
මේ දිනවල පැවැත්වෙන ගුරු - විදුහල්පති විරෝධතාව හේතුවෙන් දේශපාලන ක්ෂේත්රයේ ද උණුසුම් වී ඇති අතර එම කරුණු කැබිනට් මණ්ඩලයේත්, දේශපාලන වේදිකාවලත් ප්‍රධාන මාතෘකාව බවට පත්විය.ගුරු වෘත්තීය සමිති කිහිපයක් වැටුප් විෂමතාව මුල්කරගෙන මෙසේ දිගින් දිගටම වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටින අතරතුර තවත් රජයේ සේවකයන් පිරිසක් තම වැටුප සහ අතිකාල දීමනාව ද කැපකරමින් දිනයක්, දෙකක් ස්වේච්ඡාවෙන් වැඩ කිරීම ද කැපී පෙනෙන සිදුවීමක් විය.
මේ සඳහා මුල් වූයේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරයි.
වාසු තම අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල නිලධාරීන්, සේවකයින් සමඟ කටයුතු කරනු ලබන්නේ ඉතාමත් කුලුපගවයි.
"සහෝදරයා" යනුවෙන් වාසුගේ ආමන්ත්‍රණය නිසා බොහෝ ගැටලුවලට පිළිතුරු ලැබේ. පසුගිය ජූලි මස 03 වැනි දා දිනය පුරා වැටුප් හෝ දීමනා කිසිවක් නොලබා ස්වේච්ඡාවෙන් ප්‍රජාව සමඟ එක් වී ජල නළ එළා රටට රුපියල් කෝටි 20 ක් ඉතිරි කිරීමට ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් කටයුතු කිරීම ගැන පසුගිය 28 වැනි දා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ද ලක්විය.
වැටුප් සහ අතිකාල නොගෙන එම දිනය තුළ ජල නළ කිලෝමීටර් ගණනාවක් දැමීමට එම සේවකයන් ස්වේච්ඡාවෙන් කටයුතු කළ නිසා වැටුප්, අතිකාල හා එම සේවාවන් සඳහා කොන්ත්‍රාත් ලබා නොදීම නිසා යන සියලු කරුණු සමඟ එදින රජයට ඉතිරි වූ මුදල රුපියල් කෝටි 20 ක් පමණක් වී තිබේ.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් විසල් මාතලේ ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේ ජල ජලසම්පාදන මණ්ඩලයේ සේවකයන් සියලු දෙනාට ආදර්ශවත් ක්‍රියාවක් සිදුකොට ඇති බවයි.
ඉවරයක් නැති ගුරුවරුන්ගේ වැඩ වර්ජනය ගැන රජය අභ්‍යන්තරයේ ලොකු කතිකාවක් ඇති විය. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටු ගාමී පක්ෂය, සමගි ජන බලවේගය හා රටට සතුරු ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම උද්ඝෝෂණ රැල්ල මෙහෙයවන බව සමහර නිරීක්ෂකයන්ගේ මතය විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගුරු වෘත්තිය සමිතිය ඇතුළු මිත්‍රශීලි ගුරු සංගම් කිහිපයක් රජය සමඟ නිරතුරුව සාකච්ඡා කරමින් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්න විසඳන්නට කඩිනම් පියවර ගනිමින් තිබියදී මෙවන් දුෂ්කර අවස්ථාවක රටේ දූ දරුවන් ගේ අධ්‍යාපනය බිල්ලට තබාගෙන ඇතැම් ගුරු සංගම් විසින් ආරම්භකර තිබූ මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැන රජය සිටියේ බලවත් කලකිරීමකය.
මෙවන් වසංගතයකින් රට විපතට පත්ව තිබියදී ඒ ව්‍යසනයෙන් ගොඩ යන්නට රජය දුෂ්කර ව්‍යායාමයක යෙදෙමින් සිටියදී ගුරුවරුන් වැනි දැන උගත් පැලැන්තියක් මෙසේ දේශපාලන අවස්ථාවාදීන්ගේ අතකොළු බවට පත්වීම රජයේ ඇතැම් පිරිස් අනුමත කළේම නැත.
