කිසිදා නොමි‌ෙයන ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද | සිළුමිණ

කිසිදා නොමි‌ෙයන ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද

 

වරක් කොළඹ ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිසුවකුගෙන් ඩීමන් ආනන්ද කතුවරයාට ලිපියක් ලැබිණි. එහි සඳහන් වී තිබුණේ මාරක කතා සාහිත්‍යය ආනන්ද බෝඩිමේ ප්‍රචලිත කිරීමට ඔහු දැරූ වටිනා උත්සාහය බෝඩිමේ ගුරුවරුන් විසින් කඩාකප්පල් කළ බවයි. පොත් නැතිව ළමුන් නොකා නොබී දුකෙන් සිටින බවද එහි සඳහන් විය. සතියකට පසු මේ සිසුවාගේ නමට පාර්සලයක් ලැබිණි. එය ඩීමන් ආනන්දගේ පොත් 150කින් සමන්විත පාර්සලයක් විය. කෙසේ හෝ පාලකයන් මෙය දැනගන්නට පෙර පාර්සලයේ ඇති පොත් 150 සඟවාගෙන යටිබිම්ගත ආකාරයට කියවූ බව සඳහන් වී තිබෙන්නේ දෙව්සිරි පී. හේවාවිදාන ලියූ “ආනන්ද බෝඩිමේ සැඟවුණු රසකතා“ කෘතියේය.

 

කුඩා ළමුන්ගේ මනස විනාශ කරන ඩීමන් ආනන්දගේ මාරක කතා පොත් තහනම් කළ යුතු බවට හිටපු විදුහල්පතිවරයකු වූ මෙත්තානන්ද මහතා යෝජනාවක් සම්මත කර ගත් පසුව ඩීමන් ආනන්දගේ මාරක කතා පොත් අලෙවිය තවත් වැඩි වූ බව එහි තවදුරටත් සඳහන් වී තිබේ.

මාරක කතා පොත් චක්‍රවර්ති ලෙස හැඳින්වෙන ඩීමන් ආනන්දගේ පොත් උණුකැවුම් මෙන් අලෙවි වූයේ පාඨකයන් අතර වේගයෙන් ජනප්‍රිය වූ නිසාය. ඔහුගේ පොතක පිටපත් 10,000ක් අලෙවි වීමට ගත වන්නේ සති 2ක් වැනි සුළු කාලයකි. පොත්හල්වලට අමතරව ටොෆි, සිගරට් විකුණන පෙට්ටි කඩවල පවා ඩීමන් ආනන්දගේ පොත් ක්ලිප් ගසා වැල්වල එල්ලා අලෙවි කෙරිණි. ශත 75කට මිලදී ගත හැකි මෙම පොත් එදා පාඨකයන්ගේ කියවීමේ රුචිය ඇති කළා පමණක් නොව කියවීමට ඇබ්බැහි වීමක් ද ඇති කළ බව රහසක් නොවේ.

එහෙත් ඩීමන් ආනන්දගේ පොත් කෙරෙහි වැඩිහිටියන්ගෙන් එල්ල වූයේ බලවත් විරෝධයකි. මාරක කතා, රහස් පරීක්ෂක කතා රචනා කළ ඩීමන් ආනන්ද දරුවන්ගේ මනස විකෘති කරන, භාෂාව විනාශ කරන පොත් රචනා කරන අයකු ලෙස සලකමින් වැඩිහිටියන් අවඥාවෙන් බැහැර කළහ. ඇතැම් මවුපියන් දරුවන් ළඟ තිබූ ඩීමන් ආනන්දගේ පොත් ගිනි තැබූහ. නමුදු පාඨකයන් ඩීමන් ආනන්දගේ පොත් කියවීම අත් හැරියේ නැත.

