
මෙම වසර නිමවන විට මෙරට වයස අවුරුදු 12ට වැඩි සියලු දෙනාට කොවිඩ් 19 මර්දන එන්නත් ලබාදී අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 12ට වැඩි පාසල් සිසුන්ද ඇතුළුව වයස අවුරුදු 30 දක්වා වූ ලක්ෂ 50කට ආසන්න පිරිසකට එන්නත්කරණය හිමි වන අතර එහි ආරම්භය සැප්තැම්බරයේදී සිදු කෙරේ.
රටපුරා කර්මාන්තශාලා වැනි සේවා ස්ථානවල සේවක සේවිකාවන්ටද මේ වන විටත් එන්නත්කරණය ජූනි මස ඇරැඹූ අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.
වයස අවුරුදු 12ත් 18ත් අතර එක් කාණ්ඩයක් ලෙසත් වයස අවුරුදු 18ත් 30ත් අතර තව කාණ්ඩයක් ලෙසත් බෙදා වෙන් කර මෙම එන්නත්කරණය සිදු කරනුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදිය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත්කරණ කමිටු සභාපති ලලිත් වීරතුංග මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ වයස 30ට වැඩි ලක්ෂ 115කට අගෝස්තු මස අවසන් වන විට කොවිඩ් එන්නත්කරණය ලබාදීම අවසන් කිරීමට සැලැසුම් සකස් කර ඇති බවයි. මෙම වසරේ දෙසැම්බර් වන විට මෙරට ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසකට එන්නත් ලබාදීම අවසන් කරන බවද හෙතෙම කීය.