ක්‍රිකට් පිටියේ නොදැවුණු නිවේදකයා | සිළුමිණ

ක්‍රිකට් පිටියේ නොදැවුණු නිවේදකයා

 

එවකට කොළඹ බවර් ගොඩනැඟිල්ලේ පිහිටි ලංකා ගුවන් විදුලියෙන් කරු අයියා (කරුණාරත්න අබේසේකර) මෙහෙය වූ “ළමා පිටිය“ වැඩ සටහනට සහභාගිවීමට ගිය තම ලොකු අයියා සමඟ කොළඹ නාලන්ද විද්‍යාලයේ ළමයෙක් පසු කලෙක ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ ධුරය දක්වා දිගු ගමන් ගියේය. එපමණක් නොව ඔහු ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදක කලාවේ ප්‍රවීණයකු වී, ජාතික රූපවාහිනියේ ආරම්භක නිවේදකයා හා ආරම්භක ක්‍රිකට් විස්තර විචාරකයා වූයේ ඔහු ම විය.

 

“මම ඉගෙන ගත්තේ නාලන්දේ. මගේ අයියා කේ. ආර්. පෙරේරා මේ කාලේ ගුවන් විදුලියේ “ගම්බද ගී“ (ජන ගී) ගායකයකු ලෙස නමක් තිබුණ කෙනෙක්. අයියගේ අතේ එල්ලිලා කරු අයියාගේ “ළමා පිටිය“ ට ගිය මට ඒ කාලෙම ගුවන් විදුලි නාට්‍යයක ළමා චරිතය රඟපාන්න (හඬ දෙන්න) පුළුවන් වුණා. ඒ 1952 වසරය. ඒ. පී. ගුණරත්න විසින් ගුවන් විදුලියට පරිවර්තනය කළ ආර්. එල්. ස්පිල්ගේ SAVAGE SANCTUARY නාට්‍ය ඇසුරෙන් කුලසිරි අමරතුංග සකස් කළ “වනචර සරණ“ නම් කොටස් වශයෙන් ප්‍රචාරය වූ ගුවන් විදුලි නාට්‍යයේ තිසාහාමි ගේ ළමා කාලයත්, තිසාහාමිගේ පුතා වූ ටිකිරිගේ චරිතය රඟපෑවේ මම.“

පාලිත පෙරේරා පැවසුවේ එදා පැටි කාලයේ තමා රඟ පෑ ඒ ගුවන් විදුලි නාට්‍යය සංරක්ෂණයේ තිබෙන බව ය.

පාලිත නාලන්දාවේ ඉගෙන ගන්නා කාලයේ මලල ක්‍රීඩකයකු වූ අතර 1962 ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර ඇත. ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වී සිටියේ පසුව අමාත්‍යවරයකු වූ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවික්‍රම පෙරේරා ය. තමා සමඟ එකම පන්තියේ සිටි ආනන්ද ධර්මප්‍රිය පසුව මහවැලි අමාත්‍යාංශයේ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) විය.

කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා 1942 සැප්තැම්බර් 03 වෙනිදා නුගේගොඩ ගංගොඩවිල කට්ටිය හන්දියේ එදා කුඹුරක් අසල ගමක උපන් ඔහු ගේ පියා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ලුවිස් පෙරේරා වූ අතර මව පියසීලි සිසිලියා කුරුප්පු ය. ලුවිස් හා සිසිලියාට දරුවන් පස් දෙනෙකි. පාලිත බාලයා. කේ. ආර්. පෙරේරා, සෝමසිරි, අනුලා, සරණසිරි සෙසු දරුවන් ය.

1962 වසරේ නාලන්දයේ උසස් පෙළ සමත්ව, 1963 ගුවන් විදුලි නිවේදක පරීක්ෂණයට පෙනී සිටි පාලිතට අතහිත දුන්නේ දක්ෂතා ඇති තරුණ පරපුරට අත හිත දුන් නන්දා ජයමාන්න මහත්මියයි. ඇය පාලිතට සන්ධ්‍යා සේවයේ ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කිරීමට පැවරුවා ය. පුරා දින දෙකක් පැවති ආනන්ද - නාලන්දා මහා ක්‍රිකට් තරගයේ දෙදිනම ආවරණය කරමින් ප්‍රථම පන්දුවේ සිට අවසාන පන්දුව තෙක් අඛණ්ඩ ගුවන් විදුලි එසැණ විස්තර ප්‍රචාරය ආරම්භ කිරීමේ (1963 මාර්තු මාසයේ) පුරෝගාමියා පාලිත පෙරේරා ය. ඊට කලින් 1960 වසරේ ආනන්ද - නාලන්ද ක්‍රිකට් තරගයේ විස්තර පැයක් සිංහලෙන් විස්තර ප්‍රචාරය කළේ කරුණාරත්න අබේසේකර විසිනි.

