ගහපු පදේකුත් නැති බෙරේ පලුවකුත් නැති ඇෆ්ගන් යුද්ධය ඉවරයි | සිළුමිණ

ගහපු පදේකුත් නැති බෙරේ පලුවකුත් නැති ඇෆ්ගන් යුද්ධය ඉවරයි

‘ගහපු පදේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ’ යනුවෙන් සිංහල ව්‍යවහාරයේ කියමනක් තිබේ. ඇෆ්ගනිස්තාන භූමියේ වසර විස්සක් පුරා තමන් නිරත වූ යුද්ධය අවසන් කළ බවට ඇමරිකාව කළ ප්‍රකාශයට මේ හා සමාන කළ හැකි අන් කිසිඳු කියමනක් නොමැති තරම් යැයි සිතේ. ඒ ඇමරිකාව අවසානයේ බැලූ කළ ඇෆ්ගන් යුද්ධයෙන් දිනා ගත් කිසිවක් නොමැති නමුදු ඒ වෙනුවෙන් වසර විස්සක් පුරා ඩොලර් ට්‍රිලියනයක් පමණ වැය කළ බවට අසන්නට ලැබෙන පුවත් හේතුවෙනි.

ඇමරිකාව පසුගියදා නිල වශයෙන් නිවේදනය කර සිටියේ තම හමුදා භටයන් සියලු දෙනා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගත් බවත් වසර විස්සක යුද්ධය අවසන් කළ බවත්ය. එම යුද්ධය ආරම්භ කිරීමේ අරමුණ කුමක්දැයි යළි විමසුවහොත් ඔවුන්ට තම අරමුණු සැබවින්ම ඇෆ්ගනිස්තානය තුළ ඉටු වූයේද යන්න සිහිපත් කිරීමට හැකිවනු ඇත.

ඇමරිකාව සහ තලේබාන්වරු අතර පැවති එකඟතාවට අනුව අගොස්තු 31වැනිදා වන විට ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගත යුතු විය. ඒ අනුව ඇමරිකාව තම සෙබළුන් ගුවන් මඟින් ඉවත් කර ගැනීම ආරම්භ කළද එය පහසු කටයුත්තක් නොවූයේ ඒ සමඟ ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට උත්සාහ දැරූ දහස් ගණන් සිවිල් වැසියන්ද රැගෙන යෑමට කටයුතු කළ යුතු වූ බැවිනි. රටින් පිටව යෑමට අපේක්ෂා කරන එකද ඇෆ්ගන් පුරවැසියකු හෝ අතහැර යෑමට තමන් කටයතු නොකරන බව ඇමරිකානු බලධාරින් පවසා තිබිණි. එමෙන්ම රටින් පිටවීම අපේක්ෂා කරන වැසියන් වෙනුවෙන් තම දේශසීමාවන් විවෘතව තබන මෙන් සෙසු රටවලින්ද ඉල්ලීම් කර තිබූ අතර පකිස්තානය සහ තජිකිස්තානය ඇතුළු රටවලින් ඒ සඳහා හොඳ ප්‍රතිචාර හිමිවී තිබිණි.

අවසන් දිනය ආසන්න වන විට ඇමරිකන් හමුදාවට කිසියම් තර්ජනයක් එල්ල වන බවක්ද දැක ගත හැකි වූ අතර බොහෝ දෙනා අපේක්ෂා කාළේ තවත් බොහෝ ප්‍රහාරයන්ට මුහුණ දීමට කාබුල් ගුවන් තොටුපොළේ සිටින ඇමරිකානු හමුදා සාමාජිකයන්ට සිදුවිය හැකි බවයි. එහෙත් දින දෙකකදී සිදුවූ බෝම්බ ප්‍රහාර තුනකට පමණක් මුහුණ දීමට ඔවුන්ට සිදුවූ අතර හමුදා සාමාජිකයන් විස්සකට අධික සංඛ්‍යාවකට තම ජිවිත පූජා කිරීමටද සිදු විය.

