
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මුළු රටට ම පනවා තිබූ සංචරණ සීමා දින දෙක තුනකට ලිහිල් කර තිබුණද සාමාන්‍ය දිනක පාරවල්වල දක්නට ලැබෙන තරම් ජනතාවක් එදින පාරවල්වල දක්නට නොලැබිණි. එම නිසා අප යා යුතුව තිබුණු කොග්ගලට වෙනදාට වඩා ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ළඟාවීමට හැකියාව ලැබිණි. මාටින් වික්‍රමසිංහ නම් වූ ගත්කතුවරයා උප්පත්තිය ලැබූ ගම සේම පසෙක ඔහු ලියූ මඩොල් දූව නම් වූ කෘතියට කොග්ගල පාදක කර ගෙන තිබීම නිසා කොග්ගල ගැන නොදන්නා කෙනෙක් නොවීය. ඒ තරම් ම කොග්ගල නම් වූ ගම්මානය ජනතාවට සමීප ගම්මානයක් බවට පත්කරන්නට වික්‍රමසිංහයන් එදා සමත් විය. එහෙත් අද අප කතා කරන්නේ වික්‍රමසිංහයන් ලියූ කොග්ගල පසුකාලීනව නගරයක් ලෙස දියුණු වන්නට හේතු වූ සාධකයන් ගැනය.
ඒ , 1977 වසරේ දී එවකට තිබූ රජය විසින් විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත් සමඟ විදේශ රටවලින් බොහෝ දේ ගලා එන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සිදුකර, ඒ මඟින් කර්මාන්ත ශාලා ස්ථාපිත කිරීමට අවස්ථාව ඉල්ලා සිටියේය. මේ පිළිබඳව අවධානය යොමු කළ එවකට පැවති රජය, රැකියා වියුක්තියට සහ විදේශ ආයෝජන රඳවා ගැනීමේ අරමුණින් අපනයන සැලසුම් කලාප සංකල්පය හඳුන්වා දීමට කටයුතු කළේය. ඒ අනුව මෙරට ඉදිකළ තුන්වැනි සහ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ඉදිවුණු ප්‍රථම අපනයන සැලසුම් කලාපය ලෙස 1991 වසරේ ජුනි මස 14 වැනිදා ස්ථාපිත කළ කොග්ගල අපනයන සැලසුම් කලාපය හඳුන්වා දිය හැකිය. මේ වන විට මෙම කොග්ගල අපනයන සැලසුම් කලාපය ආරම්භ කර දශක තුනක් එනම් වසරක් තිහක් සපුරා ඇත.
කොග්ගල අපනයන සැලසුම් කලාපය ආරම්භ කිරීමට පෙර එම භූමියේ අක්කර 81 ක් පුරා තිබූ බන්ධනාගාරය, අක්කර 18 ක් පුරා තිබූ ළමා සුරකුම් මධ්‍යස්ථානය සහ එහි පදිංචිව සිටී පවුල් 128 කට වන්දි සහ ඉඩම් ලබාදී අක්කර 225 කට ආසන්න භූමිය රජයට පවරා ගනිමින් ආයෝජන කලාපය ස්ථාපිත කෙරිණි. එදා එම කලාපය විවෘත කරන විට එහි මාටින් ඉම්ප්‍රෙක්ස් සහ යුනිප්ලාස්ට් නම් කර්මාන්ත ශාලා දෙකක් පමණක් තිබුණ ද අද වන විට ලොව පිළිගත් කර්මාන්ත ශාලා 23 ක් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සිදුකරමින් තිබේ. ආරම්භයේ දී සේවකයන් 800 ක් පමණ සිටියත් අද වන විට 13,000 කට අධික සේවකයන් පිරිසක් මෙම ආයෝජන කලාපයේ සේවයේ නියැළෙමින් සිටිති. ගාලු පාරටත් ගුවන් හමුදා ධාවන පථයටත් වැවටත් මායිම්ව ඉතා මනරම් භූමි භාගයක ඉතා ක්‍රමවත්ව හා සැලසුම් සහගතව ඉදිකිරීම් සිදුකර තිබෙන නිසා එහි පැමිණෙන ඕනෑම අයෙකුට පහසුවෙන් සිය කාර්යයන් කරගැනීමේ ඉඩ ප්‍රස්ථාව හිමිව තිබේ.