පාසල් පටන් ගන්න හැටි
මේ අතර ජනාධිපතිවරයා 29 වැනි බ්‍රහස්පතින්දා උදේ මුළු ලංකාවේම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවක් කළේය. මෙයට ද ආණ්ඩුකාරවරු පැමිණ සිටියහ.
එම සාකච්ඡාවට අධ්‍යාපන ලේකම්වරයාට හා රාජ්‍ය පරිපාලන ලේකම් වරයාට ද සහභාගිවන්නට ආරාධනා කර තිබිණි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ගෙන් ඒ ඒ දිස්ත්‍රික්කවල වර්තමාන තත්ත්වය හා රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය ගැන විමසීමක් කළ ජනාධිපතිවරයා ඉන් පසුව අදහස් දක්වන්නට පටන් ගත්තේ ය...
"රාජ්‍ය සේවයේ මේ වගේ අකුළලා තියලා බෑ. රාජ්‍ය සේවය යළිත් වැඩ පටන් ගන්න ඕන. කොහොමද මේ දවස් වල වැඩ කෙරෙන්නේ...?" රාජ්‍ය පරිපාලන ලේකම්වරයා රජයේ සේවකයන් සේවය සඳහා දායක වන අන්දම ගැන පැහැදිලි කිරීමක් කළේය...
"මෙච්චර දවසක් ඒගොල්ලන්ව ගෙදර තියන්න, ගෙවල්වල ඉඳලා වැඩ කරන්න නිකුත් කරපු රජයේ චක්‍රලේඛන ඔක්කොම අවලංගු කරන්න. ලබන මාසේ 2 වැනිදා ඉදලා හැමෝම සේවයට වාර්තා කරන්න කියලා අලුතෙන් චක්‍රලේඛයක් නිකුත් කරන්න. ඒවගේම ඒගොල්ලන්ව සේවයට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න..." ජනපති පැවසීය.
"ගුරුවරු සේවයට ගෙන්වන්න තිබුණෙ මීට ගොඩක් කලින්..."
"අපට එහෙම කරන්න බැහැ.. අපි මුලින්ම කළේ ඒගොල්ලන්ට එන්නතේ රැකවරණය ලබා දීපු එක. දැන් ගුරුවරු 265 000ටම එන්නත ලබාදී ඉවරයි. දැන් රැකියාවට පැමිනෙන්න බාධාවක් නෑ..." ජනාධිපති කීවේය.
"එතකොට පාසල් පටන් ගන්නවා ද ජනාධිපතිතුමා..."
"ඔව්... මුලින්ම අපි ගුරුවරුන්ට පාසල් පටන් ගන්නවා. ඊට පස්සේ පියවරෙන් පියවර ළමයි පාසලට ගේනවා. "
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ දී සිදු වූ වැදගත්ම කාරණාව වූයේ රාජ්‍ය සේවයේ වැඩ පටන් ගැනීමට තීන්දු කිරීම හා ඒ පිළිබඳ චක්‍රලේඛන නිකුත් කරන ආකාරය ගැන නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමය. පසුගිය සතියේ ජනාධිපතිවරයා ගේ උපදෙස් අනුව තවත් ඉතා වැදගත් දෙයක් සිදුවිණි. ඒ වූ කලී ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් පටන් ගැනීමයි.
ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව ජනාධිපති මාධ්‍ය ප්‍රධානී සුදේව හෙට්ටිආරච්චි හා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් හා අධීක්ෂණයෙන් මෙම මාධ්‍ය මධ්‍යස්ථානය නිර්මාණය විය. ජනාධිපතිවරයාගේ හා ජනාධිපති කාර්යාලයේ තොරතුරු මෙන්ම ජනාධිපති කාර්යාලය ගනු ලබන තීන්දු තීරණ ගැන මාධ්‍ය දැනුම්වත් කිරීම මෙහි මූලික කාර්යභාරය විය.
