ලොක්ඩ­වුන් කාලයේ ගෘහස්ථ ප්‍රච­ණ්ඩ­ත්වය ඉහළට... | සිළුමිණ

ලොක්ඩ­වුන් කාලයේ ගෘහස්ථ ප්‍රච­ණ්ඩ­ත්වය ඉහළට...

 

කොවිඩ් වසංගතය හේතුවෙන් නැවත වතාවක් රට පුරා සංචරණ සීමා පැනවෙද්දී එය ඇතැම් කාන්තාවනට තවත් පීඩාකාරී කාලයක උදාවක් විය.

 

රැකියාවන් අහිමිවීම හේතුවෙන් පවුලේ ආර්ථිකය කඩා වැටුණු පවුල්වල කාන්තාවනට එදිනෙදා දරුවන්ගේ අවශ්‍යතා සපයමින්, ඔවුනගේ කුසගිනි නිවීම එක්තරා අන්දමක අභියෝගයක් වී ඇති බැව් නම් නිසැකය.

එහෙත් ඒ සියල්ලට වඩා වද හිංසාවනට ලක්වීමෙන් ගැලවී සිටීම අභියෝගයක් වූ කාන්තාවන් ‍බොහොමයක් වන අතර, නිවස තුළට සීමාවී ගත කරන කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ලිංගික ‍බලහත්කාරකම් හේතුවෙන් ජීවිතය වඩාත් පීඩාකාරීවී ඇත්තේ වෙනත් දිනයන්හි මෙන් නෑදෑ හිතවතෙකු, අසල්වැසියෙකු පිහිට පැතීමට නිවසින් බැහැරට යාමට ‘සංචරණ සීමා’ හරස්වී ඇති බැවිනි.

මෙලෙස වද හිංසාවනට ලක්වූ කාන්තාවන් බොහොමයක් තමන් මුහුණපාන ලිංගික අපයෝජනයන්, බලහත්කාරකම්, පහරදීම්, සම්බන්ධව පැමිණිලි කිරීමට 1938 (හොට් ලයින්) ඇමතීම හේතුවෙන් 2020 වසර තුළ 1938 ට ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 1215 වී තිබිණි.

එහෙත් 2021 වසරෙහි තවමත් ගතවී ඇත්තේ මාස පහක් පමණක් වුව ද, එම මාස පහ තුළ ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 1227 ක් විය.

‘කොවිඩ්’ හේතුවෙන් හිටි හැටියේ ලෝකයේ රටවල ඇඳිරි නීතිය පනවද්දී, සංචරණ සීමා පැනවෙද්දී, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ ‍පමණක් නොවේ. ලෝකය පුරා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය 10% - 30% දක්වා ඉහළ යද්දී, ඇතැම් රටවල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වූවන් විසින් උපකාර පතා ‘Help Line’ වෙත ලබාදෙන ඇමතුම් 10% සිට 50% දක්වා වැඩිවීමක් පෙන්නුම් කරයි. පුවත්පත් වාර්තාවනට අනුව ඉන්දියාවෙහි ළමුන් වෙනුවෙන් වන එක් ‘Help Line’ (උපකාරී දුරකථන සේවාවක්) වෙත ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධ පැමිණිලි 92,000 ක් ලැබී තිබිණි.

අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරින්ට අනුව ලෝකයේ වෙසෙන කාන්තාවන්ගෙන් 35% ක් පමණ තම ජීවිත කාලය තුළදී තම සහකරු, එසේත් නැත්නම් පෙම්වතා (Intimate Partner) වෙතින් කායික, මානසික මෙන් ම ලිංගික අඩත්තේ‍ට්‍ටම්වලට ලක් වෙති.

ඕනෑම පුද්ගලයෙකුට තමනට වඩාත්ම ආරක්ෂාකාරී ස්ථානය ලෙස නැ‍ගෙනුයේ තම නිවසය. එහෙත් ලෝකය පුරා වෙසෙන කාන්තාවන් අතරින් දිනකට 135 දෙනෙකු පමණ තම පවුලේ සාමාජිකයෙකු වෙතින් මරණයට පත්වනුයේ, ඇය තමන්ට වඩාත් ආරක්ෂාව ඇතැයි සිතූ නිවස තුළදීමය.

එමෙන් ම මේ වනවිට සංචරණ සීමා හේතුවෙන් නිවසට සීමාවූ ඇතැම් කාන්තාවන් මෙන් ම ගැහැනු දැරිවියන් විවිධ ලිංගික අතවර, පහරදීම්, තුවාල සිදුකිරීම් වැනි පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරු වන ස්ථානයක් බවට, තමන් සුරක්ෂිත යැයි සිතූ නිවස පත්වී ඇත්තේ කනගාටුදායක ලෙසිනි.

