
ජෝන් ස්ටීන්බෙක්ට අනුව රචනාවක් විනාශ කරන ප්‍රධාන සාධක දෙකක් තිබේ. එක; සංස්කරණය යි. දෙක; රී - රයිටින් හෙවත් නැවත ලිවීම යි. සංස්කරණය නිසා මුල් රචකයාගේ භාෂාව, ශෛලිය හා රචනාවේ අඛණ්ඩතාව විනාශ වෙයි. නැවත ලිවීම හෙවත් ප්‍රති - රචනය නිසා කතාවේ අන්තර්ගතය, කතා වස්තුව හා කතාවේ හැඩය විකෘති වෙයි. මේ අනුව ඉහත සාධක දෙක ම අත්හළ යුතුය...... ඔබට ස්ටීන්බෙක් සමඟ එකඟ විය හැකි ද?
කර්තෘගේ ඉරියවුවලින් කොපියේ තරම මැන ගත හැකි ය. එය හරියට ම හෘද - ස්පන්දනය හා රුධිර පීඩනය අතර පවත්නා සම්බන්ධය මෙනි.
ඔහු කොපිය අල්ලන ආකාරය, උපැස් යුවළ රඳවන ස්ථානය පමණක් නො ව; තට්ට හිස පිරිමදින රිද්මය වුව කොපිය පිළිබඳ ඉඟියක් වන්නට පුළුවන.
කර්තෘගේ නළල මත රැලි හතර ම ගැඹුරින් සටහන් වී ඇතොත් කොපිය හොඳට ම අවුල් ය. එය සහමුලින් ම රී - රයිට් කරන්නට සිදු වේ. රී - රයිට් හෙවත් නැවත ලිවීම හඳුන්වන නව යෙදුම වන්නේ ප්‍රති - රචනය යන්න ය.
නැවත ලිවීම පත්තර කලාවේ ද ප්‍රබන්ධ කලාවේ ද මූලධර්මයක් ලෙස පවතී. පරිසමාප්ත ලියැවිල්ලක් සඳහා නැවත ලිවීම අවශ්‍ය බව බොහෝ දෙනකුගේ පිළිගැනීම වෙයි. ‘රී - රයිටින් ඊස් බෙස්ට් රයිටින්‘ යනුවෙන් කියමනක් ද තිබේ.
අර්නස්ට් හෙමින්ග් වේ ස්වකීය ප්‍රබන්ධ කථා ගැන තබා ඇති සටහන් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ “ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී“ නවකතාව දෙසිය වාරයක් සංස්කරණය කර ඇති බව හා “ෆෙයාර් වෙල්ස් ටු ආමි“ නවකතාවේ අවසන් පිටුව තිස් නම වතාවක් නැවත ලියා ඇති බව ය.
නැවත ලිවීම හැම අතින් ම පාහේ දුෂ්කර අභ්‍යාසයකි. ඒ සඳහා සුදුසුකම් කිහිපයක් සපුරා ගත යුතුය.
(I) අදාළ විෂය හා එහි නව ප්‍රවණතා පිළිබඳ දැනුම
(II) භාෂා දැනුම හා වාක්‍ය රටා ගොඩනැඟීමේ හැකියාව
(III) කතා වස්තු නිර්මාණය කිරීමේ හැකියාව
නැවත ලිවීම ආකාර කිහිපයකට අවස්ථා තුනක දී සිදුකරනු ලැබේ. පළමු අවස්ථාව වන්නේ රචකයා ම ඉදිරිපත් වී වාර ගණනාවක් පුරාවට නැවත ලිවීම ය.
ඊට සීමාවක් නැත. දෙවන අවස්ථාව වන්නේ සංස්කාරක මණ්ඩලය විසින් සිදු කරනු ලබන නැවත ලිවීම ය. තෙවන අවස්ථාව වන්නේ කතුවරයා හා සංස්කාරක මණ්ඩලය ඒකාබද්ධ ව කරනු ලබන නැවත ලිවීම ය.