ශ්‍රීලනිප නායකයො ජනපති හමුවෙලා
මෙම මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය 29 වැනිදා උදය වරුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් තෝරාගත් සීමිත මාධ්‍යවේදීන් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ජනාධිපති මාවතේ ජනාධිපති මාධ්‍ය ඒකකය පරිශ්‍රයේදී පැවැත්විණි. උත්සවයට පැමිණි අමුත්තන් හා මාධ්‍යවේදීන් පිළිගනිමින් කතා කළ ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මෙම මධ්‍යස්ථානයේ අරමුණු පැහැදිලි කළේය.
"ජනාධිපතිතුමාගෙන් ජනාධිපති කාර්යාලයෙන් සාධනීය දේවල් හුඟක් වෙනවා. වැදගත් තීන්දු තීරණ රැසක් රට වෙනුවෙන් ගන්නා තැන මෙතන. හැබැයි ඒවා මාධ්‍ය වලට යන ප්‍රමාණය හා ගුණාත්මකබව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සමහර තොරතුරු ලබාගන්න දුෂ්කරයි මාධ්‍යවේදීන්ට. ඒ නිසා තමයි අපි මේ වගේ මාධ්‍ය මධ්‍යස්ථානයක් බිහිකළේ මාධ්‍යවේදීන්ට ඇවිල්ලා අපෙන් ප්‍රශ්න කරලා වුණත් අවශ්‍ය තොරතුරු දැනගන්න.
හැබැයි මේක අපි ඔක්කොගෙම වැඩක්. මේක අපි පවත්වාගෙන යන්නේ අපේ තොරතුරු ඔබට කියන්න විතරක් නෙවෙයි. අපි දෙගොල්ලෝ අතර තොරතුරු හුවමාරු කරගන්න. ඔබ දන්න දේ අපට කියන්න. ඔබගේ යෝජනා අපට කියන්න. මේක අපි දෙගොල්ලන්ගේම සහයෝගෙන් සහභාගිත්වයෙන් සිද්ධ වෙන වැඩක්..."
පසුගිය 26 වැනිදා දහවල් ජනාධිපතිවරයා ඉතා සුවිශේෂී දේශපාලන හමුවකට සහභාගී විය. හමුව පැවැත්වුණේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරයි.
වර්තමාන පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන බවට පසුගිය දිනවල සමාජයේ ලොකු කතාබහක් පැතිර තිබිණි. එම කතාබහට පදනම වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පසුගිය දිනක දැක්වූ අදහස් කිහිපයකි.
මේ සම්බන්ධයෙන් යම් යම් පාර්ශ්ව ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබිණි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා සහ අදාළ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමඟ සමීපව සාකච්ඡා පවත්වන්නට කල්පනා කළේ පවතින මෙකී අනවබෝධය දුරු කර ගැනීම සඳහාය. පසුගිය 26 වැනි දා දහවල් මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය ආදීහු මෙම රැස්වීමට කල් වේලා ඇතිවම පැමිණ සිටියහ.
ණය ගෙවන හැටි බැසිල් කියයි
ඊට අමතරව මෙම රැස්වීමට සහභාගි වීමට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ද පැමිණ සිටියහ. පැය දෙක හමාරකට අධික කාලයක් ඉතා ගැඹුරින් මෙම සාකච්ඡාව පැවැත්වුණු බව පැහැදිලි විය. එහෙත් ඒ සාකච්ඡාව මාධ්‍යවලට විවෘත නො වී ය.
පක්ෂ දෙක අතර පවතින අනවබෝධය හා අසමගිය දුරු කරගෙන ඉදිරි ගමනක් යාම සඳහා ශක්තිමත් පදනමක් ඉදිකර ගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බව පමණක් පසුව හෙළිදරව් විය.