“මමත් මගේ ගැටවර වයසේදී කියෙව්වේ ඩීමන් ආනන්දගේ පොත්. අපි එක හුස්මට කියවලා ඉවර කරනවා. අපි වේගයෙන් කියවන තරමට ඩීමන් ආනන්ද වේගයෙන් පොත් පළ කළා. අපි පංති ගිහින් එනකොට පත්තර කඩවල එල්ලලා තිබුණා. ඒ කාලේ ශත 75ට අපි ගත්තේ. අපිටත් ඩීමන් ආනන්දගේ පොත් කියවීම ඉස්කෝලෙන් තහනම් කරලා තිබුණේ. ගෙදරිනුත් තහනම් කරලා තිබුණා. ඒත් අපි හංගාගෙන කියෙව්වා.

ඩීමන් ආනන්දගේ පොත් සේරම මා ළඟ තිබුණා. දවසක් තාත්තාට අහුවෙලා පොත් සේරම පුච්චලා දැම්මා. වැඩිහිටියන් මොන තරම් තහරංචි දැම්මත් අවංකවම කතා කරනවා නම් අපිට කියවීමේ රුචිය ඇති වුණේ ඩීමන් ආනන්දගේ පොත්වලින්. හැබැයි අපි ගැටවර වියෙන් යොවුන් වියට පැමිණෙන විට ඩීමන් ආනන්දගේ පොත් ඉබේම අත් හැරුණා. කුමාර කරුණාරත්න, කරුණාසේන ජයලත් වගේ කර්තෘවරුන්ගේ පොත් කියවන්න පෙලඹුණා. අපි මුහුකුරා වෙන්න වෙන්න කියවීමේ රුචියත් වෙනස් වෙනවා. ඒත් කියවීමේ රුචිය ඇති කළේ ඩීමන් ආනන්දගේ පොත් බව නම් කියන්නම වෙනවා.“ යනුවෙන් පැවසුවේ ලේඛක දිලීප ජයකොඩි ය.

ලේඛකයකු වීමට පෙර ඔහු හොඳ පාඨකයකු විය යුතුය. ලේඛකයකු බිහි වන්නේ පාඨකයකු ලෙස ලැබූ පෝෂණයෙනි. දිලීප ජයකොඩි ලේඛකයා සඳහන් කළේ ඔහුගේ ලේඛනයට ඩීමන් ආනන්දගේ කෘතිවල ආභාෂය නොලැබුවද පාඨකයකු ලෙස ඔහු ඇරඹූ ගමනට ඩීමන් ආනන්දගේ පොත් ලොකු පිටිවහලක් වූ බවයි.

ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ෂක කතා පරිවර්තක ලෙස ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින පරිවර්තන ලේඛකයකු වූ චන්දන මෙන්ඩිස්ගෙන් ඩීමන් ආනන්දගේ පොත් පිළිබඳව විමසුවේ රහස් පරීක්ෂක කතා පරිවර්තනය කිරීමට එයින් යම් උත්තේජනයක් ලැබුණේදැයි දැන ගැනීමටය.

“මම රහස් පරීක්ෂක කතා ස්වතන්ත්‍ර ලෙස නිර්මාණය කරන්නේ නැහැ. මම කරන්නේ පරිවර්තනය කිරීම පමණයි. ඒනිසා මට ඩීමන් ආනන්දගේ පොත්වලින් ලිවීමට උත්තේජනයක් ලැබුණ කියලා ප්‍රකාශ කරන්න බැහැ. හැබැයි මම ඩීමන් ආනන්දගේ පොත් කියවලා තියෙනවා. අපිට ඉස්කෝලෙන් නම් ඩීමන් ආනන්දගේ පොත් කියවීම තහනම් කරලා තිබුණේ. ඩීමන් නමැති යක්ෂයා කියලා තමයි එදා ගුරුවරු හැඳින්නුවේ. ඒත් යාළුවන්ගෙන් ඉල්ලාගෙන ඩෙස්ක් අස්සේ හංගාගෙන හොරෙන් හොරෙන් කියෙව්වා. ගෙදර ගෙනියන්න නම් හිතුවෙවත් නැහැ. මොකද අම්මා ගුරුවරියක්නේ. ඒත් විද්‍යා අංශයට වැඩි නැඹුරුවක් දැක්වීමත් සමඟ හොරෙන්වත් කියවන්න වෙලාවක් තිබුණේ නැහැ. අධ්‍යාපනයට මුල් තැන දෙනකොට පොත් කියවීම ඉබේටම ඈත් වුණා.“ යනුවෙන් පරිවර්තන ලේඛක චන්දන මෙන්ඩිස් විස්තර කළේය.

