රාජ්‍ය සේව­ක­යන් සේව­යට කැඳ­වීම ගැන ජන­තාව කියන කතා | සිළුමිණ

රාජ්‍ය සේව­ක­යන් සේව­යට කැඳ­වීම ගැන ජන­තාව කියන කතා

 රට ගැනත් සිතිය යුතුයි

පත්මා අරඹේගෙදර - තඹුත්තේගම

කොවිඩ් නිසා ලංකාවේ රාජ්‍ය සේවය මුළුමනින්ම කඩාවැටුණා. හැම අංශයකම වැඩ සම්පූර්ණයෙන්ම නවතා දැමූ කාලයක් තිබුණා. ඉන්පසුව වුණත් රාජ්‍ය සේවය ඉබි ගමනේ. රාජ්‍ය සේවයේ ඉහළ සිට පහළ සේවකයා දක්වාම ආයතනවලට පැමිණීම සීමා කළා. එයින් වඩාත්ම අපහසුතාවට පත්වුණේ සාමාන්‍ය ජනතාව. කුමන තැනකට සේවය ලබා ගන්න ගියත් කාර්යාලයක ඉන්නෙ දෙතුන් දෙනයි. එක් කටයුත්තක් වෙනුවෙන් දින ගණනක් යන්න සිදු වෙනවා. පොදුවේ ගත්තොත් රටක් හැටියට සංවර්ධනය අඩාළ වෙනවා. ඒ නිසා කවුරුත් මේ ගැන සිතිය යුතුයි. එක් එක් පුද්ගලයා තනි තනිව තමන් ගැන සිතනවා වගේම තමන් ජීවත්වන රට ගැනත් සිතිය යුතුයි. බොහෝ දෙනෙකුට එන්නත් කරලා තියෙන්නේ.

 

 

 

කොවිඩ් ප්‍රභේද එනවා; රෝගී මරණ වැඩිවෙනවා

එෆ් අස්රා සවුකත් (24) මාලිගාකන්ද

විවිධ කොවිඩ් ප්‍රභේද එනවා තමයි. රෝගීන් මරණ වැඩිවෙනවා තමයි. ඒත් රට වහගනම හිටියා කියලා කොරෝනා සම්පූර්ණයෙන් තුරන් වෙන්නෙ නෑනේ. දැන් අපිට සිදුවෙලා තියෙන්නෙ කොවිඩ් එක්ක ජීවත් වෙන්නයි. ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වුණත් වෙන මොනවා කරන්නද? වෙන රටවලත් මේ වගේනේ. එහෙම කියලා අපිට එදිනෙදා ජීවත්වෙන්න කන්න බොන්න, අධ්‍යාපනය හා අනිත් කටයුතු සඳහා මුදල් සෙවිය යුතුයි. රජයෙන් පඩි ගන්න අයට නම් පහුගිය කාලෙත් සහන තිබුණා. ඒත් ස්වයං රැකියා කරන අයට පෞද්ගලික අංශයේ සමහරුන්ට මුදල් උපයගන්න බැරුව හරි අමාරුවෙන් ජීවත් වුණේ. හැම සහනයක්ම ලැබෙන්නේ රාජ්‍ය සේවකයන්ට. අන්තිමට විශ්‍රාම වැටුප් ලැබෙන්නෙත් එයාලටමයි. ඉතින් එයාලව නැවත සේවයට කැඳවුවට කමක් නෑ, රාජ්‍ය සේවය බිඳ වැටුණොත් සමස්ත රටේ ආර්ථිකය ම බිඳ වැටෙනවනේ.

 

 

රජයෙන් වැටුප් ලබන අය සේවයක් කළ යුතුයි

දනුල දමින්ද (43) - හොරණ

ඇත්තටම පහුගිය කාලේ රාජ්‍ය ආයතනවල රාජකාරි කරන අය අඩු වූ නිසා ඒවායින් සේවය ලබාගන්න ගිය සාමාන්‍ය ජනතාව සෑහෙන අපහසුතාවකට පත්වුණා. සාමාන්‍යයෙන් කෙනෙක් අද කාලේ එළියට බහින්නේ දවසකට වැඩ කීපයක් කරගන්න බලාගෙන. උදාහරණයක් විදියට වාහනයක් ලයිෂන් කරගන්න අදාළ දුම් සහතික, රක්ෂණ සහතික ලබාගෙන ආදායම් බලපත්‍රය එක දවසින් ඉස්සර ලබාගන්න පුළුවන්. ඒත් පහුගිය කාලෙ එක වැඩක් කරගන්න පැය 2, 3 ක් රස්තියාදු වෙන්න සිදු වුණා. බැංකුවකට ගියත් පැය 1/2 විතර පෝලිමේ ඉන්න වෙනවා. රජයෙන් නොකඩවා වැටුප් ලබන රාජ්‍ය සේවකයින් මහජනතාව වෙනුවෙන් සේවයක් කළ යුතුමයි. පහුගිය වසර 2 විතර කොවිඩ් නිසා වැඩ කරමින් හෝ වැඩ නොකර හෝ වැටුප් ලබාගෙන නිවසට වෙලා සිටීමේ වාසිය වැඩිපුරම ලැබුණේ රාජ්‍ය සේවකයන්ටයි. අනිත් ජනතාව ජීවත්වීම උදෙසා කොවිඩ් මධ්‍යයේ වුණත් ජනයා සමඟ ගැටෙමින් රැකියා කළා.