වසර විසි හතරක් තිස්සේ පවතින ගුරු වැටුප් ප්‍රශ්නයට ලෝක වසංගත තත්ත්වයක් හමුවේ විසඳුම් සෙවීමට ගුරු වෘත්තිය සමිති ගෙන යන උද්ඝෝෂණ වැඩපිළිවෙළ සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබේ. මේ ගැටලුවට මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී විසඳුමක් ලැබේ යැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූහ.
අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ගුරු ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා වූ යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබුණු අතර එම යෝජනා දෙක එකවර සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ඒ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට විශේෂ දැනුම් දීමක් කෙරිණි.
"ඇමරිකන් ඩොලර් බිලියනයක ණය වාරිකය අපි ගෙව්වා. තව තියෙන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකයි. රට දැඩි ආර්ථික අර්බුදයක තිබුණත්, සඳුදා ණය මුදල ගෙව්වා. ඒ එක්කම පවතින මූල්‍ය ගැටලු සහගත තත්ත්වයන් ගෙන් මිදෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ දවස් වල ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා " මුදල් ඇමැතිවරයා අවධාරණය කළේය.
නැවත ගුරු ප්‍රශ්නයට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු විය. ගුරුවරුන්ගේ ප්රශ්නයේ මූලාරම්භයේ සිට මේ දක්වා තොරතුරු සඳහන් කළ අධ්‍යාපන ඇමතිවරයා" මේක වසර ගණනාවක්ම ඇදෙන ප්‍රශ්නයක්. මේ ඉල්ලීම් අසාධාරණ නැහැ. ඉල්ලීමට අවධානය යොමු කරලා අපි තීරණයක් ගන්න ඕනේ. " කීය.
ගුරු - විදුහල්පතින්ට අය වැයෙන් වැඩි වැටුප්
අධ්‍යාපන ඇමතිවරයාගේ පැහැදිලි කිරීමට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් " වැටුප් වැඩි කිරීම ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපත්තියක් විදියට පඩි වැඩි කිරීමට අපි එකඟයි. නමුත් රටේ පවතින තත්ත්වය එක්ක මේ ගැන හිතන්න වෙනවා. ගුරු විදුහල්පතිවරු ඉල්ලන වැටුප් දෙන්න කෝටි 6800 ක් විතර යනවා.. රටේ පවතින තත්වය එක්ක ඒක කරන්න අමාරු වුණත් ඊළඟ බජට් එකේදි ඒක කෙරෙන්න ඕනෙ ." යැයි කීවේය.
"ගුරුවරුන්ගෙ වැටුප් අවුරුදු 24 කින් වැඩි වෙලා නැහැ. මේක ගුරුවරුන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්" ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා කීවේය.
කලක් අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාද සාකච්ඡාවට එක්වෙමින් " රිචඩ් පතිරණ මහත්තයා අධ්‍යාපන ඇමතිවරයා විදිහට කටයුතු කරන කාලෙ තමයි ගුරු සේවය ස්ථාපිත කරලා ගුරු සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන්න යෝජනාව ඉදිරිපත් කළේ. ඒ වුණත් රාජ්‍ය සේවක වැටුප් විෂමතා නිසා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ ප්‍රශ්නෙ මේ දිගින් දිගටම ඇදෙන්නේ. ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. මම මේ ගැන ජනවාරි 08 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් අද රට තිබෙන රටේ තිබෙන තත්ත්වය ගැන හිතන්න වෙනවා"
"හදිසි කැබිනට් පත්‍රිකාවක් නිසා මේ පත්‍රිකා නිරීක්ෂණය කරන්න සති දෙකක කාලයක් අවශ්‍ය වෙනවා. කොහොමටත් ඉදිරි අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමක් අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕනේ. මේ ගැන අමාත්‍යාංශයේ සාකච්ඡා වෙනවා. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේ හැකියාව ගැන සොයාබැලීම් කෙරෙමින් තිබෙනවා" මුදල් අමාත්‍යවරයා ද කීය.
