
‘ෂාෆි සහබ්දීන්‘ කාලයක් යටපත්ව තිබූ මාතෘකාවක් යළිත් කරළියට පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරයත් සමඟම ෂාෆි සහබ්දීන් හෙවත් ලේඛනගත ව්‍යවහාරයේ ඇති එස්.එස්.එම් ෂාෆිගේ නම එළියට ආවේ ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් නිසාය.
එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර ලබා දෙන්නට පවා සිදු විය. ෂාෆි සහබ්දීන් යනු කුරුණෑගල මහ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකි. ඔහු සිංහල මවුවරුන්ගේ අනුදැනුමකින් තොරව වඳ සැත්කම් හෙවත් LRT සැත්කම් සිදු කළ බවට චෝදනා නැඟුණි. ඒ චෝදනාත් සමඟ ඔහුට එරෙහිව ආ චෝදනා අනුව ඔහුගේ ගිණුම්ද පරීක්ෂාවට බඳුන් කෙරිණි. උපයාගත් වත්කම් හෙළි කිරීම ඔහුට ගැටලුවක් විය. කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මූලිකත්වයෙන් දොස්තර ෂාෆි අත්අඩංගුවට ගන්නේ අයථා ලෙස මුදල් ඉපැයීම හා වත්කම් අත්පත් කරගැනීම සම්බන්ධයෙනි. ඒ ඔහු පදිංචිව සිටි කුරුණෑගල, මහනුවර පාරේ වීරසිංහ මාවතේ නිවසේ සිටියදී 2019 වසරේ මැයි මස 24 වැනිදාය.
ඒ වන විට වෛද්‍ය වෘත්තියේ වසර 13ක සේවා කාලයක් සපුරා තිබූ ෂාෆි විසින් සිසේරියන් සැත්කම් 8,000කට අධික සංඛ්‍යාවක් සිදු කර තිබුණි. ඔහුගේ වයස ඒ වන විට අවුරුදු 42 කි. අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට ඔහු ගලේවෙල හා දඹුල්ල රෝහල්වල සේවය කර අවසානයේ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටියේය.
ෂාෆිට එල්ල වූ ප්‍රධාන චෝදනාව වන්නේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන සමඟ සම්බන්ධ වෙමින්, හෙළි කළ නොහැකි ආකාරයට වත්කම් උපයාගෙන තිබීමයි. ඔහුගේ ගිණුම්වලට රුපියල් මිලියන ගණන් පැමිණි ආකාරය හෙළි කිරීමට නොහැකි වීම නිසා පැහැදිලි ලෙසින් අයථා ඉපැයීම් සඳහා සාක්ෂ්‍ය ලැබුණි. එමෙන්ම සිංහල කාන්තාවන් වඳ සැත්කම් කිරීමද අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානවල අරමුණු අනුව යමින් සිදු කරන ලද්දක් බවට මතයක් ගොඩනැඟුණි.
වඳ සැත්කම් කතාව එළියට පැමිණි සැණින් ෂාෆිගේ සායන වලට පැමිණි සිංහල මවුවරුන් මෙන්ම ඔහු යටතේ දරුවන් බිහි කළ සිංහල මවුවරුන්ද පෙළ ගැසී කුරුණෑගල රෝහලට එන්නට වූහ. වෛද්‍ය ෂාෆිට විරුද්ධව විමර්ශනය කිරීමේදී මව්වරුන්ගේ අවසරයෙන් තොරව වඳභාවයට පත්කිරීමේ LRT සැත්කම් 11ක් සිංහල මව්වරුන්ට සිදු කර තිබෙන බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අප කළ විමසුමකදී එම දිනවලදී පැවසුවේය.
මේ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කෙරුණු අතර එමෙන්ම ෂාෆිට විරුද්ධව සැක හැර සාක්ෂි සහිතවම ඔප්පු වූ චෝදනාවක් එළියට ආවේය. ඒ ෂාෆි 2019 වසරේ අප්‍රේල් 10 වැනිදා දරු ප්‍රසූතියක් කළ මවකගේ ඇඳ ඉහපත අංකය වෙනස් කර එමඟින් ඇයගේ දරුවා වෙනත් පාර්ශ්වයකට ලබා දීමට කටයුතු කිරීමය. රෝහල් පාලනාධිකාරිය විසින් සිදුකළ පරීක්ෂණයකදී ඔහු වරදකරු වී ඇත.
ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබුණද එය කවුරුන් විසින් හෝ යටගසා තිබේ. එහෙත් පසුව එම පරීක්ෂණ සිදු කරන්නට අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදී. වෛද්‍ය ෂාෆි සතුවූ යම් දේශපාලන හෝ මුදල් බලයක් එයට හේතු වන්නට ඇත. ඒ ගැන මතුවෙහි දැක්වේ.
කෙසේ හෝ ෂාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ සිදුවීම් සම්බන්ධව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මඟින් සිදු කරන්නට විය. කුරුණෑගල අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් විමර්ශනයක් සිදු කළ අතර එහිදී කුරුණෑගල රෝහලට පැමිණිලි ඉදිරිපත් කළ මවුවරුන් 615 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. ඒ අය අතරින් 468 දෙනෙකු ෂාෆිගේ ක්‍රියාවන් නිසා තමන්ද වඳභාවයට පත්ව ඇත්දැයි සැකයෙන් පැමිණිලි ඉදිරිපත් කළ අය වන අතර ෂාෆි නිසා දරුවන් අහිමි වූයේ යැයි සඳහන් කරමින් මව්වරුන් 147 දෙනෙක් පැමිණිලි කරන ලදී.
සැත්කම්වලට භාජන කරන ලද කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානි සිදු වී තිබේදැයි පරීක්ෂා කිරීමේ එච්.එස්. ජී. පරීක්ෂාව කාසල් රෝහලේදී ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදු කරන්නට නිර්දේශ කළ ද එයට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණයේදී විරෝධය පළ කරන ලදී. එමඟින් කාන්තාවන් තුළ සංකුලතා ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදු කරන විට ඔහු සමඟ ශල්‍යාගාරයේ රැඳී සිටි සෙසු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ගෙන්ද මෙහිදී ප්‍රකාශ ලබා ගෙන තිබුණි.
එහිදී වෛද්‍යවරයෙකු සඳහන් කර තිබුණේ වෛද්‍ය ෂාෆි මුස්ලිම් මවුවරුන්ට විශේෂ කරුණාවක් දක්වන බව තමන් දුටු බවයි. ඔහු වෛද්‍ය ෂාෆි සමඟ සිසේරියන් සැත්කම් 150කට පමණ සම්බන්ධ වූ සහායක වෛද්‍යවරයෙකි. අදාළ වෛද්‍යවරයා විසින් ලබා දුන් ප්‍රකාශයේ පැහැදිලිව මෙසේ දක්වා තිබේ.
“LRT සැත්කම් සිදු කරන්නට මුස්ලිම් මවුවරුන් ඉල්ලා සිටි අවස්ථාවල ෂාෆි මඟ හරිනවා, ඒත් සිංහල දෙමළ අයට LRT කරන්න කියල උනන්දු කරනවා“
එසේම එක් නිර්වින්දන වෛද්‍යවරියක පවසා ඇත්තේ සිංහල මවුවරු සිසේරියන් සැත්කම්වලට ලක් කරමින් දරුවන් පිටතට ගැනීමේදී සහායක වෛද්‍යවරයා වෙනත් කාර්යයක් සඳහා යොමු කිරීමට ෂාෆි නිරතුරුවම කටයුතු කරන බවය. ඇයගේ චෝදනා වන්නේ සිංහල මවුවරුන් සිසේරියන් සැත්කමට ලක් කිරීමෙන් අනතුරුව අදාළ කැපුම් තුවාලයට ඔහු එක් ස්ථරයක් පමණක් මසා දමන බවත් මුස්ලිම් මවුවරුන්ගේ ස්ථර දෙකම මසන බවයි. ඒ ගැන ප්‍රශ්න කිරීමකදී ඇයට බැණ වැදුණු බවද ඇය ප්‍රකාශ කර තිබේ. තමන්ට දේශපාලන බලය හා මුදල් බලය ඇති බවට ඔහු තර්ජනය කර ඇති බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ.
ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කමක් විනාඩි 15කදී සිදු කරන බවත් ඇය පවසා තිබේ. එමෙන්ම ඇයගේ ප්‍රකාශයක සඳහන් වන්නේ මුස්ලිම් කාන්තාවන් තුන්වැනි දරුවා බිහි කිරීමෙන් පසු LRT සැත්කම්වලට යොමු කිරීමට ඔහු ඉඩ නොදෙන බවය.
