
රාජ්‍ය පොසොන් උත්සවය 24 වැනිදා මිහින්තලයේදී ජනපති ප්‍රධානත්වයෙන්
මෙරට සියලු ආලෝක පූජාවලට පරමාදර්ශය දුන්නේ මිහින්තලයේ ආලෝක පූජාවයි
මෙවරත් සම අනුග්‍රහය විදුලිබල මණ්ඩලයෙන්
ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහමේ සම්බුද්ධාලෝකය බෙදා දුන් මිහින්තලේ පුණ්‍ය භූමිය ආලෝකවත් කරන මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව මෙවරත් 59 වැනි වරට ජූනි 23,24,25 දිනවල සෞඛ්‍ය නීතීන්ට අනුකූලව පැවැත්වීමට දැන් සියලු කටයුතු යොදා ඇත.
මෙයට සමගාමීව රාජ්‍ය පොසොන් උත්සවය ද 24 වැනිදා පොසොන් පුර පසළොස්වක දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලයේදී පැවැත්වේ.
මෙවර රාජ්‍ය පොෙසාන් උත්සවය මහජනතාවගේ සහභාගිත්වයෙන් තොරව ලේක්හවුස් ආලෝක පූජා පින්කම ඇතුළු ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මිහින්තලා රාජමහා විහාර පුදබිම කේන්ද්‍ර කරගෙන සිදු කරන බව පොසොන් උත්සව කමිටු සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක සඳහන් කරයි.
රාජ්‍ය පොසොන් උත්සවයට බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මිහින්තලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලේක්හවුස් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහයෝගය ඇතිව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන දෙමින් සිදු කිරීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට ඇත්තේ වසර 59 ක සුවිශේෂි ඉතිහාසයකි. මේ ඉතිහාසය ඇතුළත එල්ටීටීඊ සංවිධානයේ ප්‍රහාර තර්ජන හා ජවිපෙ සටන්කාමින්ගේ ප්‍රහාර තර්ජන ආදි බාධා රැසක් ආලෝක පූජාවට බලපෑවේය. ඊට අමතරව 2019 පාස්කු ප්‍රහාරයෙන් 2020 කොරෝනා රෝගය ව්‍යාප්තිය ද මේ ආලෝක පූජාව සංවිධානය කිරීමේදි ප්‍රධාන අභියෝග ලෙස තිබිණි. නමුත් මේ ආලෝක පූජාව ඒ කිසිවක් බාධාවක් ලෙස නොගෙන නොකඩවා වසර 58 ක් පැවැත්වීමට ලේක්හවුස් පාලනාධිකාරිය පියවර ගත්තේය. ඒ අයුරින්ම මෙවරත් මේ ආලෝක පූජාව රටටම සම්බුද්ධාලෝකය බෙදූ මිහින්තලය ඒකාලෝක කරමින් පවත්වන්නට කටයුතු යොදා ඇත.
මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදි වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙවරත් අලෝක පූජාව සිදුකරන්නේ ලේක්හවුස් ආයතනයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්නයන් ප්‍රමුඛ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ සංවිධානය හා උපදෙස් මතය.
මිහින්තලයත් - ලේක්හවුස් ආයතනයත් ‘බුදුසරණ‘ - ‘සිළුමිණ‘ - ‘දිනමිණ‘ වැනි පුවත්පත් අතරත් ඇත්තේ නොබිඳිය හැකි නොබිඳිය යුතු සමීප සබඳතාවකි. ඒ අන් කිසිවක් නිසා නොව වසර 59 ක් තිස්සේ මොන බාධක දුෂ්කරතා තර්ජන ආවත් නොකඩවා පවත්වන මේ ‘ආලෝක පූජාව‘ නිසාමය.
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ආරම්භ වූයේ 1963 දී ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ අදහසක් පරිදිය. මෙරට ආයතන දැන් පවත්වන ආලෝක පූජා සියල්ලටම පරමාදර්ශය වූයේ ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවයි. එදා සිටම අද දක්වාම ලේක්හවුස් ආලෝක පූජාවට සම අනුග්‍රහය දක්වන්නේ විදුලිබල මණ්ඩලයයි.
අපේ රටට බුදු දහම පැතිර වූ අපේ සංස්කෘතියේත් සාරධර්මවලත් මූලාරම්භය දැමූ මිහින්තලා පුණ්‍ය භූමියේ ශ්‍රී විභූතිය සුරැකීමට මිහිඳු මහ රහතන් වහන්සේට කරන උපරිම ගෞරවය සිදු කිරීමට පසුගිය වසර ඇතුළත උත්සව පින්කම් රැසක් සිදු විය.
විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන මාහිමිපාණන්ගේ මෙහෙයවීමන් සිදු කෙරුණු මිහින්තලේ සංරක්ෂණ හා සංවර්ධන කටයුතුවලට වත්මන් රජයෙන් පූර්ණ අනුග්‍රහය ලැබිණි.
මේ අනුව පසුගිය වසරේදි මිහින්තලය පූජා භූමියේදි අනුබුදු මිහිඳු හිමියන් අප රටට කළ අනුපමේය මෙහෙය ඇගැයීමට සැමරීමට කටයුතු රැසක් සිදු කළ බව විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන මාහිමිපාණෝ පැවසූහ.
“ඒ අනුව මිහින්තලය ජාතික උරුමයක් කිරීමට රාජ්‍ය පොසොන් උත්සවය ගැසට් කර මිහින්තලයේ පැවැත්වීමටත් අපි කටයුතු කළා.
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව, මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් 2020 වසරේදී විවෘත කළ අවස්ථාව. මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන සහ මහින්ද අමරවීර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ලේක්හවුස් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න යන අය ද එක්ව සිටියහ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ 2280 වැනි අනුබුදු මිහිඳු නාහිමි පරිනිර්වාණ සැමරුම් රාජ්‍ය උත්සවය පැවැත්වූවා. එවැනි උත්සවයක් රාජ්‍ය නායකයකුගේ ප්‍රධානත්වය ඇතිව මෙරට පැවැත්වුණේ වසර 1700 කට පසුවයි.
ඒ සමඟම එම උත්සවයට සමගාමීව මිහින්තලා පුද බිමේ පිහිටි ඓතිහාසික මිහිඳු මහ සෑය, මිහිඳු ලෙන් සෙනසුන, ධාතු මන්දිරය, පියගැට පෙළ ඇතුළු සුවිශේෂි ස්ථාන රැසක් ප්‍රතිසංස්කරණය කිරීම ද ආරම්භ කළා. එමෙන්ම වැඩ නැවතී තිබුණු ධර්මශාලාව ද යළි ඉදිකිරීමට පියවර ගත්තා. එය දකුණු ආසියාවේ විශාලතම ධර්ම ශාලාව ලෙස 5000 කට ධර්මය ශ්‍රවණය කිරීමට හැකි අයුරින් ඉදිවෙනවා.“
මෙවර මිහින්තලා ආලෝක පූජාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුව ජුනි 23, 24, 25 දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වළවාහැංගුණවැවේ ධම්මරතන මාහිමියෝ අප සමඟ පැවසූහ.
“සුපුරුදු පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්නයන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා සියලු කටයුතු සංවිධානය කිරීම ලොකු සතුටක්. ඒ වගේම විදුලිබල මණ්ඩලයත් මෙයට සුපුරුදු පරිදි සම අනුග්‍රහය දක්වනවා.
ලේක්හවුස් ආයතනය, විදුලිබල මණ්ඩලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතනවල පූර්ණ සහාය මත ඉතා චාම්ව ආගමික වතාවත් පමණක් සිදුකරමින් ආලෝක පූජාව පැවැත්වීමට අදහස් කරනවා.“ උන්වහන්සේ පැවසූහ.
රටේ අන් සියලු ආලෝක පූජාවලට පරමාර්දර්ශ ආලෝක පූජාව වෙමින් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 1963 පොසොන් පසළොස්වක දින ආරම්භ කර ඇත්තේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් මතය. එවකට ලේක්හවුස්හි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ රංජිත් විජයවර්ධන හා ජී.බී.එස්. ගෝමස් යන මහත්වරු මෙම මුල්ම ආලෝක පූජාව සංවිධානය කළහ. 1963 මෙම ආලෝක පූජාව විවෘත වූ මොහොතේ මිහින්තලයේ සිටි පෙහෙවස් සමාදන් වූ හා වන්දනා කළ බැතිමතුන් මේ පූජාව ඇරඹූ අයට පින් දෙමින් සාධු නාද දුන් බව එකල ආලෝක පූජාවට එක්වූ අප පැරණි නිලධාරීහු පවසති.
අතීතයේ හුළුඑළි රැගෙන ආ වන්දනා කරුවන් වෙනුවෙන් මුලින්ම ආලෝක පූජාව සිදු කර ඇත්තේ අගනුවර සිට විශාල ලොරිවල මහා විදුලි ජනන යන්ත්‍ර රැගෙන විත් ඒවාට ඉන්ධන දමා ඇන්ජින් පණ ගැන්වීමෙනි. මේ අයුරින් ආලෝක පූජාව ආරම්භ කළ බව රටපුරා ලේක්හවුස් පුවත්පත් වලින් ප්‍රචාරය වීමත් සමඟම මිහින්තලාවේ දන්සැල් පැවැත්වීමද වැඩිවිය.