“රූපවාහිනියේ ආරම්භක ක්‍රිකට් විචාරකයා මම. ජාතික රූපවාහිනිය නිල වශයෙන් ජාතියට විවෘත කළ දිනයේ නිවේදනය කටයුතු කළේ මම. ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ විස්තර ප්‍රකාශය මට පැවරීම තවත් විශේෂයක්. දශක ගණනාවක් විස්තර විචාරක අට්ටාලයේ සිටි මගේ ළබැඳි සගයා 1972 දී මා සමඟ සිංහල ක්‍රිකට් විස්තර ප්‍රකාශයට එක් වූ ප්‍රේමසර ඈපාසිංහ මහතා දශක ගණනාවක් තිස්සේ ඈපාගේත් මගේත් සුසංයෝගයෙන් රටපුරා ගම්පුරා ගෙන ගිය සිංහල විස්තර ප්‍රචාරයන් ගමට ක්‍රිකට් ගෙන යෑමට මූලික වූ ප්‍රබල සාධකයක් වුණා.“ පාලිත කීවේය.

1969 වසර පාලිතයන් ගුවන් විදුලි නිවේදක ජීවිතයේ සුවිශේෂ සිද්ධියක් සනිටුහන් කර ඇත. ඔහු ඒ ගැන කියන්නේ මේ කතාවයි.

“ඇමරිකානු ගගනගාමින් වූ නීල් ආම්ස්ට්‍රෝන්ග්, මයිකල් කොලින්ස් හා එඩ්වින් ඕල්ඩින්ගේ ඇපලෝ 11 සඳ ගමන සිදු වුණේ 1969 ජූලි 16 වැනිදා සිට 24 වැනිදා දක්වාය. එහි උච්ච අවස්ථාව වූයේ ජූලි 20 වෙනිදා නීල් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රථම වරට “ඇමරිකානු හඬ“ (VOA) ගුවන් විදුලියේ කෙටි තරංග ඔස්සේ ලෝකය පුරා විසිරුවා හැරියා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තුන්වැනි මැදිරියේ සිට අප ඇතුළු විස්තර ප්‍රකාශක පිරිසක් එම විස්තර ප්‍රචාරය එසැනින් සිංහලයට නඟා ප්‍රචාරය කළා. VOA ගුවන් විදුලියෙන් එන විස්තර ප්‍රචාරය හෙඩ්ෆෝන් මඟින් අසා ගනිමින් මහාචාර්ය තිලක් රත්නකාර, ඇල්ප්‍රඩ් පෙරේරා, එච්.එම්. ගුණසේකර ගෙන ආ එම එසැණ විස්තර ප්‍රකාශයට මමත් එක්වුණා. විස්තර ප්‍රචාරයෙන් අප කියන විස්තර, වැඩිදුර සාකච්ඡාවට භාජනය කිරීමට ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්, මහින්ද රණවීර, දොස්තර රංජන් අබේසිංහ යන මහත්වරුන්ගෙන් සැදුම් ලත් විද්වත් මණ්ඩලයක් අපේ මැදිරිය තුළම සිටියා.“

1986 වසර වන විට එතෙක් සෑම විස්තර ප්‍රචාරයක් ම කෙරුණේ පොළොව මත සිට වුවද, ගුවන් ගතව ඇති ගුවන් යානයක සිට සජීව විස්තර ප්‍රචාරයක් ප්‍රථම වරට ගෙන ආවේ 1986 වසරේ දී ය. ඒ අත්දැකීම පාලිත විස්තර කළේ මෙසේ ය.

