ලොව බලවත් ම ව්‍යවසායිකාවෝ පහ මෙන්න | සිළුමිණ

ලොව බලවත් ම ව්‍යවසායිකාවෝ පහ මෙන්න

විවිධ කර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්‍රවල ව්‍යවසායිකාවන් ලෙස කාන්තාවන්ගේ නැඟීම දශක කිහිපයක පටන් සිදුවෙමින් තිබේ. ආරම්භයේදී එය විලාසිතා - සුවඳ විලවුන් වැනි ව්‍යාපාර වලට සීමා වුවද මේ වනවිට සෑම ක්ෂේත්‍රයක් කරාම පාහේ පුළුල් වී ඇති අයුරු දැකිය හැකිය.

1940 ගණන්වලදී තමන්ගේ ම විලවුන් ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යාපාර ලෝකයට පිවිසි එස්තර් ලවුඩර්ගේ පටන් අවන්හල් ව්‍යාපාරයේ ඉදිරියට ආ රුත් ෆර්ටෙල් දක්වා හෝ ඉනුත් ඔබ්බට මේ ලැයිස්තුව දීර්ඝ එකකි. ඒ අතරෙන් මෙහි දැක්වෙන්නේ ව්‍යාපාර ලෝකයේ දිරියෙන් ඉදිරියට පැමිණ සාර්ථකත්වයක් ළඟා කරගත් ව්‍යවසායිකාවන් කිහිපදෙනෙකි.

 

ෂැංග් ෂින්

චීනයේ ප්‍රකට දේපළ හා ඉඩකඩම් ව්‍යාපාරයක් වන SOHO හි සම නිර්මාතෘවරිය ෂැංග්ෂින් ය. ව්‍යාපාරයක් ලෙස එය ප්‍රසිද්ධියට පත්වුණේ. 2007දීය. ඇය ප්‍රකට වූයේ, “බෙයිජිං ගොඩනැඟූ ගැහැනිය” යනුවෙනි.

මුල්කාලයේ ඇය කම්හල් ‍ෙස්විකාවකව සිටියාය. පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් “ආර්ථික සංවර්ධනය” සඳහා ශාස්ත්‍රපති උපාධිය ලබාගැනීමට ඇය සමත් වූවාය.

තමන්ගේම වන සමාගමක් ඇරැඹීමට පෙර ඇය රැකියාව කළේ හෝල්ඩ්මන් සාෂ් බැංකුවේය. එය මුල්‍ය සේවා සැපයීමේ නියැළි ආයතනයකි.

ඇය SOHO සමාගම ඇරැඹුවේ සිය සැමියා වන පැන්ෂියි සමඟ එක්වය. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ඇයයි. ‘ෆෝබ්ස්’ දත්ත වලට අනුව (2021) ඇයගේ ශුද්ධ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 3.1ක් පමණ වේ. මේ වනවිට ඇය 56 හැවිරිදිය. “ෆෝබ්ස්” සඟරාව 2014 වර්ෂයේදි ලොව බල සම්පන්නම කාන්තාවන් අතර 62 වැනි තැන තැබුවේ ෂැංග් ෂින්ය.

 

ඔප්රා වින්ෆ්‍රි

මාධ්‍ය අධිරාජ්‍යයක හිමිකාරිනියක වන ඔප්රා වින්ෆ්‍රි රූපවාහිනී නිවේදිකාවක ලෙස වෘත්තීය භූමිකාව අරඹමින් ව්‍යවසායිකාවක ලෙස ව්‍යාපාර ලෝකයේ හිණිපෙතට ළඟා වූ කාන්තාවකි.

ඇය මුලින්ම හවුල්කාරිනියක ලෙස ඇරැඹුවේ oxygen Media කේබල් රූපවාහිනී නාළිකාවකි. 2011 වර්ෂය දක්වාම ඇය එහි සම්මුඛ සාකච්ඡා මෙහෙයවූවාය. පසුව ඇය, ‘ඔප්රා පන්ෆ්‍රි නෙට්වර්ක්’ යනුවෙන් තමාගේම මාධ්‍ය සමාගමක් ඇරැඹුවාය. මේ වන විට එහි ප්‍රධාන විධායක නිලධාරිනිය ද ඇයයි. “ෆෝබ්ස්” සඟරාව ගණනය කරන පරිදි ඔප්රාගේ ශුද්ධ වත්කම ඇ.ඩො. බිලියන 3ක් පමණ වේ. මේ වනවිට ඇයගේ වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 300 ඉක්මවයි.

67 හැවිරිදි ඔප්රා ලෝක ප්‍රසිද්ධියට පත්වූයේ, The Oprah Winfrey show නම් සුප්‍රකට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාමය වැඩසටහන හේතුවෙනි. 1986 - 2011 වකවානුවේ මේ වර්ගයේ රූපවාහිනී වැඩසටහන් අතර ලොව ඉහළින්ම තිබුණේ ද එයයි.

මාධ්‍ය ලෝකයේ රැජින ලෙස ද විරුදාවලී ලබා ඇති ඇය 20 වැනි සියවසේදී ධනවත්ම අප්‍රිකා - අමෙරිකා කාන්තාව බවට ද පත්විය. ලොව එකම කළු ජාතික කෝටිපතිනිය ද ඇයය. 2007 දී ඇය ලොව බලපෑම් සහගතම කාන්තාවන්ගේ ලැයිස්තුවට ද එක්වූවාය.

