රාජකාරියට මුල් තැන දී සාහිත්‍යයෙන් ජන හදවත් සැනසූ ලීල් ගුණසේකර | සිළුමිණ

රාජකාරියට මුල් තැන දී සාහිත්‍යයෙන් ජන හදවත් සැනසූ ලීල් ගුණසේකර

1932 දෙසැම්බර් 09 වැනිදා කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ කැස්බෑව නගරයට ආසන්න ජඹුරලිය ගම් පියසේ දී හපුතන්ත්‍රීගේ දොන් ලීලාරත්න ගුණසේකර උපත ලැබීය. “ලීලාරත්න” පසුව “ලීල්” බවට පත්විය. හපුතන්ත්‍රීගේ දොන් සරනේලිස් ගුණසේකර මහතාගේ සහ තලගල ආරච්චිගේ දෝන පොඩිනෝනා ගුණසේකරගේ දූ දරුවන් අට දෙනෙකුගේ පවු‍ලේ හතරවෙනියා ලීලාරත්න ය.

ජඹුරලියේ මිශ්‍ර පාසලේ මූලික අධ්‍යාපනය ලබා පස්වැනි පන්තිය සමත් වී ඩෙන්හැම් ශිෂ්‍යත්වය ලබා 1943 දී පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයේත්, 1944 දී මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ, 1950දී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ඉගෙනීම ලබා 1952දී ලංකා විශ්වවිද්‍යාලයට ඔහු තේරී ඇත. ජඹුරලිය පාසලේ දී ගුරුවරයෙක් ළමයින්ට වාක්‍ය රචනයක් ලිවීමට පැවරීය. “මගේ අනාගත පැතුම” එහි මාතෘකාව විය. අවුරුදු 10ක් පමණ වූ ලීලාරත්න ලියා තිබුණේ “මම කවදා හෝ ඒජන්ත උන්නාන්සේ කෙනෙකු වෙමි” කියාය.

“මගේ තාත්තා මිය ගියාට පසු මාව හදල වඩලා උගන්වන්න මහන්සි වුණේ මගේ බාප්පා. මගේ “පෙත්සම” පොත පිළිගැන් වූයේත් “හංසරාජයකු වැනි අපේ බාප්පාට” කියලා. බාප්ප ප්‍රාචීන පඬිවරයෙක් නිසා මගේ ඉගෙනීම ගැන උනන්දු වුණා. මම දිසාපතිවරයෙක් වුණාම බාප්ප ආඩම්බරයෙන් කතා කළා.” ගුණසේකරයන් පැවැසීය.

පොත පත කියවීමට ලීල් ශිෂ්‍යයා කොතරම් සූරයෙක් ද යත් පාසල්වල පුස්තකාල භාර ගුරුවරයා අලුත් පොත් සියල්ලම මේ ශිෂ්‍යයාට මුලින් ලබා දී ඇත. එහි රසවත් අත්දැකීමක් ඔහු අපට විස්තර කළේය. 

“ඒ කාලේ මම පාසල් ගිහිල්ල ගෙදර එන්නේ කෝච්චියෙන්. සෙනඟ වැඩි නිසා මම හිටගෙන පොත් කියවමින් ගියේ. ඒ කාලේ ඔගස්ටින් කියලා ගාඩ් කෙනෙක් හිටිය. මම තෙරපෙමින් පොත් කියවමින් දුම්රියේ යනවා ඔහු දැක්කා.

“අයිසේ, තමුසෙ තෙරපෙමින් කොහොමද මෙහෙ පොත් කියවන්නේ? එනවා මගේ කාමරයට” ඔහු මට දවසක් කිව්වා. මම ගාඩ් රූම් එකට ගියා. සිග්නල් දෙන කොළපාට කොඩිය අරං ගල් අඟුරු වැටිලා තිබුණු සීට් එක පිසදාල ගාඩ් මට පහසුවෙන් ඉඳගෙන පොත් කියවන්න කිව්වා. එයත් හරියට පොත් කියවන කෙනෙක් කියලත් කිව්වා. උදේ 6.30ට දුම්රියට නඟින මම ගාඩ් රූම් එකේ ඉඳගෙන පොත් කියවන්න පුරුදු වුණා. මට ඒ කාලේ සීසන් ටිකට් එකක් තිබුණා. මේ විදිහට අවුරුදු 1යි මාස 6ක්ම මම දුම්රියේ ගාඩ්ගේ කාමරයේ පොත් කියවමින් ගියා.

