
- වායුගෝලයේ සුළං තත්ත්වය නිසා දින පහකට පසු ගින්න අලුත් වුණා
- නිව් ඩයමන්ඩ් නැව ගිනි ගත්තේ මීට වසරකට පෙරයි.
- නයිට්‍රික් හා එතනොල් රසායනික නිසා පරිසරයට දැඩි බලපෑමක්
- අනතුරු ඇඟවීම් නොසලකා වෙරළබඩ ජනයා පාවී ආ ද්‍රව්‍ය එකතු කරන්නට පටන් ගෙන
- පරිසර හානිය මනින්න සමුද්‍රීය ආරක්ෂණ අධිකාරයෙන් විශාල වෙහෙසක්
“එක්ස්ප්‍රස් පර්ල්" ( MV X-PRESS PEARL) යනු 2021 දී ඉදිකරන ලද දිගින් මීටර් 186 ක් පමණ වන සිංගප්පූරු බහාලුම් නෞකාවකි. එය ක්‍රියාත්මක වන්නේ ලොව විශාලතම නැව් ක්‍රියාකරු ලෙස සැලකෙන එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් ආයතනය විසිනි. පසුගිය මැයි 19 වන දින ඉන්දියාවේ ගුජරාට් හී හසිරා වරායෙන් නයිට්‍රික් අම්ල, එතනෝල් ටොන් 25 ක්, බහාලුම් 1486 ක්, වෙනත් විෂ රසායනික ද්‍රව්‍ය හා ආලේපන රැගෙන පිටත් වූ මෙම බහාලුම් නෞකාව කොළඹ වරායට නාවික සැතැපුම් 10ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබියදී ගින්නක් ඇති වූයේ පසුගිය 20 වැනිදාය.
කෙසේ වෙතත් සතිය මැද වන විට මෙම ගින්න නැවතත් වර්ධනය වී එහි පිපිරිමක්ද සිදු වූ සති අග වන විට මේ නැව සම්පූර්ණයෙන්ම ගිනිබත් වී තිබුණි. මෙහි කාර්ය මණ්ඩලයේ සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකුද තුවාල ලබා කොළඹ මහ රෝහලට ඇතුළත් කළ අතර ඉතිරි කාර්ය මණ්ඩලයේ වූ ඉන්දියන්, පිලිපීන, චින හා රුසියානු ජාතික 25 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් රෝහල්ගත කළ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවද පසුව කළ පි.සි. ආර් පරීක්ෂණවලදි තහවුරු විය. ගිනිගෙන දැවෙමින් තිබුණු කන්ටෝනර් 8 ක්ද මුහුදට වැටී තිබූ අතර 'එක්ස්ප්‍රස් පර්ල්'නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩ ගසන්නට පටන්ගත් අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තරයේ අවධාරණය කළේ එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ නොකරන ලෙසත්ය. එහෙත් අනතුරු ඇඟවිම් කිසිත් තුට්ටුවකට මායිම් නොකළ ඇතැම් පිරිස් ජා ඇල, කපුගොඩ, සේත්තුපා ඩුව වෙරළ තීරයට ගොඩ ගැසූ නෞකාවේ දැවී ගිය අබලි ද්‍රව්‍ය හා කන්ටේනර් කොටස් ඉවත් බවක් නැතුව එකතු කරන්නට විය. අවසානයේ මේ පිරිස් පොලිස් අත්අඩංගුවට පවා පත්වූයේ පෙර අනතුරු ඇඟවීම් මායිම් නොකර භයානක කටයුතු වලට අත ගැසීම නිසාය. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවැසූයේ කිලෝ මීටර නවයක පමණ දුරකට විසිර ඒවා විසිර ගොස් ඇති බවත්, වෙරළ තීරය ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද නාවික හමුදාව ක්‍රියාත්මක කළ බවත්ය.
මීට පෙර ලංකාවේ වෙරළ තීරයට ආසන්නව තෙල් නැවක් ගිනි ගත්තේ 2020.6.3 වැනිදා ය. ඒ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගෙන දැවෙමින් තිබූ ‘නිව් ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහන නෞකාවය. ඒ වන විට ලංකාවේ පවත්නා නීතියට අනුව ගිනි නිවීමේ කටයුතු වෙනුවෙන් වැය වූ මුදල මෙන්ම ලංකාවේ පරිසර හා සමුද්‍රීය දූෂණය වෙනුවෙන් වැය වූ මුදල ලබා ගන්නට ශ්‍රී ලංකා රජය කටයුතු කෙරිය.
