
කොවිඩ් 19 රෝගය වසංගතයක් ලෙස පැතිර යන අවදියක රටක ජනතාව වෙනුවෙන් සහන සැලසීම ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටකට එය මහත් අභියෝගයකි. එසේ වුවත් ගෙවී ගිය වසරක කාලයක් තුළ රට තුළ බොහෝ සංවර්ධන කටයුතු පවා සිදු කරන ලද්දේ කොවිඩ් 19 වසංගතය මැඬලීමට කටයුතු කරමින් වන අතර රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව පවා සුරකිමිනි. එහිදී ආරක්ෂාව තර කරන ලද්දේ ජාතික ආරක්ෂාව ගැන පමණක් සිතා නොව රට, ජාතිය, ආගමද සුරැකීමට කටයුතු කරමිනි. ඊට අමතරව නීති විරෝධී ලෙස පත් කර තිබූ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි ආයතන හරහා සිදු කරන ලද අනිසි ක්‍රියාදාමයන් කෙරෙහිද අවධානය යොමු කර වැරැදි නිවැරැදි කිරීමට කටයුතු යොදන ලදී.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන්ට සාධාරණය නීතිමය වශයෙන් ඉටු කරන්නට අවශ්‍ය පියවර ගෙන තිබේ. ගෙවී ගිය වසරක කාලය ඇතුළත මෙරට ජාතික ආරක්ෂාව ඇතුළු ජනතා සේවාව වෙනුවෙන් සිදු කළ මෙහෙය ගැන අවධානය යොමු කළ යුතුමය.
විශේෂයෙන්ම 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 කට දිවි අහිමි වූ අතර ඔවුනට සාධාරණ ඉටු කරන්නට පළමුව යහපාලන ආණ්ඩුවෙන් පත්කළ ‘පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව‘ හරහා සාධාරණයක් සිදු නොවූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් විසින් පත් කළ ජනාධිපති කොමිසමට අවශ්‍ය සියලු පහසුකම් සපයා එහි සාධාරණත්වය ඉහළින්ම ඉටු කරන්නට කටයුතු කරන ලදී.
පාස්කු ප්‍රහාරයේදී ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ නීතිඥවරයෙකු වන මෝදිත ඒකනායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 3ක් ගොනු කරනු ලැබුවේ යහපාලනයෙන් නිසි සාධාරණය ඉටු නොවීම නිසාය.
ඉන් එක් පැමිණිල්ලක් වන්නේ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමාට සිදු වූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 12 දෙනෙකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසය. තවත් නඩු දෙකක් ඔහු විසින් ෂැංග්‍රිලා හෝටලයටත් කොළොන්නාව තඹ කම්හලේ හිමිකරු මොහොමඩ් ඊබ්‍රාහිම්ට විරුද්ධවත් ගොනු කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ එක් වින්දිතයෙක් එසේ කටයුතු කර ඇති අතර බොහෝ වින්දිතයන් සහ වින්දිතයන්ගේ යැපෙන්නන් වෙත වන්දි මුදල් ලබා දීමට රජය විසින් කටයුතු කළ අතර එහි වැරැදිකරුවන්ට දඬුවම් ලබා දීම පිණීසද මේ වන විට කටයුතු කෙරෙමින් පවතී. එම කටයුතු මන්දගාමී බව පෙනෙන්නේ අධිකරණයේ නඩු ගොනු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කළ යුතු හෙයිනි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පැමිණි පසු එය පසෙකට දමා නීතියටම සියල්ල බාර දී අත පිසදා ගන්නට රජය කටයුතු කළේ නැත. එම නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක්ද පත් කරන ලදි එහි ප්‍රධානත්වය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් දරන ලදී. ඊට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. ඊට සමගාමීම මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරයන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ත්‍රස්ත විමර්ශන ඒකකයට නිරතරුවම දන්වා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි කර ගත යුතු බවයි. ඒ අනුව එහි මහමොළකරු ලෙස නව්ෆර් මව්ලවි නැමැත්තා හඳුනා ගන්නා ලදී. ඔහුට අමතරව නීතීඥ හිජාස් හිස්බුල්ලා ද එහි එක් කොනක සිටිනා බව පැහැදිලි විය.ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය විසින්ද නව්ෆර් මව්ලවි මහ මොළකරු ලෙස හඳුනා ගෙන ඇත
අගතියට පත් වූවන්ට ජනාධිපති කොමිසමෙන් සාධාරණයක් ඉටු විය. ඒ අනුව පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුම් දීම් ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු යහපාලන රජයේ ප්‍රබල දේශපාලනඥයන් පිරිසකට සහ ඉහළ නිලධාරීන් පිරිසකට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබුණි.