 

කිරාන් මෂුම්දාර් ෂෝ

ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටින ව්‍යවසායිකාවක වන කිරාන් මෂුම්දාර් ෂෝ දැවැන්ත ඉන්දීය ජෛව ඖෂධ සමාගමක් වන ‘Biocon’ හි නිර්මාතෘවරියයි. මුලින්ම අත්හැර දැමූ ගොඩනැඟිල්ලක් කුලියට ලබා ගනිමින් ඇය සිය සමාගම ස්ථාපිත කළාය. පසු කලෙක එය ආදායම් ඉපැයීම අනුව ඉන්දියාවේ විශාලතම ජෛව ඖෂධ සමාගම බවට පත්විය. 2004 වර්ෂයේදී ව්‍යාපාර ලෝකයට පිවිසි Biocon කොටස් වෙළෙඳපොළේ පළමු දිනයේදීම ඇමරිකන් ඩොලර් බිලියනක පිරිවැටුමක් වාර්තා කිරීමට සමත්විය. එය එවැනි දෙවන ඉන්දී‍ය සමාගමය.

මෂුම්දාර් ෂෝ යනු ඉන්දියාවේ ධනවත්ම ව්‍යවසායිකාව ද වේ. ‘ෆෝබ්ස්’ දත්තවලට අනුව ඇයගේ ශුද්ධ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 4.1කි. ඇය, බැංගලෝරය කේන්ද්‍ර කරගත් ඉන්දීය කළමනාකරණ ආයතනයේ හිටපු සභාපතිනිය ද වේ. කාන්තා ව්‍යාපාර ලෝකයේ ඉදිරියෙන් ම සිටින 50 දෙනා අතරට Financial Times 2019දී ඇය ද ඇතුළත් කළාය. ‍’‍ෆෝබ්ස්’ සඟරාව ලෙස බලසම්පන්නම කතුන් අතර (2021) 68වැනි ස්ථානයේ තැබුවේ ඇය ය. ඇය බැංගලෝර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයනය ද ලෙම්බර්න් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය ද හදාරා උපාධි ලබා ඇත. ‍

 

ජෙනිස් බ්‍රයන්ට් හව්රොයිඩ්

ඇමෙරිකාවේ පළමුවරට කාන්තාවක විසින් ඇරැඹූ අප්‍රිකා - අමෙරිකා සමාගම වන Actone සමූහයේ නිර්මාතෘවරිය ජෙනිස් බ්‍රයන්ටි ය. ලොස් ඇන්ජලීස් කේන්ද්‍ර කර ගනිමින් මෙම සමාගම ක්‍රියාත්මක ‍වන්නේ මූලික වශයෙන් ම රැකියා නියෝජිතායතනයක් සහ උපදේශක සේවා සපයන ආයතනයක් වශයෙනි. මේ වන විට ලොව රටවල් 19ක 17,000 දෙනා Actone සමූහය සමඟ එක්ව සිටිති. ඒ බොහෝ දෙනා මෙන්ම ඇය ද සිය ව්‍යාපාරය දියත් කළේ ඉතා අසීරුවෙනි. දුෂ්කරතා මැඬගනිමිනි.

1976දී, ඇය එය අරඹන්නේ ඇමරිකන් ඩොලර් 1500කිනි. පසුකාලීනව එහි වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් බිලියනයක් පමණ විය. ෆෝබ්ස් සඟරාව 2020 වසරේදී ඇමෙරිකාව ධනවත්ව ව්‍යවසායිකාව ලෙස නම් කළේ ද ජෙනිස් බ්‍රයන්ට් හබ්රොයිඩ් ය.

69 හැවිරිදි ඇය Actone සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් කටයුතු කරන අතරම අධ්‍යාපනඥවරියක, තානාපතිනියක, ලේඛිකාවක, උපදේශිකාවක ආදී තවත් භූමිකා ගණනාවක ද නියැළේ.

 

ගිනා රපින්හාර්ට්

ඔස්ට්‍රේලියාවේ ආකර කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ඇති සමාගමක් වන Hancock Prospecting සමාගමේ සභාපතිනිය ශිනා රයින්හාර්ට් ය. මෙම සමාගම ස්ථාපිත කළේ ඇයගේ පියා ලෝන්ස් හැන්කොන් විසිනි. මෙම සමාගම ඛනිජ සම්පත් ගවේෂණයේ සහ ලබා ගැනීමේ යෙදී සිටින සමාගමකි. ඛනිජ ක්ෂේත්‍රයෙන් බැහැර Ten Network Holdings නම් සමාගමේ ද කොටස් හිමිකාරිත්වයක් ඇය සතුය. කෘෂිකර්ම ක්ෂේත්‍රයට ද ඇයගේ ව්‍යාපාර විහිදී තිබේ.

වර්ෂ 2011 - 2015 කාල සීමාව ඇතුළත “ෆෝබ්ස්” සඟරාව මෙන්ම “ෆයිනෑන්සියල් රිවිව්” සඟරාව ද ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වශයෙන් නම් කළේ ද ඇයයි. 2012 දී ඇය ලොව ධනවත් ම කාන්තාව ලෙස නම් කෙරුණේ Christy Walton සමාගම අත්කර ගැනීමත් සමඟය. “ෆෝබ්ස්” සඟරාව ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර ඇය ද තබා තිබේ.

පසුගිය වසර කිහිපය තුළ ඇයගේ ආදායම පහත වැටීමක් පෙන්නුම් කළ ද තවමත් ඇය ලොව ධනවත්ම කාන්තාවන් සහ බලපෑම් සහගතම ව්‍යවසායිකාවන් අතර සිටී.

 

 

Comments