අධ්‍යාපනයට ටී.වී. චැනල්
"පුළුවන් ඉක්මනට අධ්‍යාපනය වෙනුවෙන් ටි.වි චැනල් එකක් පටන් ගත්තා නම් මේ වෙලාවේ ලොකු දෙයක්. ඒ ගැන වැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ " වීමල් වීරවංශ ඇමතිවරයා කීවේය.
ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල" ඒකට අපි ලැහැස්තියි. අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඒ සඳහා ක්‍රමවේදයක් සහිත සැලැස්මක් අපිට ඕනේ" කීය.
"අපි ඒක හදාගෙන යනවා" අධ්‍යාපන ඇමතිවරයා පෙරළා පිළිතුරු දුන්නේ ය.
"අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉක්මනට සැලැස්ම හදලා චැනල් වැඩේ පටන් ගන්න. අගමැතිතුමා හා ඇමතිවරු කීපදෙනෙක් ගුරු සංගම් සමඟ මේ ගැන සාකච්ඡා කරනවා නම් හොඳයි. මේ තත්ත්වය ඒ අයට පැහැදිලි කරලා දෙන්න" ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුදින ගුරු සංගම් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරිණි. ඒ සඳහා විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නම් යෝජනා විය.
පසුගිය අගහරුවාදා අග්‍රමාත්‍යවරයා හා ගුරු සංගම් නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ ඒ අනුවයි. සාකච්ඡාව අරඹමින් අගමැතිවරයා කීවේ ‘අපි ප්‍රතිපත්තියක් විදිහට ගුරු වැටුප් වැඩි කරන්න එකඟයි. අපි ඒක කරනවා. ඊළඟ බජට් එකෙන් මේ ප්‍රශ්නෙ විසදන්න අපි තීරණය කරලයි තියෙන්නේ. ඒ වෙනකම් අපිට සහාය දෙන්න.
මේ වෙලාවේ සල්ලි නැතුව වෙන ඕනැම දෙයක් ඉල්ලන්න‘. කියාය. ගුරු සංගම් නියෝජිතයන් ඊට පිළිතුරු දෙමින් කීවේ ගුරු වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවක් අවශ්‍ය බවය. ඉතින් අපි ප්‍රතිපත්තියක් විදිහට ඒකට එකඟයිනේ. මේ වෙලාවේ රට බරපතළ ප්‍රශ්නයක තියෙන්නේ. ඒ නිසා අපිට ටික කාලයක් දෙන්න.‘ අගමැතිවරයා යළි කීවේය. කෙසේ වෙතත් ගුරු සංවිධාන නියෝජිතයන් මස් රාත්තලම ඉල්ලා සිටින බව පෙණින. ඒ අනුව සාකච්ඡාව අවසන් වුයේ එකඟතාවකින් තොරවය.
75 සංවත්සරයට රනිල් සැරසෙයි
පාර්ලිමේන්තු සතියක් නොවුණ ද එක්සත් ජාතික පක්ෂ නායකයාට මෙම සතිය කාර්ය බහුල වූවේ පක්ෂයේ 75 වන සංවත්සරය වෙනුවෙන් බොහෝමයක් කටයුතු සුදානම් කරමින් පැවැති නිසාය. ඊට අමතරව පළාත් පාලන ආයතන සභිකයන් හමුවීම් ගණනාවක් යෙදී තිබුණේ වෙනත් කණ්ඩායම්වලට සහාය දැක්වීමට ගිය පිරිස් නැවත පක්ෂයට එක්වීමට කැමැත්ත පළකර තිබූ බැවිනි. ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා මන්ත්‍රීවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ මන්ත්‍රීවරු කණ්ඩායමක් වෙනත් පක්ෂයකට සහායදීමට එක්වූව ද යළිත් ඔවුන් පක්ෂය හා එක්වීමට කැමැත්ත පළ කර තිබූ බැවින් ඔවුන් හා සාකච්ඡා කිරීමේ කටයුතු නායකයා බාරදී තිබුණේ නියෝජ්‍ය නායක රුවන්ටය.
