රාජකීය හමුදාවේ පැරණිම සාමාජිකයා නික්ම යයි | සිළුමිණ

රාජකීය හමුදාවේ පැරණිම සාමාජිකයා නික්ම යයි

එස්. ඩබ්ලිව්. ගුණ­පාල

ටක ආරක්ෂාවට හමුදාවක් ස්ථාපිත කිරීම සිදු කෙරෙන අනිවාර්ය කටයුත්තකි. ගොඩබිමෙන්, මුහුදෙන් හා අහසින් රට ආරක්ෂා කිරීමට යුද හමුදාව, නාවුක හමුදාව සහ ගුවන් හමුදාව පිහිටුවා තිබේ. ඉංග්‍රීසීන්ට රට යටත් වීමෙන් පසු අපේ රටේ ආරක්ෂක හමුදාව විධිමත් ලෙස ස්ථාපිත කෙරිණි.

දෙවන ලෝක යුද සමයේ ලංකා ආරක්ෂක හමුදාව හෙවත් රාජකීය හමුදාව (රෝයල් ආමි) මේ රටේ තිබූ හමුදාව විය. ඉංග්‍රීසි ජාතිකයන් මෙන්ම සිංහල ජාතිකයන් ද විශාල පිරිසක් එම හමුදාවන් වල සේවය කළහ. එසේ හමුදා සේවය ට එක් වූ පැරණිම සාමාජිකයෙක් වන අහුන්ගල්ල සිරි ධම්මතිස්ස මාවතේ පදිංචි එස්. ඩබ්ලිව්. ගුණපාල මහතා අවුරුදු 103 ක් ආයු වලඳා පසුගියදා සදහටම දැයෙන් සමුගත්තේය. 

වර්ෂ 1918 ඔක්තෝබර් මස 30 වෙනි දින අහුන්ගල්ල සිරි ධම්මතිස්ස මාවතේ දී උපත ලැබූ මොහුගේ දෙමව්පියන් වූයේ එස්. ඩබ්ලිව්. වසනේරිස් හා ජී. ඩබ්ලිව්. සොපිනෝනා යන දෙපළය. පියාගේ ගම අහුන්ගල්ල වූ අතර මවගේ ගම වූයේ අම්බලන්ගොඩ මාදම්පාගම ය. ගුණපාල ගේ පවුල දහතුන් දෙනෙකුගෙන් සමන්විත විය. මොහු පවුලේ තුන්වැනියා විය. මේ වකවානුවේ දී ඉපදෙන දරුවන්ට නම් තැබීමේ දී ඉංග්‍රීසි නම් තැබීමට පුරුදු වී සිටියහ.

සිංහල දරුවන්ට ඉංග්‍රීසි නම් වෙනුවට සිංහල නම් තබන ලෙස ඉල්ලා අනගාරික ධර්මපාලතුමා විශාල ව්‍යාපාරයක් රට තුළ ගෙන ගියේ ඉංග්‍රීසි පාලකයන් තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ ගුණපාල ගේ පියා වූ වසනේරිස් අනගාරික ධර්මපාලතුමා අනුගමනය කළ කෙනෙකි. ඒ හේතුවෙන් තමාගේ සියලු දරුවන්ට සිංහල නම් තැබීම කළේය. වසනේරිස් පාණදුර දුම්රිය නැවතුම් පොළේ සේවය කළ හෙයින් පවුලේ සියලු දෙනා සමඟ නිල නිවාසවල පදිංචියට ගියේය. ගුණපාල ට පාණදුර ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ මේ හේතුවෙනි.

පාසල් අධ්‍යාපනයෙන් පසු ගුණපාල ද දුම්රිය දෙපාර්තමේන්තුව ට එකතු වූයේ සංඥාකරුවකු ලෙසිනි. දෙවන ලෝක යුද්ධය ඇති වූයේ මේ කාලයේදීය.

රට ආරක්ෂා කර ගැනීමට ලංකා ආරක්ෂක හමුදාවට බැඳෙන ලෙස ඉල්ලීම් කර තිබිණි. හැඩි දැඩි සිරුරකින් හෙබි ගුණපාලට ද ආරක්ෂක හමුදාවට බැඳීමට සිතක් පහළ විය. දෙමව්පියන්ගේ ආශීර්වාද මැද ඔහු ලංකා ආරක්ෂක හමුදාවේ කාලතුවක්කු බළකායට වොලන්ටිය සෙබළෙක් විදියට 1943 ජනවාරි මස විසි වෙනි දින එක් විය. ඔහුගේ සාමාජික අංකය 410 විය.

1945 පෙබරවාරි මස හය වෙනිදා දක්වා සේවය කළ මොහු ට සේවා කාලය තුළ දී හංගේරියාව, ජාවා, සුමාත්‍රා, සීසෙල් යන රටවල සේවය කිරීමට හැකි විය. මොහුගේ සෙවය අගයා ජෝර්ජ් රජුගේ රුව සහිත පදක්කමක් සහ සහතිකයක් ද ලැබිණි.

නැවත දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට එකතු වූ ඔහු විවාහ වූයේ ඉන් පසුවය. දයාබර බිරිය වූයේ එස්. එච්. ඇක්ලින් මෙ‌ෙණවියයි. ඇයගේ ගම බළපිටිය මූලික රෝහල අසලය. ඔහුගේ පවුලේ දරුවන් සංඛ්‍යාව හත් දෙනෙකුගෙන් සමන්විත විය. පිරිමි තුන් දෙනෙක් සහ ගැහැනු දරුවන් හතර දෙනෙක් විය. 

පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වෙනි දින සිය 102 වෙනි උපන් දිනය සැමරුවේ දරු මුනුපුරන් සමඟ ඉතා චාම් අන්දමිනි. එහිදී අපි සමඟ කතා කරන විටත් මොහුගේ මතකයෙන් බොහෝ කරුණු ගිලිහී ගොස් තිබිණි. හමුදා සේවයේ දී ලබා ගන්නා ලද වැටුපේ ප්‍රමාණය ද අමතක වී තිබිණි.

‘මගේ ලොකු බෑණා සේවය කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. ලොකු දුව සරෝජනී සහ දරුවන් සමඟ කහව දුම්රිය නැවතුම් පොළේ නිල නිවාසවල පදිංචි වී සිටියේ. 2004 දෙසැම්බර් මස 26 වෙනි දින ඇති වූ සුනාමියෙන් දුවත් බෑණත් මිය ගියා.

දරු තුන් දෙනා ඉතුරු වුණා. එක්කෙනෙක් නීතිඥයෙක්. අනෙක් දෙන්නා කටුනායක කස්ටම් එකේ වැඩ කරන්නේ. මගේ නෝනා මේ දුකෙන්මයි 2005 දී මිය ගියේ. මගේ මුනුපුරන් නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ ආදී විවිධ රැකියාවල සේවය කරනවා. මම තමයි හමුදාවේ දැනට ජීවතුන් අතර සිටින පැරණිම සාමාජිකය. ඒ ගැන සතුටු වෙනවා යැයි ද 102 වෙනි උපන් දිනයේ දී පවසා සිටියේ මහත් සතුටකිනි‘

එස්. ඩබ්ලිව්. ගුණපාලගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පනාගොඩ යුද හමුදා මූලස්ථානයේ කාලතුවක්කු බළකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් කාරියවසම් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

අනුර යසමිත්, බළපිටිය

Comments