කොවිඩ් වසංගතයට මෙල්ල නොවෙමින් අඛණ්ඩ ව ඉදිරියට යන අයි.සී.සී. ටෙස්ට් ශූරතාව | Page 2 | සිළුමිණ

කොවිඩ් වසංගතයට මෙල්ල නොවෙමින් අඛණ්ඩ ව ඉදිරියට යන අයි.සී.සී. ටෙස්ට් ශූරතාව

 

'අයි.සී.සී. ටෙස්ට් ශූරතාව යළි ආරම්භවී තිබේ. ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රාජ්‍යයන් අතර පැවැත්වෙන මෙම ශූරතාව වෙනුවෙන් ඇති උද්යෝගය ඉමහත් ය. කවුරුන් කෙසේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි සංවිධානය කළ ද ලෝක ටෙස්ට් ශූරතාව වෙනුවෙන් බොහොදෙනෙක් දක්වන්නේ දැඩි ආකර්ශනයකි. තරගාවලිය පන්දුවෙන් පන්දුව නොබැලුව ද තරග ප්‍රතිඵලය සම්බන්ධයෙන් හෝ ප්‍රේක්ෂක ආකර්ශනයට ලක්ව ඇති මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වනවිට ජයග්‍රාහී ආරම්භයක් සනිටුහන් කරගෙන ඇත. එහෙත් එහි ඉහළින්ම රැඳී ඇත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. මේ එම ටෙස්ට් ශූරතාවයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තැබෙන සටහනකි.'

එංගලන්තයට එරෙහි ව පසුගිය දා බ්‍රිස්බේන් හි දී අවසන් වූ පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 09 ක ජයක් අත් කර ගත් ඔස්ට්‍රේලියාව මෙවර ලෝක ටෙස්ට් ශුරතාව සඳහා වන ප්‍රසාද ලකුණු සටහනේ තම රට නමින් ලකුණු 12 ක් අත්කර ගත්තේ ය.

ඒ තම ජයග්‍රහණ අනුපාතය 100% ලෙස සටහන් කර ගනිමිනි. මෙවර තරගාවලිය තුළ මේ වන විට ජයග්‍රාහී අනුපාතය 100% ලෙස සටහන් කර ගෙන ඇති අනික් කණ්ඩායම වනුයේ ශ්‍රී ලංකාව යි. පසුගිය දා බටහිර ඉන්දීය කොදෙව් පිල හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරදවමින් ශ්‍රී ලංකාව ලකුණු 24 ක් ලබා ගත්තේ ය. එක කඩුල්ලකට ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට ජයග්‍රාහී ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වන්නේ 1.822 ක් හිමිකර ගනිමිනි. ශ්‍රී ලංකාව මෙහි දී අත් කර ගෙන ඇත්තේ 1.761 කි.

එංගලන්තය හා ඉන්දියාව අතර පසුගිය අගෝස්තු මස පැවැති තරගාවලියේ දී නියමිත පන්දු වාර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම මත එංගලන්තයට ලකුණු 02 ක් හා ඉන්දියාවට ලකුණු 02 ක් ද ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය දා බ්‍රිස්බේන් හි පැවැති තරගයේ දී එංගලන්තයට ලකුණු 05 ක් ද අහිමි වූ අතර එම ලකුණු ඉහත වගුවට ඇතුළත් කර නැත.

2023 දක්වා විහිදී යන මෙවර ජගත් ටෙස්ට් ශුරතාව සඳහා වත්මන් ටෙස්ට් පිටියේ සිටින රටවල් 12 අතුරින් සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය හා අර්යලන්තය යන රටවල් මෙවර ද තරගාවලියට ඇතුළත් නොවිණි. ඒ අනුව මෙම තරගාවලිය පැවැත්වෙන්නේ රටවල් නවයක් අතර ය.

එක් කණ්ඩායමක් තරග වැදිය යුත්තේ කණ්ඩායම් හයක් සමග මුළු තරගමාලා හයකට පමණි. මේ අතුරින් තරගමාලා තුනක් තම රට තුළ ද ඉතිරි තුන විදේශයන් හි දී ද පැවැත්වේ.

මෙහි විශේෂත්වය ඉන්දියාව හා පාකිස්තානය අතර තරග මාලාවක් මෙවර ද දැක ගැනීමට නොහැකි වීම ය. මේ අතර මෙවර වැඩි ම ටෙස්ට් තරග ගණනකට සහභාගි වනු ඇත්තේ එංගලන්තය යි. ඔවුන් තරග 22 ක ට සහභාගි වෙයි. එහෙත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය සමග ඔවුනට තරග කිසිවක් නැත.

ඉන්දියාව තරග 18කට සහභාගි වන්නේ කොදෙව් හා පාකිස්තානය සමඟ තරග නොවදිමිනි. ඔස්ට්‍රේලි-යාව අයි.සී.සී. ටෙස්ට් තරගාවලියේ දී තරග 19කට මුහුණ දීමට නිය-මිතය. ඔවුන්ට බංග්ලාදේශය හා නවසීලන්තය සමග තරග වැදීමේ අවස්ථාව අහිමිව ඇත.

දකුණු අප්‍රිකාව තරග 15කට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමග තරගවලට සහභාගී නොවෙමිනි.

ශ්‍රී ලංකාව මෙවර එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමඟ ද, කොදෙ-ව්වන් ඉන්දියාව හා නවසීලන්තය සමඟ ද බංග්ලාදේශය ඔස්ට්‍රේලියාව හා එංගලන්තය සමඟද තරග නොවදිනු ඇත. පා-කිස්තානය තරග 14කට දකොදෙව් හා නවසීලන්තය යන කණ්ඩායම් තරග

13කට මුහුණ දෙයි. 2022/23 ටෙස්ට් ශූරතාවේ අඩු ම තරග ගණනකට මුහුණ දෙනු ඇත්තේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාවයි. ඒ තරග 12 බැගිනි.