ප්‍රවීණ ලේඛිකා කැත්ලින් ජයවර්ධන සඳහන් කළේ ඇගේ පාසල් වියේදී ඩීමන් ආනන්දගේ මාරක කතා ආසාවෙන් කියවූ අතර ඊට දෙමවුපියන්ගෙන් කිසිම තහංචියක් එල්ල නොවුණු බවය. සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සඳහන් කළේ ඩීමන් ආනන්දගේ පොත් කියවීම වැඩිහිටියන් විසින් අනුමත නොකළද එම පොත් තුළ ත්‍රාසය, කුතුහලය, භීතිය මිස ලිංගිකත්වය උලුප්පා දැක්වෙන කිසිවක් ඇතුළත් වී නොතිබුණු බවයි. ඔහු නිවැරදි සිංහලයෙන් කතා රචනා කර තිබෙන බැවින් ඔහුගේ පොත් කියවීම භාෂා ව්‍යාකරණ දැනුම අඩු වීමට හේතු නොවන බව මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

“අපේ වැඩිහිටි පරම්පරාවට අතීතයේ ඉඳලාම හොඳ දැනුමක් තිබුණා දරුවන් කියවිය යුත්තේ මොනවාද, නොකියවිය යුත්තේ මොනවාද කියලා. ඉස්සර කාලේ වැඩිහිටියන් පියදාස සිරිසේනගේ ජයතිස්ස සහ රොසලින් කියවන්න දුන්නේ නැහැ. ඒ කාලේ ඩබ්ලිව්.ඒ. සිල්වාගේ, මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා සිංහල විෂයට ඇතුළත් කර තිබුණා.

ඒනිසා ඒ කර්තෘවරුන්ගේ පොත් කියවීමට පාසලෙන් පෙලඹවීමක් ඇති වුණා. කොහොමටත් ඒ කාලේ ඉස්කෝලවලින් කිව්වෙ පියදාස සිරිසේන, ඩබ්ලිව්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි ලේඛකයන්ගේ පොත් කියවන්න කියලා. ඒත් 1956 ආණ්ඩු පෙරළියත් සමඟ සිංහල රාජ්‍ය භාෂාව වුණා. ඒ පිබිදීමෙන් සිංහල භාෂාවෙන් ඉගෙන ගන්නා පිරිස වැඩි වුණා. ඒත් නවකතාකරණය තිබුණේ පරණ තැනමයි. එය අලුත් විෂය පථයන් ඔස්සේ නිර්මාණය විය යුතුව තිබුණා.“ යැයි පැහැදිලි කළේ සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ය.

ඔහු සඳහන් කළ රික්තකය පුරවනු ලැබුවේ ඩීමන් ආනන්ද විසිනි. ඩීමන් ආනන්ද මාරක කතා, රහස් පරීක්ෂක කතා රචනයට පිවිසියේ 60 දශකයේය. එහෙත් ඔහු මෙම කතා කලාවට ප්‍රවිෂ්ට වූයේ ලේඛන කලාවෙන් ඇති වූ ඉච්ඡාභංගත්වය නිසා බව බොහෝ දෙනකු නොදන්නා කරුණකි. ඒ, ඔහු විසින් “අපරාධය සහ දඬුවම“ පරිවර්තනය කරගෙන පොත් ප්‍රකාශකයන් කීපදෙනකු හමුවීමට ගියත් කිසිම අයකු ඔහුගේ පොත භාර නොගැනීම හේතුවෙන් ඇතිවූ කලකිරීමයි. එම අවස්ථාවේදී මරදාන පංචිකාවත්තේ ලිංගම් පොත්හල අධිපති ලිංගම් මුදලාලි ඔහුට පවසා තිබුණේ සිගරට්, සුරුට්ටු මෙන් ඉක්මනින් අලෙවි වන පොත් රචනා කරන ලෙසටයි. සරල වින්දනයක් ලබාදෙන අඩු මුදලකට විකිණිය හැකි කතා පොත් පළ කිරීමට ඔහු පෙලඹුණේ එතැන් සිටය.

