ලොව වටා | සිළුමිණ

ලොව වටා

බ්‍රිතාන්‍ය

අනතුරේ...

වෛද්‍යවරු

පවසති

 

 

 

ඉදිරි මාසවලදී බ්‍රිතාන්‍යයට උදාවිමට නියමිත ශීත ඍතුව බෙහෙවින් අනතුරුදායක බව බ්‍රිතන්‍යයේ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ. ඒ කොවිඩ් පැතිරීම සම්බන්ධයෙනි. ශීත ඍතුවේදී කොවිඩ් පැතිරීම වේගවත් වනු ඇති බවට ඔවුන් දත්ත මඟින් අනුමාන කර තිබේ. මේ මතයට එකඟව අදහස් පළ කරන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව බ්‍රිතාන්‍ය තුළ දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිරි දිනවලදී දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,00,000 ඉක්මවා යනු ඇති බවයි. මෙලෙස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන විට මරණ සංඛ්‍යාවද ඉහළ යෑම වැළැක්විය නොහැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ. මේ අතර පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් රුසියානු ජනතාවට සතියක කාලයක් විවේක ගන්නා ලෙස පවසා සිටියේ මේ වන විට රුසියාව තුළ කොවිඩ් මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින නිසාවෙනි.

 

 

ඇබෑර්තු මිලියන් ගණනක්

ඒත් සේවකයන් නැහැ

 

 

 

ලොව පුරා රැකියා ඇබෑර්තු මිලියන් ගණනක් තිබුණද ඒවා පිරවීමට ප්‍රමාණවත් තරම් සේවකයන් නොමැති බව ආර්ථීක විශේෂඥයන් පෙන්වා දී තිබේ. මේ හේතුවෙන් ලොව පුරා බොහෝ ව්‍යපාර බිඳ වැටීමේ තර්ජනයක්ද උද්ගත වී ඇතැයි වාර්තා වේ. මේ රැකියා ඇබෑර්තු බොහොමයක් වාර්තා වන්නේ කාර්මික සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවලිනි. අද වන වැඩි දෙනා ශ්‍රමය කැප කිරීමේ රැකියාවන්වල නිරත වීම ප්‍රතික්ෂේප කරන බැවින් මේ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා මිලියන් ගණනක ඇබෑර්තු ඇති වී තිබේ.

පසුගිය දිනවල ඕස්ට්‍රේලියාව කෘෂිකාර්මික ක්ෂේත්‍රවල රැකියාවන්හි නිරත වීම සඳහා තම රටට පැමිණෙන පුද්ගලයන්ට පුරවැසිභාවය ලබා දෙන බවට නීතියක්ද සම්පාදනය කළ අතර එම නීතිය යටතේ තම රටට පැමිණෙන ලෙස ලොව පුරා ජනතාවට ආරාධනයක්ද කළේය. කෙසේ වුවද ප්‍රමාණවත් ශ්‍රමිකයන් නොමැති වීම ලොව පුරා බොහෝ ව්‍යපාරවලට දිනෙන් දින එල්ල වන තර්ජනයක් ලෙස හඳුනා ගත යුතුව ඇතැයි ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

 

 

යුරෝපය රුසියාවේ

ප්‍රාණ ඇපකරුවෙක්

ඇමරිකාව කියයි

 

 

 

 

ගෑස් ඇතුළු බලශක්තිය ලබා ගැනීමේදී යුරෝපා මහාද්වීපය රුසියාව මත අති විශාල ලෙස පරායත්ත වීම නිසා යුරෝපය රුසියාවේ ප්‍රාණඇපකරුවකු බවට පත්වී ඇතැයි ඇ‍ෙමරිකාව පවසා තිබේ. මේ වන විට යුරෝපයට ගෑස් හිගයක් ඇතිවීම වැළැක්වීමට රුසියාව මේ වන විට ගෑස් සැපයීම වැඩි කර ඇති අතර එය යුරෝපය රුසියාව මත අති දරුණු ලෙස රඳා පැවතීමක් ලෙස විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබේ. අවශ්‍ය වුවහොත් බලශක්තිය සැපයීම අඩාල කරමින් මුළුමහත් යුරෝපා මහාද්වීපයම අඩපන කර දැමීමේ හැකියාව මේ වන විටද රුසියාව සතු වේ.

 

ඇන්ජලා නැත්නම්

ඡන්දෙත් නෑ

 

ජර්මනියේ හිටපු චාන්සලර්වරියා වන ඇන්ජලා මර්කල් නොමැති නම් තමන් කාට ඡන්දය පාවිච්චි කළ යුතු දැයි තමන්ම නොදන්නා බව බොහෝ ජර්මන් ජාතිකයන් පවසන බව වාර්තා වේ. එමෙන්ම ඇන්ජලා මර්කල්ගේ සමුගැනීමෙන් පසු පැවති මැතිවරණයෙන් ඇයගේම පක්ෂය පරාජය වීමට හේතුවද මෙලෙස ජනතාව ඡන්දය භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීම බවද විචාරකයන් පෙන්වා දී තිබේ. පැවති මැතිවරණයෙන් ජර්මනියේ කිසිඳු දේශපාලන පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ලැබුණෙ නැත.

 

Comments