ලොව ප්‍රකට පොත් සමාගම් ඉහත කී අවස්ථා තුන ම භාවිත කරයි. පුවත්පතක දී නම් “සබ් ඩෙස්ක්“ හෙවත් උපකර්තෘ මණ්ඩලය එය සිදු කරයි. ඇතැම් පුවත්පත් ආයතන “රී - රයිටර්ස්“ නමින් වෙන ම පිරිසක් බඳවා ගනිති.
පුවත්පතක දී නම් සිය ශෛලිය, ආකර්ෂණය, පැහැදිලිතාව හා ආචාර ධර්ම පවත්වා ගැනීම සඳහා නැවත ලිවීම සිදු කරයි. ප්‍රබන්ධ කථා නැවත ලිවීම සඳහා භාවිත කරන උපාය මාර්ග කිහිපයක් ඇත.
(I) කතාවේ ගැටලු තැන් ලැයිස්තු ගත කිරීම
(II) කළ යුතු වෙනස්කම් ලැයිස්තු ගත කිරීම
(III) පරිච්ඡේද හෝ දර්ශන වෙන - වෙන ම නැවත ලිවීම
(IV) සංවාද නාට්‍යානුසාරයෙන් කියවමින් නැවත ලිවීම
(V) පාත්‍ර වර්ගයා තේමාව දෙසට යොමු කිරීම
ඉහත විස්තරවලින් කරුණු දෙකක් පැහැදිලි වෙයි. ඉන් පළමුවැන්න නම්; නැවත ලිවීම අත්‍යවශ්‍ය කාරණයක් බව ය. දෙවන්න නම් ; ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් භාවිත කළ යුතු බව ය.
එහෙත් සංස්කරණය හා නැවත ලිවීම මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන ප්‍රසිද්ධ ලේඛකයෝ සිටිති. ඉන් ප්‍රකට රචකයෙක් වන්නේ අමෙරිකන් නවකතාකරුවකු වන ජෝන් ස්ටීන්බෙක් ය.
ඔහු අර්නස්ට් හෙමින්ග් වේ තරම් ම වටිනා ප්‍රබන්ධ කථා රචකයෙකි. ඇතැම් විට හෙමින්ග් වේටත් වඩා ඉදිරිගාමී වූ ස්ටීන්බෙක් 1962 දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ය. ඊට පෙර 1940 දී පුලිස්ටර් ත්‍යාගය දිනා ගැනීමට ද සමත් වූයේ ය.
ස්ටීන්බෙක්ගේ සාහිත්‍ය කාර්යභාරය දෙස ආපසු හැරී බලන විට ලෝක සංවාදයට ලක් වූ කෘතීන් විසි හතක් රචනා කර ඇත. දේශපාලන ලිපි සිය ගණනක් ලියා ඇත. නාට්‍ය පිටපත් කිහිපයක් හා තිරනාටක කිහිපයක් රචනා කර ඇත. මුහුදු ගවේෂණයට අදාළ කෘතීන් තුනක් ලියා ඇත.
ස්ටීන්බෙක් යනු අත්දැකීම් සම්භාරයකින් සමන්විත පරිණත ලේඛකයෙකි. ඔහු වාර්තාකරුවකු ලෙස ද, කතා රචකයකු ලෙස ද සිය ලේඛන අභ්‍යාස පවත්වාගෙන ගොස් තිබේ. ඔහු ප්‍රබන්ධ කථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන උපදේශන කිහිපයක් ඇත.
(I) සරල, ඍජු, පැහැදිලි වාක්‍ය රටා කතාවට යොදා ගන්න.
(II) සංස්කරණයට හා ප්‍රති - රචනයට කිසිවිටක ඉඩ නො තබන්න.
(III) හැඟීම් හා ආවේග වියැළී යන්නට පෙර වේගවත් ව ලියන්න.
(IV) චරිත හා සිද්ධි අන්තර්ගතය දෙසට යොමු කරන්න.
