‘ස්වයං විනය ඇතිකරගත්තොත් කොවිඩ් පරදා ආර්ථිකය රැක ගත හැකියි’ | සිළුමිණ

‘ස්වයං විනය ඇතිකරගත්තොත් කොවිඩ් පරදා ආර්ථිකය රැක ගත හැකියි’

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුම ආර්ථික අවපාතය පසු ගිය 2020 වසර බව, පසුගියදා එළි දක්වන්නට යෙදුණු ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දී තිබේ. මෙම අහිතකර තත්ත්වයට මුහුණ දීමට සිදු වූ ප්‍රබලම හේතුව, කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය ආර්ථිකයටම එල්ල වූ බලපෑම සහ පසුබෑම බව එම වාර්තාව සඳහන් කර තිබේ.

එවැනි පසුබිමක් තුළ, කොවිඩ් සමඟ ආර්ථිකය රැක ගැනීමේ විශාල අභියෝගයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා රජයේ වත්මන් ක්‍රියා පිළිවෙත පිළිබඳ, පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර සමඟ කළ සාකච්ඡාවකි.

කොවිඩ් බලපෑම මේ තරම් දැනෙන්නේ, අපි අනුන් මත්තේ යැපෙන රටක් නිසා ද....

මේක ගෝලීය වසංගතයක්. මේ වසංගතයේ බලපෑම මීට අවුරුදු සියයකට පෙර සිදුවූ වසංගතයට වඩා, ලෝක ආර්ථිකයට බලපෑම් ඇති කර තිබෙනවා. හේතුව, මීට අවුරුදු සියයකට පෙර, ලෝකය මේ තරම් ගෝලීයකරණයට ලක්ව තිබුණේ නැහැ. අද රටවල් එකිනෙකා මත යැපෙන ප්‍රමාණය වැඩියි. බොහෝ රටවල් විශේෂ ප්‍රාගුණ්‍යයකට ලක්ව තිබෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ දී එය සුවිශේෂී තත්ත්වයක්. උදාහරණයක් ලෙස අද චීනය මතයි, ලෝක ආර්ථිකය ම රඳා පවතින්නේ. චීනය තමයි, අද අඩුම මිලට ඕනෑම භාණ්ඩයක් ඕනෑම රටකට සපයන්නා බවට පත්ව තිබෙන්නේ. ඇමෙරිකාවත්, ඒ ආකාරයේම ලෝක ආර්ථිකයේ බලවතෙක්. ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය මත රඳා පවතින ආර්ථිකයන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා, ඇමෙරිකාවේ ආර්ථිකය බිඳ වැටුණොත්, එය ලෝක ආර්ථිකයට කරන බලපෑම අති විශාලයි.

ඒ වගේම තමයි ජපානය, කොරියාව, වියට්නාමය ඉන්දියාව... ලෝක ආර්ථිකයේ ප්‍රබල කොටස්කරුවන්. ඉන්දියාව කියන්නේ, අපේ අසල්වැසියා විතරක් නෙවෙයි, ලොකුම වෙළෙඳ හවුල්කරුවා. එහෙව් ඉන්දියාව දවසක් වහලා දැමුවොත් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක බලපෑමක් ඒ රටට ඇති වනවා.මාස තුනක් වහලා තැබුවොත්, අපේ රටේ ආර්ථිකයේ සමස්ත වටිනාකම මෙන් දහ ගුණයක බලපෑමක් ඒ රටට එල්ල වනවා.

අපේ විදේශ සංචිත ප්‍රමාණය බිලියන 10ට වඩා අඩුයි. එය ඉන්දියාවේ ආර්ථිකයට දවස් දෙකකින් ඇති කරන බලපෑම හා සමානයි. ඒ නිසා, මේ කොවීඩ් වසංගතය සහ රටේ ආර්ථිකය පිළිබඳ සමහර අය කතා කරන කාරණා, මේ යථාර්ථය තේරුම් නොගෙන කරන ප්‍රකාශ. ඒ නිසා, මීට අවුරුදු පනහකට හැටකට පෙර, තමන් මත තමන්ට රැඳෙන්න යම් රටක ආර්ථිකයට හැකියාවක් තිබුණා නම්, අද එවැනි තත්ත්වයක් නැහැ. ලෝකෙ කිසිම රටක්, අහවල් දෙයින් ස්වයංපෝෂිතයි කියන්න පුළුවන් කමකුත් නැහැ. එය අපිටත් අදාළයි.

ඔබ කියන්නේ, ප්‍රබල රටවල්වල තත්ත්වය පවා එලෙසමයි, කියන එකද...

