රාජාණ්ඩු පාලනයෙන් දුක් විඳිමින් සිටින ජනතාව එක මතයක් කරා රැගෙන යෑම ලෙනින් ඇතුළු විප්ලවයේ නායකයෝ දැඩි අසීරුතා මැද ජයගත් ඉලක්කය විය.
එසේම එහි වඩා වැදගත් දෙය වූයේ ඔවුන් ස්ථාපිත කළ සමාජවාදී රාජ්‍යය ඔවුන් දශක හයකට වැඩි කාලයක් පුරා පවත්වාගෙන යෑමට සමත් වීමය. ඒ අතරට තවත් ලෝක යුද්ධයක් ද පැවති බවද අමතක කළ යුතු නැත.
මේ සමාජවාදී රාජ්‍යය අභ්‍යන්තරයේ කොතෙක් ගැටලු පැවතියද අනෙක් පසින් වූ ධනවාදී ඇමෙරිකාවට ප්‍රබලතම අභියෝගය එල්ල කළ දැවැන්තයා බවට පත් වීමට සෝවියට් රුසියාවට හැකියාව ලැබුණූ බවද පැවසිය යුතුය. එකී දශක කිහිපය තුළ ඇමෙරිකාවට අභියෝග කරමින් සීතල යුද්ධයේ සමාජවාදී පාර්ශ්වයේ ප්‍රධානියා වීමටත් ඒ සමඟ තවත් රටවල් රැසක් සමාජවාදී කඳවුරට එක් කර ගැනීමටත් අනික් අතින් අභ්‍යාවකාශය දක්වා තම බලය පැතිරවීමටත් රුසියාවට හැකි විය.
එහෙත් ඒ කිසිවක් පහසුවෙන් කළ දේවල් නොවීය. දැඩි ලෙස එල්ල වන ප්‍රතිවිප්ලවයේ බලපෑම මෙන්ම ක්‍රමයෙන් වර්ධනය වන ආර්ථීක අර්බුදය ද සෝවියට් රුසියාව ස්වකීය මළගම වෙත ගෙන යෑමට සමත් විය. එහි අවසානය වූයේ තවදුරටත් දරා සිටිය නොහැකි සමාජය වෙත ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රුසියානු නායකයන්ට සිදුවීමයි.
මේ ප්‍රතිසංස්කරණ ‘රුසියානු සමාජවාදී පාලන තන්ත්‍රයේ බිඳ වැටීම‘ ලෙසින් ද අර්ථ ගන්වා ගත හැකිය.
සමාජවාදී රුසියාවේ බිඳ වැටීම ඇරඹීමත් සමඟ රුසියානු ජනතාවට මුහුණ දෙන්නට සිදු වූයේ අතිශයින් දුක්ඛදායී කාලවකවානුවකටය. කලක් ලොව හොඳම සබ්මැරීන සහිත නාවික බලය පවත්වාගෙන ගිය රුසියාවට තම න්‍යෂ්ටික සබ්මැරීන නඩත්තු කර ගත නොහැකි විය. ජනතාව සා ගින්නේ මිය යන්නට වූ අතර ආහාර ස්වල්පයක් වෙනුවෙන් ඔවුන් කිලෝමීටර් ගණන් දුර ඇවිදින්නට වූහ. රුසියානු තරුණියෝ ආසියාවේ ඉතා දුගී රටවල්වල ද ලිංගික ශ්‍රමය විකිණීමට පැමිණියේ ඉතා කනගාටුදායක අන්දමිනි.
අභ්‍යවකාශය ඉංජිනේරුවෝ ටැක්සි රියදුරෝ බවට පත්වූහ. උද්දමනය අතිශය ඉහළ අගයක් ගත්තේ ජනතාවට දරා ගත නොහැකි අන්දමිනි.