(V) සංවාද ලිවීමට පෙර ඒවා ශබ්ද නඟා කියවන්න.
ස්ටීන්බෙක් භාවිත කරන්නේ කෙටි වාක්‍ය සහිත ඍජු ප්‍රකාශන රීතියකි. එම වක්‍ය එකිනෙකට ගැළපී අපූරු - සජීවී දර්ශනයක් මවයි.“ද පර්ල්“ නම් නවකතාවේ ආරම්භය ඊට කදිම නිදසුනකි.
"Kino awaRend in the near dark. The Hart Hill shone and the day had drawn a pale wash of light in the lower sky to the east."
ස්ටීන්බෙක් යනු භූමිය හා මිනිසා අතර පවත්නා සම්බන්ධය ගැඹුරින් අධ්‍යයනය කළ තැනැත්තෙකි.
“ද ග්‍රේප්ස් ඔෆ් වර්ත්“ “ඩස්ට් බොව්ල්“ වැන් නවකතා අධ්‍යයනය කරන විට ඒ බව හොඳින් සනාථ වෙයි. එහෙත් ඔහු දීර්ඝ පරිසර වර්ණනා ඉදිරිපත් කරන්නේ නැත. අපේ නවකතාකරුවෝ පරිසර වර්ණනා සඳහා නො ව; පරිසර විස්තර සඳහා පරිච්ඡේද ගණන් වෙන් කරති. එය කෙතරම් නීරස ද යත්; පාඨකයෝ එම විස්තර අතහැර කතාව කියවන්නට උත්සුක වෙති.
සමහර ලේඛකයන්ට පරිසර විස්තර නිසා කතාව අමතක වන අවස්ථා තිබේ. පරිසරය යොදා ගත යුත්තේ කතාවේ සිද්ධි හා චරිත නිරූපණයට අදාළ අවශේෂ සාධකයක් හැටියට ය. ජෝන් ස්ටීන්බෙක් එම කාර්යය මනාව ඉටු කරයි.
ස්ටීන්බෙක් සංස්කරණය හා ප්‍රති - රචනය ප්‍රතික්ෂේප කරන්නේ හේතු - සාධක සහිතව ය.
හැබෑවට ම ඔහුගේ මුල් කොපියේ කපා හරින්නට හෝ නැවත ලියන්නට හෝ දෙයක් නො තිබෙන්නට පුළුවන. ඔහු මනාව සිද්ධි ගළපමින් කතා වස්තුව ගොඩනඟයි.
කතාවට පැහැදිලි ආරම්භයක් හා පැහැදිලි අවසානයක් ඇති කරයි. කතුවරයාගේ විග්‍රහ, විවේචන, විවරණවලින් ඉවත් වන ස්ටීන්බෙක් වැඩි පුරසාරම් නැතිව කතාව විකාශය කරයි.
ඔහු බොහෝ විට ප්‍රථම පුරුෂ දෘෂ්ටි - කෝණය භාවිත කළේ ය. ඇතැම් කතාවක ප්‍රධාන චරිතයක් නැත. පාත්‍ර - වර්ගයා සමපාත ලෙස තේමාව දෙසට යොමු කිරීම කතුවරයාගේ උපාය මාර්ගය වී තිබේ.
බටහිර සම්භාව්‍ය නවකතාවට සම්බන්ධ කතා වස්තු ගොඩනැඟීමේ සූත්‍රයක් පවතී. එහි අවස්ථා පහක් ගැන සඳහන් වෙයි. චරිත හඳුන්වා දීම හා ගැටුමක ආරම්භය, ගැටුම තීව්‍ර කිරීම, උපරිමය, කතාවේ සන්ධිස්ථානය හා නිමාව යන ලෙසින් එම අවස්ථා පහ දක්වා ඇත. මෙහි එන නිමාව යන්න විසැඳුම ලෙස ද හැඳින් වේ. සංස්කෘත නාට්‍ය කලාවේ කතා - වස්තු නිර්මාණයට ද මෙබඳු සූත්‍රයක් තිබේ. ආරම්භ, යත්න, ප්‍රාප්ත්‍යාශා, නියතාප්ති, ඵලාගම ලෙසින් එය දැක් වේ. ස්ටීන්බෙක්ගේ කතා - වස්තු ගොඩනැඟීම ද මේ සූත්‍ර සමඟ හොඳින් ගළපා ගත හැකි ය. “ද පර්ල්“ නවකතාව ආශ්‍රයෙන් එය පැහැදිලි කළ හැකි ය.
