රටම හෙල්ලූ මැණික් පොකුර ගැන රස රහස් | සිළුමිණ

රටම හෙල්ලූ මැණික් පොකුර ගැන රස රහස්

 

මරිකානු ඩොලර් මිලියන සියයකට වැඩි වටිනාකමකින් යුත් ආරුනුල් මැණිකක් රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට හමුවී ඇති බවට මැණිකක් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා මාධ්‍යයට කළ හෙළිදරව්වත් සමඟ මෙරට මැණික් ක්ෂේත්‍රයේ නියැළි අය පමණක් නොව මුළු රටේම අවධානය යොමු වූයේ විමතිය සමඟ මුසුකරගත් බලාපොරොත්තුව ද සමඟිනි.

 

රාජ්‍ය මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා මාධ්‍ය වෙත ලබා දුන් තොරතුරුවලට අනුව කරන්ඩම් (corundum) පවුලේ නිල් ආර්නුල් වර්ගයට (Sxar sapphire) අයත් මෙම මැණික බරින් කිලෝග්‍රෑම් 510කි. මැණික් භාෂාවෙන් කියද්දි ක්‍රාත් මිලියන දෙකයි දශම පහකි. (2.5කි.) එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන සියයක් (100 මිලියන්) විය හැකි බවට ද අනුමාන කළේය.

සුදට හුරු නිල්පාටින් යුතු ලොව මෙතෙක් හමුවූ විශාලතම මැණික ලෙස සැලකෙන මෙම විශ්මිත මැණිකට රාජ්‍ය මැණික් සංස්ථාව නමක් ද තැබුවේය. ඒ “සෙරන්ඩිබ් නිල් මැණික“ ලෙස ය.

සෙන්ටිමීටර් 100ක් දිග හා පළලින් සෙන්ටිමීටර් 50ක් වන මෙම මැණික උසින් සෙන්ටිමීටර් 72කි. අන්තර්ජාතික මැණික් විද්‍යාඥයකු වන ගාමිණී සොයිසා මෙම මැණික පරීක්ෂාකර වාර්තා කර ඇත්තේ වසර මිලියන 450ට පමණ පෙර එනම් කේම්බ්‍රියන් යුගයට අයත් පාෂාණ නිර්මාණයක් බවත් අන්තර්ගතය එක මැණික් ගලක් ලෙස නොව වෙන් වෙන් කරගත හැකි ගල් පොකුරක් ලෙසට පිහිටා ඇති බවත්ය.

රත්නපුරයෙන් හමුවුණ විවිධ වර්ගවල මැණික් අදටත් ලොව පුරා ප්‍රදර්ශනය වෙයි. අපි කතා කරන රත්නපුරෙන් හමුවුන අලුත් මැණික කිලෝග්‍රෑම් 510ක් බර නැත්නම් මැණික් භාෂාවෙන් ක්‍රාත් මිලියන 2.5ක් වුවත් ඉතිහාසයට එක්ව ලොව කීර්තිමත් වූ මැණික් එතරම් බරින් යුතු වූ ඒවා නොවේ.

මේ වන විට ඇමරිකාවේ කෞතුකාගාරයක තැන්පත් කොට ඇති බව කියන Blue Gianx of the orient හා Logon Bule sapphire වැනි නම් දැරූ මැණික් ඒ අතර මුල් තැනක් ගනියි.

එම වටිනා මැණික් හමු වූ රත්නපුරය මැණික් පුරය නැත්නම් මිණිපුරය ලෙස විරුදාවලි ලැබුයේ ද එනිසාමය.