“රටේ සංචරණ සීමා දාන බව දැනගත්ත ගමන් අපේ මනුස්සය කෙරුවෙ අතේ තිබුණු සල්ලිවලට ‘බෝතල්’ ගෙනත් හංගපු එකයි.”

“අම්මේ, පන්තිවලට සහභාගි වෙන්න ‘ඩේටා’ දාන්න ඕනෙ”

“හැමදාම එළවළු එකක් එක්ක කන්න බැහැ... බිත්තරයක් වත් නැද්ද?”

 

ළමයි තුන් දෙනා අඩු පාඩු ගැන මැසිවිලි කියද්දී ඒ ගැන මනුස්සයට කියන්නෙ කොයි වෙලාවෙ කඩන් පනියිද? කියන බයෙන්. දවසක් දවාලට කන්න බැඳුමක් ඉල්ලුවහම ගෙදර තෙල් ඉවරයි කිවුව කියල ලාම්පු තෙල් බෝතලේ ගෙනත් මගෙ ඇඟ පුරා හැලුවා...”

“ළමයි හන්දා ඉවසගෙන ඉන්නව මිසක් දවස තිස්සෙ බැණුම් අහල, ගුටි කාල මට දැන් ජීවිතේම තිත්තයි...”

මත්පැනට ලොල්වූ තම සැමියාගේ අඩත්තේට්ටම් හමුවේ පීඩාකාරී ලෙස දිවි ගෙවන ජසින්තා කොළඹට ආසන්න ප්‍රදේශයක පැල්පත් වාසී කාන්තාවක වන අතර, ඇය පවසන අන්දමට මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වූ පිරිමින් අසල්වාසී නිවෙස්වල බොහෝ කාන්තාවන් ඈ වැනිම වූ පීඩාකාරී ජීවිත ගත කරනවුන් බවයි.

කොවිඩ් වසංගතයට පෙර අප ජීවත්වූයේ එක්තරා හුරු පුරුදු වූ රටාවකට අනුවය. එහෙත් සංචරණ සීමා හේතුවෙන් එම රටාවෙන් බැහැරව නිවස තුළටම හිරවී සිටීමට සිදුවීමෙන් මානසික වශයෙන් ඇති බිඳ වැටීම, ආර්ථික දුෂ්කරතා වැනි විවිධ හේතූන්හි බලපෑමෙන් “හොස්ස ළඟින් මැස්සා ගියත්, ඇතැමුන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙති.

“මම වැඩිවිය පැමිණිනු කෙල්ලො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්. ඒ දරුවො ගැනවත් නොහිතා වෙලාවක්. අවේලාවක් නැතිව තමන්ගේ කාරිය ඉටුකරගන්න කරන බලපෑම් හන්දා මට දැන් දරුවන්ට මුහුණදෙන්නවත් විදිහක් නැහැ. මිනිහ කියන දේට එකඟ නොවුණොත් එදාට මට ගුටි බැට දෙන්නෙ තිරිසනෙක්ටවත් නොගහන විදිහට...”

ඇඳිරිනීතිය, සංචරණ සීමා, මේ සියල්ල තුළ තමන් පීඩාවට පත් කරන තැනැත්තා සමඟ නිතර ගැවසීමට සිදුවීම මෙන් ම සීමාවන් හේතුවෙන් සමාජය තුළ පුද්ගලයනට හුදකලාවීමට සිදුවීම ද කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට ලක්වීමට බලපෑ ‍හේතූන් අතර ප්‍රධානය.

“ෆෝන් එකේ අස්වාභාවික ලිංගික හැසිරීම්වල යෙදෙන වීඩියෝ පෙන්නලා ඒ විදිහට හැසිරෙන්න බල කරනව; ඒවට එකඟ නොවුණොත්...

“උන්ට පුළුවන් නම් උඹට බැරි මොකද?

කියල බලහත්කාරකම් කරන්නෙ ගිනි දවාලෙ දරුවො ගෙදර ඉන්නව නේද කියලවත් හිතන්නෙ නැතිව.”