තවදුරටත් සමාජවාදී රාමුවක් තුළ සමූහාණ්ඩුවක් ගෙන යා නොහැකි බව ප්‍රකාශයට පත් කළ එවකට රුසියානු රාජ්‍ය නායකයා වූ මිහායිල් ගර්බචොව් රුසියානු සමාජයට ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට තීරණය කළේය. මේ සඳහා ඔහු ලෝ පුරා ප්‍රචලිත වූ ‘පෙරස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට්‘ යන ප්‍රතිසංස්කරණ රුසියානු සමාජයට ඉදිරිපත් කර සිටියේය. එහෙත් සමාජ කඩාවැටීම පාලනය කිරීමට ගර්බචොව්ගේ මේ ප්‍රතිසංස්කරණවලට හැකියාවක් නොවීය. ඒ සමඟින් රුසියානු භූමිය තුළ බොහෝ වෙනස්කම් සිදුවූ අතර එතෙක් මේ භූමිය තුළ වූ අති විශාල විවිධාංගීකරණයක් සහිත වූ ජන සමූහය එකට බැඳ තැබූ සමුහාණ්ඩුව ද අහෝසි විය.
එහි අතුරු ප්‍රතිඵලයක් වූයේ එකි විවිධාංගීකරණයන් සහිත ජන සමූහයන් ස්වාධීන පාලනයන් අපේක්ෂා කිරීමය. ඒ අනුව එතෙක් පැවති සමූහාණ්ඩුව වෙනුවට රුසියාව යනුවෙන් එක් රටකුත් සෙසු ජන විවිධාංගීකරණයන් සහිත ප්‍රදේශ තවත් ස්වාධීන රටවල් දා හතරක් වශයෙනුත් බෙදී වෙන් විය. එම රටවල් දා හතර ආර්මේනියාව, අසර්බයිජානය, බෙලෝරුසියාව, එස්තෝනියාව, ජෝර්ජියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිතුවේනියාව, තජිකිස්තානය, තුර්ක්මෙයින්ස්තානය, යුක්රේනය සහ උස්බෙකිස්තානයයි.
1991 වසරේදී මෙලෙස කෑලි දා හතරකට කැඩී ගියද අද වන විටත් මේ අතරින් ඇතැම් රටවල් තම ස්වාධීනත්වය වෙනුවෙන් රුසියාව සමඟ ගැටෙමින් සිටින බව අමතක කළ යුතු නැත. රුසියාව මේ රටවල් අතර බලවතා ලෙස මේ සියලු රටවලට අද වන විටත් වක්‍රාකාර බලපෑම් කරමින් සිටින්නේය.
කෙසේ වුවද ඇමෙරිකානු ධනවාදී කඳවුර එදා ජය පැන් බිව්වේ සමාජවාදී බල කඳවුරේ ලොක්කා බිමටම හාන්සි කළ බැවිනි. බොහෝ රුසියානු ජනතාව 1991 සමාජ ප්‍රතිසංස්කරණ සුභවාදීව දුටුවේ ඔවුන් බිඳ වැටෙමින් පැවති ආර්ථීකය හේතුවෙන් බොහෝ පීඩාවට පත්ව සිටි බැවිනි. ඔවුන් සිතුවේ පෙරස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ යළිත් පෙර පැවති ආශ්චර්යය රුසියාවට උදා වනු ඇති බවයි. ඔවුන් සමාජවාදී විප්ලවයට වෛර කළ අතර එහි නායකයන්ගේ පිළි රූ කඩා බිඳ දමමින් තම ජීවිත දුක්ඛිත කිරීමට ඔවුන් මුල් වූ බවට චෝදනා කළහ. එය ඓතිහාසික සිදුවීමක් වූයේ රුසියාව ලොව ප්‍රධාන බලවතුන් දෙදෙනාගෙන් එකකු වීමට මාර්ගය හෙළි කර දුන්නේ සමාජවාදී විප්ලවයම වූ බැවිනි.