“ගුවන් ගතව තිබෙන ගුවන් යානයක සිට විස්තර ප්‍රචාරයක් මීට පෙර සිදු කර නොමැති නිසා මෙය ඉටු කළ නොහැකි කාර්යයක් බව ගුවන් විදුලියේ බාහිර ප්‍රචාර අංශ නිලධාරින් කියා සිටියා. එය එසේ සිදුවිය නොහැකි යැයි තරයේ කියා සිටි ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලයනල් පිංතු මහතා කාර්මික වඩු මඬුවේ සිටි දක්ෂ බාස් උන්නැහැ කෙනෙක් වූ කරුණාරත්න කැඳවා හෙලිකොප්ටරයට සවි කළ හැකි විශේෂිත වූ ඇන්ටනාවක් සෑදීම සඳහා උපදෙස් දුන්නා. හෙලිකොප්ටරයේ සිට විසුරුවා හැරෙන ගුවන් විදුලි සංඥා, පිදුරුතලාගල කඳු මුඳුනේ පිහිටි සම්ප්‍රේෂණ කුලුන දෙසට එල්ල වෙන ආකාරයට මෙම ඇන්ටනාව හෙලිකොප්ටරයේ ගමන් දිසාව වෙනස් වන, වෙනස් වන ආකාරයට කැරකැවිය යුතුයි. පෙරහුරු වීම සඳහා විසුරුවා හළ සජීවී විස්තර ප්‍රචාරය ද ගැටලු සාර්ථක වුණා. පසුදා සජීව ප්‍රචාරය පිණිස, මාත් ප්‍රේමකීර්ති ද අල්විස් ඇතුළු කාර්මික නිලධාරින් කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූයේ අලුයම පහට විතර.

එහිදී හෙලිකොප්ටර් යානයට ගොඩ වූ අපි සියලු දෙනා, කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි ගුවන් හමුදා මූලස්ථාන පිටිය වෙත රැගෙන ගියා. නැඟෙනහිර අහසේ, උදා හිරු උදා වී අරුණලු පැතිරෙන අයුරු ගුවනේ සිට නරඹමින් ඒ අසිරියෙන් මත්ව සිටි ප්‍රේමකීර්ති හෙලිකොප්ටරය තුළ මා සමඟ විස්තර කථනය කළා.“ ක්‍රීඩා විචාරකයකු ලෙස අත්දැකීම් ඇති පාලිතගෙන් මාධ්‍යවේදියකු මෙසේ ඇසුවේය.

“ක්‍රීඩා විස්තර ප්‍රකාශකයකුගේ කාර්ය විය යුත්තේ කුමක් ද?“

ඔහුගේ කෙටි පිළිතුර මෙය විය.

“තමා ඉදිරියේ ඇති ක්‍රීඩා පිටියේ සිදුවන දෑ වචනයට නඟා අසන්නාගේ සිත් තුළ ක්‍රීඩා පිටිය පිළිබඳ චිත්‍රයක් මැවීම විස්තර විවේචකයාගේ කාර්ය විය යුතුයි.“

පාලිත විසින් ගුණදාස ලියනගේ සංස්කරණය කළ ‘කල්පනා‘ සඟරාවට 1984 ලියූ වර්ණපුර ප්‍රමුඛ ක්‍රීඩකයන් ගැන “82 කැරැල්ලේ විත්තිකරුවෝ“ (තහනම් ගහේ ගෙඩි කෑ බන්දුල සහ පිරිස) නම් ලිපිය නිසා සිංහල අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේ පැය දෙකක් කොටුවේ රහස් පොලීසියේ හතරවෙනි තට්ටුවේය. රහස් පොලිසියට දැන ගන්නට අවශ්‍යව ඇත්තේ පාලිත ඒ ලිපිය ලිව්වේ ඒ කණ්ඩායමේ අයගෙන් අල්ලසක් ලබා ගෙන ද යන්න බව දැනගන්ට බව ‘කල්පනා‘ කර්තෘ 1984 මැයි කලාපයේ පළවී තිබුණි. එම චෝදනාව පාලිත විසින් එක හෙළා ප්‍රතික්ෂේප කර ඇති බව එහි සඳහන් වී තිබුණි.

ගමට ක්‍රිකට් රැගෙන යාමේ පුරෝගාමින් වූයේ පාලිත හා ප්‍රේමසර ඈපාසිංහ සුසංයෝජනයෙන් බවත්, 1990 වසරේ පාලිත නවකයන් 40 දෙනෙකු බඳවා ගෙන ඔවුනට විධිමත් මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දී අත්පොත් තබා අද ක්ෂේත්‍රයේ විශිෂ්ට ලෙස ඔවුන් බොහෝ දෙනා කැපී පෙනෙන විට ඔහු සතුටට පත් වෙන බව “හඬ“ ගුවන් විදුලි සඟරාව හඳුන්වා දී ඇත.

පාලිත පෙරේරා ක්‍රිකට් නිවේදන කලාවේ අතීත කතාව කිව්වේ මේ ආකාරයෙනි.