මම පසු කාලෙක දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස පත්වෙලා ගිහින් රාජකාරිය කරන කාලේ මට ඔගස්ටින් ගාඩ්ව මතක් වුණා. මම කෝච්චියේ යන ‍කොට උදව් කරපු ඔහු ගැන තොරතුරු ‍ඇහැව්ව. ඔහු ඉන්න තැන හොයලා මම ටෙලිග්‍රෑම් එකක් යැව්වා. එන්න කියලා. ඔගස්ටින් ආවා. එයා දන්නේ නෑ මම එයා සේවය කරන දෙපාර්තමේන්තුවේ දෙවෙනියා කියලා. පළමුවෙනියා හිටියේ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩී. බී. රම්පාල මහත්තයා. “ඔගස්ටින් වාඩි වෙන්න.”

ඔහු වාඩි වුණේ නැහැ. “ඔගස්ටින් මට උදව් කරල තියෙනවා. මතකද? ගාඩ් රූම් එකේ ඉන්දලා මට පොත් කියවන්න ඉඩ දුන්නා. දැන් කියන්න ඔගස්ටින්, මගෙන් විය යුතු උදව්වක් තියෙනවද? කියලා.”

ඔහු කතා කළේ නැහැ.

“ඔගස්ටින්ට ප්‍රමෝෂන් ලැබිල තියෙනවද?”

“ඔව් සර්, මට පුද්ගලික උදව් මුකුත් එපා. මගේ සහායක ගාඩ් හේරත් අමාරුවක වැටිලා වැඩ තහනම් කරලා. දුප්පතාට මං වෙනුවෙන් පුළුවන් උදව්වක් කරන්න.”

ඔගස්ටින් මගෙන් උදව්වක් ඉල්ලුවෙත් වෙන කෙනෙකු වෙනුවෙන්. මම ඔහුගේ ඉල්ලීම ඉටු කළා. වසරකින් විතර පසුව ඔගස්ටින් මිය ගිය බව මට ආරංචි වුණා. මම ඔහුගේ අවමඟුලටත් ගිහිං අවසන් ගෞරව දැක්වූවා.

1965 වසරේ ලීල් ගුණසේකර මහතා සංස්කෘතික අධ්‍යක්ෂවරයා ලෙස සිටියේ ය. 1967 සාහිත්‍ය සම්මාන උත්සවයක් ගැන අපූරු සිද්ධියක් ඔහු මතක් කළේය.

“ඒ කාලේ සංස්කෘති ඇමති ඊරියගොල්ල මහත්තයා. හිරගෙදර හිටිය පණ්ඩිත හේන්පි‍ටගෙදර ඤාණසීහ හාමුදුරුවන් ලියපු “ගාමිණී ගීත නාම ජේට්ට ගාමිණී” චරිත කතා පොතට සාහිත්‍ය සම්මානයක් දෙන්න තිබුණා. මේ සම්මාන දෙනවට උපදේශක මණ්ඩලයේ හිටි හිමි නමක් විරුද්ධ වුණා. උන්වහන්සේ මතු කළේ ඤාණසීහ හිමියන් රජය පෙරළන්න කුමන්ත්‍රණයට සම්බන්ධ බවයි. මණ්ඩලයේ හිටිය ආචාර්ය ආනන්ද ගුරුගේ මට කිව්වා - “ලීල් ඔය ප්‍රශ්නෙ ඇමතිතුමාට කියලා බේර ගන්න” කියලා.

මම ඇමති ඊරියගොල්ල මහතා හමුවී කාරණය කිව්වා.

අයිසේ, දක්ෂ යකා හිරේ හිටියත්, නිරේ හිටියත් දක්ෂයා. අපි කෝකටත් අගමැතිතුමාටත් කියමු.” ඔහු කීවා.

මමත්, ඇමතිතුමාටත්, ඩඩ්ලි සේනානායක අගමැතිතුමා හමුවෙන්න ගිහිං කාරණය කිව්වා. “අධ්‍යක්ෂතුමා, මොකද මේ ගැන හිතන්නේ?” අගමැතිතුමා මගෙන් ඇහැව්වා.

“සර්, මේ තෑග්ග ඤාණසීහ හාමුදුරුවන්ට හිමි විය යුතුයි.”

“එහෙනං අධ්‍යක්ෂතුමා ම බන්ධනාගාරයට ගිහිං සම්මානයත් මුදල් තෑග්ගත් දෙන්න. සුදුස්සාට සුදුසු දේ හිමි විය යුතුයි.” අගමැතිතුමා එහෙම කියන කොට, ඇමතිතුමා මෙහෙම කිව්වා.

