‘රන් ටිකිරි සිනා... මුව මුව පාලා...’ | සිළුමිණ

‘රන් ටිකිරි සිනා... මුව මුව පාලා...’

 

මවුපියන්ගේ ස්වර්ගය තිබෙන්නේ දරුවන්ගේ සිනහව අබියස යැයි කතාවක් ඇත. එසේ වුවද එකම දරුවකුට හෝ මවුපියන් වීමට වරම් නොමැතිව සෝ සුසුම් හෙළන යුවතිපතිහු ද බොහෝ වෙති. එසේ කීවේ එවැනි හදවත් පාරවන්නට නම් නොවේ. එක වරක් වෙනුවට එකම දා දරුවන් සය දෙනකුට මවුපියන් වීමට වරම් ලත් පින්වන්ත මවුපිය යුවළක් ගැන ඉකුත් වසරේ ඔක්තෝබරයේ මෙරටින් වාර්තා වූයේ පළමු වතාවටය. ඒ දිනය එකී මවුපියන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයටම සුවිශේෂී දිනයක් වූයේ ඒ මෙරට රෝහලකදී සාර්ථකව සිදු කෙරුණු ප්‍රථම සය නිවුන් දරු ප්‍රසූතිය වූ නිසාය.

නිවුන් දරුවන් සය දෙනකුට උපත දුන් ඒ පින්බර මව දිලිනි වාසනා (31) වන අතර, පියා ප්‍රභාත් උදයංග (35)මරවනාගොඩය. ඉකුත් ඔක්තෝබර් 21 වැනිදා කොළඹ නයින්වෙල්ස් පෞද්ගලික රෝහලේදී දිලිනි මෙලොවට බිහි කළ ඔවුන්ගේ සය නිවුන් දරුවන්ට දැන් වයස මාස 7ක් සම්පූර්ණ වී ඇත. ඒ දූ පුතුන් සය දෙනාට ප්‍රභාත් සහ දිලිනි නම් තබා ඇත්තේ සම්පත් බණ්ඩාරලාගේ යෙනුල් මෙත්ශාක්‍ය මරවනාගොඩ, සම්පත් බණ්ඩාරලාගේ මිනුල් දුල්ශාක්‍ය මරවනාගොඩ, සම්පත් බණ්ඩාරලාගේ චෙනුල් දෙව්ශාක්‍ය මරවනාගොඩ, සම්පත් බණ්ඩාරලාගේ යෙතුලි මෙතර්යා මරවනාගොඩ, සම්පත් බණ්ඩාරලාගේ මෙතුලි දුලර්යා මරවනාගොඩ සහ සම්පත් බණ්ඩාරලාගේ චෙතුලි යුනර්යා මරවනාගොඩ ලෙසටය.

ඉකුත් වෙසක් පුන් පොහෝ දා කැලණි පුදබිමේ පින්බර බව තවත් වැඩි වූයේ මේ සය නිවුන් බිලිඳුන් සිය අම්මා තාත්තා සමඟ පළමුවරට කැලණි විහාරය වඳින්නට ගොස් සිටි නිසාය. වෙහෙරබිමේ සිටි කාටත් එය පින්බර දසුනක් විය. දුටු දුටූවන් පැමිණ බිලිඳුන් සුරතල් කරන්නටත් ඇතැම් අය බිලිඳුන් සමඟ ඡායාරූප ගන්නටත් වූයේ එය ඔවුන්ට ද සුබ දසුනක් වූ නිසාය. ලංකාවේ පළමු සය නිවුන් දරු උපත ගැන මතකය යළිත් වරක් කරළියට ආවේ සය නිවුන්දරු පැටවුන්ගේ ඒ කැලණි වන්දනාවත් සමඟය.

