ලොව වටා | සිළුමිණ

ලොව වටා

ඉන්දියාව කොවිඩ් මරණ ලක්ෂ තුන ඉක්මවයි

පසුගියදා ඉන්දියාව තම රටේ කොවිඩ් මරණ ලක්ෂ තුන ඉක්මවා ගිය බව වාර්තා කර සිටියා. ඒ අනුව ලොව කොවිඩ් මරණ ලක්ෂ තුන ඉක්මවු තුන්වැනි රට බවට ඉන්දියාව පත් වූවා. මීට පෙර එම රටවල් අතරට එක්ව සිටියේ ඇමරිකාව සහ බ්‍රසීලය පමණයි.

පසුගිය සති දෙකක කාලයකදී පමණක් ඉන්දියාව වාර්තා කළ කොවිඩ් මරණ සංක්‍යාව 50,000 ඉක්මවා තිබේ. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 27.7කි. මේ වන විටද දෛනිකව ඉන්දියාව කොවිඩ් මරණ 4000 ඉක්මවා වාර්තා කරමින් සිටී. එහෙත් වඩා වැදගත් ලෙස හුවා දැක්විය යුතුව ඇත්තේ වාතාවරණය කොතෙක් බැරූරුම් වුවද ඉන්දීය රජය නිශ්චිත සත්‍ය දත්ත වාර්තා දිගින් දිගටම ලබා දෙමින් සිටින බවයි.

 

බයිඩ්න් දුප්පත් වෙලා

පසුගිය වසරේ ජනාධිපතිවරණය තරඟකිරීම හේතුවෙන් ජෝ බයිඩ්න්ගේ ආදායම හතරෙන් තුනකින් පමණ පහත වැටී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වුවා. මේ මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දුන්නේ පසුගිය වසරේ ඔහුගේ බදු වාර්තා අනුව ඩොලර් මිලියනයකින් පමණ ඔහුගේ ආදායම පහත වැටී ඇති බවයි.

මේ මාධ්‍ය වාර්තාවලට පදනම වූයේ ජනාධීපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ බිරිය ජිල් බයිඩ්න් 2020 වසර සඳහා තමන්ගේ බදු වාර්තා පසුගිය සඳුදා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුවයි.

මේ වාර්තා අනුව ජෝ බයිඩ්න් ඩොලර් 30,000ක මුදලක් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර ඇති බවත් එය ඔහුගේ සමස්ත ආදායමෙන් සියයට 5ක් බවත් හෙළිදරවු වී තිබේ.

මෙයට සමගාමීව ඉදිරිපත්කළ ආදායම් වාර්තාවලින් පෙනී ගොස් ඇත්තේ කමලා හැරිස් සහ ඇයගේ ස්වාමි පුරුෂයාගේ ආදායම පසුගිය වසරේදී ඉහළ ගොස් ඇති බවයි.

 

බ්‍රිතාන්‍යය තුර්කියට කුණු දමයි

බ්‍රිතාන්‍යය තම රටේ ජනතාව එදිනෙදා බැහැර කරන අපද්‍රව්‍ය තුර්කි දේශසීමාව ආසන්නය දක්වා ගෙන ගොස් බැහැර කරන බවට සාක්ෂි සමඟ වාර්තාවක් පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු දැකගත හැකි වුණා. තුර්කියේ මාර්ග අයිනේ ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් බෑග් සහ වතුර බෝතල් සහිත කුණු කඳු පැහැදිලිවම බ්‍රිතන්‍යයේ සුපිරි වෙ‌ළෙඳසැල්වලින් බැහැර කරන ලද බවට සාක්ෂි පවතනි බවයි එම මාධ්‍ය වාර්තා පවසා සිටියේ.

මේ බැහැර කර තිබූ අපද්‍රව්‍ය කඳුවල කොවිඩ් පරීක්ෂාවන් සිදුකළ ඇන්ටිජන් කට්ටලද තිබූ බව සඳහන්.

මේ සම්බන්ධව වැඩිදුර ‌තොරතුරු දක්වා තිබූ එම මාධ්‍ය වාර්තාවට අනුව බ්‍රිතාන්‍යයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ තුර්කියට සහ මැලේසියාවටයි.

Comments