කොරෝනා කාලයේ පවුල “ලොක්ඩ­වුන්” නොක­රමු | සිළුමිණ

කොරෝනා කාලයේ පවුල “ලොක්ඩ­වුන්” නොක­රමු

 

 

ලෝකයේ වෙසෙන කාන්තාවන් තිදෙනකු අතරින් එක් අයෙකු ලිංගික හෝ කායික වද හිංසාවන්ට ලක්වෙමින් සිටිති. කොවිඩ් වසංගතයත් සමඟම ඇතිවූ සමාජීය වෙනස්කම් තුළ මෙම තත්වයෙහි වර්ධනයක් දක්නට ඇති අතර, අඹු සැමියන් අතර ඇතිවන නොහොඳ නෝක්කාඩුකම් බත ඉදෙන තුරු පමණක්ය යන්න මුසාවක් කරමින් දෙන්නා දෙමාල්ලන් අතර ඇතිවන සුළු සිදුවීම් පවුල් සංස්ථාව කඩා වැටීම තෙක් වර්ධනය වූ අවස්ථාවන් දැන්, දැන් සුලබව දක්නට ඇත.

 

පසුගිය වසරෙහි මාර්තුවෙහි දිනයෙක කොවිඩ් හේතුවෙන් හිටි හැටියේ රට වසා දමද්දී, ‘පෙරළෙන පැත්ත හොඳ යැයි‘ සිතූ බොහොමයක් එය දුටූයේ තම පවුලේ ආදරණීයයන් සමඟ හොඳ කාලයක් විවේකයෙන් යුතුව ගත කරන්නට ලැබුණු මෙම අවස්ථාව වෙස් වළාගෙන පැමිණි ආශීර්වාදයක් ලෙසිනි.

එහෙත් මාස ගණනාවක් නිවස තුළ කොටුවීම මෙන්ම ඒ හා සමඟ මුහුණ දීමට සිදුවූ වෙනත් විවිධ ගැටලුත් පවුල් අර්බුද තරමට දුර ගිය අවස්ථාවන් හේතුවෙන් පවුල් බිඳවැටීම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපෑම් කරන්නට සමත් වූවා විය හැකිය.

සැබැවින්ම කොවිඩ් වසංගතය හා සිදුවූ සමාජමය වෙනස්කම් පවුල් අවුල් වැඩිවීමට බලපෑම් කර ඇත්ද?

මේ පිළිබඳව විමසුමෙහිදී මනෝ උපදේශක හා මනෝ චිකිත්සකවරියක වන අමා දිසානායක පැවසූයේ මෙබඳු අදහසකි.

“අපි සමහරවිට අමාරුවෙන් අපිටම කියල අයිති කර ගත්ත ඉඩම් කෑල්ලක, අපේ තත්වය රකින්න හිතන් බැංකුවලට ණය තුරුස්වෙලා ගෙයක් හදා ගත්තට වැඩිපුර හිටියෙ නිවසෙන් පිට. ඒ නිසා ඒක ‘ගෙයක්‘ වුණේ නැහැ.

උදේට කූඩුවෙන් ඉගිළී ගිහින්, ආපසු එද්දි ගෙදර මේසෙට රෑ කෑමට බත්, මාළු පිනි එහෙම නැත්නම් කෑම කඩේකින් ගෙනාපු කඩ කෑම ටික මේසෙට තියන්නෙ ගෘහණිය, බිරිඳ. ඒ විදිහට අපි ජීවත් වුණේ එක්තරා පුරුදු වෙච්ච රටාවකටයි.“

එහෙත් කොවිඩ් හේතුවෙන් රට වසා දමා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ මෙතෙක් තමන් පුරුදුව සිටි දෛනික රටාවෙන් බැහැර වන්නට සිදුවූ අතර තම පවුලේ සාමාජිකයින් සමඟ එක්වී ගෙවත්තෙහි වගා කටයුතු කරන්නට, යූ ටියුබ් වල තරගයට මෙන් දමන්නට වූ රසවත් කෑම බීම සකසමින් කාලය ගතකරන්නට බොහෝ දෙනෙකු උනන්දු වූවත්, ඒ තත්වය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම පහසු කාර්යයක් වූයේ නැත.