එහෙත් ගැටලුවකට ඇත්තේ මාධ්‍ය මඟින් එළි දැක්වුණ සෙරන්ඩිබ් නිල් මැණික රත්නපුරේ කොතැනකින් කාට හමුවූ එකක්දැයි කවුරුත් නොදන්නා කමය. එලෙසම මෙවැනි මිලියන ගණනක් වටිනා මැණිකක් කෙළින්ම මැණික් සංස්ථාවට ආවේ කෙසේද යන්න ගැනය. මේ නිසාම දැන් දැන් රත්නපුරේ මැණික්වලට සම්බන්ධ අය මෙම මැණික පිළිබඳව කතා කරන්නේ සැක සංකා ඇතිවය. අපි මෙම මැණිකේ හිමිකරු ගැන මෙන්ම මැණික හමු වූයේ කොතැනින්දැයි දැනගන්නට රත්නපුර මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ඇමැතුවෙමු.

ඔහු පැවැසුවේ මේ වන විට මෙම මැණික පිළිබඳ සියලු තොරතුරු සහ වගකීම රාජ්‍ය මැණික් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වෙත ලබාදී ඇති නිසා එම තොරතුරු ලබාදීමට හැකියාවක් නොමැති බවය.

රාජ්‍ය මැණික් සංස්ථාව මෙම මැණික හමුවීම පිළිබඳව මුලින්ම මාධ්‍යයට තොරතුරු දෙමින් කීවේ රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ ගෙවත්තකින් හමුවූ ගලක් බවටය. එසේම එය හමුවූයේ කලකට ඉහතදී බවද කියවිණි . එහෙත් ඔවුන් මැණික හමුවූයේ කොතනින්ද කාටද යන්න හරියටම කීවේ නැත.

එය පැල්මඩුල්ලේ ගාලකින් කියන ගමන්ම පැල්මඩුල්ලෙන් කියා කීවේය.

එහෙත් මාධ්‍ය ඒවායින් සෑහීමට පත්වූයේ නැත. කෙළින්ම මැණිකේ හිමිකරුවාගේ නිවසට ම ගොස් හමුවීමට තරම් සූක්ෂම විණි. එහෙත් ඔහුගේ කාරුණික ඉල්ලීම අපට ඉවතලිය නොහැකි වූ නිසා අපි ඔහුගේ නම ගම සඳහන් නොකරමු. ඔහු මැණික් සහ පතල් කර්මාන්තයට සම්බන්ධ මහා සංගමයක ඉහළම නිලයක් දැරූ කෙනෙකි.

“සෙරන්ඩිබ් නිල්මැණික“ මේ වන විට රටට පමණක් නොව මුළු ලොවටම හඳුන්වාදී හමාරය. එය ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කිරීමට ද සූදානමින් සිටී. රජය ඒ සඳහා විශේෂ ගුවන්යානා ද සපයාදීමට සූදානමින් සිටියි.

මැණික් විද්‍යාව පිළිබඳ හැදෑරූ විවිධ විද්වතුන් සහ මැණික් කෞතුකාගාර හිමිකරුවෝ මෙන්ම මෙම වර්ගයට අයත් මැණික් ගල් හිමිකරුවන් කීපදෙනකුම “සෙරන්ඩිබ් නිල් මැණික‘ ගැන වෙනස් අදහස් පළකරන්නට ගත්තේ මේ සතිය අවසන් භාගය වෙද්දීය.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ආරම්භක තක්සේරුකරුවකු මෙන්ම මැණික් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා සිටින ආචාර්ය දුනිල් පාලිත එවැනි අදහසක් ප්‍රකාශ කළ අයෙකි. අපි රත්නපුර බටුගෙදර දුනිල් පාලිත හමුවී “සෙරන්ඩිබ් නිල් මැණික“ ගැන අදහස් විමසුවෙමු.

ඔහු මුලින්ම ඒ ගැන අදහස් පළකිරීමට දැක්වූයේ මැළිකමකි. දුනිල් පාලිත පුංචි කතාබහකට එකතු කර ගත්තේ දැඩි අකමැත්ත ටිකින් ටික පහකරවමිනි.