“කරු අයියා ගේ ළමා පිටියෙන් බිහි වී අවසානයේ මා හෙබ වූ සිංහල අධ්‍යක්ෂ තනතුර දක්වා ගිය මගේ ගුවන් විදුලි මුල්ගුරු සේ මා සලකන්නේ කරුණාරත්න අබේසේකරයන් ය. එසේ වුවද ක්‍රිකට් ක්‍රීඩාවේ සන්නිවේදනයට අවශ්‍ය වූ පාරිභාෂික වචන කෝෂය හා විශේෂිත යෙදුම් 1963 ප්‍රථම සජීවී විස්තර විචාරයේ සිට නිර්මාණය වූයේ මා අතිනි. “නොඉඳුල් ඕවරය“ යන යෙදුම කරු අයියා මට දුන් අතර “තණ තිල්ල“, “ නිලකුණු ඕවරය“ යන යෙදුම් මහාචාර්ය විනී විතාරණයන්ගෙන් අපගේ වචන කෝෂයට එකතු වූ බව කිව යුතුයි. අද ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන සියලු මාධ්‍යවල සියලු මාධ්‍යයන් ක්‍රිකට් ක්‍රීඩාව අරභයා භාවිතා කරන ක්‍රිකට් වචන කෝෂයේ 95%ක නිර්මාණකරු මම යි. මෙරට ක්‍රිකට් සිංහල සන්නිවේදන සාහිත්‍යයක් බිහිකිරීම සඳහා මගෙන් කෙරුණු මේ දයාදය පිළිබඳව කවුරුන් හෝ පිළිගැනීමක් හෝ සඳහනක් හෝ නොදැක්වීම කනගාටුවට කරුණක්. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසයේ සජීවී ක්‍රිකට් පුරෝගාමියා වූ මට, උපන් රටේ එවැනි පිළිගැනීමක් ද නැහැ.

ඔබට නිවැරදිව සඳහන් කරන පරිදි ක්‍රිකට් ගමට ගෙන ගොස් මුළු රටේ ම එය ජනප්‍රිය ක්‍රීඩාවට බවට පත්වූයේ මා විසින් හඳුන්වා දුන් සජීවී විචාර ශෛලියයි. ප්‍රේමසර ඈපාසිංහගේත් උගුරුවල කෙළ සිඳී ලේ රහ වනතුරු කළ කෑ ගැසීම්.

කොළඹ හෝර්ටන් පෙදෙසේ හේවුඩ් ආයතනයේ චිත්‍රකර්මය ඉගෙන ගත් පාලිත චිත්‍ර ශිල්පියෙක් මෙන්ම පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු බව දන්නේ ටික දෙනෙකි. ඔහු හෝර්ටන් පෙදෙසේ පිහිටි හේවුඩ් හි චිත්‍ර කර්මය ඉගෙන එච්. ඒ. සෙනෙවිරත්න ලියූ ‘කල්පාන්ත මේඝයක්‘, ‘පුතෙක් උපන්නා‘, ‘එළිවෙනවා නොදැනේ‘, විමල් දිසානායක ලියූ ‘නර රකුසා‘, ප්‍රේමකීර්ති ද අල්විස් හා දයා ද අල්විස් ලියූ ‘තනි වූ දෙදෙනෙකු මෙසේ‘ අසෝක කොළඹගේ ලියූ ‘පෙරමඟ බලා සිටිමි‘, තිස්ස කාරියවසම් ලියූ ‘පෙරුම් පුරන්නේ බෝසත් මෙදිනා‘, එම්. එම්. ස්වර්ණලතා ලියූ ‘කඳුළෙන්, සිනාවෙන් තොරව වැළලිමි‘ රංජන් ධර්මකීර්තිගේ ‘නැංගුරම්‘, ප්‍රේමසිරි කේමදාසගේ ‘පීඩිතයන්ගේ ගීතය‘ කේ. ජයතිලකගේ ‘කාලෝ අයංතේ‘ පාලිත අඳින ලද පොත් පිටකවර කීපයකි.

ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ ‘සුබ උදෑසනක්‘, ‘ආයුබෝවන්‘, ‘ජන මණ්ඩලී‘ මෙහෙය වූ පාලිත බහමාස් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන්ගේ සමුළුව ගුවන් විදුලියට වාර්තා කිරීමට ගිය ගමනේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇත. එසේම ජාතික රූපවාහිනිය විවෘතවූ දින එහි ප්‍රථම නිවේදකයා වීමේ අතිශය දුර්ලභ අවස්ථාව හිමි කර ගත්තේ ඔහු ය. එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ 1997 දෙසැම්බර් 27 වෙනිදා අරලියගහ මන්දිරයේ සිට සජීවීව “ජනමණ්ඩලී“ 100 වැනි වැඩසටහන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා කළේ ද පාලිත ය.