“මමත් ඒක තමයි සර් කිව්වේ” කියලා යකාගේ කතාවත් කිව්වා. 1971 තරුණ අරගලයට සම්බන්ධ වී සිර භාරයේ සිටි 20,000ක් තරුණයින් පුනරුත්ථාපනය කිරීමේ රාජකාරි භාර වූයේ ලීල් ගුණසේකර නම් අතිරේක ලේකම්වරය‍ාට ය. මේ වැඩසටහන සර්වප්‍රකාරයෙන් සාර්ථක වී 1975 වන විට බොහෝ තරුණයින් නිදහස් කර පසුභාර කටයුතු ද යොදා ඔවුන්ගේ යහපත උදා කරන ලද්දේ ඔහු විසිනි. ඉන් එක් තරුණයකු වූයේ ‘වෙල්ලස්සේ වෙඩි හඬ’ නාට්‍යයේ නිෂ්පාදක වික්ටර් බණ්ඩාර සේනාරත්න ය. ඔහුගේ කලා කටයුතුවලට මම උදව් කළා. මේ තරුණයන්ට පුස්තකාල පහසුකම් දී බුදු පිළිම ප්‍රදානය කොට ඔවුන් බුද්ධ වන්දනාවට යොමු කිරීමට ඔහු පුරෝගාමි විය.

මේ වැඩසටහනේ සාර්ථකත්වයට කොතරම් කීර්තියක් අත්වුණා ද කිවහොත් ඒ බව ජාත්‍යන්තර විශේෂඥ ඩග්ලස් හයිඩ් මහතාගේ වාර්තාවෙන් එය සනාථ කළා. 1975 වසරේ සිට කලාපීය අධ්‍යක්ෂ ලෙස වගකීම් භාර ගැනීමට මාගේ සේවය ලබා දෙන ලෙස ලන්ඩන්හී පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලුවා. ඒ අනුව අපේ අත්දැකීම්වලින් වසර තුනක් තුළදී බොහෝ රටවල තරුණයන් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නට මට හැකි වුණා.

1960 වසරේ දී අනුරාධපුරයට පැමිණි ලෙනාඩ් වුල්ෆ් ලේඛකයා ලීල් ගුණසේකර අතිරේක දිසාපතිතුමා මුණගැසුණේය. 1909දී හම්බන්තොට උප දිසාපති ලෙස කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් සිවිල් නිලධාරියා විසින් ගිරුවාපත්තුවේ අසරණ ජනතාව ගැන “විලේජ් ඉන් ද ජන්ගල්” (බැද්දේගම) නවකතාව ලියනු ලැබීය. ඊට පසු සිවිල් නිලධාරියෙකු විසින් තමා සේවය කරන පෙදෙසේ ජනතාව ගැන අවුරුදු 50කට පසු ලියන ලද එකම නවකතාව “පෙත්සම” යි. “පෙත්සමේ” එන නුවර කලාවිය ඩිංගිරි බණ්ඩාත්, ‘බැද්දේගම’ නවකතාවේ එන ගිරුවාපත්තුවේ සිළිඳු ස්වාභාවික පරිසරයෙන් හා සමාජයෙන් බැට කෑ අය බව ගුණසේකර මහතා අපට කීය.

“පෙත්සම” නවකතාවේ ඇත්තේ නුවර කලාවියේ ජලය සම්බන්ධ ප්‍රශ්නයයි. ‘පෙත්සමේ’ දෙවන කොටස ‘අත්සන’ (1963) නවකතාවෙහි ඇත්තේ ඉඩම් ප්‍රශ්නයයි. එය ලියන විට මා කෑගල්ලේ දිසාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ. රජරට ගැමි ජීවිතයෙන් ලද ආස්වාදය අනුව ඉන් බැහැර සිට එහි අත්දැකීම් මතක් කොට ‘අත්සන’ ලියන්න සිදුවුණා. ‘පෙත්සමේ’ ඇත්තේ රජයේ නිලධාරියකුට ගැමියන් පෙනෙන අයුරුයි. ‘අත්සනෙහි’ ඇත්තේ ගැමියන්ට රජයේ නිලධාරියකු පෙනෙන සැටියි. මගේ තුන්වන නවකතාව වන ‘මං නැතිදා’ (1965) ප්‍රකාශයට පත්වූ විටම මා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස පත්ව ආවා. මේ නවකතාවෙන් කීමට මා උත්සාහ ගත්තේ අනාගතය ගැන තැවෙන පියකුගේ අනාගතය ගැනයි. එය මගේ තුන් ඈඳුතු නවකතාවේ තුන්වන කොටසයි.” ගුණසේකර මහතා කීවේය.