මේ තත්වය විශේෂයෙන් බලපෑම් කළේ ‘කාන්තාවට‘ යැයි පැවසුහොත් එය අසාධාරණ කියමනක් නොවනු ඇත.

“රැකියාවට නොගිය කාන්තාවක් වුවත්, බොහෝවිට ඇඳුම් මැසීම, කේක් සෑදීම වැනි යම්කිසි දෙයකින් නිවසට ආදායමක් උපයන්න පුරුදු වී සිටි අතර, ඒ කිසිවක් නොමැති නම් අඩුම ගණනෙ Face Book එකේ උඩට පහළට හරි යන්න පුරුදු වුණේ ‘ඇය‘ වෙනුවෙන් ගතකිරීමට කාලය සොයා ගනිමින්.

එහෙත්, පවුලේ සියලු දෙන නිවසට වී සිටීම තුළ එතෙක් හුරු පුරුදුව සිටි දෛනික රටාව වෙනස්වීම මෙන්ම නිවසේ සියලු බර තම කර පිට දරා ගැන්මට සිදුවීමෙන් තමන් වෙනුවෙන් ගත කිරීමට කාලය සොයා ගැන්ම තවදුරටත් කළ නොහැකි වීමෙන් ඇතිවූ ආතතිය මුදා හැරීම මෙවැනි ගැටුම්වලට බලපෑම් කළා වන්නට පුළුවන්.“ බැව් අමා දිසානායක ගේ අදහසයි.

වෙනදා උදෑසන තේ පානයෙන් පසු, සවස් වන තුරු තේ කෝප්ප සේදීමක් නොතිබුණ ගෘහණියට, ‘ලොක් ඩවුන්‘ කිරීම බලපෑවේ ඉතා වෙහෙසකර අන්දමිනි. දවසට දෙතුන් වතාවක් තේ පානය කළ දූ දරුවන්ගේ ‘හිස් කෝප්ප‘ තැන් තැන්වලය. සෝදන්නට දවසකට එකතු වන කිලිටි රෙදි කන්ද තව තැනකය. නිවසේ සිට අන්තර්ජාලය හරහා රැකියාවේ කටයුතු කරන සැමියාට හා SMART PHONE හරහා ඉගෙනුම් කටයුතු කරන දරුවන්ට ඔවුන් සිටිනා තැන්වලට කෑම ගෙනයන්නට, හිස් ඉඳුල් පිඟන් රැස්කර පිරිසිදු කරන්නට පමණක් නොව,

“රෑට කන්නෙ මොනවද?“

“ගෑස් ඉවරයි, ගෑස් ගේන්නෙ කොහොමද?“ ඔවැනි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සොයන අතර රූපවාහිනිය ඔස්සේ නිතර ඇසෙන ‘කොවිඩ්‘ හි ඍණාත්මක බලපෑම මෙන්ම කායිකව, මානසිකව වෙහෙසව පීඩනයට පත්වූ ගෘහණියගේ ආතතිය සැමියා ඉදිරියේ මුදාහැරෙන්නේ ඇතැම්විට සුළු ප්‍රශ්නයක් මුල්කොටගෙන විය හැකියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසන අන්දමට පවතින සමාජ වාතාවරණය තුළ මිනිසාට පෙර මෙන් හැඟීම්බර සබඳතා පැවැත්වීමට අවකාශයක් නොවීම පවුල තුළ ගැටුම් හටගැන්ම කෙරෙහි බලපා ඇති ආකාරයක් පෙන්නුම් කරයි.

