ලොව පුරා සරන කොවිඩ් නව ප්‍රභේද ලංකාවට කරන බලපෑම | Page 2 | සිළුමිණ

ලොව පුරා සරන කොවිඩ් නව ප්‍රභේද ලංකාවට කරන බලපෑම

- ජූලි 12 වැනිදා සිට ගුරුවරුන්ට සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් කොවිඩ් එන්නත්
- ඉතිරි වූ ෆයිසර් එන්නත් විදෙස්ගතවන සිසුන්ට සහ මන්නාරමේ ධීවරයන්ට
- අලුත් අවුරුදු පොකුර ආසාදිතයන් 1,68,000 ඉක්මවයි
- ජූලි 3 වැනි සතියේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක්

ලැම්ඩා නමින් තවත් අලුත් කොවිඩ් ප්‍රභේදයක්

ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන තවත් අලුත් කොවිඩ ප්‍රභේදයක් පේරු රාජ්‍යයෙන් වාර්තා වන අතර එය හඳුන්වන්නේ ලැම්ඩා නමිනි. ඉකුත් වසරේදී පේරු රාජ්‍යයෙන් මුලින්ම හමුවූ එම ප්‍රභේදය මේ වනවිට දකුණු ඇමෙරිකාවේ රටවල් කිහිපයක පැතිරගොස් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

පසුගිය මාස දෙකෙහි පේරු රාජ්‍යයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 82%ක් පමණ එම ප්‍රභේදය ආසාදිත වූවන් බවද හඳුනාගෙන ඇත. මේ වනවිට ලැම්ඩා ප්‍රභේදයේ ආසාදිතයන් රටවල් 30කින් පමණ හමුවී ඇති අතර, චිලීහි සිදුකළ නවතම පර්යේෂණයකින් හඳුනාගෙන ඇත්තේ මීට පෙර හඳුනාගත් ඇල්ෆා සහ ගැමා කොවිඩ් ප්‍රභේදවලට සාපේක්ෂව ලැම්ඩා ප්‍රභේදයේ සම්ප්‍රේෂණ හැකියාව ‍ෙබහෙවින් ඉහළ බවය.

ලැම්ඩා ප්‍රභේදය සම්බන්ධයෙන් සීමිත තොරතුරු වාර්තා වීම පර්යේෂණ සඳහා බාධාවක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. එම සංවිධානය විසින් ජුනි 14 වැනි දින ලැම්ඩා ප්‍රභේදය "උනන්දුවක් දක්වන ප්‍රභේද" ලැයිස්තුවටද ඇතුළත් කරනු ලැබිණි.

වර්ජන මැද දිනාගත් සුව සේවා ඉල්ලීම්

කොවිඩ් 19 මැඬලීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය අංශ සාමාජිකයන් විසින් ඉටුකරනු ලබන සේවය සුළුපටු නොවේ. ඉකුත් දිනවල සුව සේවා අංශවලට අයත් පාර්ශ්ව කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූහ. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් 7න් 5කට කඩිනමින් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පියවර ගත් අතර සෙසු ඉල්ලීම් 2ට අදාළ විසඳුම් මීළඟ විසඳුම් මීළඟ අයවැයෙන් ලබාදීමටද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත. 

ඒ අනුව හෙද සරසවිය ආරම්භ කිරීම, අත්හිටුවා ඇති උසස්වීම් සහ මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම, රුපියල් 20,000ක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම, දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට පැය 30ක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම යන ඉල්ලීම් 5 වහාම ක්‍රියාත්මක වේ. ඊට අමතරව රුපියල් 10,000 දීමනාව සහ මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අයවැයෙන් ලබාදීමට නියමිතය.

ඉල්ලීම් ලැබීම හේතුවෙන් හෙද සංගම් වර්ජනය අතහරිද්දී නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තිය සමිති 14ක් ඉකුත් 5 වැනිදා වැඩ වර්ජනයක් ආරම්භ කළහ. ඒ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම, එම්. ආර්. ස්කෑන් සිදුකිරීම ඇතුළු සේවාවන් රැසකට බාධා එල්ල වූ අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට එම වෘත්තීය සමිති තීරණය කළහ.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ලබාදුන් පොරොන්දුව හේතුවෙන් වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි. 

ඩෙල්ටා ප්‍රභේදය භයානක වන්නේ ඇයි?

ඉන්දියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ඩෙල්ටා හෙවත් B.1.617.2 ප්‍රභේදයේ ආසාදිතයන් කිහිපදෙනකු මෙරටින් හඳුනා ගැනීමත් සමඟ ඒ පිළිබඳ ජනතාවගේ අවධානය වැඩි වී තිබෙන්නේ එය සෙසු කොවිඩ් ප්‍රභේදවලට වඩා දරුණු වයිරසයක් ලෙස සැලකෙන නිසයි. එන්නත් සම්බන්ධව කටයුතු කරන ලොව ප්‍රකට GAVI (Global Alliance for Vaccines and Immunization) ආයතනය නිකුත් කරන ලද වාර්තාවකින් ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිකර ඇත.