ඒ මතකය අවදි කරමින් දරුවන්ගේ මවත් පියාත් අප සමඟ දොඬමලු වූයේ බිලිඳුන්ගේ නිමක් නැති රාජකාරි අතර බොහෝ කාර්යබහුල වී සිටියදීය. ඉකුත් දිනවල අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ දරු පැටවු සය දෙනා දැන් සුවයෙන් පසුවීම ඒ හිත්වලට මහා අස්වැසිල්ලකි;සැනසීමකි. සිය පළමු දරුවාගේ උපත අපේක්ෂාවෙන් සිටි ප්‍රභාත් සහ දිලිනිගේ ඒ බලාපොරොත්තුව විස්මිත ආශ්චර්යයක් බවට පත්වූයේ දිලිනිගේ කුස තුළ දරුවන් කිහිප දෙනකු සිටින බව වෛද්‍ය පරීක්ෂණ තුළින් තහවුරු වූ පසුවය. ලෝකයම කොවිඩ් වසංගතයට ගොදුරු වී සිටියදී ඒ අවධානම ගැබිනි මවුවරුන්ට වඩාත් දැඩි බව වෛද්‍ය මතය වුවද ඔවුහු සිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන්ම ආරක්ෂා වූහ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්ගේ උපදෙස් නිසි ලෙස පිළිපදිමින් කොවිඩ් වයිසයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමට ද දිලිනි අතපසු නොකළාය.

දරු ප්‍රසූතිය සඳහා ඔවුන් තෝරගත්තේ කොළඹ නයින්වේල්ස් පෞද්ගලික රෝහලයි. වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූයේ අත්දැකීම් බහුල කීර්තිමත්, දක්ෂ වෛද්‍යවරයකු වන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් ය. දරු ප්‍රසූතිය සිදු කරන සිසේරියන් සැත්කම අතිශය සංවේදී වූයේ එකවර දරුවන් හය දෙනෙක් උපත ලැබීමේ සිදුවීමක් ඒ වනවිටත් මෙරටින් වාර්තා වී නොතිබීමත් එවැනි අත්දැකීමකට වෛද්‍ය කණ්ඩායම පවා මුහුණ දී නොතිබීමත් නිසාය. දරුවකු බලාපොරොත්තුවෙන් සිටින විට එකවර දරුවන් හය දෙනෙක් හිමිවීමේ සතුට මෙන්ම අතිශය සංකීර්ණ අවස්ථාවකට මුහුණ දීමට සිදුවීමත් නිසා මව දරු ප්‍රසූතිය සඳහා සුදුසු යහපත් මානසික තත්ත්වයකින් පවත්වා ගැනීමට අවශ්‍ය විය. ප්‍රභාත් දිලිනි ළඟ සෙවණැල්ල මෙන් රැඳෙමින් ඇයට අවශ්‍ය මානසික ශක්තියත් රැකවරණයක් සැදුවේය.

“දරු ප්‍රසූතියේ දී මට පුංචි බයක් නොදැනුණාමත් නෙවෙයි. ප්‍රභාත් මගේ ළඟම හිටිය නිසා ඒ අපහසුතාවන්ගෙන් පීඩා විඳින්න වුණේ නැහැ. පළමු ස්කෑන් එක එහෙමත් නැත්නම් Dating Scan එකේ සිට හැම දවසක් ම අපට හරිම සුවිශේෂි වුණා. අධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණු කරමින් ආගමික වතාවත්වල නිරත වුණු අපි ශ්‍රී මහා බෝධියට, රුවන්වැලිසෑයට කිරි ආහාර පූජා කරමින් නිරෝගී දරුවන් ප්‍රාර්ථනා කළා. හැමවිටම අපේ සිත්වල තිබුණේ ධනාත්මක සිතුවිලි. මම දරුවන් හයදෙනාම වෙනුවෙන් පේ වුණා. අධ්‍යාත්මික සිතුවිලි අතරම තමයි හිටියේ. රූපවාහිනිය නැරැඹීම අවම කළා. චිත්‍රපට නම් බැලුවෙම නැහැ. වෛද්‍ය උපදෙස් පරිදි ව්‍යායාම් කළා. යහපත් සිතිවිලිවලමයි හිටියේ. පුළුවන් තරම් පෝෂ්‍යදායි කෑම බීම කෑවා. ¨දිලිනි ගෙවුණු ඒ දවස් සිහි කළේ සෙනෙහසිනි.

