කුඹුරක් රැක ගැනීමට සටන් වදින බෝගහවත්ත වැසියෝ | සිළුමිණ

කුඹුරක් රැක ගැනීමට සටන් වදින බෝගහවත්ත වැසියෝ

සරුවට වගා කර ඇති බිම්

පෝරගොඩැල්ල ගම්මානවලට මායිම් වූ වසර 15 කට එහා ගිය සශ්‍රීක අතිතයකට උරුම කම් කියූ රණවකයාය, යකගහයාය වෙල්යාය ගැන මේ වන විට අසන්නට ලැබෙන්නේ දුක්බර කතා බහකි. බෝගහවත්ත කුඹුරු යාය වූ කලී එදා මෙම ගම්මානවලට පමණක් නොව රුක්මල්ගම, පන්නිපිටිය මෙන්ම කොට්ටාව ඇතුළු දැඩි නාගරික ජනාවාස කිහිපයකටම එල්ල වන්නට තිබූ ජල ගැලීම් පාලනය වූ පුනිල මෝයක හැඩැති භූ විෂමතාවයකින් යුතු වෙල් යායකි.

අද වන විට පටු ලාභ අපේක්ෂාවෙන් යුතුව අක්කර 22 ක් පුරා විහිඳ ගිය මේ වෙල්යාය ගොඩකර විකිණෙන්නට පටන් ගෙන ඇත්තේ මේ වන විට එහිම ජනාවාස වූ පිරිස්ගෙනි. මේ හේතුවෙන් ඉදිරියේදි විඳින්නට සිදුවන අයහපත් ප්‍රතිවිපාක ගැන බෝගහවත්ත ඇතුළු ගොවි සංවිධාන රැසක් හඬ ගා පැවැසුවත් තවමත් බලධාරින්ගේ ඇස් විවර ව නැත. මෙම කුඹුරු යාය වටා ඇති ස්වාභාවික ඇළ මාර්ගයකින් ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා ගන්නා අතර මේ වන විට මේවා මිලදි ගත් සමහර පිරිස් අනාගතය ගැන නොසිතා අවිධිමත් ආකාරයෙන් මෙම කුඹුරු ඉඩම් ගොඩ කරන්නට පටන් ගෙන තිබේ. 

වර්තමානයේ මෙම ගොඩ කිරිම් හමුවේ දැඩි ලෙස අවදාමට ලක්ව ඇති මේ බෝගහවත්ත කුඹුරු යාය වනාහි ‘A‘ ශ්‍රේණියේ කුඹුරු යායකි. වර්තමානයේ මෙය පුරන් වුවද යල හා මහ දෙකන්නයේම උල්පත් ජලයෙන් වගා කිරීමේ හැකියාව ඇති සර්‍ශ්‍රක බිමකි. 2000 අංක 46 දරණ ගොවි ජන සංවර්ධන පනතට හා 2011 අංක 46 දරණ ගොවි ජන සංවර්ධන සංශෝධිත පනතට අනුව මෙවැනි ‘ඒ‘ ශ්‍රේණියේ කුඹුරක අනවසර ඉදිකිරිම් තහනම් වෙයි. ජාතික ගොවි ජන එකමුතුව පවසන්නේ එවැනි අනවසර තත්ත්වයන් යටතේ මෙම ඉදිකිරිම් සිදු කරද්දි ඉහළ සිට පහළ නිලධාරින් දක්වා ඊට මුනිවත රැකි බවකි.