2005 අප්‍රේල් 01 වෙනිදා ජාතික රූපවාහිනී නාළිකාවේ රාත්‍රී 7.00 සිට 7.30 දක්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ “හේ මහින්ද නම් විය“ වැඩසටහන මෙහෙය වූ පාලිත සම්මුඛ සාකච්ඡා මූලධර්ම / වර්ග කිරීම අනුව වර්ග කෙරෙනුයේ චරිතයක් පිළිබඳ සම්මුඛ සාකච්ඡා Personality Interviews වර්ගයට බවට අපට පැවසුවේය.

“චරිතයේ ඇති විවිධ පැතිකඩ (කාලීන ප්‍රශ්න, මතවාද / මතභේද පිළිබඳ අදහස් යනාදිය විමසමින්) මතු පිටට ගැනීම මෙවැනි සාකච්ඡාවලින් දැක ගැනීමට පුළුවන්. සාකච්ඡා මෙහෙයවන්නා හා පිළිතුරු දෙන්නා අතර මෙහිදී ඇතිවන ‘සියුම් සටන‘ මෙහි ඇති රමණීය භාවයයයි. ඔහුගේ හැඟීම්, ප්‍රකාශනය, ප්‍රතික්‍රියාවල සමීප රූප විවිධ කැමරා කෝණවලින් ග්‍රහණය කිරීමෙන් සාකච්ඡාවට සප්‍රාණි වර්ණවත් ගුණය ලබා දිය හැකියි.“

පාලිත මෙයට ක්‍රිකට් ක්‍රීඩාවෙන් උදාහරණයක් දෙමින් සම්මුඛ සාකච්ඡාවක් යනු දක්ෂ පන්දු යවන්නකු හා දක්ෂ පිතිකරුවකු අතර ඇති සටනක් යයි පැවසුවේය.

මට හමු වූ මෙරට පරිණත ජනනායකයන්, ජනනායිකාවන් ඒ අතින් පිතිකරුවන්ට සමාන කළ හැකි ලෝකයේ විශිෂ්ට මාධ්‍යවේදින් හමුවේ නොදැවී, අභීතව, නොපැකිළව, සිනාමුසුව, වරෙක ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් ම උත්තර දෙන, බොහෝ ඇසූ පිරූ චරිත බව අමුතුවෙන් කිව යුතු ද? එමෙන්ම full toss පන්දු ලබා දෙන දේශපාලන සංවාද - සාකච්ඡා ඉක්මණින් ම හඳුනා ගැනීමට සමත් බුද්ධිමත් ප්‍රේක්ෂක සමූහයක් අද අප අතර සිටීම වාසනාවක් නොවේ ද? පාලිත අපෙන් ඇසුවේය.

පාලිතගේ දයාබර බිරිය ලීලා ගුණවර්ධන (පෙරේරා). ඇය වෘත්තියෙන් ගුරුවරියක් ලෙස මියුසියස් විද්‍යාලයේ සේවය කළාය.

තම ජීවිතේට ම එක පාසලයි - නාලන්දේ. එක රැකියාවයි. එක බිරියයි (ලීලා) බව ආඩම්බරයෙන් කීවේය. ඔහු කියන්නේ “ලීලා - මගේ සියල්ල ඔබමැ වෙයි“ කියා ය.

“මම දැන් විශ්‍රාමිකව පොත් කියවමින් කාලය ගත කරන්නේ. මම හැමදාම අවදි වන්නේ පාන්දර 4ට. ව්‍යායාම කරලා පැය එකහමාරක් බුදුන් වඳිනවා. රූපවාහිනිය බලන්නේ නැහැ. ගුවන් විදුලිය අහන්නේ නැහැ. පත්තර බලන්නේ අන්තර්ජාලයෙන්. අපේ පවුලේ හැමෝම නිර්මාංශ ආහාර ගන්නේ. මත්පැන් හා සිගරට් ජීවිතේට කටේ තියලා නැහැ.“ පාලිත කීවේය.

පාලිත හා ලීලා යුවළගේ වැඩිමහල් පුතු තරන්ත පෙරේරා ඕස්ට්‍රේලියාව් මෙල්බන් හි මර්සිඩීස් බෙන්ස් සමාගමේ ඉංජිනේරුවෙකි. ඔහු ආදි ආනන්දියෙකි. නාලන්දයේ හා ආනන්දයේ ඉගෙනගත් දෙවැනි පුතා ජිනන්ත පෙරේරා මෘදුකාංග ඉංජිනේරුවෙකි. බාල දියණිය අමදිනි පෙරේරා වරලත් ගණකාධිකාරිනියකි.

 

Comments