ජර්මනියේ පීසා බෙදන ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍ය ඇමති | සිළුමිණ

ජර්මනියේ පීසා බෙදන ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍ය ඇමති

ජීවිතයක ඉරණම වෙනස් වන්නට යන්නේ ඉතා සුළු මොහොතක් පමණි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ඇෆ්ගනිස්තාන ජනතාව පසුගිය ඉතා කෙටි කාලය තුළ මුහුණ දුන් කටුක අත්දැකීම් රාශියයි. මැයි මාසයේ ආරම්භ වී මාස තුනක කෙටි කාලයක් ඇතුළත තම වත්කම් ඇතුළුව උන් හිටි තැන් පවා අහිමිව ගිය ජනතාව අතර තම රටින් සරණාගතයන් ගේ බැහැර වීමට සිදුවූ ජනතාවද, ගුවන් යානාවලින් ඇද වැටී මියගිය ජනතාවද ජීවිතයේ අනිත්‍ය පිළිබඳ සනාතනික දහම ලොවට මැනවින් අවබෝධ කර දීමට සමත් විය.

 

ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති අශ්රෆ් ගානිගේ රජයේ ජනමාධ්‍ය ඇමතිවරයා ද ලොවට කියා දෙන්නේ එවන් වූ පාඩමකි. ධනය, බලය මෙන්ම තනතුරුද කොතෙක් අස්ථාවර යන්න ඔහු මේ දිනවල ප්‍රායෝගිකම ලොවට පෙන්වා දෙන්නේ ප්‍රංශයේ ජර්මනියේ නිවෙස් වෙත කෑම බෙදාහරින්නෙකු ලෙස රැකියාව කරමිනි.

ෂා සදාත් නම් වන මේ හිටපු ඇමතිවරයා තම තනතුර අතහැර ජර්මනියට පැමිණ ඇත්තේ ජීවිතාරක්ෂාව මෙන්ම වැඩි මුදලක්ද උපයා ගැනීම අරමුණ කර ගනිමිනි. ඔහු ඇෆ්ගනිස්තානයේ උපත ලබා පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රික් ඉංජිනේරු විද්‍යාවද හදාරා ඇත්තේය. පසුව සියරට පැමිණි ෂා සදාත්ට ජනමාධ්‍ය ඇමතිධූරය ලබා දීමට හිටපු ජනාධිපති අශ්රෆ් ගානි කටයුතු කර ඇත්තේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම්ද සලකා බලමිනි.

එහෙත් ඇමරිකාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යෑමට සූදානම් වන බවට ඉඟි පළවීමත් සමඟ පසුගිය වසරේ සැප්තැම්බරයේදී එරටින් පිටත්ව ජර්මනියට පැමිණ තිබේ. එතැන් සිට ඔහු කුඩා ඉඩක ජිවත් වෙමින් රැකියාව ලෙස පීසා ඇණවුම් නිවෙස් වෙත ගෙන ගොස් බාර දෙමින් ජිවිකාව උපයා ගනිමින් සිටී.

Comments