“පවුල තුළ ගැටුම් හටගැන්ම අද ඊයේ සිදුවූවක් නොවෙයි. එහෙත් බොහෝ දෙනෙකුට ගැටලුවක් මතු වූ විට, දුකක්, වේදනාවක් දැනුන විට තමන්ට විශ්වාසවන්ත මිතුරකු, හිතවතෙකු සමඟ කතාබහ කොට මානසිකව සහනයක් ලබා ගැන්මට හැකියාවක් පැවතුනා.

වෙනකක් තබා අඹු සැමියන් අතර බහින්බස් වීමකදී එය ගැටුමකට පෙරළෙන්නට ප්‍රථමයෙන්, එතැනින් පිටවී ඉවතට ගොස් ආතතිය සමනය වනතුරු කාලය ගෙවා දමන්න හැකියාවක් තිබුණා.

ඒත් පැවතුන කොවිඩ් වසංගත තත්වය තුළ රැකියා ස්ථානයට යාමට නොහැකිවීම, පෙර මෙන් සමීප මිතුරු සබඳතාවනට ඉඩකඩ නොවීම තුළ එය බොහෝ දෙනෙකු ආතතියෙන් යුතුව ජීවත්වීම කෙරෙහි බලපා ඇත්තේ කනගාටුදායක අන්දමින්.“

‘පවුල් ආරවුල්‘ යන්න සමාජයෙහි එක් තරාතිරමක වෙසෙන පුද්ගලයින්ට පමණක් සීමා වූවක් නොවේ. විශේෂයෙන් පහළ සමාජ, ආර්ථික, අධ්‍යාපනික මට්ටමක වෙසෙන, දෛනික ආදායම් උපයා ගැන්මෙන් ජීවත්වනවුන්ගේ ජීවිත කොවිඩ් හේතුවෙන් උඩුයටිකුරු වෙද්දී අපේක්ෂා භංගත්වය හේතුවෙන් ආතතියට පත් එවැනි බොහෝ දෙනෙකුගේ ගැටුම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දක්වා ගෙනයාමට සමත්වෙයි. කොවිඩ් හේතුවෙන් රැකියා, ආදායම් මාර්ග අහිමිවීම, වැටුප් කප්පාදුව ආදී වශයෙන් ඇතිවූ ආර්ථික ගැටලුත් පවුල් තුළ ආරවුල් ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුවකි. එහෙත්, එය එකම හේතුව නොවේ.

තමන් මෙතෙක් පවත්වාගෙන ආ හුරු පුරුදු ජීවන රටාවෙන් බැහැර වී නිවස තුළට කොටුවීමට සිදුවීම සහ පවතින තත්වය තුළ නිවසේ සිට රැකියාවේ කටයුතු කරන අතරතුර තම කාලයෙන් වැඩි කොටසක් මුළුතැන්ගෙය හා නිවසේ කටයුතු වෙනුවෙන් මිඩංගු කිරීමට සිදුවීම තුළ එක්තරා සීමිත පරාසයකට කොටුවූ බිරිඳ තුළ ඇති පීඩනය මුලින්ම සැමියා ඉදිරියේත්, අනතුරුව නිවසින් පිටත එනම් අසල්වැසි නිවෙස් සමඟ ගැටුම් ඇතිවීම දක්වා දුරදිග ගිය අවස්ථාවන් වෙති.

නිවසෙහි සැමියා ඉදිරියෙහි පීඩනය මුදා හරින බිරිඳ ඉන් නොනැවතී,

“අපේ මිදුලට කුණු දැම්මෙ මොකටද?“

ආදී වශයෙන් අසල්වැසි නිවෙස් සමඟ පවා ගැටුම් ඇතිකර ගනුයේ ගැටුම නිවසින් බැහැරට ගෙනයමිනි.