“පසුගිය රජය සමයේ ගත් තින්දු නිසා වාණිජමය වටිනාකමක් සහිත බස්නාහිර තෙත් කලාප හා පාරම්පරික කුඹුරු ගොඩකරන්නත් විකුණන්නත් පටන් ගත්තා. බෝගහවත්තත් එවැනි ක්‍රියා නිසා දැඩි අවදානමට ලක්වු කුඹුරු යායාක්. මෙහි යම් යම් පිරිස් දේශපාලන බලධාරීන්ගේ අනුදැනුම මත ගොඩ කිරීම් කළා. මේ වන විට ගොඩ කිරීම් හේතුවෙන් මුළු යායම දැඩි අවදානමට ලක්වෙලා. ගොවි ජන සංවර්ධන පනත් අනුව මෙවැනි ‘A ‘ වර්ගයේ කුඹුරුවල අනවසර ඉදිකිරිම් තහනම්. නමුත් මේ කටයුතුවලට ඉහල නිලධාරින් සිට පහළ සේවකයින් දක්වා හවුල්. කිසිදු නීතිමය කටයුත්තක් මෙතෙක් සිදු වුණේ නැහැ. මෙය පාරිසරික ජෛව විවිධත්වයෙන් යුතු කලාපයක්. මේ කුඹුරුවල දේශීය වී වර්ග වගා කර නාගරික කෘෂි කර්මාන්තය නැංවීම පහසුවෙන් සිදු කළ හැකියි. මේ ස්ථානයේ ඇවිඳින මංතීරු සකස් කිරිමේ යෝජනාවක් ආවා. නමුත් අනාගත පුරපුර වෙනුවෙන් සීමා මායිම් හඳුනාගෙන එ් කටයුත්ත සිදු කළාට කමක් නැහැ. මේ වන විට බස්නාහිර පළාත තුළ වගා කළ හැකි වගුරු බිම් 12,000 ක් පුරන් වෙලා. ඒවායේ වගා කිරීමට ගොවි ජනතාව පෙලඹවීම බලධාරින්ගේ යුතුකමක්....“ ඒ ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ය.

මෙම බෝගහවත්ත කුඹුරු යාය ගොඩ කිරීම වැළැක්වීම සඳහා ගොවි සංවිධාන විසින් විවිධ ස්ථානවලට පැමිණිලි කළද මේ වන විට ඊට කිසිදු සාධනීය විසඳුමක් නොලැබි ඇති බව ඔවුහු චෝදනා කරති. සාමාන්‍යයෙන් කුඹුරු ඉඩමක් අඩු වටිනාකමින් යුතු නිසා වැඩි මිලට විකිණීමට මෙම කුඹුරු ගොඩ කිරීමට පෙලඹී ඇත්තේ ගොඩකළ ඉඩම් සඳහා ඉහළ වාණිජ වටිනාකමක් ඇති නිසාය. මෙම ගොවි සංවිධාන චෝදනා කරන්නේ මෙම ඉඩම් කිහිපදෙනෙකු විසින් මේ වන විටත් ගොඩ කරමින් පවතින බවයි. ඊට ප්‍රවිණ චිත්‍රපට නිශ්පාදකවරයකුගේ නමද ඈදි ඇති අතර ඔහු කොටසක් ගොඩකර කුඩා ජලාශයක්ද ඉදිකර ඇති බවද මේ අයගේ චෝදනාවය. එසේම ජාතික ගොවි ජන එකමුතුව සඳහන් කරන්නේ ආණ්ඩුකාරවරියකගේ ඥාති දියණියක්ද අවස්ථා ගණනාවකදි මෙම කුඹුරු ඉඩම් ගොඩ කර ඇති බවකි.