 

 

 

ඇති හැකි අය තමයි රටේ හැමදෙයක්ම ජය අරන් තියෙන්නේ

මිලී අලහකෝන් (73) කුලියාපිටිය

රජයේ සේවකයින් පහුගිය දිනවල ගෙදර සිට රාජකාරි කිරීමේදී සමහරු ගෙදර ඉඳලා වුණත්, රාජකාරි වැඩ කළා. සමහරු තම තමන්ගේ වැඩ බලාගෙන පඩි අරන් ගෙදරට වෙලා හිටියා. රජයට හැමදාම එක විදිහටම සහන සලසන්න බෑනේ. අනිත් අතට එදාවේල හොයාගන්න බැරුව දුක්විඳින කොච්චර පිරිසක් ලංකාවෙ ඉන්නවද? කොරෝනා නිසා වැඩියෙන්ම පහර වැටුණේ සාමාන්‍ය දුප්පත් ජනතාවටයි. රාජ්‍ය සේවය අක්‍රිය වීම නිසා රජයේ කාර්යාලයකින් වැඩ කටයුතු කරගන්න බැරුව සමහරු පීඩාවට පත්වුණා. අන්ත අසරණ වුණා. ඇති හැකි අය තමයි රටේ හැමදෙයක්ම ජය අරන් තියෙන්නේ. තමන් ගන්න වැටුපට යම් සාධාරණ සේවයක් කරන්න කවුරුත් කැපවිය යුතුයි.

 

 

 

කොළඹට ගෙන්නුවොත් කාර්යාල පොකුරු බිහිවේවි

බුද්ධික වික්‍රමරත්න (34) අකුරැස්ස

සමස්ත රාජ්‍ය සේවයෙන් 45% පමණ ඉන්නේ කොළඹ. මේ සා විශාල ජනතාවක් නැවත කොළඹට ගෙන්නුවොත් යළි යළිත් කාර්යාල පොකුරු බිහිවෙන්න පුළුවන්. දැන් තියන ඩෙල්ටා ප්‍රභේදය පැතිරී යන ආකාරය නරකයි. ඒ නිසා රාජ්‍ය සේවකයන් හැමදෙනාම එකවර ගෙන්වීම කල්දැම්මොත් හොඳයි. මොකද පළාත් සංචරණ සීමා ඉවත් කළාම දුර පළාත් වලින් කොළඹට වෙනදා වගේම මහා ජනතාවක් පැමිණෙනවා. සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කීවාට සමහරු ඒ ගැන උනන්දුවකුත් නෑ. ඒ නිසා කොටස් වශයෙන් ටික දෙනෙක් ගෙන්නුවොත් හොඳයි. ගෙදර සිට ඔන්ලයින් ක්‍රමයට වැඩ කරන්න පුළුවන්නේ. අනික රාජ්‍ය හෝ වේවා පෞද්ගලික අංශය හෝ වේවා ඉහළ වැටුපක් ලබන අය ලබා දෙන්නේ අවම සේවයක්. නමුත් ඒ හැම තැනම සිටින පහළ ශ්‍රේණිවල සේවක සේවිකාවන් අවම වැටුපක් ලබමින් අවම වරප්‍රසාද තමයි භුක්ති විඳින්නේ.

 

 

 

 

ගෙදර ඉඳන් ඇත්තටම වැඩ කරනවාද?

එල්. ක්‍රිෂ්නරාජ් (24) හපුතලේ

රස්සාව කළොත්නේ ජීවත් වෙන්න කීයක් හරි හම්බ කරගන්නේ. රජයේ අයට නම් ගෙදර හිටියත්, පඩිය පොතට වැටෙනවා. එයාලට පහුගිය කාලේ විශාල සහනයක් ලැබුණා කොවිඩ් නිසා. නමුත් පෞද්ගලික අංශයේ සුළු සේවකයන්ට ගෙදර සිට වැඩ කළාට පඩි ලැබෙන්නෙ නෑ. සමහරවිට ලොකු ලොක්කෝ ලොකු පඩි අරන් ගෙදර ඉඳන් වැඩ කියලා මොනවා හරි කරනවා ඇති. මම නම් කියන්නේ රාජ්‍ය අංශයේ සියල්ලම පැමිණිය යුතුයි. තම වගකීම ඉටු නොකළොත් ලබාගන්න වැටුප්වලට යා දෙන්නෙ නෑ. අපි සොච්චම් මුදලක් හොයා ගන්නේ දවල් රෑ නිදි නොලබා අපේ ශ්‍රමය උපරිමයෙන් පූජා කරලා. එහෙම තියෙද්දි ලොකු ලොක්කෝ ගෙවල්වලට වෙලා පඩිකන එක අසාධාරණයි නේද?

 

Comments