විශේෂයෙන්ම එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ද චෝදනා ගොනුකළ හැකි බවට කොමිසම නිර්දේශ කරන ලදී.
විශේෂයෙන්ම මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අපරාධ චෝදනා රැසක් ගොනු කරමින් නීතිපතිවරයාට යොමු කරන ලදී.
එහිදී මිනීමැරීම් හා ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධව පුද්ගලයන් 32කට හා ඊට සම්බන්ධ 241 දෙනකුට නඩු පැවරීමට අදාළ කටයුතු මේ වන විටත් නීතිපතිවරයා විසින් සිදු කර තිබේ. එමෙන්ම ඉදිරියේදී අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමටත් ඊටත් වඩා වඩා අපරාධ අඩු කිරීම පිණිසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. එහිදී අපරාධවලට මෙන්ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ඔවුන් වරදකරුවන් වු සැණින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටත් නීති සංශෝධනය කිරීමට මහජන සාමය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය මෙන්ම නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. පසුගිය වසරක කාලයක් තුළදී මත්කුඩු ප්‍රවාහන කිරීම් 108ක් හසු කර ගන්නට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී ඇත. විශේෂයෙන් මුහුද මඟින් ගෙන එන ලබනු මහා පරිමාණ වැටලීම් රැසක් සිදු කරන්නට නාවික හමුදාව පියවර ගන්නා ලදී.
මහජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පොලිස් සේවය ශක්තිමත් කිරීමට හා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 700 ක් වෙන් කිරීමට පසුගිය අයවැයෙන් තීරණය කරන ලදී.
එසේම ත්‍රිවිධ හමුදාවම එක් ස්ථානයකට ගෙන යාමේ පියවරක් ලෙස බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ වැඩ කටයුතුද මාස කිහිපයකට පෙර ආරම්භ විය. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එහිගොස් ඉදිරි වැඩ කටයුතුද සොයා බැලුවේය.
මේ සියල්ලටම වඩා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉතාම වැදගත් වන තීරණයක් ලෙස අපට ගෙන හැර දැක්විය හැක්කේ පසුගිය ජිනීවා මානව හිමිකම් යෝජනාවේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමයි.
යුද සමයේ ‘අපි වැරැදි කළා තමයි අපි එකතු වෙලා දඬුවම් කරමු‘ වැනි එකඟවීමක් යහපාලන රජය විසින් කළ ක්‍රියාදාමය තුළ තිබූ බවත් එයින් ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ඉවත් විය යුතු බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සමුළුවට සහභාගිවීමට පෙර සිටම දන්වා සිටියේය. ඒ අනුව යහපාලන රජය සම අනුග්‍රාහකත්වය දරමින් 1/30 යෝජනාවට අනුග්‍රහය දැක්වීම ඔහු ඉවත් කර ගන්නා ලදී.
රටේ ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දීම වෙනුවෙන් ක්ෂණික ප්‍රතිචාර ඒකකයක් පිහිටුවීම, නාවික හමුදාවේ මූලිකත්වයෙන් ආපදාවක් සිදුවන්නට පෙර ගංගා අසල නාවික පිරිස් යොමු කිරීම දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි රථ යෙදවීම, හදිසි ආපදාවකදී ත්‍රිවිධ හමුදාව සූදානම් කර තිබීම වැනි විශේෂ ආරක්ෂක විධිවිධාන පසුගිය වසර තුළ ගත් විශේෂ ක්‍රියාදාමයන්ය. ඒ ලෙසින් රටේ සමස්ත ආරක්ෂාව සැලසෙද්දී රට ජාතිය සුරකින ආගම දහම සුරැකීම වෙනුවෙන්ද අවශ්‍ය පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම අන්තවාදී ග්‍රහණයට ලක් වෙමින් තිබුණු මුහුදු මහා විහාරය, කූරගල, දෙවනගල බෞද්ධ පුදබිම් මේ වන විට එම අන්තවාදී ග්‍රහණයන්ගෙන් මිදී ඇත.
විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුක්තව නැඟෙනහිර පුරාවිදු බිම් ආරක්ෂා කිරීම පිණිස අරඹන ලද බළකාය නිසා එහි ආරක්ෂාව මෙන්ම සංවර්ධන කටයුතුද සිදු කෙරේ. එහිදී දීඝවාපි පුදබිම විශේෂිතය. රජයේ කිසිදු මුදලක් වැය නොකර දීඝවාපි පුද බිම සංවර්ධනය පිණිස කටයුතු කර ඇති අතර ලබන වසරේ දීඝවාපිය මහජනතාවට විවර වනු ඇත.
බුදු දහම සුරකින භික්ෂු සමාජයක් බිහි කිරීම පිණිස ‘නාගරාක්ෂ‘ නමින් විශේෂ රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලද්දේ සාමණේර භික්ෂූන් සසුනට පුදන දෙමව්පියන් කෙරෙහිද විශේෂ නිවාස ක්‍රමයක්ද සකස් කරමිනි.
දුෂ්කර විහාරස්ථානවල මූලික පහසුකම් ඇතිකිරීම පිණිස මිලියන 50ක මුදලක් යොදවන ලදී.
එසේම ජනාධිපතිවයා විසින් රජයේ කටයුතු වෙනුවෙන් බෞද්ධ උපදේශක සභාවක්ද පිහිටුවන ලදි.
මෙහිදී විශේෂයෙන්ම පැවසිය යුත්තේ ත්‍රස්තවාදය දුරු කරමින් 2009 වසරේදී ලද ජය සමරමින් ඉදි කිරීම අරඹන ලද සඳහිරු සෑයේ වැඩ කටයුතු කඩිනම් කිරීමයි. එම මහා සෑය ලබන නොවැම්බර් මාසයේදී ජනතාවට වන්දනා කිරීම සඳහා විවෘත කෙරෙනු ඇත.
එසේම ප්‍රථම වරට රාජ්‍ය පොසොන් උත්සවයක් මිහින්තලය මුල් කරගෙන පැවැත්වීම ද මෙහිලා අප අමතක නොකළ යුතුය. කොවිඩ් - 19 වසංගත තත්ත්වය නිසා ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා ආධාර බෙදාදීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් විසින් කටයුතු කරන ලද්දේ අරලියගහ මන්දිරයේදීය.
මෙහිලා අප අවධානය යොමු කළ යුතු වූ තවත් පැත්තක් තිබෙ. ඒ රටේ දියුණුවට විශාල ගැටලුවක්ව තිබෙන රාජ්‍ය ආයතනවල වංචා දූෂණ වැළැක්වීමට අවශ්‍ය කටයුතුද පසුගිය වසරක කාලයක් තිස්සේ සිදු කරන ලදී. එහිදී රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානවලට යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් පත් කිරීම තුළින් එම ආයතනවල විනය මෙන්ම වංචා දූෂණ රැසක් වැළකෙන ලදී. රටේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24ම ක්‍රියාත්මක මෙහෙයුම් ජාලයක් ස්ථාපිත කරන ලදී.
ඒ යටතේ වැලි ජාවාරම්කරුවන් නීතියට හසුකර ගැනීමට මෙන්ම කැලෑ කපන්නන් හා කංසා වගාවන් වැටලීම පිණිස වෙනුවෙන් ගුවන් හමුදාවේ සහාය ලබා ගන්නට කටයුතු කර තිබේ.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා 1965 නමින් නව දුරකථන සේවාවක්ද හඳුන්වා දෙන ලදී.
ආරක්ෂාව මෙන්ම අනෙකුත් හදිසි විපත්වලට මුහුණ දීම සඳහා නවීන තාක්ෂණයත් සමඟ ඉදිරියට ගමන් කිරීම පිණිස පසුගිය දෙසැම්බර් මාසයේ දින තුනක් පුරා බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම් සහ ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්ද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද්දේ කලාපීය සහාය අපට ලබා ගැනීම පිණිසය.