
මෙවර අයවැය ඇති හැකි අය නොව නැති බැරි අය දිනවන නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරගත් අයවැයක් බවත් එන්නත්කරණය සාර්ථකව නිමා කිරීමෙන් එහි ඉහළම ප්‍රතිඵල ලබාගත හැකි බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් ප්‍රකාශ කළේය.
අයවැයේදී භූමිය සහ සම්පත් හැකිතාක් කාර්යක්ෂමව යොදා ගන්නා වැඩපිළිවෙළක් සකස්වනු ඇත. එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකයට කුමන දුෂ්කරතා තිබුණද රාජ්‍ය සේවකයන්ගේ හෝ විශ්‍රාමිකයන්ගේ වැටුප් කිසිදු කප්පාදුවක් සිදු නොකර ලබාදෙන බවද මුදල් ඇමැතිවරයා අවධාරණය කළේය. සෞභාග්‍යයේ දැක්ම අනුව සියලු නිෂ්පාදන, ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කාර්යයන් අඛණ්ඩව සිදු කිරීමට ද රජය තීරණය කර තිබේ.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් මෙම කරුණු අනාවරණය කළේ මුදල් අමාත්‍යාංශයේදී ඉකුත් සිකුරාදා පස්වරුවේදී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමුවකදී ය. සංවේදී වීම යනු දුර්වලකමක් නොවන බව එහිදී අවධාරණය කළ මුදල් ඇමැතිවරයා රජය සංවේදී බැවින් ඇතැම් තීරණ ගැනීමේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් බැරැරුම් ලෙස සලකා බලන බව ද කියා සිටියේය. ව්‍යාපාරිකයන්ට සහ වාණිජ අංශයට මෙවර අයවැයෙන් අවශ්‍ය දිරිගැන්වීම් සකස් කිරීමට ද රජය තීරණය කර තිබේ.