නියෝජ්‍ය නායකයා ඉකුත් සතිය පුරා මෙම කණ්ඩායම් සමඟ සාකච්ඡා කළ අතර එහි ප්‍රගතිය ගැන නායකයා දැනුම්වත් කිරීමට වගබලා ගත්තේය. පසුගිය සතියේ හෝමාගම නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු මේ අනුව යළිත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීන්දු කෙරිනි. නායකයා අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දවස පුරා සිරිකොත පක්ෂ මූලස්ථානයේ රැදී සිටිමින් 75 වන සංවත්සරය කේන්ද්‍ර කර ගෙන පක්ෂ කටයුතු ඉදිරියට ගෙනයන ආකාරය ගැන සාකච්ඡා කළේය.
"පක්ෂයේ 75 වන සංවත්සරය මූලික කරගනිමින් වැඩසටහන් 75 ක් ආරම්භ කරමු. 2024 ඉලක්ක කර ගෙන මේ වැඩසටහන් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්." වජිර කීවේ එවැන්නකි. "ඔව් ඒක හොඳ අදහසක් 2024 බලය ගැනීම වෙනුවෙන් වූ සැලසුමක් ලෙස අපිට පාක්ෂිකයන්ටත් ජනතාවටත් මෙය ඉදිරිපත් කරන්න පුළුවන් වේවි. වැඩ 75 කින් බලය අල්ලමූ වගේ ආකරෂණීය තේමා පාඨයක් එක්ක මේක අරගෙන යමු." රුවන් පක්ෂ සභාපතිගේ යෝජනාව අනුමත කළේ එලෙසිනි. "වැඩ 75 ම එක පාර දාන්නේ නැතුව කොටස් වශයෙන් කරන්නත් පුළුවන්. අනෙක සම්මේලනයේදී පත්වීම් ටිකත් අනුමත කර ගන්න ඕනේ. සම්මේලනයට සෙනග ගේන්නත් සංවිධායකයෝ කතා කරනවා." මහලේකම් රංගේ තවත් කරුණක් එක් කළේය.
"පාක්ෂිකයෝ එන්න කැමති වුණත් කොවිඩ් නිසා අපිට මේක ලොකුවට කරන්න බැරි වෙයි. පාක්ෂිකයන්ගේ පිබිදීමක් තිබුණත් කොවිඩ් නිසා ජනතාව ගේන්න බෑ. ඔවුන්ට ඒක පැහැදිලි කරලා දෙන්න." නායකයා කීවේ රංගේ දෙස බලමිනි.
හරින්ගේ සවියට සජිත්
මේ අතර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක් කර තිබුණි. අසනීපව සැත්කමකට ලක්ව සිටි හරින්ට මෙම කැඳවීම ලැබුණ වහාම ඒ බව සජිත්ට දැනුම් දුන්නේය.
එම පණිවුඩය ලැබුණ වහාම හරින්ට සජිත් දුරකතන ඇමතුමක් දී මේ ගැන විමසුවේය.
‘‘මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැෙඳව්වට අධිකරණයෙන් මේ ගැන නියෝගයක් ලබාදී තියෙනවා’’හරින් කීය.
‘‘තනියම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න එපා. මමත් ඔයා එක්ක යන්න එන්නම්’’ සජිත් කීය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට පෙර හරින් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය. එතැන් සිටි සජිත් සමඟ එකම වාහනයකට නැඟී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය. ඒ සමඟ රංජිත් මද්දුමබණ්ඩාර, මනුෂ නානායක්කාර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියහ.