කෙසේ වුවද ඔවුන් තමන්ට ලැබී තිබුණු අවසන් දිනය වන විට සම්පූර්ණයෙන් ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට සමත් වුවද ඔවුන්ගේ බොහෝ වත්කම් අතහැර යෑමට නම් සිදුවූ බව කාබුල් ගුවන් තොටුපොළ අභ්‍යන්තරයේ දර්ශන දුටු විට පැහැදිලි විය. මීට පෙර පසුගිය මැයි මාසයේ සිට හමුදා කඳවුරු හිස් කරමින් වේගවත් පසු ගමනක නිරත වූ ඇමරිකානු හමුදාව රථවාහන සිය ගණනින් අත්හැර යෑමට කටයුතු කළහ. එම වාහන හොඳ තත්ත්වයේ පසුවුවද ඒවායේ යතුරු රැගෙන යෑමට ඇමරිකානු හමුදාව කටයුතු කර තිබිණි. අමතරව තවත් කාර්යාල උපකරණ සහ තවත් වටිනා නොයෙක් දේ ද ඇමරිකානු හමුදා කඳවුරු ආශ්‍රිතව අත්හැර ගොස් තිබූ අන්දම දැක ගත හැකි විය. කෙසේ වුවද ඉක්මන් පසු බැසීමකදී මෙවැනි වාහන ආදී වත්කම් රැගෙන යෑම අපහසු බැවින් ඔවුන් මෙලෙස ඒවා අත්හැර යෑමට කටයුතු කරන්නට ඇති බව අනුමාන කළ හැකිය.

කෙසේ වුවද අවසන් ඇමරිකානු ගුවන් යානයද පසුගිය 31වැනිදා කාබුල් හි හමීඩ් කර්සායි ගුවන් තොටුපොළෙන් නික්ම ගිය පසු ප්‍රථමයෙන්ම එහි ඇතුළු වූ තලේබාන් සාමාජිකයන් සමඟ සිටි විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනාට දැකගත හැකි වූයේ තවත් බොහෝ දේ ඇමරිකානු හමුදා විසින් අත්හැර ගොස් ඇති බවයි.

ඒ අතර රොකට් ප්‍රහාරවලට ඔරොත්තු දෙන අන්දමේ මෝටර් රථ 70ක්, හම්වී වර්ගයේ රථ 27ක්, ගුවන් යානා 73ක්, ප්‍රති රොකට්, බර අවි සහ මෝටාර් අවි රාශියකි.

මේ සම්බන්ධව මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමරිකානු හමුදාවේ මධ්‍යම අණදෙන නිලධාරී ජෙනරල් ෆ්‍රෑන්ක් මැකෙන්සි පවසා සිටියේ තමන් කාබුල් ගුවන් තොටුපොළේ බොහෝ යන්ත්‍ර සූත්‍ර අත්හැර දමා ආවේ යළිත් ඉක්මනින්ම එම ගුවන් තොටුපොළේ සිවිල් ගුවන් සේවා කටයුතු ආරම්භ කිරිමට පහසු වීම පිණිස බවයි.

මේ වන විට තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ඇති නමුත් මේ ලියන මොහොත දක්වා තම පාලන ක්‍රමවේදය සම්බන්ධව ඔවුන් පැහැදිලි අදහසක් ලොවට ඉදිරිපත් කර නැත. එමෙන්ම අයිඑස් සංවිධානයේ එක් පාර්ශ්වයක් ලෙස හැඳින්වෙන අයිඑස් - කේ සංවිධානයද යම් තරමකට ඇෆ්ගනිස්තානයේ පාලනයට ඇඟිලි ගැසීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබෙමින් තිබේ. අයිඑස් - කේ සංවිධානය පිහිටුවීමේ අරමුණ ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ තජිකිස්තානය යනාදී රටවල ඉස්ලාමීය දේශයක් බිහි කිරීම ලෙස ඉතා සරලව පැහැදිලි කළ හැකිය.

ඉදිරියේදී තලේබාන් සහ අයිඑස් - කේ අතර සිවිල් යුද්ධයක් වුවද ඇතිවීමේ ඉඩකඩ පවතින බව දේශපාලන විචාරකයන් පෙන්වා දේ. ඒ කෙසේ වුවද ඇෆ්ගනිස්තානයේ ඉදිරි අනාගතය එරට වැසියන්ට නම් ඉසිඹුවක් ලබා නොදෙනු ඇති බවට වන කනගාටුදායක අනාවැකි දසතින්ම දැක ගත හැකි බව නම් සඳහන් කළ යුතුය.

 

 

Comments