කතාවේ පළමු පරිච්ඡේදය වෙන් වන්නේ චරිත හඳුන්වාදීමට හා ගැටුම ආරම්භ කිරීමට ය.
කීනෝ, හවානා, ඔවුන්ගේ අසල්වාසින් මෙන් ම වෛද්‍යවරයා හඳුනා ගැනීමට මෙහි දී අවස්ථාව ලැබේ.
ඒ සමඟ ගැටුම ආරම්භ වන්නේ කීනෝ හවානා යුවළගේ කුඩා දරුවා වූ කොයියෝට්ටෝ ට ගෝනුස්සකු දෂ්ට කිරීමෙන් ය. ඉක්බිති දරුවා බේරා ගැනීම සඳහා සටන ආරම්භ වෙයි. කීනෝ ළඟ මුදල් නැති බැවින් දොස්තර ඔහු ප්‍රතික්ෂේප කරයි.
දොස්තර කියා සිටින්නේ පුංචි ඉන්දියානුවෙක් බේරා ගන්නට තමන් පශු වෛද්‍යවරයකු නොවන බව ය. ඊළඟට කීනෝ මුදල් සෙවිය යුතු ය.
ඔහු පුරුදු රස්සාවට යයි. ඒ මුහුදේ කිමිදී මුතු බෙල්ලන් ඇහිලීම ය. පාඨකයාගේ අවධානය වෙනත් දෙසකට යොමු කරමින් කීනෝට ලොව වටිනා ම මුතුඇටය ලැබේ. ඉන්පසු නගරයේ ධනවත්තු ද, දොස්තර ද කීනෝ වෙතින් මුතුඇටය ලබා ගැනීමට උපාය මාර්ග යොදති.
ගෝනුසු දෂ්ඨනය නිසා දරුවා මිය යෑමත්, මුතුඇටය සොරකම් කිරීමට හොරුන් කඩා වැදීමත් කතාවේ සන්ධිස්ථාන ලෙස ගත හැකි ය. දරුවා මිය යන්නේ වෛද්‍යවරයා ලබා දෙන වැරැදි ඖෂධ නිසා ය.
මුතුඇටය සොරකම් කිරීමට එන සොරුන් කීනෝ ගේ ප්‍රහාරවලින් මිය යෑම විශේෂත්වයකි. කතාව තුළ අපරාධයක් නිර්මාණය වෙයි. කීනෝ ඝාතකයකු බවට පත් වෙයි. ලෝකයේ වටිනා ම මුතුඇටය දුප්පත් ඉන්දියානුවාට හා ඔහුගේ පවුලට කිසිවක් ම ලබා දී නැත.
කතාව නිමාවට පත් වන්නේ කීනෝ කළපුවට ගොස් මුතුඇටය මුහුදට නිදහස් කිරීමෙන් ය. නූතන සමාජ ක්‍රමය දිළින්දාට හිමි අයිතිය පමණක් නො ව; වාසනාව ද අහිමි කරන බව ස්ටීන්බෙක් කියයි. ශෝක ගීතයක් සේ විකාශය වන කතාව තුළ දේශපාලන දැක්මක් ද තිබේ.
ජෝන් ස්ටීන්බෙක්ගේ ‘ද පර්ල්‘ නවකතාව විමලදාස සමරසිංහ විසින් සිංහලට නඟා තිබේ. සමරසිංහ මහතා ස්ටීන්බෙක්ගේ ශෛලිය හොඳින් වටහාගෙන නිවැරැදි පරිවර්තනයක් කර ඇති බව කිව යුතු ය. කතාවට යොදා ඇති සිරස වන්නේ “සරණාගත“ යන්න ය. එය අපූරු පරිවර්තනයකි.