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් නැංගුරම් පොළේ සිටියදී මෙම නැව ගිනි ගන්නට ඇතැයි සැක කෙරුණේ එහි වූ නයිට්‍රික් අම්ලය කාන්දුවීමෙන් බව සැක කරයි. ගින්න ආරම්භ වූ විට මේ නෞකාවේ ගින්න පාලනය කිරීමට පෙර පුරුදු සේම විශාල කර්තව්‍යක නිරත වීමට නාවුක හා ගුවන් හමුදාවට සිදුවිය. ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක්, බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යෙදවූයේ ගිනි නිවීමේ කටයුතු වෙනුවෙනි. ගිනි නිවීමේ කටයුතු සඳහා වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්රූම් 425 ක් සාර්ථකව නෞකාව මතට හෙළීමට ගුවන් හමුදාව විශාල පරිශ්‍රමයක් දරන්නට සිදු විය. සාගර හා සිඳුරඟ යන ගුඹුරු මුහුදේ නිරීක්ෂණ නෞකා දෙක ද මේ සඳහා යොඳවා තිබුණි. එසේම නාවුක හමුදාවේ ටග් යාත්‍රා මඟින් බහාලුම් අවට උෂ්ණත්වය පාලනය කිරිම සඳහා සිසිලන ක්‍රියාවලිය සිදු කිරිම පෙර පුරුදු ආකාරයෙන්ම සිදු කළේය. කෙසේ වෙතත් මේ දිනවල වායුගෝලයේ පවත්නා දැඩි සුළං තත්ත්වය නිසා ගින්න දිගින් දිගටම වර්ධනය වු අතර සතිය අවසන් වන විට නැව සම්පූර්ණයෙන්ම මුහුදු බත් වන්නට විය.
බ්‍රහස්පතින්දා නැවේ ගින්න නිවා දැමූ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සිළුමිණට පැවැසූයේ මෙවන් අදහසකි.
“ මේ වන විටත් නැව සම්පූණයෙන්ම ගිනි ගන්නවා. දැන් දුම වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම මුහුදු සුළං මෙන්ම මුහුදු රළු ස්වභාවය නිසා ගින්න තවත් වැඩි වෙලා. දැන් මේ නැව ඇඳ ගෙන යාමට නොහැකියි. මේ නැව සම්පූර්ණයෙන්ම මුහුදු බත් වෙනවා. සමහරවිට මේ නැවේ කොටස් යකඩ වලට ගත හැකියි. ඒ වගේම ටික දිනකින් මේ නැව මේ ස්ථානයෙන් ඉවත් කිරිමට සිදු වෙනවා. මොකද මේ නැව ගිනි ගන්නේ මුහුදු ගමන් මාර්ගයේ වන නිසා. වායු හා ජල දූෂණය සිදුවෙන නිසා නීතිමය හා රක්ෂණ ආවරණ හරහා වන්දි ලබා ගැනීමට කටයුතු කරනවා. දූෂණයේ තරම මැනීමට ඒ ස්ථානයට ළඟා වීමට නොහැකියි. අපේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ කණ්ඩායමේ පිරිසක් නැව තිබෙන ස්ථානයට ගියා. ඒ නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් නෞකාව අවට සාගර කලාපයට යම් බලපෑමක් සිදුව ඇති ආකාරය සොයා බලන්න. පරිසරයට යම් බලපෑමක් සිදුවී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා එම ස්ථානයෙන් සාම්පල ලබා ගැනීම සිදු කළා. මේ වන විට විශ්වවිද්‍යාල කිහිපයක විශේෂඥයන්ගේ කමිටුවක් පත් කර තියෙනවා, මෙයින් හානිය හා වන්දිය ලබා ගැනීම සම්බන්ධව පිරික්සීමට......“ ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාරය.
කෙසේ වෙතත් මේ වන විට වායු ගෝලිය, ජල දුෂණය සිදුවී ඇති බව පරිසර විද්‍යාඥයන්ගේ මතයයි. ගිනි ගනිමින් තිබූ ඒ නෞකාවෙන් පරිසරයට සිදුවන හානිය මේ වන විට සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය විසින් සොයා බලමින් පැවතියද බලවත් ගැටලුව ඇත්තේ තවමත් ඒ ස්ථානයට ළඟා වීමේ අපහසුතාවයි. එසේම මුහුදට වැටුණු රසායනික සම්බන්ධයෙන් රජය විසින් ජනතාවට විශේෂ නිවේදන නිකුත් කළ අතර නෞකාවේ බහාලුම්වල ඇති රසායනික මගින් ස්වසන අපහසුතා සහ වෙනත් ආසාත්මිකතා පෙන්විය හැකි බවද අනතුරු හඟවා ඇත. මුහුදට වැටුණු එම බහාලුම් අතර බහාලුම් තුනක රසායනික ද්‍රව්‍යය අඩංගු වී තිබීම ඊට හේතුවයි.