අධි රුධිර පීඩනය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත දරු ගැබට සති 29 සිට රෝහල්ගත වී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටි දිලිනි, ඉකුත් ඔක්තෝබර් මස 21 දා ලංකාවේ නිවුන්දරු ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට තරම් වාසනාවන්ත වූවාය. ගැබට සති 31ක සම්පූර්ණ වද්දී දරු ප්‍රසූතිය සිදු කිරීමට තීරණය විය. අඩු වයසින් අඩු බරින් උපත ලබන දරුවන්ගේ සංකූලතා ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාර්යය මණ්ඩලය දැනුම්වත් කර තැබීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය එක්ව අනුරූ යොදා ගනිමින් පෙරහුරුවක් ද සිදු කර තිබුණේ දරුවන්ගේත් මවගේත් වැඩි ආරක්ෂාවටය. සිසේරියන් සැත්කමේ දී මවගෙන් අධික රුධිර වහනයක් සිදු නොවීමට නම් ඉතා කෙටි කාලයක් ඇතුළත දරු උපත් හයම සිදුකළ යුතු විය. දරුවන් හය දෙනෙක් දරා සිටීම නිසා මවගේ බර වැඩි වී තිබීම ද වෛද්‍යවරුන්ට තවත් අභියෝගයක් විය. මේ සියලු අභියෝග ජය ගනිමින් 22 වැනිදා අලුයම 12.16 ත් 12.18ත් අතර විනාඩි දෙකක කාලයකින් දරු උපත් හයම සිදු කිරීමට වෛද්‍යවරු ඇතුළු හෙද කාර්ය මණ්ඩලය සමත් විය.

සැත්කම මඟින් බිහිවන දරුවන් එකිනෙකා කඩිනමින් ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීම සඳහා එක් දරුවෙක්ට වෛද්‍යවරයෙක් හා හෙදියන් තිදෙනකු බැගින් වෙන් කර තිබිණි. පළමුව උපත ලැබූ දරුවා දියණියක වූ අතර ඇය ග්‍රෑම් 1610ක් විය. දෙවැනියාත්, තුන්වැනියාත්, හතරවැනියාත් පුතුන් වූ අතර පස්වැනියා හා හයවැනියා දියණියන් විය. හයවැනි දියණියගේ බර ග්‍රෑම් 830ක් විය. ළදරු දැඩි සත්කාර ඒකකයේ මාසයකුත් දින කිහිපයක කාලයක් දිලිනි සහ ඇගේ දරුවන් කල්ගත කළේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරින්, රෝහල් කාර්යමණ්ඩලයේ සෙනෙහස විඳිමිනි. ප්‍රසූතියෙන් මසකට පමණ පසු දරුවන් තිදෙනකු නිවෙසට රැගෙන යන්නට දිලිනිටත් ප්‍රභාත්ටත් අවස්ථාව ලැබුණු අතර ඉතිරි දරුවන් තිදෙනා නිවෙසට ගියේ තවත්. ටික දිනකට පසුවය. කෙමෙන් කෙමන් වැඩුණු මේ දරුවන් සය දෙනා දැන් දිලිනිගේත්, ප්‍රභාත්ගේ මුළු ලෝකයම වී අවසන්ය. ඔවුන්ගේ කිරි සිනා දකින විට ඒ සිත්වලට දැනෙන සතුට, සැනසීම කියා කිම කළ නොහැකිය. බැලූ බැල්මට සය නිවුන් දරුවන් එකම වගේය. කිසිදු වෙනසක් නැත. ඒ, පිටස්තර අපට හැඟෙන හැටිය. දිලිනිටත් ප්‍රභාත්ටත් ඔවුන් සය දෙනා වෙන වෙනම හඳුනා ගත හැකිය. ඒ අරුමැති හඳුනා ගැනීම ඇතැම් විට සසර පුරුද්දක් වන්නට ඇත. නොඑසේ නම් උත්තරීතර මවුපිය සෙනෙහසේ අසිරිය විය යුතුය.

“අපි දෙන්නටම බබාලා වෙන වෙනම අඳුනගන්න පුළුවන්. ගොඩක් අය කියනවා බබාලා හයදෙනාම එක වගේ කියලා. ඒත් ඉපදුණු දවසේ ඉඳන්ම බබාලා එක්කම ඉන්න නිසාද මන්දා අපිට හයදෙනා වෙන්කරලා අඳුනගන්න පුළුවන්. අපි ළඟ නැතිවෙලාවක වුණත් එයලා අඬන විදියෙන්, සද්ද කරන විදියෙන් පවා අපිට කියන්න පුළුවන් ඒ මොන බබාද කියලා. එකපාර දරුවන් හයදෙනකුගේ සුරතල් බලන්න ලැබෙනවා කියන්නේ ගොඩක් දුර්ලබ අවස්ථාවක්. අපේ දරුවෝ අපිට ඒ සතුට ගෙනාවා. දරුවෝ කියන්නේ සම්පතක් කියලා ආදරය කරන කාලේ ඉඳන්ම අපේ හිත්වල තිබුණා. අද අපි ඒ සතුට හිතේ හැටියට විඳිනවා.¨