ස්ටීන්බෙක් සංස්කරණය හා නැවත ලිවීම ප්‍රතික්ෂේප කරන්නේ ඔහුට සාපේක්ෂව කතා කලාව විග්‍රහ කරමින් ය. ඔහුගේ එක් තර්කයක් වන්නේ ලියන්නට පෙර ඒ පිළිබඳ පැහැදිලිතාවක් හා සැලැසුමක් ඇති කර ගත යුතු බව ය. ඔහු එය කොටස් තුනකට බෙදා දක්වයි.
තමන් දන්නේ මොනවා ද? තමන් දුටුවේ කුමක් ද? තමන්ගේ හැඟීම් කවරාකාර ද? ඒ පිළිබඳ විනිශ්චයක් ඇතිව ලිවීම ආරම්භ කළ යුතු බව ස්ටීන්බෙක් කියයි. අන්තර්ගතය හා තේමාව මඟින් ලක්ෂය ලෙස පවත්වා ගනිමින් පරිධියේ ඇති සිද්ධි හා චරිත රේඛා මඟින් මධ්‍ය ලක්ෂය වෙත යා කිරීම ස්ටීන්බෙක්ගේ තවත් උපාය මාර්ගයකි. ඒ මඟින් චරිත හා සිද්ධි ඉබාගාතේ හැසිරීම වළක්වා ගත හැකි ය.
සංවාද නවකතාවක ප්‍රධාන ලක්ෂණයකි. ස්ටීන්බෙක් චරිතවලට සුදුසු සංවාද තෝරා ගැනීමට සමත් විය.
ඔහුගේ කම්කරු ප්‍රජාව භාවිත කරන්නේ කම්කරුවන්ගේ භාෂාව ය. කම්කරුවෝ උගත්තු ලෙස කතා නො කරති. ස්ටීන්බෙක් සංවාද සම්බන්ධයෙන් ලබා දුන් උපදේශනයක් වන්නේ ඒවා හඬ නඟා කියවන්න යන්න ය.
එයින් සංවාදවල ස්වාභාවිකත්වය සේ ම රිද්මය ද ආරක්ෂා වෙයි. අපේ ලේඛකයෝ සංවාද ලියාගෙන ගොස් එය අවසන් කර ගැනීමට නො හැකි ව දඟලති. පිටු ගණන් ඒ සඳහා වැය කරති.
සංවාදයක් යනු ප්‍රශ්නයක් හා උත්තරයක් නො වන බව තව ම අපේ ලේඛකයන් වටහාගෙන නැත.
ජෝන් ස්ටීන්බෙක් වරක් හරි අමුතු මතයක් පළකර තිබේ. එනම්; අදහස් හරියට හාවුන් වගේ ය යන්න ය. ඉන් හා ජෝඩුවක් ගෙන ඔවුන් නිවැරැදිව හසුරවන්නට ඉගෙන ගත යුතු බව ද එහි ප්‍රතිඵලය ලෙස හොඳ හාවුන් දුසිමක් අපට ලැබෙන බව ද ස්ටීන්බෙක් අවධාරණය කරයි.
ඉබේ පහළ වන අදහස් හසුරුවා ගත යුතු බව ඉන් කියැ වේ. ස්ටීන්බෙක් වෙතින් ලේඛන කලාව සඳහා ලබාගත හැකි පාඩම් ගණනාවක් තිබේ.
(I) සෑම ක්ෂේත්‍රයක ම අත්දැකීම් ලබා ගන්න.
(II) අරමුණක් හා ඉලක්කයක් ඇති ව ලියන්න.
(III) අදහස, හැඟීම් හා භාෂාව හසුරුවා ගන්න.
(IV) පැහැදිලි කතා වස්තුවක් ගොඩනඟන්න.