මිහින්තලා පුද බිමට 1978 දි ස්ථිර විදුලි ආලෝකය ලැබිණි. ලේක්හවුස් ආයතනයේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩයන්ගේ ඉල්ලීම් අනුව හා ලේක්හවුස් ආලෝක පූජාවේ වියදම් සඳහා මිහින්තලා ආලෝක පූජා භාරය පිහිටවිය.
මෙම ආලෝක පූජා භාරය මඟින් ආලෝක පුජාවට අමතරව මිහින්තලේ ප්‍රදේශයේ දහම්පාසල් හා පාසල් සිසු සිසුවියන් සිල් සමාදන් කර ඔවුන්ට සිල්රෙදි ලබාදීම චිත්‍ර හා කථික දහම් තරග පැවැත්වීම ආරම්භ විය. ඊට අමතරව මෙම ආලෝක පූජාවලට සමගාමීව ලේක්හවුස් ආයතනය මඟින් මිහින්තලා ප්‍රදේශයට ජාතික ආගමික සාමාජික සේවාවල් ද සැලසීය.
මෙවර 59 වැනි වරට කොරෝනා රෝගයේ තර්ජන මධ්‍යයේ වුව පවත්වන මේ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පසුගිය වසර 58 ක් තිස්සේ පැවැත්වූයේ ද විවිධ බාධක ත්‍රස්ත තර්ජන මධ්‍යයේ බව මතක් කළ යුතුව ඇත.
1985, 1988, 1989 වසරවල කොටි ත්‍රස්තවාදීහු, ජවිපෙ කැරැලිකරුවෝ මේ ආලෝක පූජාවට මෙන්ම ලේක්හවුස් ආයතනයේ කටයුතුවලට ද බාධා තර්ජන එල්ල කළහ. එවැනි තත්ත්ව යටතේ මේ ආලෝක පූජාව පවත්වා ඇත්තේ එකල ලේක්හවුස් හි සිටි නිලධාරින්ගේ හා සේවකයන්ගේ කැපවීම නිසාමය.
මේ පූජාවේ රාජකාරි සඳහා යන බොහෝ දෙනෙක් අමතර දීමනා ලබා ගත්තේ නැත. රාජකාරි නිවාඩු පමණක් ලබාගෙන මේ ආලෝක පූජාවට ඒ පිරිස එක්වූයේ ‘තේවාවක්‘ කරන අයුරින්ය.
මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට ලොකුම තර්ජනය එල්ල වූයේ 1985 දීය. ඊට හේතුව පොසොන් පසළොස්වක දිනයට දින 18 ක් තිබියදී 1985 මැයි 14 වැනිදා අනුරාධපුරය ශ්‍රී මහ බෝධි පරිශ්‍රයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමයි.
ඒ නිසා එහි සිටි උවැසි උවැසියෝ 140 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ ප්‍රහාරය නිසා මුළු රජරෙට්ම පමණක් නොව මුළු ලංකාවේම බෞද්ධ ජනතාව තැති ගත්හ. කෙසේ වුවත් ලේක්හවුස්හි එවකට සිටි පාලනාධිකාරිය තීරණය කළේ අනුරාධපුරයට මිහින්තලාව අවට ගම්වලට කොටි ප්‍රහාර එල්ල කළත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව කෙසේ හෝ සිදු කළ යුතු බවයි. ඒ අනුව පාලනාධිකාරිය එවකට බුදුසරණ පත්‍රයේ කර්තෘ ලෙස සේවය කළ ප්‍රේමසිරි අබේසිංහටත් පිරිස් කළමනාකාර ටිරල් ප්‍රනාන්දුටත් උපදෙස් දී ඇත්තේ මිහින්තලාවට ගොස් ආලෝක පූජාව සංවිධානය කරන ලෙසයි. ඒ අනුව බුදුදහම අපේ රටට පැතිරූ සුවිශේෂ ස්ථානය පොසොන් පසළොස්වක දිනයේම කළුවරේ තැබීමට නොහැකි නිසාත් ලේක්හවුස් ආලෝක පූජාව නොකඩවා පැවැත්විය යුතු නිසාත් ලේක්හවුස් හි මේ රාජකාරිය දේවකාරියක් ලෙස කළ යුතු නිසාත් ඉහත නිලධාරිහු තවත් සේවක පිරිසක් සමඟ ගොස් 1985 මිහින්තලා ලේක්හවුස් අලෝක පූජාව සාර්ථක ලෙස දින තුනක් තිස්සේ සිදු කළහ. ඔවුන්ට යුද හමුදාවේ ආරක්ෂාව හා ජීවිත රක්ෂණයක් ලබාදීමට ද ආයතනය කටයුතු කර තිබිණි.