කාන්තාවට සමාජයෙහි ඇති නිසි තැන පිළිබඳව කවුරුන් කුමක් පැවසුවද, විවාහක යුවළකගේ ලිංගික ජීවිතයෙහිදී අනවශ්‍ය ගැබ් ගැනීම් වළකා ගැන්ම සඳහා උපත්පාලන ක්‍රමයක් අනුගමනය කරනුයේ බොහෝ විට කාන්තා පාර්ශ්වය විසිනි. එහෙත් රට තුළ පැවැති වාතාවරණය හේතුවෙන් උපත් පාලනය සඳහා වන එන්නත් නිසි පරිදි ලබා ගැන්මට නොහැකිවීම වැනි කරුණු මත ඇතැම් කාන්තාවන් අනවශ්‍ය පිළිසිඳ ගැනීම් පිළිබඳ වූ බිය ආදී හේතුවෙන් මානසික පීඩනයට ලක්ව සිටියදී තම බිරිය මුහුණපා සිටින තත්ත්වය පිළිබඳ කිසිදු තැකීමක් නොකොට ඇය හුදෙක් තම අවශ්‍යතා සන්තර්පනය සඳහා විවාහය තුළින් නීත්‍යානුකූලව හිමිකරගත් අයිතිවාසිකමක් පමණක් ලෙස සලකමින් ඇයගේ විරෝධය නොතකා ඇයව පීඩාවට පත්කිරීම පිළිබඳ සිදුවීම් මෙන් ම එවැනි සිදුවීම් පහරදීම්, බලහත්කාරකම්වලින් කෙළවර වූ අවස්ථාවන් පිළිබඳව මෙම කාල සීමාව තුළ බොහෝ විට අසන්නට ලැබෙයි.

කොවිඩ් වසංගතය ආරම්භයත් සමඟ ශ්‍රී ලංකාවේ ගැහැනු ළමුන් හා කාන්තාවන් දූෂණය කිරීම පිළිබඳ සිදුවීම් 1779 ක් (එක්දහස් හත්සිය හැත්තෑ නවයක්) වාර්තා වී තිබිණි. (Grave Crime Abstract)

ගොදුරු සොයන්නට මාන බලන දූෂකයාට නිවස තුළ ‘හුදකලා වූ පරිසරය තම අභිමතය ඉටුකර ගැන්ම සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කර දෙනු ලබයි.

“අම්මා නින්දට වැටෙනකම් ඉඳලා මහ රෑ මැද්දෙ බාප්පා මා ළඟට ඇවිත් මට කරදර කරන්න හැදුව දවස් බොහොමයි. අනික් අතට එක බඩවැල කඩාගෙන ආපු පුංචි අයියා හැම තිස්සෙම බලන්නෙ මාව ගොදුරක් කරගන්න‍. මම මුහුණපාල ඉන්න තත්ත්වය ගැන ලොකු අයියට කිවුවොත් මිනී දෙකක් මැරෙන බව දන්න හින්දා මම ඒ ගැන නිකමටවත් කිවුවෙ නැහැ...”

“මිනී මැරුමකට හිරේ ගිහින් ඉඳල ආපු බාප්පා හැම තිස්සෙම මට තර්ජනය කෙරුවෙ “උඹ නිකමට හරි කට හෙල්ලුවොත් උඹේ අවසානෙ කියල හිතා ගනින්” කියලයි.

තම මවගේ අනියම් සැමියාගෙන් වැඩි දිනක් යන්නට පෙර තමන් කෙළෙසෙනු ඇති බව වටහාගත් ‘සත්‍යා’ ඇතැම් දිනවල රෑ පහන් වන තුරුම නිදිවරා සිටි අතර, අවසානයේදී සංචරණ සීමා මැද්දෙම නිදි පැදුරටත් නොකියා සැතපුම් භාගයක් පමණ දුරින් විසූ මිත්තනියගේ නිවසට ගියේ තවදුරටත් ඒ දරා සිටීමට නොහැකිවූ බැවිනි.

කොවිඩ් වසංගතය හේතුවෙන් වරින් වර ඇඳිරි නීතිය පැනවෙද්දි, සංචරණ සීමා පැනවෙද්දී නිවසට සිරවූ කාන්තාවන් අතුරින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණපෑවේ එක් සමාජ පන්තියකට අයත් කාන්තාවන් පමණක් නොවේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, පවුල් ආරවුල් ආදිය හේතුවෙන් අඹු සැමියන් අතර ඇතිවන දුරස්ථභාවය, දරුවන්ගේ මානසික බිඳ වැටීම්, අධ්‍යාපනය කඩාකප්පල්වීම කෙරෙහි ඍජුව බලපාන්නකි. මෑතකදී රත්නපුර දිස්ත්‍රික්කයෙහි කරන ලද විමසුමකදී පාසල් යා යුතු වයසේ දරුවන් 1430 දෙනෙකුගේ පාසල් අධ්‍යාපනය අවදානම් සහගත තත්ත්වයක පවතින බැව් අනාවරණය වී තිබිණි. දරුවන්ගේ අධ්‍යාපනය අතරමගදී බිඳ වැටීමට බලපාන සාධක අතර බිඳුණු පවුල් පරිසරය, ආර්ථික ගැටලුත්, ළමුන් මෙහෙකාර වෘත්තියෙහි නිරතවීම, බොහෝ අවස්ථාවන්හිදී දක්නට පුළුවන.