රැකියාවල නියුතු බොහෝ දෙනෙකුට කාර්යාලය තුළ සිනහවෙන්, විහිළු, තහළුවෙන් ගතකරන කාලය අහිමි වූවා. එමෙන්ම ඇතැමුන් පවත්වාගෙන ආ විවාහයෙන් පිට රහසිගත සබඳතා, ලිංගික සබඳතා වැනි දෑට තිත වැටුණේ කොවිඩ් හේතුවෙන් ඔවුනගේ ජීවිතය නිවසට සීමාවීම නිසයි. බොහෝ දෙනෙකු ඇත්ත ඇති සැටියේ පිළිගැන්මට අකමැති වූවත් තමන්ගේ ස්වාමි පුරුෂයාට තුරුල් වී නිදියන ඇතැම් කාන්තාවන් ඔහු එතැනින් ඉවත්වූ සැ‌ෙණකින් තම රහසිගත සබඳතාවය පවත්වන තැනැත්තාට දුරකථන ඇමතුමක් දී අසන්නේ

“බබා, ඔයා හොඳින්ද?“ කියලයි. නැත්නම් දඩි බිඩි ගා කෙටි පණිවිඩයක් යවන්නේ

“අයි මිස් යූ ලව්“

“අයි ලව් යූ බේබි“ යනාදී ලෙසින් තම ආදරය කොතරම්දැයි ප්‍රකාශ කරමින්.

එමෙන්ම සමාජයෙහි ප්‍රසිද්ධියට පත් ඇතැම් පිරිමින් ඇතැම්විට විවාහක බිරිඳට පිටින් රහසිගත සබඳතා කිහිපයක් ගෙනයන අතර ඔවුන් ‘බබා‘ යනුවෙන් අමතන්නේ කිසිදු පැකිළීමකින් තොරවයි.

“කවුරු හරි තමන්ගෙ විවාහක බිරිඳට අවලාද නැඟුවත් ඉවසා සිටින එවැනි පිරිමින් තමන්ගේ විවාහයෙන් පිට සබඳතා පවත්වන සහකාරියන්ට දොස් නගනු ඉවසා සිටින්නේ නැති තරම්.

එමෙන්ම ජීවිතයේ මතක ඇති දිනයක තම ස්වාමි පුරුෂයාගෙන් “ඔයා කෑවද?“ යනුවෙන් අසා නැති ඇතැම් බිරින්දෑවරු, තමා සමඟ රහසිගත ඇසුරක් පවත්වන පුද්ගලයාගෙන් “බබා ඔයා කෑවද“ කියා අහන එක නම් වරදින්නේ නැහැ. අමා දිසානායක පවසන අන්දමට ඕනෑම මනුෂ්‍ය සබඳතාවක් වැඩෙමින්, මිය යමින් පවතින්නකි. අප බොහෝවිට මනසින් ඉවසුවද, එක්තරා අවස්ථාවකදී ඉවසීම අවසන් වන්නේ ගැටුමකට මුලපුරමිනි.

“පිරිමි බොහෝවිට නිහඬතාවයට කැමතියි. ඔවුන් අහස මෙන් නිහඬ වෙද්දී, ගැහැනිය අහස මෙන් කඩා වැටෙනවා.“

අමා දිසානායකට අනුව, කොවිඩ් තත්වයත් සමඟ ‘පවුල‘ නිවසට කොටුවීම තුළ විශේෂයෙන් කාන්තාවගේ නිදහස සීමාවීම පවුල් සංස්ථාවේ ගැටලුන් ඇතිවීම කෙරෙහි බලපෑ බැව් පෙනෙයි.

විශේෂයෙන් විස්තෘත පවුල් තුළ මෙවැනි කාල වකවානුවක අඹු සැමියන්ට හුදෙකලාවී උනුනුන්ට සමීප වී සිටින්නට පවා ඇති ඉඩකඩ සීමිත වන අතර කායික සබඳතා පැවැත්වීමට පවා ඇති ඉඩකඩ විරලය. මෙවැනි අන්දමට දිගින්, දිගටම අවස්ථාවන් සීමාවීම තුළ අඹු සැමියන් අතර හටගන්නා නොරිස්සුම, ගැටුමකට මුලපිරීමක් විය හැකියි.