සිංහල මව්වරුන්ට ඉතා අඩු කාලයකින් සිසේරියන් සැත්කම් සිදු කර ඇත. මුස්ලිම් මව්වරුන්ට ඊට වඩා සැලකිය යුතු කාලයක් ගත කර ඇති බව ඔහුට විරුද්ධව සිදු කළ විමර්ශනවලදී හෙළිව තිබේ. එමෙන්ම සිසේරියන් සැත්කමේදී ගර්භාෂය මැසීමෙන් පසුව සිංහල කාන්තාවන්ගේ පෙරිටෝනියම් කුහරය අනෙක් වෛද්‍යවරුන්ට වඩා රළු ආකාරයට පිරිසිදු කරන බවද වාර්තා වී තිබේ. ඔහුගේ සැත්කම්වලින් පසුව මුත්‍රවාහිනී හානිවීම්, ගර්භාෂ ඉවත් කිරීම් හා පසු රුධිර වහනයවීම් වැනි සංකූලතා වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් ඒ සියලු දෙනා සිංහල මව්වරුන් බවත් අනාවරණය වී තිබේ.
එමෙන්ම ඇද ඉහපත් වාර්තා මගින් සනාථ වී ඇත්තේ මවගේ හෝ පියාගේ අනුමැතියකින් තොරව මව්වරුන් 11 දෙනකුට නීතිවිරෝධී ආකාරයට LRT සැත්කම් සිදු කර ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද ඔහුට විරුද්ධ පැමිණිලි විමර්ශනය කිරිම සඳහා සය පුද්ගල කමිටුවක් පත් කරන ලදී.
සිසේරියන් සැත්කම් මඟින් මවුවරුන් වඳ භාවයට පත් කිරීමට චෝදනා එල්ල වූ ෂාෆි, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකි. රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ පක්ෂය නියෝජනය කරමින් ජන්දයට ඉදිරිපත් වූ වෛද්‍ය ෂාෆි පරාජය විය. ඔහු මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වූ අතර යළි සේවයේ පිහිටුවනු ලැබුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදිර්දීන්, යොමුකළ විශේෂ කැබිනට් පත්‍රිකාවකිනි.
ෂාෆි තව්හීද් ජමාත් සංවිධානය සමග සම්බන්ධව කටයුතු කළ බවට වූ මතයන් ඔප්පු කර ගැනීමට නොහැකිව ඇතත් ඔහුට රුපියල් කෝටි ගණන් ධනය ලැබුණේ කෙසේද යන්න ඔහුට පෙන්වා දීමට හැකියාවක් ලැබී නැත.
ෂාෆිට එරෙහි චෝදනාවලින් නිදහස් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේම පිරිසක් උත්සාහ දරන බවට මතයක්ද පවතී. ඒ අතර සිටින ජ්‍යෙෂ්ඨතමයන් අතර මේ සම්බන්ධව රාජ්‍ය මට්ටමින් නිසි වගකීම දරන්නෝද වෙති.
ඇතැම් අය පවසා ඇත්තේ ෂාෆි මවුවරුන්ට වඳ සැත්කම් සිදු කළ බවට පැහැදිලි සාක්ෂි නොමැති බවයි. එමෙන්ම සිංහල මවුවරුන් 4000ක් සිසේරියන් සැත්කම් මඟින් වඳ භාවයට පත් කිරීම අනෙක් අය නොදැන සිටියේ කෙසේද යන්නද මේ අය ප්‍රශ්න කර තිබුණි. අප දන්නා තරමින් සිසේරියන් සැත්කම් කරන අතර තුර ගැබ් ගැනීම අවහිර කරන්නට ඕනෑ තරම් ක්‍රමවේද ඇත. පළපුරුදු වෛද්‍යවරයකුට එය අපහසු කාර්යයක් නොවේ. සිසේරියන් සැත්කම අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් එහි රඳවා තැබීමෙන් පැලෝපීය නාල ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එම අවහිර කිරීමේ සාර්ථකත්වය 80% පමණ වන බව නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් පසුගිය වකවානුවේ මාධ්‍ය මඟින් පැහැදිලිවම පැවසූහ.