කැලිෆෝනියාවේ ආර්ථිකය, සැලීනා නිම්නයේ දුහුවිල්ල, වගා බිම්වල කම්කරුවන්ගේ සිහින, රාජ්‍ය ප්‍රතිපත්තිවල වැරැදි, 1930 ගණන්වල ලෝක ආර්ථික අවපාතය ස්ටීන්බෙක්ගේ අධ්‍යයනයට හසු වූ විෂය ක්ෂේත්‍ර වෙයි.
“මයිස් ඈන් මෙන්“ “ද ග්‍රේප්ස් ඔෆ් වොර්ත්“ වැනි විශිෂ්ට නවකතා රචනා වන්නේ එම අත්දැකීම් ඇසුරෙන් ය. “ඔස්ට් බොවුල්“ නවකතාවට පාදක වන්නේ සැලීනා නිම්නයේ ස්වාභාවික වෙනස්වීම් ය.
වසර හයක් පුරාවට වැස්ස නො දුටු කාලයක් සැලීනා නිම්නයට තිබිණි. එම කාලය තුළ දූවිලි කුණාටු ජනාවාස හරහා හමා ගියේ ය. දිළිඳු ජනතාව පසු වූයේ ජීවිතයත් - මරණයත් අතර සටනක ය. ස්ටීන්බෙක් සංවේගජනක ලෙස එම අත්දැකීම් නිරූපණය කරයි.
ස්ටීන්බෙක්ගේ හොඳ ම මිතුරා වූයේ එඩී රිකට්ස් ය. ඔහු රසායනාගාරයක් පවත්වාගෙන ගිය විද්‍යාඥයෙකි. ස්ටීන්බෙක් එඩී කැටුව මැක්සිකන් මුහුදේ ගවේෂණ කටයුතුවල යෙදුණෝ ය.
“ද පර්ල්“ නවකතාව ලියැවෙන්නේ එම අත්දැකීම් පාදක කරගෙන ය. ස්ටීන්බෙක්ගේ එක් උපාය මාර්ගයක් වන්නේ විවිධ තරාතිරම්වල මිනිසුන් ඇසුරු කිරීම ය. එය ජීවිතය හා සමාජය වටහා ගැනීමේ සාර්ථක ක්‍රමෝපායකි.
ඔහු දේශපාලනයට සම්බන්ධ ය. කොමිනිස්ට්වාදීන් ආශ්‍රය කළේ ය. එය සමාජ ක්‍රමය වටහාගැනීමේ උපාය මාර්ගයකි. ස්ටීන්බෙක් ලිවීම සඳහා භාවිත කළේ පැන්සල් ය.
කතාවක් ලිවීමට පෙර පැන්සල් මිටියක් උල් කර පෙට්ටියක ලා තබා ගැනීම ස්ටින්බෙක්ගේ එම පුරුද්දෙහි අර්ථය කුමක්දැ‘යි වටහා ගත නො හැකිය.
ස්ටීන්බෙක් ජීවිතය හොඳින් වින්දේ ය. වයින් බොමින් හා දුම් උරමින් ජීවිතයේ අරමුණු ගැන කල්පනා කළේ ය. ඔහු සිටින දුටුවේ ය. තෙවරක් විවාහ වුණේ ය. පෙම්වතියන් පසු පස හඹා ගියේ ය. එකෝඩියනය වාදනය කරමින් සිංදු කිව්වේ ය.
එලෙස ම තම වගකීම් ද ඉටු කළේ ය. පිටු හාර සියයක නවකතාවක් ලියන ලේඛකයා දවසකට එක පිටුවක්වත් ලියන්නට වුවමනා බව ඔහු කියා සිටියේ ය. ස්ටින්බෙක්ගේ ලියැවිල්ල වේගවත් ය. එලෙස ම නිවැරැදි ය. එබැවින් කපා හරින්නට හෝ නැවත ලියන්නට හෝ දෙයක් එහි නැත.