“අවුරුදු 10-12 කට පෙර මේ කුඹුරා යාය හොඳින් වගා කටයුතු කළා. නමුත් කාලයක සිට මේ කුඹුරු ගොඩ කරමින් පැවැතියා. මේ කුඹුරු හිමි වැඩිහිටි පිරිස් නැති වූ පසු මේවා වෙනත් පාර්ශ්වයන් අතින් අතට ගියා. බොහෝමයක් වගා නොකර පුරං වුණා. අදටත් ගොඩ කිරිම් සිදු කරනවා. සමහරු කොටි කාලීන භෝග වගා කරන මුවාවෙන් බැකෝ දමා මේ ඉඩම් හාරා විවිධ ඉදිකිරිම් කරන්න පටන් ගත්තා. මේ කුඹුරු යාය දිය උල්පත්වලින්ම වගා කළ හැකි පෝෂිත කුඹුරු යායක්. නමුත් මේ නිසා සිදුවන්නේ උල්පත් සිදි යාමක්. උල්පති සිඳී ගියොත් මේ කුඹුරු වගා කරන්නට නොහැකි වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඇළ ඉවුර වටේට මංතීරු සකස් කර මේ කුඹුර රැක දෙන බවට පොරොන්දු වෙලා තියෙනවා. .....“ ඒ කොට්ටාව බටහිර ගොවි සමිතියේ හිටපු සභාපති පි ඒ ආරියපාලය.

“ මෙම සරුසාර භුමිය මීට වසර 15 කට පෙර තිබුණේ පාරම්පරික ගොවියෝ අත. නමුත් දැන මේවා තියෙන්නේ අලුත් පරම්පරාව අත. ඔවුන් මේවා මිලදි ගත්තේ වැඩි මිලට. ඒ අය ගොඩ කරමින් තවත් අයට කොටස් කර විකුණනවා. පුරන්ව තිබුණු කුඹුරු ගොඩ කරමින් වගාවන් කරන්න පටන් ගත්තා. මේ සියල්ලම සිදුවන්නේ දේශපාලන හයිය මත. සමහරු වැව් හදලා, කොස් ගස් පවා මේ කුඹුරු ඉඩම්වල සිටවලා. මේ සියලු දේ පිළිබඳ අදාළ ස්ථාන දැනුම්වත් කළත් කිසිදු විසඳුමක් ලැබුණේ නැහැ. සමහරු බැකෝ දාලා වැව් හාරන විට ඉහළ නිලධාරින් පවා ඒ කටයුතු සාධාරණීකරණය කළා. මෙවැනි ගොඩ කිරිම් සිදු කළ විට එහි විපාක බොහෝයි. මෙය ජල පෝෂක ප්‍රදේශයක්. තාප්ප බැඳ කොන්ක්‍රිට් කළ පසු වතුර බැස යාම නවතිනවා. ඉදිරියේදි ගිලා බැසීම් සිදුවිය හැකියි. විවිධ ලෙස රෝග ඇති විය හැකියි. .....“ ඒ මීට විරුද්ධව හඬ නඟන බෝගහවත්ත සංවර්ධන කමිටු සාමාජිකයින්ගේ අදහසයි.

ඔවුහු පවසන්නේ එදා අක්කර 100 කට වඩා තිබුණු මෙම කුඹුරු යායෙන් අද ඉතිරිව ඇත්තේ අක්කර 30-40 ක් පමණක් බවය. දෙකන්නයේ උල්පත් ජලයෙන් වගා කටයුතු කළ මේ කුඹුරු යායට අත්විඳින්ට සිදුව ඇත්තේ ශෝචනිය පුවතනි. එසේම එහි භයානක විපාක අත් විඳින්ට සිදු වන්නේ හෙට දිනයේ බව ඔවුන්ගේ අදහසයි. එහෙත් අදටත් ඒ නීති විරෝධි ක්‍රියා ඒ ආකාරයෙන්ම සිදුවෙති. මෙම කුඹුරු යායේ මහ නියර වටා ඇවිදින මංතීරුවක් ඉදිකර කුඹුරු සංවර්ධනය කිරිම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කොට ඇති බව සැලය. එහෙත් යම් යම් පිරිස් ඊට ද අකුල් හෙළන්නේ එමගින් ඉඩම් ගොඩ කිරීමේ අවස්ථා ඇහිරෙන නිසා බව ඔවුහු චෝදනා කරති. ‍