කුරුණෑගල මහ රෝහලේම හෙද නිලධාරිනියක වන ආර්.ඒ.මධුමාලි රූපසිංහ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දක්වා තිබුණේ ෂාෆි වෛද්‍යවරයා යටතේ තමන් 2018 මාර්තු මස 06 වනදා සිසේරියන් සැත්කමක් කරගත් බවයි. ඒ රෝහලේම වෛද්‍යවරයකු නිසා ඔහු කෙරෙහි තිබූ අපමණ විශ්වාසය නිසා බවය. එහෙත් සැත්කමින් පසුව මුත්‍රා පද්ධතියේ ඇති වූ වෙනස්කම්වලින් තමන් පීඩා විඳි බවත් ප්‍රසූතියෙන් වසරකට පසුවත් විවිධ ඖෂධ ලබාගනිමින් තමන්ට විශාල ශාරීරිකව පීඩාවක් සිදු වූ බවයි.
එහිදී සිසේරියන් සැත්කම සිදුකිරීමේදී වෛද්‍යවරයා විසින් ඇයට කුමන හෝ ආකාරයේ අගතියක් සිදු කර ඇති බව ඇයට වෙනත් පරීක්ෂණයකින් තහවුරු වූ බවයි.
එම නිසා තවත් මවකට එවන් අගතිගාමී තත්ත්වයට මුහුණ පෑමට සිදු නොවන පිණිස ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඇය ඉල්ලා සිටියාය. ඒ ගැනද පරීක්ෂණ සිදු කරන ලදී. එමෙන්ම තවමත් ගලේවෙල හා දඹුල්ල රෝහල්වලට ලද පැමිණිලි විභාග වෙමින් පවතී. වඳ සැත්කම් සහ ජාතිවාදී පදනමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් මුලික විමර්ශන වාර්තාව අනුව වැරදිකරුවකු වී ඇත. එසේම මේ වන තුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් අනෙක් පැමිණිලි සම්බන්ධයෙන්ද කරුණු විමර්ශනය වෙමින් පවතී. කුරුණෑගල අධිකරණයේද නඩු විභාග වෙමින් පවතී.
එසේ පැමිණිලි විභාග වෙමින් පවතින අතරතුර සෞඛ්‍ය ලේකම්වරයා නියෝග කර ඇත්තේ සාෆි සහබ්දීන්ට ඔහුගේ හිඟ වැටුප් ගෙවන ලෙසයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෛද්‍ය ෂාෆිට වැටුප් ගෙවන ලෙස හෝ යළි සේවයේ පිහිටුවන ලෙස නිර්දේශයක් ලබා දී නොමැති බව වාර්තා වී තිබේ. එය නීති විරෝධී ක්‍රියාවකි.
2021.12.06 දිනැති ලිපියක් මඟින් ‘නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්යය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම‘ යන සිරස්තලය යටතේ එම ලිපිය යොමු කර ඇත්තේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙතය.
එම ලිපියේ මෙසේද සඳහන් වේ. ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙඛ්‍ය සේවා කමිටු ලේකම්ගේ අංක HSC/DIS/028/2019 යොමුව අනුව 2019/05/24 දින සිට අනිවාර්ය නිවාඩු ගන්වා ඇති වෛද්‍ය එස්.එස්.එච්. ෂාෆි මහතාට ආයතන සංග්‍රහයේ XII: 20.2 අනුව වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස දන්වමි.‘ යනුවෙනි.
එසේම එම ලිපියේ 3 වන ජේදයේ දක්වා ඇත්තේ අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදී එකී කාලයට වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් හේතු කවරේද යන්න නොපමාව තමන් වෙත වාර්තා කරන ලෙසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහගේම අත්සනින් යුක්තව එම ලිපිය යවා තිබේ.
එයට පිළිතුරු ලෙසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව විසින් 2010.12.10 දින THK/A01/මු.වි./ යොමු අංක යටතේ ලිපියක් මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත්තේ ලේකම්වරයාගේ ලිපියට අනුව වැටුප් ගෙවීමට කටයුතු කරමින් සිටින බවයි.