සජිත් බදාදා රාත්‍රීයේදී හිතවත් පුවත්පත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් හමුවිය. පවතින දේශපාලන තත්වය, ආර්ථිකය ඇතුළු බොහෝ දේ ගැන විවෘතව කතා කළේය. සජිත් වෙනුවෙන් වෙනම මේසයක් වෙන් කර තිබුණත් ඔහු එදෙසවත් නොබලා මාධ්‍යවේදීන් අතරට පැමිණ, අසල තිබූ පුටුවක් ඇදගෙන මාධ්‍යවේදින් අසලම වාඩිවිය.
මීටරයක පරතරය ඇතිව අසුන්ගෙන මුව ආවරණ පැලඳ සිටියත් මාධ්‍යවේදීන්ගේ නමින් කතා කිරීමට සජිත්ට හැකිවිය. එපමණක් නොව ඇතැම් මාධ්‍යවේදීන්ගේ පවුලේ අය ගැනත් අසන විට ඇතැම් මාධ්‍යවේදීන් පුදුමයට පත් විය.
‘‘මීටරේ සිමාව තියාගෙන හරි මෙහෙම හමුවීමට ලැබීම ලොකු දෙයක්’’ සජිත් කීවේ කොරෝනා තත්ත්වය ගැන හා එන්නත්කරණය ගැන අවධානය යොමු කරමිනි.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ගැනත් අවධානය යොමුවිය.
‘‘නැවේ ගින්න නිසා ආණ්ඩුවට ලොකු වන්දියක් ලබාගන්න පුළුවන් වෙනවා නේද?’’මාධ්‍යවේදියෙක් පැවසුවේය. ‘‘ගින්න නිසා ඇති වූ හානියෙන් වන්දියක් ගන්න නම් පරිසර හානිය ගැන තක්සේරු ඇස්තමේන්තුවක් කරන්න ඕන’’සජිත් කිය. ‘‘ඒක ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවනේ කරන්න ඕන’’ මාධ්‍යවේදියෙක් කීවේය. ‘‘ඒක කරන්න ඕන පරිසර අමාත්‍යාංශයෙන්. මේ වගේ සිදුවීමකදී කරන්න මොන දේවල් ගැන සුරේන් බටගොඩ අපූරු පොතක් ලියලා තියෙනවා’’ සජිත් කීවේ තමන්ගේ වාහනයේ තිබූ එම වාර්තාව තමන් අතට ගෙන්වාගෙන මාධ්‍යවේදීන්ට පෙන්වමිනි.
ඇතැම් කරුණු ගැන මධ්‍යස්ථ විවේචනයක් කිරීමටද සජිත් අමතක කළේ නැත.
‘‘දැනට ඔබතුමා ෂැඩෝ කැබිනට් එකක් හදන්න අදහසක් නැද්ද’’ මාධ්‍යවේදියෙක් ඇසුවේය. ‘‘ෂැඩෝ නෙමෙයි. රියල් කැබිනට් එකක් මගේ ඔළුවේ ඉන්නවා’’ සජිත් උත්තර දුන්නේ මාධ්‍යවේදීන් සියලු දෙනාගේ මුහුණුවලට සිනහවක් එක් කරමිනි.
ලාන්සා මීමුරේට ගිහින්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සංකල්පයක් මත ක්‍රියාත්මක "ගම සමඟ පිළිසදර" වැඩසටහනේදී මීමුරේ හා අවට ගම්මාන කිහිපයක ජනතාව විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ වර්තමාන ප්‍රගතිය සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ප්‍රධානත්වයෙන් ඉකුත් 25 දින මීමුරේ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි.
ඒ අනුව අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සියයට 85 ක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. ජනතාවගෙන් ලැබී තිබූ යෝජනා අතුරින් තවදුරටත් ක්‍රියාත්මක විය යුතු සියයට 15 ක පමණ යෝජනා සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම හා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ අංශ වෙත උපදෙස් ලබාදීම මෙහිදී සිදු කරනු ලැබීය.