ඩීමන් ආනන්දගේ පළමු පොත වන්නේ “ගංතෙර හොල්මන“ කෘතියයි. පිටු 112කින් යුක්ත මෙම පොතේ 2වැනි පිටුවේ පාඨකයන්ට අවවාදයක් දීමට ලේඛකයා අමතක කර නැත. ඒ, පාළු තැනක හිඳ පොත නොකියවන ලෙසයි. ඩීමන් ආනන්දගේ පොත් කවර අඳිනු ලැබුවේ ගම්පහ අබේසිංහ ය. ඔහුගේ පොත් ප්‍රකාශකයා වූයේ කලෙයිමගල් සමාගමයි.

පොත් 1000 කට වඩා පළ කළ නමුත් ඔහු ළඟ පොතක පිටපතක්වත් නොමැති බව වරෙක ඔහු පුවත්පත් සාකච්ඡාවකට ප්‍රකාශ කර තිබිණි. ඊට හේතු වී තිබුණේ හිත මිතුරන් පොතක් ඉල්ලූ විට තමා සන්තකයේ ඇති පොත් පවා ඔවුන්ට තිළිණ කිරීමයි. ඒ වකවානුවේ පොත් මුද්‍රණාලකරුවන් ද පොත් පිටපත් රාජ්‍ය ලේඛනාගාරය වෙත යවා නොතිබීමෙන් ඔහුගේ පොත් අද වන විට සොයා ගැනීම දුෂ්කර වී තිබේ.

පියදාස සිරිසේනයන්ගේ නවකතාවල හමුවන කෝන්ගොඩ වික්‍රමපාල වැනි රහස් පරීක්ෂකවරයකු ඩීමන් ආනන්දගේ නවකතාවලින් ද පාඨකයන්ට හමුවේ. හේ, රහස් පරීක්ෂක ඩිකී වීරකෝන් ය. විශේෂිත අංකය වූයේ 019යි.

ඩීමන් ආනන්දගේ පොත්වල සිටින රහස් ඔත්තු නියෝජිතයා වූයේ ජේමිස් බණ්ඩා ය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ඇසුරෙන් මෙම පොත් රචනා කර ඇති බව හෝ ජේමිස් බණ්ඩා ලෙස චරිතය මවා ඇත්තේ ජේම්ස් බොන්ඩ් චරිතය බව හෝ එදා පොත් කියවන විට නොවැටහුණු බව සඳහන් කළේ ලේඛක දිලීප ජයකොඩි ය.

“මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ කියවපු ඩීමන් ආනන්දගේ පොතක තිබුණ පුංචි ගැහැනු ළමයෙකුගෙයි පුංචි පිරිමි ළමයෙකුගෙයි අහිංසක ආදරයක් ගැන. ඒ දෙදෙනා වෙන්වෙලා, කාලයක් ගිහින් මුණ ගැහෙනව. ඒත් ඒ දෙදෙනා අඳුනා ගන්නේ නැහැ.

ඒ කතාව මගේ හිතේ තදින් කා වැදිලා තිබුණා. හුඟ කාලයක් ගිහිල්ලා මම හින්දි චිත්‍රපටයක් බලද්දි අර කතාවමයි චිත්‍රපටයෙ තියෙන්නේ. චිත්‍රපට කතාවක් වුණත් හිතට කාවදින විදිහට ලිවීමේ හැකියාව ඩීමන් ආනන්දට තිබුණා. මිනිස්සු කවදත් කතාන්දර අහන්න ආසයි.

ඩීමන් ආනන්දට රසවත්ව සරල විදිහට කතාන්දර ලිවීමේ හැකියාව තිබුණා. සාමාන්‍ය ජනතාව ඒ කතා කියවලා සතුටු වුණා. මගේ ලේඛන කලාවට නොවුණත් පොත් කියවීමට නම් ඩීමන් ආනන්දගේ පොත්වලින් උත්තේජනයක් ලැබුණා.“ යනුවෙන් ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන පැවසුවාය.

