
තම සිරුරේ අයිතිය තමන්ටය. ඒ ගැන කිසිඳු විවාදයක් නැත. එහෙත් තම සිරුරේ අයිතිය ආරක්ෂා කර ගැනීමට අහිංසක ජිවිතයක් නසා දමන්නේ නම් ඒ අයිතිය ලබා දීම සම්බන්ධව දෙවරක් සිතිය යුතුය. පසුගියදා ඇමරිකාවේ ප්‍රාන්ත පනහකදී ජනතාව විශාල වශයෙන් වීථි බසිමින් එරට නීති සම්පාදකයන්ට බල කරමින් පවසා සිටියේ ඇමරිකානු කාන්තාවන්ට ගබ්සා කිරීමේ අයිතිය නීති ගත කළ යුතු බවය. ගබ්සා කිරීමේ අයිතිය ලබා දිය යුතු බවය.
මේ උද්ඝෝෂණ සඳහා සහභාගී වූ අති බහුතරය කාන්තාවන් වූ අතර ඔවන් මේ උද්ඝෝෂණ සඳහා පෙලඹිමට ප්‍රධාන හේතුව වුයේ පසුගියදා ටෙක්සාස් ප්‍රාන්ත අධිකරණය විසින් ගබ්සා කිරීමට අදාළව නීති පැනවීමයි. එහිදී ටෙක්සාස් ප්‍රාන්තය තුළ සියලු ආකාරයේ ගබ්සා කිරීම් තහනම් කරනු ලැබූ අතර මිසිසිපි ප්‍රාන්තයද ඒ හා සමාන නීති ගෙන ඒමට කටයුතු කරන බවට තොරතුරු පැතිර ගියේය.
ඇෙමරිකානු කාන්තාවන් තම සිරුරේ අයිතිය තමාට ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ පැවැත්වූයේ මේ සමගිනි. ඇමරිකාව පුරා ප්‍රාන්ත 50කදී මේ උද්ඝෝෂණ ක්‍රියාත්මක වූ අතර වොෂිංටන් නගරයේදී පමණක් 50,000කට අධික කාන්තාවන් පිරිසක් මේ උද්ඝෝෂණ සඳහා සහභාගී වූ බවට වාර්තා විය. ඔවුන් ප්‍රධාන වශයෙන්ම පවසා ඇත්තේ තම සිරුරේ පවතින කළලය තමන්ට අවශ්‍ය නොවේ නම් ගබ්සා කිරීමට තමන්ට අවස්ථාව ලැබිය යුතු බවයි. කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලැබීමට නම් එසේ කිරීමට අවසර ලැබිය යුතුම බවට ඔවුහු බල කර සිටිනු දැක ගත හැකි වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
කිසියම් අන්දමක හැඟීම්බර බවකින් යුක්තවූ සටන් පාඨ සහිතව පැවැත්වුණු මේ විරෝධතා මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්ව තිබිණි. එහෙත් මේ සම්බන්ධව අදහස් දැක්වූ ඇතැම් දෙනා පවසා ඇත්තේ ගබ්සා කිරීම සඳහා වන නීති ලිහිල් කිරීම තුළ බොහෝ මනුෂ්‍ය ඝාතන සිදුවීමට ඉඩකඩ ඇති බවයි. ඇතැම් රටවල ගබ්සා කිරීමට නීතියෙන් අවසර ලැබී තිබේ. පසුගිය වසරේදී ආර්ජන්ටිනාව තම ජනතාවට ගබ්සා කිරීමේ අයිතිය ලබා දුන් අතර ඇමරිකාවේද ඇතැම් ප්‍රාන්තවල ගබ්සා කිරීමට අදාළව යම් යම් නිතිමය සහන ජනතාවට ලබා දී තිබේ.
එහෙත් පාප් වහන්සේ ප්‍රධාන කතෝලික සභාව ගබ්සා කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් එය සමාන කරන්නේ මනුෂ්‍ය ඝාතනයකටය. කතෝලික සභාවේ බලපෑම නොවන්නට බොහෝ රටවල් ගබ්සා කිරීමට නීතිමය අවසරය ලබා දෙනු ඇති බවට සැකයක් නැත.
එහෙත් සැබවින්ම ගබ්සා කිරීමට අවසර ලබා දීම යනු ඉතා සැලකිල්ලෙන් කළ යුතු කාර්යයක් බව කිව යුතුය. අන්තනෝමතික ලෙස ගබ්සාවට අවසර ලබා දීම තුළ කාන්තාවන්ට උපරිම නිදහසක් සහ සමාන අයිතිවාසිකම් හිමි වනු ඇති බවට සැකයක් නැත. එහෙත් වඩාත්ම යෝග්‍ය වනු ඇත්තේ ගබ්සා කිරීම නොව අනවශ්‍ය දරු උපත් වැළැක්වීමට ජනතාව දැනුම්වත් කිරීම සහ ඒ සඳහා අදාළ පහසුකම් ජනතාවට පහසුවෙන් ලබා ගත හැකි පරිදි සම්පාදනය කිරීමය. අන්තනෝමතික ගබ්සාවන් සඳහා ලැබෙන අවසරය අවසානයේ නිමක් නොවන කළල සංහාරයක් බවට පත් වනු ඇත්තේ නිතැතින්මය. තම සිරුරේ අයිතිය තමන්ට බවට තර්කයක් නැත. එහෙත් කිසිදු හඬක් නොමැති අහිංසක ජීවියෙකු එම අයිතිය වෙනුවෙන් ඝාතනය කර දැමීම අනුමත කළ නොහැකිය.
ස්ත්‍රී දූෂණයකදී හෝ අසම්පූර්ණ කළලයක් කුස තුළ වැඩෙන අවස්ථාවකදී වැනි විශේෂ අවස්ථාවන් සඳහා ගබ්සාවට නිතිමය අවසර ලබා දිය හැකි නම් එය දෙපාර්ශ්වයටම සාධාරණ තීන්දුවක් වනු ඇත