කොග්ගල අපනයන සැලසුම් කලාපයේ ආරම්භය හා වත්මන් තත්ත්වය පිළිබඳ මුලින්ම කතා බහට එක් වුයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් එහි කලාප භාර අධ්‍යක්ෂක ලෙස පත්කර සිටින එච්. එස්. කේ ප්‍රනාන්දුය. “මෙම ආයෝජන කලාපය කොග්ගලට ගෙන එද්දි මේ ප්‍රදේශය එතරම් දියුණු ප්‍රදේශයක් නෙවෙයි. කිසිම බැංකුවක්, රාජ්‍ය ආයතනයක් තිබුණේ නැහැ. මූලික යටිතල පහසුකම්වත් හරි හැටි තිබුණේ නැහැ. මෙම අපනයන කලාපය ආරම්භ වීමත් සමඟ විදුලිය, ජලය, මාර්ග වගේම සියලූම යටිතල පහසුකම් ඇති දියුණු කරන්න හැකියාව ලැබුණා”
කොග්ගල නගරයේ පිහිටි බස්නැවතුම් පොළ, ක්‍රීඩාංගණ වැනි බොහෝ පොදු පහසුකම් ස්ථාපිත කර එහි නඩත්තු කටයුතු සිදුකර ඇත්තේ ද ආයෝජන මණ්ඩලය මඟිනි. එපමණක් නොව මේ වන විට මෙරට පිළිගත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික බැංකු රැසක් තමන්ගේ ශාඛාවන් කොග්ගල නගරය ආශ්‍රිතව ස්ථාපිත කර මෙහෙයුම් කරමින් සිටී.
පසුගියදා මෙම කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නියැළුණු තරුණ හා ක්‍රීඩා ඇමැති, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ කියා සිටියේ ඉදිරි දශකයේ දී ශ්‍රී ලංකාව කලාපයේ නිෂ්පාදන හා අපනයන කේන්ද්‍රස්ථානය බවට පත්කරන්න සැලසුම් සකස් කර තිබෙන බවයි.
“ කොග්ගල අපනයන සැලසුම් කලාපය මේ වන විටත් දක්ෂිණ අධිවේගී මාර්ගය, මත්තල ගුවන් තොටුපොළ සහ හම්බන්තොට වරාය ඔවුන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. කොග්ගල කලාපයේ සෑම බිම් අඟලක්ම ප්‍රයෝජනයට ගන්න රජය බලාපොරොත්තු වෙනවා. දැනට හිස්ව ඇති ප්‍රදේශවල කර්මාන්ත ශාලා ඇති කරන්න කටයුතු කරනවා. සේව්‍ය සේවක දෙපාර්ශ්වයම තෘප්තිමත් විය හැකි ආකාරයෙන් මෙම අයෝජන කලාපය දියුණු කරන්න රජයක් ලෙස අප කටයුතු කරනවා” යනුවෙන් ද ඇමතිවරයා පැවසුවේ කොග්ගල පිළිබඳ අනාගත සැලසුම් හෙළි කරමිනි.
මෙම විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී. වී. චානක ය.
“කොග්ගල අපනයන සැකසුම් කලාපය මුල් කර ගනිමින් දකුණු පළාතට විශාල ආර්ථික හා සමාජීය වාසි රැසක් හිමි වී තිබෙනවා. වසර තිහකට ප්‍රථම එවකට පැවති දේශීය හා ගෝලීය අවශ්‍යතා අනුව මෙම ආයෝජන කලාපය ස්ථාපිත කර තිබෙන්නේ. එහෙත් වර්තමාන ගෝලීය අවශ්‍යතාවට අනුව නිෂ්පාදන ක්‍රියාවලිය ද ඊට නුගත විය යුතුයි. ඒ සඳහා ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් අප සපයනවා. විශේෂයෙන් දකුණු පළාත සතු දැනුමෙන් හා හැකියාවෙන් සපිරි තරුණ ශ්‍රම බළකාය මේ සඳහා එක් කර ගත යුතුයි. ඔවුන්ට නවීන තාක්ෂණය මුසු වූ ඉහළ වෘත්තීමය රැකියා අවස්ථා මෙම කලාපය තුළ ජනිත විය යුතුයි.”