මෙවර ශ්‍රී ලංකාව තරග වදින ආකාරය දෙස බලන විට මුලින් ම සහභාගි වූ කොදෙව් තරගාවලියේ තරග දෙක ම ජය ගනිමින් හොඳ ආරම්භයක් ලබාගත් අතර ඔවුන්ගේ මීළඟ ටෙස්ට් තරග සංචාරය වැටී ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මාර්තු කාල සීමාව තුළ ඉන්දියාවේ දී ය. ඒ ටෙස්ට් තරග දෙකක් අරභයා ය. එම තරගාවලිය ශ්‍රී ලංකාවට අසීරුතම තරගාවලියක් ලෙස අනිවාර්යයෙන් ම නම් කළ හැක.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය තුළින් ඉතිහාසය වෙනස් කිරීමේ මහඟු අවස්ථාවක් ද නිර්මා-ණය වී තිබේ. ලබන වසරේ ටෙස්ට් වරම් ලබා වසර 40 සමරන ශ්‍රී ලංකාව තම ටෙස්ට් ඉතිහාසය තුළ ඉන්දි-යාවේ දී තවමත් ටෙස්ට් ජයග්‍රහණයක් ලබා නැත. එහෙයින් යම් හෙයකින් මෙවර ඉන්දියාවේ දී ටෙස්ට් ජයක් ලබාගැනීමට හැකියාව ලැබුණහොත් එය අමරණීය ජයග්‍රහණයකි.

ලබන වසරේ ජුනි මස ඔස්ට්‍රේලියාව සමඟ ද ජූලි මස පාකිස්තානය සමඟ ද ශ්‍රී ලංකාව මෙහි දී තරග වදිනු ඇත. මෙම කණ්ඩායම් දෙක ම ප්‍රබල තත්ත්වයේ පසු වුව ද මෙහි දී භුමියේ වාසිය ශ්‍රී ලංකාව සතු ය.

විදේශයන් හි පැවැත්වෙන අනිකුත් තරගමාලා අතුරින් නවසීලන්තයේ හා බංග්ලාදේශයේ ද තරග වදින ශ්‍රී ලංකාවට නවසීලන්ත තරගාවලිය අසීරු තරගාවලියක් වුව ද අතීතයේ ශ්‍රී ලංකාව එරට තුළ දී ජය ලබා තිබේ. එහෙත් මෑතක දී එරට දී ටෙස්ට් ජයක් ලබා නොමැති හෙයින් මෙවර එයට අවස්ථාව උදාවීමට ඉඩ තිබේ. බංග්ලාදේශයේ දී තවමත් ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයකින් පරාජය වී නොතිබීම මානසික අතින් වාසිදායක ය.

මෙවර තරගාවලියේ මේ වන විට පන්දු යවන්නන්ගේ දස්කම් අතර ඉදිරියෙන් ම සිටිනුයේ තරග හතරක දී කඩුලු 28 ක් දවා සිටින පාකිස්තා-නයේ සයින් අෆ්රිඩි ය. තරග පහක දී කඩුලු 25 ක් දවා සිටින එංගලන්තයේ ඔලිව් රොබින්සන් පසුවන්නේ දෙ-වැනි ස්ථානයේ ය. තුන්වැනි තැන ශ්‍රී ලංකාවේ රමේෂ් මෙන්ඩිස්ට ය.

ඔහු තරග දෙකක දී දවා ඇති කඩුලු ගණන 18 කි. එමෙන් ම ඉන්දියාවේ ජස්පිට් බුම්රා ද කඩුලු 18 ක් දවා ඇත. ඒ තරග හතරක දී ය. පිතිකරුවන් අතුරින් එංගලන්ත නායක ජෝ රූට් තරග 05 ක දී ලකුණු 653 ක් ලබා ඉදිරියෙන් ම පසුවන අතර දෙවැනි ස්ථානය අත් කරගෙන සිටින ඉන්-දියාවේ රෝහිත් ෂර්මා තරග 04 ක දී ලකුණු 368 ක් ලබා තිබේ.

පසුගිය තරගාවලියේ ශුරතාව දිනු නවසීලන්තය මෙවර තරගවාරයේ දී ඉන්දියාවට එරෙහි ව 0-1 ක් ලෙස පරාජය විණි. නවසීලන්තය ජය ගත් පසුගිය ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ ඇතැම් තරග මෙන් ම තරගමාලා අතහැර දැමුණේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි. ඒ හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වූයේ ඔස්ට්‍රේලියාවට ය.

ඒ බංග්ලාදේශය සමඟ මෙන්ම දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගමාලා අවලංගු වීමෙනි. ඒ ආකාරයෙන් ම නවසී-ලන්තය හා බංග්ලාදේශය අතර පැවැත්වීමට තිබූ තරගමාලාව හා පාකිස්තානය හා බංග්ලාදේශය අතර වූ එක තරගයක් ද මෙසේ අතහැර දැමීමට සිදු විණි.

මෙවර තරගමාලාවේ එංගලන්තය හා ඉන්දියාව අතර පැවැති තරග පහකින් යුත් තරගාවලියේ අවසන් තරගය ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනකු කොවිඩ් රෝගයට ගොදුරුවීම මත ලබන වසර දක්වා කල් දැමුණේ ය.

අනිල් වීරසිංහ

Comments