මුල්ම ආලෝක පූජාව 1963දී විවෘත කළ අවස්ථාව.
1987, 1988, 1989, 1990 වසරවලදි එල්.ටී.ටී.ඊ. හා ජවිපෙ ත්‍රස්තවාදය රට පුරා පැතිර ගියේය. ලේක්හවුස් ප්‍රකාශන මුද්‍රණය, බෙදා හැරීම, විකිණීම තහනම් කර තිබිණි. ලේක්හවුස් පුවත්පත් ප්‍රවාහනය කළ අපේ රියැදුරන් දෙදෙනෙකු ද මෙකල ජවිපෙ ත්‍රස්තවාදීහු මරා දමනු ලැබූහ. නමුත් එවන් තර්ජන ගර්ජන මධ්‍යයේ වුවද 1985 - 1990 වකවානුවේදී ජීවිත පරදුවට තබා ලේක්හවුස් ආලෝක පූජාව සිදු කිරීමට ලේක්හවුස් පාලකයෝ, නිලධාරීහු හා සේවකයෝ කටයුතු කළහ.
ලේක්හවුස් ආයතනයේ හිටපු ලේකම් සී. කේ. චන්ද්‍රසේකර, හිටපු බුදුසරණ කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ, හිටපු පිරිස් කළමනාකාර ටිරල් ප්‍රනාන්දු, හිටපු සාමාන්‍යාධිකාරි හා ලේකම් බී.ඒ. ජිනදාස යන ලේක්හවුස් හි විදුලිබල අංශයේ සේවකයෝ, අනුරපුර ශාඛා කාර්යාලයේ අය ආලෝක පූජාව එකල සංවිධානය කළේ දිවි පරදුවට තබා බව ඔවුන්ට කෘතවේදීව මතක් කළ යුතුය. මෙම කටයුතුවලට මිහින්තලා පුරාණ විහාරස්ථානයේ මහා සංඝරත්නය හා එවක ලේක්හවුස් පාලනාධිකාරිය පූර්ණ අවවාද උපදෙස් ලබා දුන්හ.
ආලෝක පූජාවට සමගාමීව ලේක්හවුස් ආයතනය විසින් මිහින්තලා ආසනයේ පාසල් තුනක් සඳහා විද්‍යාගාරයක්, දන්ත ශල්‍යාගාරයක් හා පුස්තකාලයක් ලබාදෙන ලදි. ඊට පසු කුරුන්දන්කුලම විදුහලට වඩු කාර්මික පුහුණු මධ්‍යස්ථානයක් ද මිහින්තලා මහ විද්‍යාලයට පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් ද ලබාදී ඇත.
විදුලිබල මණ්ඩලය විසින් 2002 වසරේදි මිහින්තලේ තිබූ පැරැණි විදුලිබල පද්ධතිය ඉවත් කොට භූගත විදුලිබල පද්ධතියක් සවි කළේය. ඒ නිසා ආලෝක පූජාවට තවත් උදව්වක් පහසුවක් ලැබී ඇත.
ඉහත දැක්වූ තර්ජන ගර්ජන මධ්‍යයේ වුවද අප ආයතනයේ සේවකයන්ගේ කැපවීම නිසා මිහින්තලා ආලෝක පූජාව නොකඩවා වසර 58 ක් පවත්වාගෙන ආ අයුරින් මෙවරත් කොරෝනා තර්ජන මධ්‍යයේ වුවද මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්ම රතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්නයන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කිරීම ලේක්හවුස් හි පැරණි සේවකයන් ලෙස අපි අගය කරමු.
මොන තර්ජන රෝග පීඩාදිය මධ්‍යයේ වුවද මෙවරත් පොසොන් පසළොස්වක දින දහස් ගණන් විදුලි බුබුළු වලින් ඒකාලෝක වන මිහින්තලය පූජා භූමිය රටටම කියා පාන්නේ ලේක්හවුස් ආයතනයේ බොදු මෙහෙවරේ ප්‍රෞඪත්වයයි.
මේ ආලෝක පූජාව තවත් දිගු කලක් ගෙනයමින් රටටම සම්බුද්ධාලෝකය පැතිරූ මිහින්තලයේ ප්‍රෞඪත්වය මෙන්ම රටටම පත්තර කලාව ඉගැන්වූ පත්තර මහගෙදර ප්‍රෞඪත්වය සුරැකීමට අාලා්ක පූජාවේ සංවිධායක පිරිසට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.
සේයා රූ - චිත්‍රාරත්න කළුආරච්චි (හිදෝගම සමූහ)