මෙම අපනයන සැලසුම් කලාප ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් පාලනය කරන අතර එහි සභාපති සංජය මොහොට්ටාල මහතා ද කොග්ගල අපනයන සැලසුම් කලාපය ගැන මෙලෙස කියා සිටියේය.
”දශක තුනකට අධික කාලයක් ඉතා සාර්ථකව පවත්වාගෙන යන කොග්ගල අපනයන සැකසුම් කලාපය මෙරට ආර්ථික ප්‍රගමනයට විශාල පිටුවහලක්. වර්තමාන ගෝලීය ආර්ථික විභවයන් හඳුනා ගනිමින් ඊට ගැළපෙන නව ආර්ථික උපාය මාර්ග අනුගමනය කරන්නට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කර තිබෙනවා. පවතින කර්මාන්ත ශාලා නවීන තාක්ෂණය එක් කරගනිමින් වැඩි නිෂ්පාදන ධාරිතාවක් හා ඉහළ සේවක ප්‍රතිලාභයන් සහිත කර්මාන්ත බවට පත් කිරීමට අප සහාය දෙනවා. එසේම වැඩි පරිසර හිතකාමී හරිත අපනයන කලාප අපේ සංකල්පයයි. මෙම කලාපය තුළ හිස්ව පවතින භූමි සංවර්ධනය කර නව කර්මාන්ත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. නවීන තාක්ෂණය මුසු වූ ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් නිෂ්පාදන මෙන්ම දැනුම මුල්කරගත් සේවා අංශයේ ආයෝජන වෙනුවෙන් වැඩි දිරිගැන්වීම් කිරීමට පියවර ගන්නවා. ආනයනය අවම කිරීම රජයේ ප්‍රතිපත්තියයි. දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආනයනය කළ ඉන්සියුලින් එන්නත මෙරට නිෂ්පාදනය සදහා කොග්ගල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක් ඉදිවෙමින් පවතිනවා. එවැනි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සිදු වෙමින් පවතිනවා.
ලෝකයේ මීළඟ ආර්ථික වර්ධන රැල්ල දකුණු ආසියාව හා නැඟෙනහිර අප්‍රිකාව මුල් කර ගනිමින් සිදු වන බව ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළකරනවා. එසේම ශ්‍රී ලංකාව භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගෙන බිලියන තුනකට අධික පාරිභෝගික පිරිසකට භාණ්ඩ හා සේවා සැපයිය හැකි ස්ථානයකයි පසුවන්නේ. මෙම වෙළෙඳපොළට පිවිසිය හැකි ලෙස කර්මාන්ත හා සේවා සූදානම් විය යුතුයි යන්නයි මගේ අදහස.“
අප මෙහිදී කොග්ගල අපනයන කලාපයේ සාමාජික සාමාජිකාවෝ කිහිපදෙනෙකු සමඟ කතා කළෙමු.
”මම මේ කලාපය ආරම්භ කළ දිනයේම මොනා ප්ලාස්ටික් ආයතනයේ සේවයට බැදුණේ. සාමාන්‍ය සේවිකාවක් විදියට බැඳිලා මේ වන විට වසර තිහක් සේවය කරලා තිබෙනවා. රුපියල් 2,500ට ආරම්භ කළ වැටුප අද වන විට රුපියල් 85,000 දක්වා වැඩි වෙලා තිබෙනවා. දැන් මම නිෂ්පාදන අංශයේ විධායක නිලධාරිනියක් විදියට වැඩකරමින් සිටිනවා“ යැයි එම්. පුෂ්පලතා පැවසූවාය. එන්. ජී සමන් සේවයට ඇවිත් ඇත්තේ ද එය ආරම්භ කළ වර්ෂයේමයි. ඒ, ස්ථිර සේවකයෙක් ලෙස නොවූවද දැන් ඔහු ද කළමනාකාර සහකාර තනතුරේ සේවය කරයි. එන්.එන් කමනී ද මෙහි සේවයට පැමිණ වසර 27 ක් ගෙවෙමින් තිබේ.