දිලිනි කීවේ දෑස්වල සෙනෙහස පුරවාගෙනය. ඇය අනුරාධපුරයේ පදිංචිකාරියක වන අතර, ප්‍රභාත් වව්නියාවේ පදිංචිකරුවෙකි. ප්‍රභාත් වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන අතර, තාක්ෂණ ඉංජිනේරුවරියක ලෙස සේවය කරමින් සිටි දිලිනි, ඉකුත් මාර්තු මාසයේදී රැකියාවට සමුදෙන්නේ කිරිකැටියන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන් තමා ඔවුන් ළඟ රැදිය යුතුම බව විශ්වාස කරමිනි.

“බබාලා වෙනුවෙන් දිලිනි රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කළා. දරුවන්ට අවුරුදු දෙකු තුනක් වන තුරු ඔවුන් ළඟම ඉන්නයි දිලිනිගේ කැමැත්ත. මේ වෙද්දි අපිට බබාලා බලාගන්න නැනීලා දෙන්නෙක් උදවු වෙනවා. ඒ හැරුණාම ගෙදර වැඩට උදවුවට තව කෙනෙක්ගේ සහයෝගය අවශ්‍ය වුණත් මේ දවස්වල එහෙම කෙනෙක් නැහැ. ඒ නිසා මමයි දිලිනියි අපට පුළුවන් විිදිහට ඒ දේවල් කරගෛන යනවා. අපි දෙන්නගෙම දෙමවුපියෝ, නෑයෝ ඉන්නෙ අනුරාධපුරේ සහ වවුනියාවේ නිසා නිතර නිතර කොළඹ එන්න අමාරුයි. අපි කුලියට ඉන්න ගේ අයිති ඇන්ටි, අංකල්, නංගිලා දරුවන්ව බලාගන්න ගොඩක් උදවු කරනවා. ඒක අපිට ගොඩක් වටිනවා”

ප්‍රභාත් කීවේ ඔවුන්ට කෘතඥ වෙමිනි. එපමණක් නොව දරු ප්‍රසූතියේ සිට උදවු උපකාර කළ සියලු දෙනා ගැන දිලනිටත් ප්‍රභාත්ටත් මතකය.

“අපි දෙන්නගේම අම්මලා, මගේ තාත්තා අපේ සහෝදර සහෝදරියො ඇතුළු හැම ඥාතියකුටම ස්තුතියි. විශේෂඥ වෛද්‍ය තිළිණ පලිහවඩන, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස්, නව ජන්ම ළදරු විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ, ළමා රෝග විශේෂඥ බුද්ධිම ජයසිංහ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නයින්වේල්ස් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට සියලුම වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අපි දෙන්නගෙම කාර්යාලවල හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ දරුවන්ට අනුග්‍රහය දක්වමින් විවිධ ත්‍යාග පිරිනැමූ හැමෝටම ස්තුතියි. කියුට් ටොයිස්, ඇසට්ලයින්, AIA ඉන්ෂුවරන්ස්, ෆොන්ටේරා, හැටන් නැෂනල් බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, වොලෝනා ඇතුළු ඒ සියලුම ආයතනවලට ස්තුතිවන්ත වෙනවා. බේබි ෂෙරමි සහ සිද්ධාලේප ආයතනවලින් තවමත් දරුවන්ට ඩයපර්ස්, සබන්, පවුඩර්, වගේ හැමදේම ලබාදෙනවා. ඒ වගේම නව ජන්ම දරු පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමතිගේ සහ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ යන මහත්වරුන් තවමත් අපේ දරුවන් ගැන සොයා බලනවා. ඕනෑම දේකදි දුරකතන ඇමතුමක් දුන් සැණින් ඔවුන්ගේ සහාය අපට ලැබෙනවා. ඒක අපේ හිතට ලොකු සැනසීමක්.”

ජීවන වියදම වේගයෙන් අහස සිඹිමින් සිටින මෙවැනි කාලයක දරුවන් සය දෙනකු රැකබලා ගැනීම ලෙහෙසි පහසු වූවක් නොවේ. දරුවන්ගේ වියදම් ගැන අපි ප්‍රභාත්ගේ ඇසුවෙමු.

