මියන්මාර ජුන්ටාවෙන් සුකීට සිර දඬුවම් | සිළුමිණ

මියන්මාර ජුන්ටාවෙන් සුකීට සිර දඬුවම්

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සු කීට යළිත් වරක් වසර හතරක සිර දඬවම් නියම වී තිබේ. ඒ ඇයගේ පාලනය බලෙන් පැහැරගත් හමුදා ජුන්ටාවේ අධිකරණ තීන්දුවක් මගිනි. ඇයට එල්ල වී තිබූ චෝදනා අතර ප්‍රධාන වී තිබුණේ ආණ්ඩුවට එරෙහිව ජනතාව උසි ගැන්වීමයි. මේ හැර තවත් චෝදනා එකොළහක් ඇයට විරුද්ධව එල්ල වී තිබූ අතර නඩු විභාගයද සම්පූර්ණයෙන්ම රහසිගත ස්ථානයකදී සිදු කෙරිණි.

පසුගිය පෙබරවාරි පළමුවැනිදා මියන්මාරයේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන් සමගින් රාජ්‍ය පාලනය ගෙන ගිය අවුන් සාන් සු කී ගේ ආණ්ඩුව එරට හමුදාව විසින් බලෙන් පැහැර ගැනීමත් සමග සු කී ට මහජනතාව හෝ මාධ්‍ය හමුවට පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඇයට එරෙහිව නඩු විභාගය ආරම්භ වූ බවට පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ වූ නමුත් එම විභාගය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරු මාධ්‍යට නිකුත් කිරීමට ජුන්ටා පාලනය කටයුතු කර තිබුණේ නැත. එහෙත් තමාට එරෙහිව එල්ල කෙරුණු චෝදනා එකොළහම සු කී ප්‍රතික්ෂේප කළ බව නම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

කෙසේ වුවද දැන් සු කීට යළිත් වරක් වසර හතරක සිර දඬුවම් නියම වී තිබෙන අතර එම නඩු තීන්දුව ලොව ප්‍රරා ප්‍රසිද්ධ කිරීමට මියන්මාර පාලනය කටයුතු කර තිබේ.

තම රටේ ජනතාවගේ මුක්තිය වෙනුවෙන් දීර්ඝ කාලීනව සිර දඬුවම් විඳි පාලකයන් අතරට අවුන් සාන් සු කී ගේ නම ලෝක ඉතිහාස පොතේ සටහන් වීම නම් වැළෑක්වීමට හමුදා පාලකයන්ට හැකියාව නොලැබෙනු ඇත්තේ ඇය දැනටමත් ඒ ස්ථානය තමන් වෙනුවෙන් වෙන් කොටගෙන ඇති බැවිනි.

ඇය මීට පෙර වසර පහළොවක දීර්ඝ නිවාස අඩස්සි කාලයක් ගෙවා දැමූ අතර හමුදා පාලනයම ඉදිරිපත් වී ඇයට යළි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කිරීමේ අවස්ථාව ලබා දුන්නේ 2010 වසරේදීය. එතැන් සිට ඇය යළිත් තම දේශපාලන පක්ෂය සමග ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි අතර මේ දක්වා පැවැත්වූ මැතිවරණ දෙකකින් ඇය අති බහුතර ඡන්ද ලබමින් එරට පාලන බලයට හිමිකම් කීවාය.

පසුගිය වසර අවසානයේ පැවති මැතිවරණයෙන්ද ඇය එවැනිම ජයග්‍රහණයක් වාර්තා කළද ඇයගේ පාලනය පැහැරගත් හමුදා පාලකයන්ගේ අදහස වූයේ ඇය මැතිවරණ වංචා සිදු කරමින් බලය ලබා ගත් බවයි.

කෙසේ වුවද සු කී ගේ පාලනය අහිමි වීමත් සමග මියන්මාරය පුරා ජනතා උද්ඝෝෂණ ක්‍රියාත්මක වූ අතර දැනට වාර්තා වන අන්දමට පුද්ගලයන් 300කට අධික සංඛ්‍යාවක් මේ උද්ඝෝෂණවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මියගොස් තිබේ.

සුකී ට නියම වී ඇති සිර දඬුවම මේ වසර හතර අවසානයේ අවසන් වනු ඇත්ද, නැතහොත් ඇයට යළිත් වරක් පෙර මෙන් දීර්ඝ කාලීනව සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත්ද යන්න තවමත් කිසිවකුට නිශ්චිතව පැවසීමට හැකියාවක් නැත.

Comments