සුමිත්‍රයෝ ආයතනයෙහි අධ්‍යක්ෂවරියක දැක්වූ අදහසට අනුව 2020 මාර්තුවෙහි කොවිඩ් වසංගතය ආරම්භයත් සමඟ විවිධ ගැටලුන් සඳහා උපදෙස් පතා තම ආයතනයට දුරකථන ඇමතුම් ලැබුණද, මේ වන විට එවැනි විශේෂත්වයකින් තොරව සාමාන්‍ය ජීවිතයෙහි මතුවන ගැටලුන් සඳහා දුරකථන ඇමතුම් ලැබෙයි.

නමුත් මෙම සාමාන්‍ය ගැටලුන් හරහා වුවත් ‘සබඳතා‘ පිළිබඳ ගැටලුන් ඉදිරිපත් වන බැවින්, වක්‍රාකාරයෙන් කොවිඩ් ව්‍යසනයත් සමඟ ජීවන රටාවෙහි ඇතිවූ වෙනස්කම් එවැනි ‘ගැටලුන්‘ ඇතිවීම කෙරෙහි බලපෑම් කළා විය හැකියි.

“සාමාන්‍ය ජීවිතයේදී අප මිතුරන්, නෑදෑයින් ආදීන් ළඟින් ඇසුරු කළද, එවැනි සබඳතා පවත්වාගෙන යාමට, ඔවුන් මුණගැසීමට හැකි නොවීම තුළ ඇති ‘හුදකලා බව‘ බලපෑම් කර ඇත්තේ පවුලේ වැඩිහිටියන්ට පමණක් නොවේ.

බොහෝවිට පවුල් ඒකකය දෙදරා යාමට අඹුසැමි ගැටුම් මූලික වූවත්, තම දරුවන්ගේ මානසිකත්වය පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරන දෙමාපිය, වැඩිහිටියන්ගේ අහිතකර ප්‍රතිචාර දැක්වීම් දෙමාපිය දරුවන් අතර සබඳතා පළුදු වී දුරස්ථභාවය ඇතිවීමට බලපාන්නකි.

එක් අතකින් වර්තමාන ලෝකයේ ඇතිවී ඇති අසාමාන්‍ය අස්ථිරභාවය පිළිබඳ කනස්සලු වන වැඩිහිටියන්, මෑතක් වනතුරු උදෑසන පාසලට ගොස් ඉගෙනුමින් මෙන්ම මිතුරන් සමඟ කෙළි දෙළෙන් කාලය ගත කළ දරුවනට, ඔවුනගේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස්වීම තුළ මෙම අස්ථිරභාවය ඔවුනට දැනෙන අන්දම පිළිබඳ සහමුලින් අමතක කර දැමීම, එවැනි ගැටුම් වලට හේතුවන බැව් සුමිත්‍රයෝ හි අධ්‍යක්ෂවරියගේ අදහසයි.

“විභාගෙට පාඩම් කරල වැඩක් තියෙයිද අම්මේ?“

“විභාගෙ කල් යයිද?“

“විභාගෙට ඔන්ලයින් එකේ උත්තර ලියන්න වෙයිද?“

මෙවැනි අන්දමින් පවත්නා තත්වය පිළිබඳ කනස්සලු වන දරුවන්ට, ඔවුනගේ මානසික තත්ත්වය අවබෝධ කොට ගෙන, දරුවා සමඟ නිසි ආකාරයෙන් සන්නිවේදනය කොට, ඔහුව අනවශ්‍ය පීඩනයකට ලක් නොකොට, අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට හැකි මානසික තත්වයක් සකස්කර ගැන්මට උපකාරී වීම වැඩිහිටියන්ගේ වගකීමකි.