ඩීමන් ආනන්දගේ මාරක කතා, රහස් පරීක්ෂක කතා කලාවට සමාජයෙන් කොතරම් ගල්මුල් එල්ල වුවද ඩීමන් ආනන්දගේ ගමන් මඟ යමින් මාරක කතා රචනයට එක්වූ ලේඛක පිරිසක් ද සිටියහ. නාරාහේන්පිට චන්ද්‍රසේන ද සිල්වා, වැළිහිඳ මුනිරත්න, සිරිසේන මාඉටිපේ, අම්බලන්ගොඩ චන්ද්‍රසේන ද සිල්වා, ඩබ්ලිව්. පී. වැල්ලවත්ත ඉන් කීපදෙනෙකු පමණි.

“ඩීමන් ආනන්ද එක රැයින් කතා පොතක් ලියලා ඉවර කරන හැටි මම ඇස් දෙකෙන් දැක්කේ ඩීමන් ආනන්ද එක්ක මම එක බෝඩිමේ හිටපු නිසා. ඔහු හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට බලලා ඇවිත් කතාව ලියලා පොත් පළ කළත් පාඨකයන්ගේ කියවීමේ රුචිය වැඩිදියුණු කළා. සාමාන්‍ය පෙළේ ලේඛකයකු හැටියට ඔහුව අගය කළ යුතුව තිබුණා. ඒත් පාට කණ්ණාඩි දාගෙන ඉන්න විචාරකයන් නිසාම ඔහුට නිසි ඇගයීමක් ලැබුණේ නැහැ.“ යනුවෙන් පැවසුවේ සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ය.

90 දශකයේ මුල් භාගයේදී එවකට සංස්කෘතික ඇමති ධුරය දැරූ විජමු ලොකු බණ්ඩාරට දයාවංශ ජයකොඩි යෝජනා කළේ ඩීමන් ආනන්දට සම්මානයක් දිය යුතු බවය. පොත් වැඩි ගණනක් ප්‍රකාශයට පත් කරන පොත් ප්‍රකාශකයාට සම්මානයක් පිරිනමනු ලබන්නේ නම් පොත් වැඩි ගණනක් රචනා කළ ලේඛකයාට සම්මානයක් ලබා දිය නොහැක්කේ මන්දැයි දයාවංශ ජයකොඩි තර්ක කළේය. එහෙත් ප්‍රබුද්ධ සාහිත්‍යකරුවන් සහ විචාරකයන් නිසා එය වැළකී ගියේය.

ත්‍රාසය, භීතිය, කුතුහලය කැටි කරගෙන සරල කතා රසයක් පාඨකයන්ට ලබා දුන් ඩීමන් ආනන්ද, පසුව සිනමා සඟරාවකට ද සම්බන්ධ විය. මේ දෑස කුමකටද, යළි ඉපදේ, සූරයා සූරයාමයි, දාමරිකයෝ යන චිත්‍රපටවල තිර රචකයා වූයේ ඩීමන්න ආනන්ද ය. 60 - 70 දශකවල හිණි පෙතේතේ වැජඹුණු ඩීමන් ආනන්දගේ මාරක කතා පොත්වලට ඇති ඉල්ලුම 80 දශකයේ මුල් භාගය වන විට පහත වැටිණි. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සඳහන් කරන්නේ අසභ්‍ය පොත් වෙළඳපොළට පැමිණීමෙන් ඩීමන් ආනන්දගේ පොත් කෙරෙහි තිබූ පාඨක ප්‍රතිචාර අඩු වූ බවය. ඇතැම්විට කුමරි, අරලිය වැනි යොවුන් පුවත්පත් කලාවක් ආගමනය වීම, රූපවාහිනිය පැමිණීම වැනි කාරණා රැසක් මේ කෙරෙහි බලපාන්නට ඇත.

කෙසේ නමුදු වසර 74ක ආයු කාලයක් භුක්ති විඳ, 2007 වසරේදී මෙලොවින් සමුගත් ඩීමන් ආනන්දට හිමි වූයේ පාඨක ප්‍රතිචාරයම පමණි.

Comments