එහෙයින් පවුල් ඒකකය තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාම කෙරෙහි අඹු සැමි දෙදෙනාගේම අවධානය යොමු විය යුතු ය.

ඒ කෙසේ වුව ද, “බැඳගත්ත බෙරේ ගහන්න එපැයි”... යනුවෙන් පවුල් තුළ තම පීඩාවට ලක්වීම පිළිබඳ සිදුවීම් නිහඬව දරා ගැන්මට උත්සාහ කරන කාන්තාවන් ද බොහොමයකි.

2020 ජනවාරි මස සිට 2021 මැයි මස දක්වා කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව 1938 ‘Help Line’ වෙත ලද පැමිණිලි සංඛ්‍යාව 2442 කි. පවුල් ආරවුල් සංඛ්‍යාව 1119 කි. ළමා අපයෝජන සිදුවීම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව 13 කි.

බැලූ බැල්මට ඉතා විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බව පෙනුණ ද එහි ඇති යථාර්ථය නම් බොහෝ සිදුවීම් තවමත් සැඟවී තිබීමය.

විශේෂයෙන් නිවස තුළට කොටුවීම හේතුවෙන් තමන් මුහුණදී සිටින දුෂ්කරතාවය පිළිබඳව රහසිගතව දුරකථනයෙන් දැනුම් දීමට අවකාශයක් නොලැබීම මෙන් ම කාන්තාවන් මුහුණපාන හිංසනය, ප්‍රචණ්ඩත්වය පිළිබඳව සිදුවීම්වලදී ඇයට උපකාරී වීමට දුරකථනය හරහා සම්බන්ධ විය හැකි සේවාවන් පිළිබඳව මෙන් ම උපදේශක සේවාවන්, මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට මෙන් ම ජංගම දුරකතන භාවිතයට ඇබ්බැහි වූවන් වැනි චර්යාත්මක ඇබ්බැහිකම් සඳහා උපදේශන සේවාවන් පිළිබඳ බොහෝ දෙනෙකු තුළ ‘නොදැනුවත්කම’ ද මෙවැනි බොහෝ සිදුවීම් අනාවරණය නොවී යටපත්ව තිබීමට හේතුවකි. එමෙන් ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වූ ඇතැම් කාන්තාවන් “ඒ තම කරුමයට” සිදුවන්නක් මෙන් ම ඉන් ගැලවීමක් නැතැයි යන මිථ්‍යාවන් තුළ එල්බගෙන සිටිති.

එහෙත් “එවැනි මිථ්‍යාවන්හි එල්බගෙන ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මුහුණපා ඇති ‘මානසික කම්පනයෙන්’ මිදීමට මෙන්ම අසාධාරණයට ලක්වීමෙන් මිදීමට ඇති අවස්ථාවන් ඉවත දැමීම අනුවණ කමකි.

එබැවින් විවිධ හිංසා අතවරවලට ලක්වූ කාන්තාවන්, දරුවන් මෙන් ම විසඳා ගැනීමට නොහැකි ගැටලුන් හේතුවෙන් ජීවිතයෙන් පලා යාමට පෙලඹෙනවුන් පිළිබඳ නිතර අසන්නට ලැබෙන මෙවැනි සමාජයක, ඔවුනට උපකාරි විය හැකි යම් සේවාවක් වේ නම්, ඔවුන් සම්බන්ධ‍ කරලීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් වනු ඇත.

 

කාන්තාවන්ට පිහිටක් සඳහා අමතන්න

• Women’s Help Line – 1938

• WOMEN IN NEED

011-4718585/0777349100

• CHID HELP LINE – 1929

• Child Protection Force

011-4848856

ළමා හා කාන්තා කාර්යාංශය

• ශ්‍රී ලංකා පොලීසිය

011-2444444

• ශ්‍රී ලංකා සුමිත්‍රයෝ

011- 2696666

011-2692909

Comments