කොවිඩ් හේතුවෙන් රට වැසූ මොහොතේ 'WORK FROM HOME'මෙන්ම විවිධ ඇප් හරහා අධ්‍යාපනික කටයුතු කරගෙන යාම ජනප්‍රියත්වයට පත්වුවද, එය වඩාත්ම සාර්ථක ක්‍රමවේදයක් නොවන මෙන්ම දරුවන් තුළ එක්තරා අන්දමක ඇල්මරුණු බවක් ඇතිකරන ආකාරයක් පෙන්නුම් කරයි. “අපි ඉස්සර රැකියාවට ගිහින් ගතකරපු පැය අට තුළ උපරිමව කටයුතු කළ හැකිව තිබුණත්, නිවසේ වටපිටාව තුළ නිවසේ සිට කාර්යාල කටයුතු කිරීම පහසු වූවක් නොවෙයි.“

“එයාගෙ වැඩේ එළිවුණු වෙලාවෙ ඉඳන් ලැප්ටොප්, ෆෝන් දිග ඇරගෙන වැඩ, වැඩ. ගෙදර වැඩක් ගැන, ළමයි ගැන බලන්න වෙලාවක් නැහැ“ තම සහකරු, සහකාරිය නිවසේ සිට වුවද ඉටුකරනුයේ රැකියාවට අදාළ කාර්යයන් යන්න පිළිබඳ අවබෝධ කර නොගැන්ම තුළ, එය නොරිස්සුමට, ගැටුමට හේතුවක් කර ගැන්මට වඩා, ඔහු වෙහෙසෙනුයේ පවුලේ සාමාජිකයින්ගේ නඩත්තුව වෙනුවෙන් යනුවෙන් සිතා, ඔහුට ඒ සඳහා පහසුකම් සැපයීම පවුලේ සෙසු සාමාජිකයින්ගේ වගකීමකි.

ඒ තුළින් ලබන ශක්තිය “ගෙදර ඉඳගෙන කොහොම ඔෆිස් වැඩ කරගන්ඩද?“ යන සිතිවිල්ල මත ඇතිවන ආතතියෙන් මිදී, පහසුවෙන් වැඩ කිරීමට හැකියාව ලැබීම පවුලේ අනවශ්‍ය ආරවුල් ගැටුම් ඇතිවීම වැළැක්වීමට උපකාරී වන බැව් සුමිත්‍රයෝ ආයතනය වෙනුවෙන් තොරතුරු ලබා දුන් අධ්‍යක්ෂවරියගේ අදහසයි.

‘මැල් මැදුර‘ ආයතන භාර නිලධාරී ප්‍රසාද් ගුණවර්ධන පවසන අන්දමට පසුගිය කාලය තුළ එම ආයතනයෙන් උපදේශනය සඳහා සම්බන්ධවූවන් පිළිබඳ සලකා බැලීමෙහිදී විශේෂයෙන් පවුලේ පිරිමි දරුවන් හා වැඩිහිටි පිරිමින් චර්යාත්මක ඇබ්බැහිකම් එනම් සූදුව, ජංගම දුරකථනයන්ට ඇබ්බැහිවීම ආදී සම්බන්ධ ගැටලුන්ට මුහුණ දුන්නවුන් වෙති.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසැල් වසා දමද්දී, විකල්ප ඉගෙනුම් මාධ්‍යයන් ලෙස 'SMART PHONE'හරහා අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමත් සමඟ එම දුරකථන අනිසි ලෙස භාවිතයෙන් ඇතැම් දරුවන් තුළ චර්යාත්මක ඇබ්බැහිකම් ඇතිවීමට බලපා තිබුණි.