එසේම අනිවාර්යය නිවාඩු කාල සීමාවට වැටුප් නොගෙවීමට අදාළව විමසූ කරුණට පිළිතුරු ලෙසින් ඔහු පෙන්වා දී ඇත්තේ 2019.06.03 දිනැති මූලික විමර්ශනයෙන් හෙළිව ඇත්තේ අදාළ වෛද්‍යවරයා විසින් සිංහල ජාතික මවුවරුන්ගේ ප්‍රජනක පද්ධතියට හානිවන අයුරින් කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති බවයි. ඒ අනුව ජාතිකත්වය අනුව මවුවරුන්ට සලකා කටයුතු කිරීමෙන් අදාළ වෛද්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 පරිච්ජේදයේ 12: 2 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි. එසේම මුස්ලිම් කාන්තාවන් තිදෙනකුට එල්ආර්ටී සැත්කම කළ බවට ව්‍යාජ සහතික නිකුත් කළ බවද අනාවරණය වී ඇති බව අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දී තිබේ. එසේම කුරුණෑගල අධිකරණයේ අංක බී 1398/19 නඩුව අනුව මේ වන විටත් විභාග වෙමින් පැවතීමත් ඔහුට විරුද්ධව සිදු කෙරෙන නීතිමය කාර්යයන් මුදල් විශුද්ධිකරන පනත යටතේ මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ ඇති බැවින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තවමත් රෝහලට පැමිණෙමින් පරීක්ෂණ කටයුතු සිදු කරන නිසාත් වෛද්‍ය ෂාෆි එසේ වැටුප් ගෙවීමක් සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති නිසාත් වැටුප් ගෙවීමට කටයුත නොකළ බව පෙන්වා දෙයි.
එසේම අමාත්‍යාංශයෙන් නිශ්චිත නියෝගයක් ඒ සම්බන්ධයෙන් නොලද නිසා වැටුප් ගෙවීමක් කර නොමැති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබේ.
අපට මෙහිදී මතුවන ගැටලුව වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියේ සිරස්තලයේ ‘නැවත සේවයේ පිහිටුවීම‘ යන්න අඩංගු වූයේ කෙසේද යන්නයි. අධිකරණයේ විභාග වන නඩුවක චූදිතයකු වන, එමෙන්ම අයථා ඉපැයීම් සම්බන්ධව මුදල් විශුද්ධිකරන පනත යටතේ චෝදනා නැඟී ඇති එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නැඟී ඇති අයෙක් එම චෝදනාවන් විභාග වන අතර යළි සේවයේ පිහිටුවීමක් සම්බන්ධයෙන් කතාවක් කරළියට ආවේ කෙසේද යන්නය.
එය ඉතා පැහැදිලිවම අමාත්‍යාංශයේ ෂාෆි වෙනුවෙන් නීතිය නමන්නට උත්සාහ කරන පිරිසකගේ ක්‍රියාවකි.
මේ සම්බන්ධයෙක් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරයන් ෂාෆි සහබ්දීන් හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පැවසුවේය. පසුගිය 20 වැනිදා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු ඒ බව පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව බැංකු කාඩ් පතක් තිබුණු බවත් එම බැංකු කාඩ් පතෙහි හිමිකරුවා වෛද්‍යය ෂාෆි සහබ්දීන් බවට තහවුරු වූ බවයි. ෂාෆි සහබ්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නේ එයද පාදක කරගෙන බව ජයන්ත සමරවීර අනාවරණය කර සිටියේය. විශේෂයෙන්ම ෂාෆි සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කිරීමේදී සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීමට අදාළ චෝදනා එල්ල වූ බවත් ඔහු මුදල් විශුද්ධිකරණය, ත්‍රස්ත කල්ලියක සමාජිකයෙකු වීම සහ ජනසංහාරය නැමැති වරදට චෝදනා ලැබූවකු බවත් පැවසුවේය. එමෙන්ම මේ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලන ලේකම්වරයකුට චෝදනාද එල්ල කෙළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ නොනිමි පරීක්ෂණයක චූදිතයකු සම්බන්ධව ක්‍රියා කළ ආකාරය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ වැඩ තහනම් කරන ලෙසයි.
නීතිය ලොකු කුඩා කාටත් පොදු විය යුතුය. එහෙත් ෂාෆි සම්බන්ධයෙන් අප ඉදිරියේ ඇත්තේ පැනයක් පමණි.