ලොව වටා | සිළුමිණ

ලොව වටා

කොවිඩ් පවුලට අලුතෙන්

ගැමා සහ ලැම්ඩා

කොවිඩ් වයිරසයේ අලුත්ම ප්‍රභේද දෙකක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා දැනුම් දුන්නා. එම ප්‍රභේද දෙක නම් කර ඇත්තේ ගැමා සහ ලැම්ඩා වශයෙන්. එම වයිරස ප්‍රභේද දෙකත් සමග මේ වන විට ලොව පුරා කොවිඩ් වයිරසයේ ප්‍රභේද පහක් හඳුනාගෙන තිබෙනවා. ඒ ඇල්ෆා, බෙටා, ඩෙල්ටා ගැමා සහ ලැම්ඩා වශයෙන්. මේ වයිරස ප්‍රබේද පහම 2019 වසරේ චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වූ ප්‍රධාන වයිරසයෙන් පසුව ජනනය වූ ප්‍රබේදයන්.

අලුතෙන්ම හඳුනා ගත් ලැම්ඩා වයිරසය මේ වන විට දකුණු ඇමරිකාවේ පීරූ රට මූලික කර ගනිමින් වේගයෙන් පැතිර යමින් තිබෙනවා. පසුගිය ජූනි 19වැනිදා තහවුරු කළ අන්දමට ලැම්ඩා වයිරස ප්‍රබේදය ආසාදනය වූවන් මේ වන විට ලොව පුරා රටවල් 29කින් හඳුනාගෙන තිබෙනවා.

 

ඇෆ්ගන් සෙබලුන් තජිකිස්ථානයට පළා යති

 

නේටෝ සහ ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම ඇරඹීමත් සමඟ බලවත් වූ තලේබාන් හමුදා සමඟ ගැටීමට අසමත් ඇෆ්ගනිස්ථාන හමුදා සාමජිකයන් දහසක් පමණ මේ වන විට අසල්වැසි තජිකිස්තානයට පලා ගොස් ඇතැයි වාර්තා වේ. මේ වන විට නේටෝ හමුදා විශාල වශයෙන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගනිමින් තිබෙන අතර එයට සාපේක්ෂව රටේ බලය තලේබාන් සංවිධානය අතට පත් වෙමින් තිබේ. දිස්ත්‍රික්ක පනහක පමණ බලය මේ වන විට තලේබාන් හමුදා අතට පත් වී ඇති අතර මෙලෙස හමුදා සාමජිකයන් අසල්වැසි රටවලට පලා යමින් සිටින්නේ තලේබාන් හමුදා සමඟ ගැටීමට රජයේ හමුදාවලට ශක්තියක් නොමැති බැවිනි.

 

අසර්බයිජාන මුහුදේ

මඩ යමහලක්

 

පසුගිය ජූලි පස්වැනිදා අසර්බයිජාන ජනතාව දැඩි සේ බියට පත්වූයේ ඔවුන්ගේ රටට ආසන්න කැස්පියන් මුහුදේ සිදුවූ අති විශාල පිපිරීමක් හේතුවෙන්. එය පරමාණු බෝම්බ පිපිරීමකට සමාන තරමේ ශබ්දයක් සහ ආලෝකයක් ඇති කළා. කැස්පියන් මුහුදේ අසර්බයිජාන තෙල් ළිං පිහිටා තිබීම හේතුවෙන් සියලු දෙනා ප්‍රථමයෙන්ම අනුමාන කර සිටියේ එම පිපිරීම තෙල් ළිඳක ඇති වූ පිපිරීමක් ලෙසයි. එහෙත් සියලු තෙල් ළිං ආරක්ෂිතව පැවතීම හේතුවෙන් එම පිපිරීම කුමක්දැයි සොයා විශේෂයෙන් සොයා ලැබීමට සිදුවූවා.

අවසානයේ එම පිපිරීම මඩ යමහලක ඇතිවූ පිපිරීමක් ලෙස හඳුනාගනු ලැබුවා. මේ පිපිරීමෙන් කිසිවකුටත් හානි සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

 

අගමැති අණින්

සිංහයා අයිතිකාරයාට

 

කාම්බෝජයේ නිවසක ඇති කළ සිංහයකු පසුගියදා එරට බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන සත්ත්ව ආරක්ෂක මධ්‍යස්ථානයකට ගෙන ගොස් තිබෙනවා. මේ සිංහයා චීන ජාතිකයකුට අයත් වූ අතර ඔහුගේ නිවසේ අනාරක්ෂිතව රඳවා සිටියදී සිංහයාව බලධාරීන් විසින් රැගෙන යනු ලැබුවා.

මේ පිළිබඳව දැන ගත් පසු කාම්බෝජ අගමැතිවරයා සිංහයා යළි අයිතිකරුවාට ලබා දෙන ලෙස දැනුම්දුන් බවත් පසුව ඒ අනුව සිංහයා අයිතිකරු වෙත ලබා දුන් බවත් මාධ්‍ය වාර්තා කර සිටියා. තම සිංහයා රැගන යෑමෙන් පසුව අදාළ චීන ජාතිකයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධව ලබා දුන් ප්‍රාචරණය හේතුවෙන් කාම්බෝජ අගමැතිවරයා මේ සිදුවීමට මැදිහත් වූ බවටද වාර්තා දැක ගත හැකි වූවා. කෙසේ වුවද අගමැතිවරයා මේ සම්බන්ධව පවසා ඇත්තේ තමා මේ සිංහයා නිදහස් කිරීමට නියෝග කිරීමට පෙර තමා ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟද සාකච්ඡා කළ බවයි. කෙසේ වුවද චීන ජාතිකයාට රජයට දඩයක් ගෙවීමට නියෝග කළ බවද අගමැතිවරයා මාධ්‍ය වාර්තාවල සඳහන් වුවා.

 

හයිටි ජනාධිපති

ඝාතනය කෙරේ

 

 

හයිටි ජනාධිපති යොවෙනාල් මොයිසේ පසුගියදා ඝාතනය කරණු ලැබුවා. මේ ඝාතනය විදේශිකයන් පිරිසක් විසින් සිදුකරන ලද්දක් බවයි මේ දක්වා වාර්තා වී ඇති තොරතුරු අනුව ප්‍රකාශ වන්නේ. මේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ජනාධිපති බිරිය වහාම ඇමරිකාවේ මියාමි හි රෝහලකට ඇතුළත් කරණු ලැබූ බව හයිටි රජයේ ආරංචිමාර්ග වාර්තා කර සිටියා.

ඝාතනය සිදු කළ විදේශිකයන් කණ්ඩායම රාත්‍රියේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට පැමිණ ප්‍රහාරය එල්ල කර තිබෙනවා. මේ විදේශිකයන් කිනම් හේතුවක් මත ජනාධිපතිවරයා ඝාතනය කළේද යන්නට මේ දක්වා තවමත් නිශ්චිත හේතුවක් ඉදිරිපත් වී නැහැ.

Comments