“සමහර දෙමාපියන්ට තාක්ෂණය ගැන කිසිදු අවබෝධයක් නැහැ. එනිසා තම දරුවන්ගේ ඉල්ලීම මත කනකර උගසට තබා හෝ මිල අධික ජංගම දුරකථනයක් අරන් දෙන ඔවුන් හිත් සනසා ගන්නේ කනකර උගසට තියල හරි දරුවට උගන්න ගත්තොත් මදැයි යනුවෙනි.

එසේ වුවත් අධ්‍යාපනයට මුල්තැන දෙනු වෙනුවට ‘ගේම් ගැසීම‘ මෙන්ම, වෙනත් අසැබි දර්ශන නැරඹීමට ඇබ්බැහි වූ දරුවන් මේ අතර වෙනවා. “

මේ අන්දමින් ජංගම දුරකථනයට ඇබ්බැහි වූ දරුවකු අලුයම වනතෙක් නින්දට නොයාම, ආහාර ගැනීම මගහැරීම, අපිළිවෙළ, ඉක්මනින් කේන්ති යාම හා ගැටුම් ඇතිකර ගැන්ම වැනි තත්වයන් පෙන්නුම් කරන බැවින් දරුවන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව දෙමාපියන් අවබෝධයෙන් යුතුව සිටීමෙන් චර්යාත්මක ඇබ්බැහිකම් ඇතිවීම වළක්වා ගත හැකි බව ප්‍රසාද් ගුණවර්ධන ගේ අදහසයි.

පහළ අධ්‍යාපන මට්ටමක් ඇති පුද්ගලයන් මෙන්ම අධ්‍යාපනික වශයෙන් ඉහළ සාධනීය තත්වයන් ළඟාකර ගත් සමාජයේ පිළිගත් වෘත්තීන්හි නිරතවූවන් පවා ‘ජංගම දුරකථනයට‘ ඇබ්බැහි වීම අද සුලබව දක්නට ලැබෙන්නකි.

“ජංගම දුරකථනයෙන් අසැබි ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහිව සිටි එක් පුද්ගලයෙක් තම බිරිඳ දෙස නිතරම බැලුවේ සැකයෙන් යුතුවයි.

තමන් කැමති කෑමක් හැරුණු විට අමතරව බිරිඳ කැමති කෑමක් පිසුනොත් ඇයට පහර දුන් මේ තැනැත්තාගේ මෙම ‘සැකය‘ බිරිඳගේ නෑම, ආහාර ගැන්ම, නිදාගැන්ම, ඇඳුම් ඇඳීම වැනි සෑම පෞද්ගලික කටයුත්තක් කෙරෙහිම බලපෑම් කළ අතර බිරිඳ නිදාගන්නට ගියේ “අද මම කොහෙද නිදාගන්න ඕනෙ“ යැයි විමසීමෙන් පසු ලද පිළිතුරෙන් අනතුරුවයි.

අනෙක් අතට අසල ඇති කැලෑ පෙදෙසකට ගොස් අසැබි ලිංගික දර්ශන නරඹන මෙම පුද්ගලයාගේ ක්‍රියා කලාපය දරුවන් පවා දැන සිටි අතර, දරුවන් ඉදිරියෙහි පවා, බිරිඳ බලහත්කාරයෙන් ලිංගික කාර්යයෙහි යොදවා ගැන්මට තරම් මෙම පුද්ගලයාගේ චර්යාත්මක ඇබ්බැහිකම් වඩා දරුණු මට්ටමක පැවති අතර ඔහුගේ මෙම පීඩාකාරි ක්‍රියා කලාපය පවුල් ජීවිතය බිඳ වැටීමට හේතු වූයේ දරුවන් දැඩි පීඩාවකට පත් කරවමිනි.

දරුවන්ගේ අධ්‍යාපනය, අනාගතය වෙනුවෙන් දිවා රෑ නොතකා වෙහෙස වන බොහෝ දෙමාපියන් ඔවුනගේ අවශ්‍යතා සපුරා දුන්නද, ඔවුන් සමඟ කාලය ගත කිරීමට, සුහද ලෙස කතාබහ කිරීමට, ඔවුනගේ ජංගම දුරකථනවල ඇතුළත් දෑ පිළිබඳව සොයා බැලීමට අමතක කරති.