“මේ දැන් මට තර්ජනය කරල කෝල් එකක් ආව. මේ ගල ගැන නොදන්න දේවල් කියන්න එපා කියල. මේ ගලේ වටිනාකම ගැන කොහොමද හරියට කියන්නෙ කියල.

මම මැණික් සංස්ථාව ආරම්භ කරපු කාලේ පුංචි අප්පුහාමි මහත්තය යටතේ තක්සේරු කරුවෙක් විදියට වැඩ කළා. ඒ එක්කම ලබපු පුහුණුව දැනුම සහ සොයා ගැනීම් තුළ මට ආචාර්ය උපාධියකුත් ලැබිල.

ඔය කියන ගල දැක්කෙ නැහැ. නමුත් පින්තූරවලින් දැකපු විස්තර අනුව මම හිතන්නෙ නැහැ ඔය තරම් වටිනව කියල. මිලියන ගණනින් කෝටිගණනින් කිව්වට මම හිතන්නෙ ලක්ෂ කීපයකින් තීන්දු වෙන දෙයක් වෙයි කියල.

ඔය වගේ මැණික් ඕන තරම් ලැබිල තියනව. මැණික් අගයක් නැහැ. තියෙන්නෙ ප්‍රදර්ශන අගයක්. මොකද ලොකු ඛණිජ පොකුරක් වුණත් මේක මැරිච්ච ගලක්; ගල් පොකුරක්. ගල් පොකුර කල් ඉකුත්වෙලා. කපල ඔප දමන්න බැහැ. ඉතින් කොහොමද ඔය ගල ඔයතරම් මිලකට විකුණන්නෙ. එකම දෙය කවුරු හරි මැණික් එකතු කරන කෙනෙක් ඕක ගනීවි විශේෂයෙන් පාෂාණයෙ ලොකුකම නිසා. නැතිව මිලියන ගණනින් ඩොලර් මවන ගලක් නොවෙයි.

අපි අනතුරුව හමුවූයේ රත්නපුර නගරයේ ප්‍රධාන පෙළේ මැණික් කෞතුකාගාරයක් පවත්වාගෙන යන මේ වනවිටත් ක්‍රියාකාරීව මැණික් ව්‍යාපාරයේ නිරතව සිටින එල් එල් ඒ නන්දනවය. විශේෂයෙන්ම ඔහුව හමුවීමට අදහස් කළේ කතාබහට ලක්වන මැණික මෙයට කලකට පෙරදී ඔහු දැක තිබුණ බවට ලැබුණ තොරතුරක්ද නිසාය. නන්දන මහතා අපව පිළිගෙන මුලින්ම කැඳවාගෙන ගියේ ඔහුගේ මැණික් කෞතුකාගාරයේ කොනකටය. එහි සුරක්ෂිතව උඩනංවා තිබුණ සුවිසල් පාෂාණයක් අපට පෙන්වූයේය. මෙන්න මේ ජාතියේ කොරන්ඩම් පොකුරක් තමා ඔය කියන්නෙ. මේ බලන්න මේකට එළිය වැටුණ ම නිල් පාට වෙනව. ඉරි ඉරි දිස්නෙ දෙනව. ඒක තමා ‘ස්ටාර්‘ කියන්නෙ. මේ ගලත් කිලෝ දෙතුන් සීයක් බරයි.

මේ තියෙන්නෙ ඔය ගලෙන් කඩල ගත්ත කොටස් කපල ඔපදාලා. ඉහළින් දිස්නෙ දෙන එළියක් වැටුණ විට දිලිසෙන තරු තරු පෙනෙන්නට විණ. මේ ගලෙයි ඔය කියන ගලෙයි වෙනස තමා ඔය කියන ගලේ ජීවගතිය නැහැ. ගල මැරිල. මම ඔය ගල මාස ගණනකට උඩදි බැලුව. මම ඔය ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. මට නම් වැදුණෙ ලක්ෂ හතරක පහක මිලක්. නන්දන කතාව නිම කළේ එහෙමය.

 

Comments