“දැන් කිරිපිටිවල මිලත් එක්ක බබාලගේ කිරිපිටි වෙනුවෙන් අපිට මාසකට රුපියල් ලක්ෂයක් පමණ වැය වෙනවා. මාසෙකට කිරිපිටි පැකට් 60ක් ඕනේ. දවසට ඩයපර්ස් 50ක් පමණ ඕනේ. ඒ කියන්නේ ඒ වෙනුවෙන් මාසෙකට ලක්ෂ එකහමාරක් පමණ වැය වෙනවා. නමුත් දැනට අපට ඒ සඳහා අඩු මුදලක් වැයවෙන්නේ බේබි සෙරමි සහ සිද්ධාලේප ආයතනවලින් දැනට ඒවා ලබාදී ඇති නිසයි. ඒත් දැන් බබාලාට ලාජ් ඩයපර්ස්වලට වැඩිය ඕන වෙන්නෙ එක්ස්ට්‍රා ලාජ්. ඒ වගේම මට මතකයි බබාලා ලැබුණු වෙලාවේ තෑගිබෝග අරන් බලන්ක ආවේ Rockabye නමැති ආයතනයේ මුස්ලිම් ජාතික මහත්මයෙක්. සමහරු මිනිස්සු කුපිත කරවලා ජාති, ආගම් භේද ඇතිකරන්න හැදුවත් අපි හැමෝම එකම ජාතියක් හැටියට ජීවත් වෙනවා කියක එකට ඒක හොදම උදාරණයක්.” අඳුරු වලාවන් අතර පවා රිදී රේඛා දකිමින් ඔහු කීවේය.

“දරුවෝ වෙනුවෙන් අපි ලොකු වියදමක් දරනවා. ගෙවල් කුලී, කෑම බීම, දරුවො බලාගන්න දෙන්නටයි පඩි ගෙව්වාම මාසෙට ලක්ෂ හතරක් විතර වියදම් වෙනවා.¨

පස් නිවුන් දරුවන් බිහිකළ මවුපියන්ට, කලාකරුවන්ට මෙන්ම විශේෂ ජයග්‍රහණ ලැබූ පුද්ගලයන්ට නිවාස ආදී රාජ්‍ය අනුග්‍රහ පිරිනමනු අප අසා දැක ඇත. එහෙත් එකවර දරුවන් සය දෙනකු රටට දායාද කළ ප්‍රභාත් - දිලිනි යුවළගේ දරුවන්ට එවැනි රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවක් මෙතෙක් දැනගන්නට නැත. අඩුමතරමේ මාසයකට වරක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නිවෙස් කරා ගොස් අලුත උපන් බිලිඳුන් ගැන සොයා බැලීම යුතු වුවද ප්‍රභාත්ගේ දරුවන් පරීක්ෂා කිරීම සඳහා එක් දිනක්වත් ඇය ඔවුන් පදිංචි අයි.ඩී.එච් හි නිවෙසට ගොස් නැත.

“මමත් මගේ බිරියත් උගත් වෘත්තිකයන්. අපි දෙන්නම වෘත්තියෙන් ඉංජිනේරුවෝ. කවදරි දවසක අපේ දරුවනුත් ඒ තැනට යනවා. අපිට ඕනේ අපේ දරුවන් රටට වැඩදායි පුද්ගලයන් කරන්න. ඒ වෙනුවෙන් රජයෙන් අංශු මාත්‍රයක හෝ උදවුවක් ලැබෙනවා නම් සතුටක්. එහෙම නැතිව රටම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මේ මොහොතේ අපේ දරුවන් වෙනුවෙන් කිසිම කෙනෙකුට බරක් වෙන්න අපි කැමති නැහැ. මොකද මේ රටේ කිරි කඳුළක් නැතිව ගොඩක් දරුවො දුක් විඳිනවා.”

ප්‍රභාත් කී කතාව බිලිඳු මුව මත පිපෙන කිිරි සිනහවක් තරම් සුන්දර නැතද යථාර්ථය එයයි. කුමන බාධක, අභියෝග පැමිණියද සිය දරුවන්ට කිරුළු පලඳන්නට තරම් ප්‍රහාත්ගෙත් දිලිනිගේත් හිත් සවිමත්ය.

 

Comments