ගුණසේකර මහතා විසින් ලියන ලද කෘති අතර “ඉර හඳ කොඩියට අධිපති පෙදෙසේ - (කෙටිකතා) කාලීන රචනා ද, ළමා පොත් වූ “සීලවතී”, “අලි රංචුව”, “අසරණ පැතුම්” “දැන් හරි ලස්සනයි”, “බුහුටිගේ නෑයෝ”; පරිවර්තන කෘති අතර Manitoba - Manuel of Management, ILO Convenetions, Agriculture and Patriotism, Rt. Hon D.S. Senanayake ඉංග්‍රීසි කෘති ද වෙයි.

ලීල් ගුණසේකර මහතාගේ විවාහය 1967 ජුනි 17 වැනිදා කැස්බෑවේ, බණ්ඩාරගම පාරේ 303 දරන “ගුණසෙවණේ” පැවැත්වෙන අවස්ථාවට මව වූ පොඩිනෝනා ගුණසේකර මහත්මිය යැවූ ආරාධනා පත්‍රය කවියකින් ලියා තිබුණා ය.

1967 ජුනි 29 දා ගල්කිස්ස මවුන්ට් ලැවීනියා හෝටලයේදී ගුණසේකර මහතාගේ විවාහය සිදු වුණේ ඉන්දුමතී වික්‍රමසිංහ මෙනෙවිය සමඟය.

ඇගේ දෙමාපියන් වූයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, චිත්‍රපට කොමිසමේ හිටපු සභාපති ජෝතියසේන වික්‍රමසිංහ මහතා සහ බ්‍රියට්‍රිස් වික්‍රමසිංහ යුවතිපතීන් ය. සම්භාව්‍ය සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළේ ලකිසුරු විලියම් ගොපල්ල මහතා සහ ස්වදේශ කටයුතු ඇමති ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතාය. ගුණසේකර මහතාගේ ප්‍රිය බිරිය ඉන්දුමති බී. ඒ. ගෞරව උපාධිධාරිනියකි.

ගුණසේකර යුවළට දියණියන් දෙදෙනෙක් වූහ. වැඩිමහල් දියණිය විපුලී, පේරාදෙනිය ලංකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත්, එංගලන්තයේ බ්‍රැඩ්පර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා, එංගලන්තයේ නීතිඥ වෘත්තියේ යෙදී සිටින සුදේශ් බෝපිටිය සමඟ විවාහ වූවාය.

බාල දියණිය මංජුලා පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් දර්ශනය සහ මනෝ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත්, නිව්යෝක් හි නිව්ස්කූල් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු කරන්නීය. ඇය විවාහ වී සිටින්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියාමක නිලධාරියෙකු වූ පූර්ණ කුමාර යාපා සමඟය.

2007 වසරේ ගුණසේකර මහතාගේ ප්‍රිය බිරිය ඉන්දුමතී අභාවප්‍රාප්ත වූවාය.

කෑගලු ජනතාවගේ හද දිනූ මේ දිසාපතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලධාරි, රත්නපුර මහා දිසාපති, මන්නාරම මහා දිසාපති, කළුතර මහා දිසාපති, 1975 දී බණ්ඩාරනායක අගමැතිනියගේ ඇමති මණ්ඩලයේ ලේකම්, වැඩබලන පොලිස්පති, රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, 1971 තරුණ අරගලයට සම්බන්ධ වී සිර භාරයේ සිටි 20,000ක් තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ භාර අතිරේක ලේකම්, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, තරුණ සේවා සභාවේ සභාපති ආදි වගකීම් සහිත නිලතලත්, එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය උපදේශක ඇතුළු විදේශීය රටවල වගකීම් රැසක් දරා ඇත.

කෑගලු ජනතාවගේ හද දිනූ මේ දිසාපතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලධාරි, රත්නපුර මහා දිසාපති, මන්නාරම මහා දිසාපති, කළුතර මහා දිසාපති, 1975 දී බණ්ඩාරනායක අගමැතිනියගේ ඇමති මණ්ඩලයේ ලේකම්, වැඩබලන පොලිස්පති, රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, 1971 තරුණ අරගලයට සම්බන්ධ වී සිර භාරයේ සිටි 20,000ක් තරුණයන් පුනරුත්ථාපනය කිරීමේ භාර අතිරේක ලේකම්, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, තරුණ සේවා සභාවේ සභාපති ආදි වගකීම් සහිත නිලතලත්, එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය උපදේශක ඇතුළු විදේශීය රටවල වගකීම් රැසක් දරා ඇත.

ජාත්‍යන්තර තනතුරු රැසක් හෙබ වූ ගුණසේකරට දර්ශන සූරි (Ph.D) උපාධිය පිරිනැමුණි. මුණුපුරු, මිනිපිරියන්ගේ ආදරය ලබමින් ආචාර්ය ලීල් ගුණසේකර අනූවියට ළඟා වෙමින් සිටී.

Comments