“ මෙහි තිබී ඇත්තේ නයිට්‍රික් ඇසිඩ්. එය වහා ගිනි ගන්නා සුලු හා විඛාදනය වන්නක්. මෙම රසායනික මුහුදු ජලයට මුසු වුණොත් එහි භයානක විපත් මුහුදු ජීවින්ට හා කොරල් පරවලට සිදුවිය හැකියි.
එම විනාශය ඉදිරියේදි නොව මේ මොහොතේදිම සිදුවිය හැකියි. ඒ වගේම මේ රසායකිනක දියවැල් හරහා යම් යම් පළාත්වලට ගලා යා හැකියි. මෙම රසායනිකය ගෑවුණු තැන පිලිස්සිය හැකි නිසා ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා. ලංකාවේ පවත්නා නීතිය අනුව මෙමඟින් සිදුවු අලාභය අයකර ගත හැකි වෙනවා. ඒත් පසුගිය කාලයේ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් විශාල වශයෙන් පරිසර හා සමුද්‍රීය දූෂණයක් සිදුවුණා. ඒත් ඔවුන් ඒ හානිය පියවූයේ නැහැ.....“ ඒ ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ හා පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේය.
නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න සම්බන්ධයෙන් සොයා බලන්නට නෙදර්ලන්ත හා බෙල්ජියමේ විශේෂඥ කණ්ඩායම නැවට ඇතුළු වූයේ පසුගිය 24 වැනිදාය. වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ නැව් සමාගම සමඟ කළ යුතු දේ සාකච්ඡා කරන්නට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ බවත්, නෙදර්ලන්ත විශේෂ කණ්ඩායමක් ගුවන් යානයකින් ගිනි නිවීමේ උපකරණ රැගෙන පිටත් වූ බවත්ය. එසේම අපේ බලධාරින් විසින් රක්ෂණ සමාගමේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර ඇත්තේ එයින් ලංකාවට සිදුවු අලාභය අත්පත් කර ගැනීම සම්බන්ධවය. රසායනික ද්‍රව්‍ය හේතුවෙන් අවදානම මෙතෙක් පහව ගොස් නොමැත. මෙහි දැඩි බලපෑමක් සමුද්‍රිය ජීවින්ට මෙන්ම ගොඩබිම වෙසෙන අපටද සිදුවිය හැකිය. ඒ මෙහි ගබඩා කර ඇත්තේ රසායනික ද්‍රව්‍ය වන නිසාය. මේ නිසා නෞකාවෙන් පරිසර හානියක් සිදුව ඇද්ද යන්න පිළිබඳ සොයා බැලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දිගින් දිගටම කටයුතු කරති.
“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අනතුර හේතුවෙන් එකතුවන අපද්‍රව්‍ය, “උපද්‍රවකාරී අපද්‍රව්‍ය” ලෙස සැලකෙන අතර ඒවා මෙතෙක් නිෂ්චිතව වෙන් වෙන්ව හඳුනාගෙන නැහැ. එබැවින් කිසිදු හේතුවක් මත මෙම අපද්‍රව්‍ය රට තුළට ගෙන ඒම, එක්රැස් කිරීම, වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හෝ ඇල්ලීම අතිශයින්ම අනතුරුදායක විය හැකි බැවින් එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙම නෞකා අනතුර හේතුවෙන් යම්කිසි ප්‍රදේශයකට අපද්‍රව්‍ය එක්රැස්වේ නම් හෝ වෙනත් ඕනෑම ආකාරයක පාරිසරික ගැටලුවක් පවතී නම් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන්ට හෝ 1981 ක්ෂණික ඇමතුම් අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන්න“ ඒ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ ය.
ජනාධිපතිතුමාද මේ වන විට ඇතිවන හානිය අවම කිරීමට අනිකුත් රටවත් ගත් පියවර පිළිබඳව සැලකිලිමත් වන ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම ගින්න පාලනය කිරීමට දැඩි වෙසෙක් ගත් සියලු දෙනාටද ජනාධිපතිතුමා විසින් සිය කෘතඥතාව පළ කර ඇත.
නිව් ඩයමන්ඩ් නෞකාව යම්තාක් දුරටත් ගොඩ ගැනීමට හැකි වුවත්, ගිනි ගෙන දැවුණු "එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ පරිසර ඉරණම මේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේම තීන්දු වනු ඇත.
(ඡායාරූප සුදත් මලවිර සහ නාවික හමුදාව)