“මේ අයගේ අරමුණ වුණේ මුලින්ම ඇවිඳින මං තීරුවක් ඉදි කිරීම. එය සාර්ථක නොවු පසු මේ අය ඉල්ලීම කළා, මේ කුඹුරු යාය ජලාශයක් හෝ ක්‍රීඩා භූමියක් ඉදි කිරීමට. එහි කොන්ත්‍රාත්තුව විවිධ අය ලබා ගැනීමේ සුදානමක් තිබුණා. ඔවුන් මේ ගැන කතා කරන්නේ නැහැ. කුඹුර ගොඩ කිරීම් වෙනුවෙන් කතා කරන බව පවසනවා. නමුත් රටේ නීතියක් තියෙනවා. වැරදි කරන අය ඉන්නවානම් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකියි. මෙය පතුරුවා හරින්නේ දේශපාලන බලය ගත් කුඹුරකට නොයන එක්තරා පිරිසක්. බෝගහවත්ත ගොවි සමාජයේ මමත් ඉන්නවා. මමත් කුඹුරු හිමියෙක්. ගොවි සමිති පවා ඔවුන්ගේ මේ ක්‍රියාවට විරුද්ධත්වය ප්‍රකාශ කර තියෙනවා. මේ කුඹුරු යායේ එළවළු වගා කරන කිහිප දෙනෙක් ඉන්නවා.

මමත් ගොවි ජන අවසරය ඇතිව එළවළු වගා කරනවා. නිසි අවසරය අරගෙන ගේ ඉදිරිපිට පොකුණක් සාදා තියෙනවා‍. මේවා කුඹුරු ගොඩ කිරීම් නෙමෙයි. මේ අය රාජ්‍ය නිලධාරීන් පවා නොමඟ යවනවා. එසේම දැන් මෙය සශ්‍රීක බිමක්. පරණ ඡායාරූප පෙන්වා පිරිස් නොමඟ යවනවා. මෙය ජල පෝෂිත ප්‍රදේශයක් බවට පහසුවෙන් පත් කළ හැකියි. ඒ වගේම කවුරු හෝ වැරදි දෙයක් සිදු කර ඇත්නම් මීට විරුද්ධව කෑ කෝ ගසන අයට නීතිය මඟින් කටයුතු කළ හැකියි....“ ඒ පදිංචිකරුවකු වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකය.

කෙසේ වෙතත් බෝගහවත්ත කුඹුර රැක ගැනිමට වෙහෙසෙන ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම වන්නේ මෙය කිසිදිනක ගොඩ කළ නොහැකි කුඹුරු බිමක් ලෙස නීතිගත කරන ලෙසත්, දෙවැන්න වන්නේ නාගරික සංවර්ධන මණ්ඩලයේ නිසි සැලසුම්වලට අදාළවම මෙම පරිසර පද්ධතිවලට ගැලපෙන ආකාරයෙන් මන්තීරු සහිත දියුනු නගරයක් බවට පරිවර්තනය කිරීමට ස්ථීර සැලසුමක් ක්‍රියාවේ යෙදවිය යුතු බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙපැත්තට ඇඳෙන චෝදනා රැසකි. සමහරු බෝගහවත්ත කුඹුරු යාය රැක ගැනීමට වෙර දරන අතර තවත් පිරිසක් මේ ක්‍රියාව සාධාරණිකරණය කිරිමට උත්සහ කරති. පන්නිපිටිය මාළඹේ මාර්ගය හා රුක්මලේ මාර්ගය අතර පිහිටි මෙම කුඹුරු ඉඩම් කලාපය ආදර්ශ කුඹුරු යායක් ලෙස සංවර්ධනය කිරීමටත්, කුඹුරු යායේ මහ නියර වටා ඇවිඳින මංතීරුවක් සකස් කර පෞරාණික ගොවි බිම් පරිසර හිතකාමි ලෙස සංරක්ෂණය කර අනාගත පරපුරට උරුම කර දීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යෂකවරයෙකු වන විශ්‍රාමික බ්‍රිගේඩියර් නිශාන්ත ජයසුන්දර පවසයි.

Comments