“ අපිට කෑම බීම, ප්‍රවාහන පහසුකම් නොමිලේ ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි අනෙක් ආයතනවල තිබෙන සියලුම පහසුකම් අපේ ආයතනවලත් තිබෙනවා. ආයතන කළමනාකාරිත්වය වුණත් තමන්ගේම පවුලේ අයට වගේ අපට සලකන්නේ. ආයෝජන මණ්ඩලයෙන් සෑම අවස්ථාවකම සොයා බැලීම් කරන නිසා හැමෝම සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ. ”
ඔහු එසේ කීවාක් මෙන් මේ සියලු දෙනාගේම පොදු මතය වූයේ අද වන විට ඔවුන් ජීවිතයේ යම් සාර්ථකත්වයක් ලබා ඉහළ ස්ථාවරයක සිටිනවා නම්, ඒ සියල්ල අපනයන සැලසුම් කලාපයේ රැකියා අවස්ථාවන් නිසා ඇති වූ බවයි.
මෙහි ස්ථාපිත කර ඇති ආයතන 23 තුනෙන් ආයතන කිහිපයක කළමනාකාරීත්වය සමඟ ද අපට කතා බහ කරන්න අවස්ථාව හිමි විය. ‘STAR‘ ආයතනයේ විධායක උප සභාපති ක්‍රිෂාන්ත සම්පත්, සාමාන්‍යාධිකාරී ජනක ද සිල්වා, යුනිචෙලා පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය මානව සම්පත් කළමනාකරු ප්‍රභාත් දිසානායක, Flinlect ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කළමනාකාරිනී මනූජා වික්‍රමරත්න යන අය ඔවුන්ගේ ආයතනවලට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් සුවිශේෂී සහයෝගයක් ලැබෙන බව පැවසූහ.
“කොරෝනා වයිරසයේ පළමු හා දෙවැනි රැල්ලෙන් අපට කිසි බලපෑමක් වුණේ නැහැ. තෙවැනි රැල්ලෙදි තමයි යම් බලපෑමක් වුණේ. එහෙත් අපි ආයෝජනය මණ්ඩලය සමඟ එකතු වෙලා නිසි විදියට එය පාලනය කරන්න සමත් වුණා. ගැබිනි මවුවරු සේවයට කැඳවන්නේ නැතිව නිවෙස්වල රඳවා තිබුණත් ඔවුන්ට වැටුප් පවා ලබාදෙන්න අපේ ආයතන කටයුතු කරලා තිබෙනවා. අද වන විට සාමාන්‍ය පරිදි අපේ නිෂ්පාදනයන් සිදුකරමින් සිටිනවා. ඒ වගේම අපේ නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළෙන් ඉහළ ඉල්ලුමක් ලැබෙමින් තිබෙනවා. අපි නම් හිතන්නේ කොරෝනා වයිරසය තිබුණා කියලා අපේ නිෂ්පාදන සඳහා ඒ තරම් ලොකු බලපෑමක් එල්ල වෙලා නැහැ. ”
සියලු සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් කොරෝනා වයිරසයට නොබියව මුහුණ දෙමින් සිය රටට විදේශ විනිමය උපයාදෙන එම තරුණ තරුණියන්ගේ ද එකම ප්‍රාර්ථනාව මෙම ව්‍යසනය ඉක්මනින් අවසන් වී තව තවත් තරුණ තරුණියන්ට රැකියා ලැබෙන මෙවැනි අපනයන සැලසුම් කලාප ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ශක්තිය ලැබෙන්න යන්නයි. ඒ ප්‍රාර්ථනාව සඵල වනු දැකීම අප කාගේත් පැතුම වන්නේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා අපනයන කර්මාන්තය දියුණු වීම ප්‍රබල සාධකයක් වන නිසාය.
ඡයාරූප-සුජිත් කොඩිතුවක්කු