ඒ අනුව ඕනෑම වයිරසයක් ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන විට එහි විකෘතිතා ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවීමක් වන අතර ඒ අතරින් කලාතුරකින් වයිසරසය පැතිරීමට උදවු වන විකෘතිතාද ඇතිවිය හැකිය. එවැනි විකෘතිතාවක් ඇතිවූ විට එය අනෙක් ප්‍රභේද අබිබවා ඉතා ඉක්මනින් පැතිර යෑම සිදුවේ. ඒ අනුව මෙතෙක් දැනට මෙරට පැතිරෙමින් පවතින ඇල්ෆා (B.1.1.7) වයිරස ප්‍රභේදයටත් වඩා ශීඝ්‍රයෙන් පැතිරී යෑමේ හැකියාවක් ඇතැයි සැලකෙන ඩෙල්ටා ප්‍රභේද සොයාගැනීමත් සමඟ රෝගය පැතිරී යෑමේ අවදානම ඉහළ ගොස් ඇත. ඩෙල්ටා ප්‍රභේදය යම් රටකින් වාර්තා වී සාපේක්ෂව කෙටි කාලයක් තුළ එම රට තුළ දක්නට ලැබෙන ප්‍රධානම ප්‍රභේදය බවට පත්වීමේ අවදානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එමෙන්ම ඩෙල්ටා ප්‍රභේදය නිසා රෝග ලක්ෂණ උත්සන්න වීමට ඇති හැකියාව වැඩි බවත් ඒ නිසා ඩෙල්ටා ප්‍රභේදය බහුල රටවල කෝවිඩ් රෝගීන්ට රෝහල් ප්‍රතිකාර, ඔක්සිජන් සහ දැඩි සත්කාර අවශ්‍ය වීම අනෙක් රටවලට වඩා බහුල වනු ඇතැයිද සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

එක් කොවිඩ් ප්‍රභේදයක් වැලඳුණොත් අනෙක් ප්‍රභේදවලින් ආරක්ෂිතයිද?

එක් වයිරසයක ප්‍රභේද කිහිපයක් තිබිය හැකි අතර, පුද්ගලයකුට වයිරසයක එක් ප්‍රභේදයක් ආසාදනය වූ පසු නැවත වරක් එම ප්‍රභේදය ආසාදනය නොවන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේය. 

ඊට හේතුව එම ප්‍රභේදයට විරුද්ධව සිරුරේ ප්‍රතිශක්තිකරණය ඇතිවීමයි. එහෙත් එම ප්‍රතිශක්තිය වෙනත් ප්‍රභේදයකින් ආරක්ෂා වීමට හේතු වන්නේ නැත. එසේ වුවත් එම පුද්ගලයාට දෙවනුව ආසාදනය වන ප්‍රභේදය ඊට පෙර ආසාදනය වූ ප්‍රභේදයට සමාන නම් ඒ හේතුවෙන් දෙවැනි වර ආසාදිත ප්‍රභේදයෙන් බරපතළ සංකූලතා ඇති නොවිය හැකිය. එහෙත් අලුත් ප්‍රභේද ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිරන්තරයෙන්ම සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම අත්‍යවශ්‍ය වන අතර පිටතට ගොස් බාහිර සමාජය සමඟ ගැටී අලුත් අලුත් ප්‍රභේද නිවෙසට ගෙනගොස් ආසාදිතයන් නොවීමට සියලු දෙනා සැලකිලිමත් විය යුතු බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අවධාරණය කළේය.

එන්නත්කරණයෙන් ලැබෙන ආරක්ෂාව

එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් බොහෝ දුරට සාර්ථක ආරක්ෂාවක් ලැබෙන බව පර්යේෂණ වාර්තාව මඟින් පෙන්නුම් කළද කිසිදු එන්නතක් මඟින් කිසිදු ප්‍රභේදයක් ආසාදනය වීමේ සම්භාවිතාව සියයට සියයකින් අඩු නොකරයි. එහෙත් දැනට මෙරට සිදු කරගෙන යන එන්නත්කරණය, පවතින ප්‍රභේද මෙන්ම මෙම නව ප්‍රභේදය නිසා ඇතිවන අසාධ්‍ය තත්ත්වයන් සහ මරණ අවම කිරීමට යෝග්‍ය වේ.

එම නිසා කොරෝනා ආසාදන තත්ත්වයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පෙර පරිදිම පිළිපැදීම ඩෙල්ටා ප්‍රභේදයට ද අදාළ වේ. ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදය සොයා ගැනීමත් සමඟ ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන මෙන්ම, පිරිස් එකිනෙකාට ආසන්නයෙන් ගැවසෙන අවකාශ මගහැරීමට වඩාත් සැලිකිලිමත් විය යුතුය. සෙසු කොවිඩ් ප්‍රභේදවල මෙන්ම මේ ප්‍රභේදයේද රෝග ලක්ෂණ පහළ වීමට කාලයක් ගතවිය හැකි අතර ඇතැම් විට සැලකිය යුතු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා වයිරසය ශරීරගතවී තිබිය හැකිය.

ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාවෙන් පසු

ඇස්ට්‍රාසෙනෙකා පළමු වැනි මාත්‍රාව ලෙස ලබාගෙන දෙවැනි මාත්‍රාව සඳහා වෙනත් එන්නත් වර්ග භාවිතා කළ හැකිද? සාර්ථකව ප්‍රතිදේහ නිපදවීම සඳහා කොපමණ කාල පරාසයක් ඇතුළතදී දෙවැනි මාත්‍රාව ලබාගත යුතුද යන කරුණු සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී පර්යේෂණ වාර්තා කිහිපයක්ම නිකුත් විය. 

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණ වාර්තාවකට අනුව ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව හා දෙවැනි මාත්‍රාව අතර කාල සීමාව සති 45 දක්වා දිගු වුවද එයින් සාර්ථක ප්‍රතිශක්තීකරණයක් ඇති කරන බව පැවසේ. තවත් පර්යේෂණයකින් පැවසෙන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව සඳහා ෆයිසර් වැනි එම්.ආර්.එන්.ඒ එන්නතක් ලබාදීමෙන් සිදුවන ප්‍රතිශක්ති ජනනයයි.

එකී පර්යේෂණ දෙකින්ම පැවසෙන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන්ම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී සිදුවන ප්‍රතිශක්තිජනනයට සමාන හෝ ඊට වඩා වැඩි ප්‍රතිශක්තියක් දෙවැනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ගැනීමෙන් වඩා සාර්ථක විය හැකි බවයි.

Mix and Match එන්නත් ක්‍රමය

එන්නත්කරණයේදී Mix and Match නැතහොත් මිශ්‍රකර ගළපා දීම යනු විද්‍යාත්මකව තහවුරු කරන ලද ක්‍රමවේදයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසීය.

ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ගත් අයකුට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදිය හැක්කේ මොඩර්න් හෝ ෆයිසර් යන එන්නත් පමණක් බව ලෝකයේ විද්‍යාත්මක පර්යේෂණ තුළින් තහවුරු කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. මෙරට එන්නත්කරණය සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් වන අතර ඔවුන් ඖෂධ නියාමන අධිකාරිය සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ සහ අනුමැතිය යටතේ කටයුතු කරනු ලබයි. එහිදී එන්නත්කරණය සම්බන්ධයෙන් ලෝකයම පිළිගත් විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු කරන ලද දත්ත අධ්‍යයනයට ලක්කර අවශ්‍ය තීරණ ගනු ලැබේ. දැනට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට Mix and Match ක්‍රමවේදය යටතේ මොඩර්න් හෝ ෆයිසර් යන එන්නත් හැර වෙනත් එන්නත් වර්ගයක් නිර්දේශ කර නොමැති බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

කොවිඩ් මඬින සටනට අලුතින්ම එක්වූ ෆයිසර් එන්නත් මාත්‍රා 26,00ක් ඉකුත් 5 වැනිදා මෙරටට ලැබීමත් සමඟ මෙරට එන්නත්කරණයට එක්වූ අලුත්ම එන්නත එය බවට පත්විය. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත පළමුවෙන් ලබාදීමට රජය තීරණය කිරීමත් සමඟ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වසය අවුරුදු 55 ත් 69 ත් අතර පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත දෙවැනි මාත්‍රාව ලෙස එන්නත ලබාදීම ඉකුත් 7 වැනිදා ආරම්භ විය. එහෙත් එම එන්නත් ලබාදීම අත්හිටවූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් 8 වැනිදා පැවසීය. ඊට හේතුව ජූලි මස තුන්වැනි සතිය වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.4ක් මෙරටට ලැබීමට නියමිතව තිබීමයි.

ෆයිසර් එන්නතේ ක්‍රියාකාරීත්වය

ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයකුගේ ශරීරය තුළ ස්පයික් ප්‍රෝටීන නිපදවන අතර ඉන්පසු එන්නත ලබාගත් පුද්ගලයාගේ සිරුර තුළ ඊට එරෙහිව ප්‍රතිදේහ ඇතිවේ. කොවිඩ් වෛරසය තුළ ඇත්තේද ස්පයික් ප්‍රෝටීන බව හඳුනාගෙන ඇත. එබැවින් ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයකුට කොවිඩ් වයිරසය ශරීරගතවුවත් ඊට එරෙහිව සටන් කිරීමේ හැකියාව වර්ධනය වෙයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ ෆයිසර් එන්නතේ සාර්ථකත්වය 95%ක් තරම් ඉහළ අගයක් ගන්නා බවය. එහෙත් යම් පුද්ගලයකුට කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට නම් ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතුය. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දින 21ත් මාසයත් අතර කාලය තුළදී එහි දෙවැනි මාත්‍රාවද ලබාගත යුතු බවය.


ඡායාරූප- විමල් කරුණාතිලක සහ සුදත් මලවීර

මෙහි සඳහන් කර ඇත්තේ ජුලි ‍ 9 වැනිදා පස්වරු 12.30 තෙක් වාර්තා වූ දත්ත වේ.

Comments