![කාබුල් නගරයේ රැස්ව සිටින තලේබාන් නායකයන්](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/08/27/0.jpg?itok=KZAWEaBY)
තලේබාන් සංවිධානයේ ඉතිහාසය විමසන විට පෙනී යන්නේ හැත්තෑව දශකයේ අග දක්වා එහි මුල් දිවයන බවයි. ඇෆ්ගනිස්තානය පාදක කර ගනිමින් තාලිබාන් වැනි අන්තවාදී සංවිධානයක් බිහි වීමේ හේතුව පහදා ගැනීමේදී ඇමරිකාව මෙන්ම රුසියාවද එකසේ වගකිවයුත්තන් බවට පත්වන බව ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුය.
අතීතයේ සිටම සාමකාමීව පැවති මේ සුන්දර කඳුකර දේශය හරහා රුධිර ගංගා ගලා යන්නට පටන් ගත්තේ ඇමරිකාවත් රුසියාවත් දෙපිළ බෙදී සිදු කළ සීතල යුද්ධයේ අතුරු ප්‍රථිඵල හේතුවෙනි. රුසියාව ඇෆ්ගනිස්තානය අත්පත් කර ගැනීමෙන් පසුව තම රටේ බලය යළි තමන් වෙත ලබා ගැනීම අරමුණු කර ගනිමින් අවි ගත් මුස්ලිම් අන්තවාදී සංවිධාන රට තුළ ඇති වූ බව මතුපිට දක්නට ලැබුණු ප්‍රසිද්ධ මතය වුවද යටි පෙළේ දිව යන්නේ එවැනි අන්තවාදී සංවිධාන ඇති කිරීමට ඇමරිකාව ආධාර උපකාර ලබා දුන් බවයි.
ඇෆ්ගනිස්තානය රුසියාව විසින් අත්පත් කර ගත් පසු ඒ සම්බන්ධව වඩාත් කළබලයට පත්වූයේ අසල්වැසි පකිස්තානයයි. එවකට පකිස්තානය පාලනය කළ අගමැති සියා උල් හක් බියපත් වූයේ රුසියාව විසින් ඇෆ්ගන් මායිමේ පවතින එහෙත් තම රටට අයත් බලෝචිස්තානයද අත්පත් කර ගනු ඇති බවටය. එසේ වීම වැළැක්වීමට සහය ඉල්ලා සියා උල් හක් හැරුණේ සවුදි අරාබිය දෙසටය. සවුදි අරාබිය හැරෙන තැපෑලෙන් පකිස්තානයට ආධාර එවන්නේ ඇමරිකානු සීඑයිඒ සහායද ඒ සමගම ලබා දෙමිනි. ඇමරිකාව සහ සවුදි අරාබිය එක්ව පකිස්තානයට මුල්‍ය ආධාර මෙන්ම අවි ආයුධද සපයනු ලැබූ අතර පකිස්තානය ඒවා යොදවමින් ඇෆ්ගනිස්තානයේ අවි ගත් කණ්ඩායම් වර්ධනය කිරීමට දායකත්වය ලබා දුන්නේය.
සංඛ්‍යා ලේඛන අනුව මුස්ලිම් සටන්කාමීන් 90,000ක් පමණ 1979 සිට පකිස්තානයේ දී යුද පුහුණුව ලබා තිබේ. ඒ අතර තලේබාන් සංවිධානයේ ආරම්භක නායක මුල්ලා මොහොමඩ් ඔමාර්ද සිටි බවට වාර්තා තිබේ. ඒ අනුව තලේබාන් සංවිධානයේ පියවරු වන්නේ ඇමරිකාව, සවුදි ආරබිය සහ පකිස්තානය වශයෙන් හඳුන්වා දිය හැකිය.