ඒ කෙසේ වුවද රුසියාවට යළි නැඟී සිටීමට තවත් දශකයක පමණ කාලයක් අවශ්‍ය විය. 1991 වසරේ සමාජ ප්‍රතිසංස්කරණ ගෙන ආවද ආර්ථීක බිඳ වැටීම නවතා ගැනීමට හෝ එය ආපස්සට හැරවීමට රුසියානු පාලකයෝ අසමත් වූහ. 1998දී රුසියාව බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීමට එවකට සිටි රාජ්‍ය නායකයන්ට සිදු විය.
යළිත් රුසියාව ක්‍රමයෙන් අරුණෝදයේ අරුණලු කරා පා එසවූයේ ව්ලැඩිමීර් පුටින් එරට රාජ්‍ය නායකත්වය හිමි කර ගැනීමත් සමඟය. ඔහු ප්‍රථමයෙන්ම බලයට පැමිණියේ වසර 2000දී වූ අතර රුසියාව යළි ගොඩ නැඟීමේ ඔහුගේම ක්‍රමයක් ඔහු සතු විය. එය වාමාංශයට බර වූ එහෙත් සමාජවාදී නොවූ ක්‍රමයක් විය. පුටින් රුසියාව තුළ ගොඩ නැංවූ පාලන ක්‍රමය ‘පුද්ගලවාදී පාලන ක්‍රමයක්‘ ලෙසින් හැඳින්වීම වඩාත් සාර්ථක බව පැවසිය හැකි වන්නේ රුසියාව කිසියම් අන්දමකින් ශක්මත් රටක් බවට යළි ගොඩනැංවූවද ව්ලැඩිමිර් පුටින් මේ දක්වා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් නොවූ බැවිනි. ඔහු එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත ධූර කාලයන් ගෙවූ පසු ඔහුගේ හිතෛශී දිමිත්‍රි මෙද්වෙදෙව් ප්‍රධාන පුටුවේ තබමින් දිගින් දිගටම පාලනය ගෙන යෑමට කටයුතු කළේය. මේ වන විට පුටින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් වෙනසක් කිරීමට කල් යල් බලමින් සිටින බව පෙනේ. එහෙත් ඒ සියල්ල සඳහා ඔහුට සමස්ත රුසියානුවන්ගේ නොවූවද බහුතර රුසියානුවන්ගේ සහයෝගය හිමිවන බව ද පෙනේ. සැබවින්ම සියලු රුසියානුවන් ව්ලැඩිමිර් පුටින්ට ණය ගැති වන්නේ ඔහු එරට ඔසවා නොතබන්නට රුසියාව පයට පෑගෙන රටක් බවට පත් වීම සහතික වන බැවිනි.
වසර තිහක් යනු සුළු පටු කාලයක් නොවේ. ඒ කාලය තුළ රුසියාව පසු කළ කඩුළු සංඛ්‍යාව විශාලය. ඔවුන් අගාධයේ පතුලටම වැටී යළි එහි කටින්ම එළියට පැමිණ දැන් ශක්තිමත්ව ඉදිරි ගමනක් යමින් සිටී. එපමණක්ද නොව ඉතා සූක්ෂ්මව ලොවට තර්ජනයක් වන තරමට යළි බලගතු වීමට ද රුසියාව සමත් ව සිටින බැවිනි. උදාහරණයක් ලෙස මුළු මහත් යුරෝපයටම ගෑස් සපයන්නා ලෙස රුසියාවට යුරෝපය අල්ලේ නැටවිය හැකිය. යුරෝපා බලවතුන් ඒ බව මැනවින් වටහාගෙන සිටියද ඔවුන්ට දිගටම රුසියාවෙන් ගෑස් ලබාගැනිම හැර විකල්ප නැත.
මේ සියල්ල පෙන්වා දෙන්නේ රුසියාව සැබවින්ම යෝධයකු බවය. කිසිදා බිඳ දැමිය නොහැකි යෝධයකු බවය. නායකයන්ගේ පිළිම කඩා දැමුවද එරට ශක්තිමත් ජනතාව යළි යළිත් නැඟී සිටිනු ඇති බවය.