![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/06/11/b3.jpg?itok=SPc_jVky)
පුතෙකුට තම මව කිසිදා අමතක කළ නොහැකිය. විශේෂයෙන්ම ඇය අසාධාරණයට ලක්ව හදිසි අනතුරකින් අබිරහස් ලෙස ජීවිතයෙන් සමු ගත්තේ නම් ඇයව අමතක කිරීම කිසිසේත් කළ නොහැකිය. යම් හෙයකින් මේ පුතා රජකුමරුවකු නම් තම මව වෙනුවෙන් ඔහුට කළ හැකි බොහෝ දේ ද කළ නොහැකි බොහෝ දේ ද වනු ඇත.
පසුගියදා තම දෙවැනි දරුවා ලෙස මෙලොව එළිය දුටු දියණියට තම මවගේ නම වන ‘ඩයනා’ යන්න ලබා දෙමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු ලොවට පෙන්වා සිටියේ තම මියගිය මව වෙනුවෙන් තමාට කළ හැකි බොහෝ දේ පවතින බවයි.
හැරී කුමරු සැම විටම තම මවට රජ පවුලෙන් අසාධාරණයක් සිදු වූ බව විශ්වාස කළ අතර ඒ වෙනුවෙන් හඬ නැගීමට ක්‍රියා කළේ තම විවාහයෙන් පසුවය. ඩයනාගේ කම්පිත මරණයෙන් පසුව රජ පවුල තම දැඩි නීති රීති තරමකට ලිහිල් කර සිටියේ ඒ හේතුවෙන් ඩයනාගේ මරණයේ එක් පාර්ශ්වකරුවකු වූ චාල්ස්ටද යහපත් ජීවිතයක් ලබා දෙමිනි. කැමිලාව විවාහ කර ගැනීමේ අවස්ථාව චාල්ස්ට හිමි වන්නේ ඩයනාගේ කම්පිත අවසානයෙන් පසුවය. සැමදා රජ පවුලේ සුවච කීරකරු පුත්‍රයා වූ විලියම් විවාහ වන්නේද රජ පවුලේ දීර්ඝ කාලීන පැවැත්ම අපේක්ෂා කරන බ්‍රිතාන්‍ය සාම්ප්‍රදායික පවුලකින් වූ අතර ඔහු සැමවිටම තම බිරියද සමඟ රජ පවුලේ පැවැත්මට අනුබල දුන්නේය.
එහෙත් විප්ලවකාරයා වූ හැරී තම විප්ලවය අරඹන්නේ මේගන් මර්කල් නම් ඇමරිකානු නිළිය විවාහ කර ගැනීමෙනි. අමතක කළ යුතු නැති වන්නේ හැරීගේ මේ විවාහයට අවසර හිමි වන්නේද ඩයනාගේ කම්පිත අවසානය හේතුවෙන් බවයි. නැතහොත් අතීතයේ පැවති රජ පවුලේ සම්ප්‍රදායන් අනුව කිසිදා මේගන්ට රජ පවුලට සම්බන්ධ වීමට හැකියාවක් නොලැබෙනු ඇත.
එහෙත් විවාහයෙන් පසුව රජ පවුලට පයින් ගැසූ හැරී තම මව විඳි වේදනාව වචනවලට පෙරළමින් මුළු ලෝකයම හමුවේ පවසමින් කිසියම් අන්දමක පළිගැනීමක් කරනු දැක ගත හැකි විය.
දැන් ඔහු තවත් අන්දමකින් තම මව වෙනුවෙන් සිහිවටනයක් ඉදි කර තිබේ. ඒ තම දියණියට ‘ඩයනා ‘ යන නාමය ලබා දෙමිනි. මීට පෙර විලියම් කුමරුටද දියණියක ලැබුණු අතර ඔවුන්ද තම දියණියට නම ලබා දුන්නේ මහ රැජිනගේ සහ ඩයනා කුමරියගේ නම් එකතු කරමිනි. ඒ චාලට් එලිසබෙත් ඩයනා යනුවෙනි. දැන් හැරී කුමරුද තම මිත්තණිය වන මහ රැජිනද අමතක නොකරමින් ලිලිබෙත් ඩයනා යනුවෙන් තම දියණිය නම් කර තිබේ.