කෙසේ වුවද සංවිධානයක් ලෙස තලේබාන්
ගොඩනැඟෙන්නේ වර්ෂ 1994දී යැයි පැවසිය හැකිය. අරාබි භාෂාවෙන් ‘තාලිබ්’ යනු ශිෂ්‍යයා යන්නයි. ඒ අනුව අනුගාමිකයන් නැතහොත් ශිෂ්‍යයන්ගේ සංවිධානය වශයෙන් ගොඩනැඟෙන තලේබාන් සංවිධානයේ සාමාජිකයන් මූලධාර්වාදී සටන් ව්‍යාපාරවලට අත්පොත් තබන්නේ පකිස්තානයේ මූලධර්මවාදී පාසල්වලිනි. ඉතිහාසයේ ලියැවී තිබෙන්නේ 1994 වර්ෂයේදී මුල්ලා මොහොමඩ් ඔමාර් සිසුන් 50 දෙනෙකුගෙන් තලේබාන් සංවිධානය ආරම්භ කළ බවයි. තලේබාන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත් බහුතරයක් පශ්තූන් ජාතිකයන් වූ අතර අමතරව තජික් සහ උස්බෙක් ජාතිකයෝද සාමාජිකත්වය ලබා ගත් පිරිස අතර විය. කෙසේ වුවද ක්‍රමයෙන් සංඛ්‍යාවෙන් වර්ධනය වූ තලේබාන් සංවිධානයට එවකට ඇෆ්ගනිස්තානය පාලනය කරමින් සිටි රුසියානු හිතවාදී පාලනාධිකාරයට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට හැකියාව හිමි විය.
මෙලෙස ක්‍රමයෙන් ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගනු ලැබූ අතර 2001 වසර වන විට එරටින් සියයට 90ක ප්‍රමාණයක් පාලනය කරනු ලැබුවේ එම සංවිධානය විසිනි. මුස්ලිම් අන්තවාදී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වූ එම සංවිධානය ඇෆ්ගනු නතාව මත පනවනු ලැබූ මුලධර්මවාදී නිති බෙහෙවින් අන්තනෝමතික විය. විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධව දැඩි නීති පනවනු ලැබූ අතර කාන්තාවන්ට අධ්‍යාපනය ලැබිමද තහනම් කෙරිණි. තමන් පනවන ලද නීති උල්ලංඝනය කළ හොත් වේවැල් පහර දීමේ සිට තවත් නොයෙක් දැඩි දඬුවම් තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගන් ජනතාව මත බලහත්කාරයෙන් පටවනු ලැබ තිබිණි. වඩාත්ම ඛේදජනක වූයේ එම නීති රීතිය. අන්තවාදී පාලනයක් නොව නිදහස් ප්රජාතන්ත්රවාදී පාලනයක් යටතේ ජිවත්වූ ඇෆ්ගන් ජනතාව තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කළද ඔවුන්ට එයට එරෙහි වීමට ශක්තියක් වූයේ නැත.
තලේබාන් පාලනය බිඳ වැටුණේ 2001 වසරේ ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයත් සමඟිනි. ප්‍රහාරයට වගකිවයුතු අල්කයීඩා සංවිධානයේ නායකයා රැඳී සිටින්නේ තලේබාන් සංවිධානයේ රැකවරණ මැද ඇෆ්ගනිස්ථානයේ බව ප්‍රකාශයට පත් කළ ඇමරිකාව වහාම හමුදා මෙහෙයුම් දියත් කරමින් ඇෆ්ගනිස්ථානය සුන්නද්දූලි කරමින් ඔසාමා බින් ලාදෙන් සෙවීමට පටන් ගත්තේය. මාස ගණනක මෙහෙයුම්වලින් පසුව බිල් ලාදෙන් සොයා ගැනීමට නොහැකි වුවද ඇෆ්ගනිස්ථානය පාලනය කළ තලේබාන් සංවිධානය පරාජයට පත් කර එළවා දමමින් ඇෆ්ගනිස්තානයේ තමන්ගේ අනුගාමික පාලනයක් ඇති කිරීමට ඇමරිකාවට හැකියාව හිමි විය. දැන් ඇමරිකාව විසින් අතහැර දමනු ලැබුවේ වසර විස්සක් පමණ පැරණි වූ එම අනුගාමික පාලනයයි.