අනෙක් අතට දරුවන්ගේ චර්යාත්මක ඇබ්බැහිකම් වලට විසඳුම් සෙවීමේදී

“ඔය බෙහෙත් ටිකක් දුන්නොත් ඔය ඇබ්බැහිකම කඩා ගන්න පුළුවන් වෙයි“ දරුවන්ගේ චර්යාත්මක ඇබ්බැහිකම පිළිබඳ විසඳුම් සොයන ඇතැම් මව්වරුන් යෝජනා කරනුයේ හිස කැක්කුමට මෙන් බෙහෙත් පෙත්තකින් චර්යාත්මක ඇබ්බැහිකම් වලින් මිදීමට හැකිය යන මතය දරමිනි.

එහෙත් චර්යාත්මක ඇබ්බැහිකම් වලට විසඳුම් සෙවීමේදී ඒ සඳහා චර්යාවන් වෙනස් කරගත යුතු බැවින්, ඒ සඳහා ඔහුගේ කැමැත්ත මත උපදේශනය ලබාදීම අවශ්‍යය. එසේ වුවද මෙම තත්වය වඩාත් ප්‍රබල නම් මනෝ වෛද්‍යවරයකුගේ සහය ලබාදිය යුතු බව ප්‍රසාද් ගුණවර්ධනගේ අදහසයි.

බොහෝ විට පවුල තුළ හෝ නැත්නම් වෙනත් ගැටලුවකට මුහුණ දුන්විට නිහඬව, තනිව විසඳුම් සෙවීමට ඇතැමුන් උත්සාහ කරති.

එසේ විසඳුම් සෙවීමට අසමත් වීම තුළ එය ‘ගැටුමක්‘ බවට පත්වීමට ඇති ඉඩකඩ වැඩිය. එහෙයින් එවැනි ගැටලුන්ට මුහුණ දුන් විට හිතවතෙකුගේ හෝ විශ්වාසවන්ත පුද්ගලයෙකුගේ සහය ලබා ගත යුතු අතර එසේ නොමැති නම්, ‘සුමිත්‍රයෝ‘ වැනි ආයතනයකට කතා කොට දුරස්ථ ලෙස හෝ සහයෝගය ලබා ගැන්ම වැදගත් බැව් ‘සුමිත්‍රයෝ‘ ආයතනය නියෝජනය කළ අධ්‍යක්ෂිකාවගේ අදහසයි. අමා දිසානායක පවසන අන්දමට බොහෝ අඹු සැමියන් අතර ගැටුම් ඇති වනුයේ අනවබෝධය හේතුවෙනි.

“අප එකිනෙකාට වෙනස් බව අවබෝධ කර ගැන්මට වඩා, අන් තැනැත්තා තමන් සිතන ආකාරයට වෙනස් වනු දැකීමට උත්සහ කිරීම මෙම ගැටලුවට මුල් වන්නකි.

පවුල තුළ ඇති වන ගැටුම් හේතුවෙන් පවුල් කඩා බිඳ වැටීමට ලක්වීමට ඉඩහැරීමෙන්, දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටී, ඔවුනගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් අඳුරු විය හැකි බැවින් එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැන්ම අඹු සැමි දෙපළගේම වගකීමකි.

එනිසා, තමන් වෙනස් වීම මෙන්ම තම සහකරු හෝ සහකාරියගේ වෙනස්කම, මෙන්ම දුර්වලකමට ද ආදරය කරන්නට පුරුදු වුවහොත්, පවුල් සංස්ථාව ආරක්ෂා කර ගැන්මට එය උපකාරි වනු ඇත.

 

Comments