ඔව්. මේකත් ගෝලීය තත්ත්වයක්. ඒ නිසා, විසඳුම් සෙවිය යුත්තේත් ගෝලීය වශයෙන්මයි. ඒ නිසා තමයි, බහුජාතික සමාගම් විශාල ප්‍රමාණයක් කොවීඩ් එන්නත් සෑදීමට ආයෝජනය කළේ. නමුත් එය එක රාත්‍රියකින් කළ හැකි දෙයක් නෙවෙයි. මේ එන්නත් බොහෝ විට, නිෂ්පාදනය කරන රටට අයිති නැහැ. ඒවා අයිති වන්නේ, ආයෝජනය කළ සමාගම්වලටයි. උදාහරණයක් ලෙස, ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළාට, එහි අයිතිය ඒ සඳහා ආයෝජනය කළ, බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු සමාගම් සතුයි.

ඒ වුණත්, ඉන්දියාව කලාපය තුළ සහ ලෝක ආර්ථිකය තුළ ප්‍රබල රටක්. හැබැයි, පහුගිය සති කිහිපය තුළ ඒ ප්‍රබලයාත් අතිශය දුබල වුණා. බිලියන 1.3 ක ජනතාවක් සිටින, කාර්මිකකරණයෙන් ඉහළටම ගිය, යුද ශක්තිය අතින් ලෝකයේ 4 වැනි ස්ථානයේ සිටින ඉන්දියාවට පිහිට වෙන්න, අනෙක් රටවලට සිද්ධ වුණා. මොනතරම් බලවත් වුණත් ආර්ථිකය කඩා වැටෙද්දී, රටක තත්ත්වය ඕකයි. හැබැයි, ලෝක ආර්ථිකය ම විශාල පසුබෑමකට ලක් වුවත්, තවමත් චීනය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව. වැනි රටවල් කිහිපයක් පමණයි, කඩා නොවැටී පවතින්නේ.

අපේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක් ද...

වසංගතයට මුහුණ දෙන්නට පෙර පටන්ම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය තිබුණේ, ඉතාමත් දුර්වල අඩියක. රටේ ආර්ථික ශක්තිය හීන වෙමින්, විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 කට පහළ වැටී තිබුණා. අපිට විශාල ණය මුදලක් ගෙවන්නට ඉතිරිව තිබුණා. රටේ විරැකියාව තීරණාත්මක ගැටලුවක් බවට පත්ව තිබුණා. උපාධිධාරීන් 61,000ක් රැකියා නොමැතිව අවුරුදු පහකට කිට්ටු කාලයක් ගෙවා දමමින් තිබුණා. රටේ ජනගහනය මිලියන 21 වන විට, හාර ලක්ෂ අසූ පන් දහසකට රැකියා නොමැති වුණා.

මෙහෙම පසුබිමක් තුළ, පවුල් මිලියන 1.8 කට සමෘද්ධි සහනාධාරය දිය යුතුයි. ලක්ෂ 6 කට විශ්‍රාම වැටුප් දිය යුතුයි. රජයේ සේවකයන් මිලියන 1.7 ක ට වැටුප් සහ දීමනා දිය යුතුයි. වසංගතය ආරම්භ වන විටත් රජය සිටියේ, මෙවැනි අභියෝග රැසකට මුහුණ දෙමින්. පිළිතුරු සොයමින්.

දැන් රජයට සිද්ධ වෙලා තියෙනවා, මේ ප්‍රශ්නවලට අමතරව කොවීඩ් වසංගතයෙන් රටේ ජනතාව බේරා ගන්නේ කොහොමද... කියන ප්‍රබල ගැටලුවටත් මුහුණ දෙන්න.

ඇත්තටම, කොහොමද රජය මේ තත්ත්වයට මුහුණ දෙන්නේ...

ආණ්ඩුව පටන් ගන්නකොටම, රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි මොඩලයක් පිළිබඳ අවධානය යොමු කළා. ඒ මොඩලය තුළ ප්‍රධාන වැඩපිළිවෙළ දහයක් සඳහා ප්‍රමුඛතාව දුන්නා. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, දේශීය ආර්ථිකය තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉදිරියට ගෙන ඒම, නවීන තාක්ෂණ භාවිතය සහ ගෝලීය ආර්ථිකය හමුවේ අප වැනි රටවල් ඒ සඳහා මුහුණ දෙන්නේ කෙසේද.. වැනි කාරණා ඒ අතර ප්‍රධානයි.

නමුත් මේ වෙලාවේ රජයක් ලෙස අපගේ පළමු අවධානය තිබෙන්නේ, මේ වසංගතයට ලක් වන අය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීම, ඔවුන්ගේ පවුල්වල අයගේ ආරක්ෂාව වැනි බරපතළ කාරණා කෙරෙහි යි. එක රෝගියෙක් රෝහල්ගත වූ විට, එම පුද්ගලයා සඳහා කොපමණ මුදලක් රජය වැය කරනවා ද. මේවා පිටින් බලන තරම් ලේසි කාරණා නෙවෙයි. මේ කාරණා සඳහා ප්‍රමුඛතාව දෙන ගමන්, රටේ ආර්ථික සංවර්ධනය සඳහා ඉහත කී එම වැඩපිළිවෙළ ද මේ වන විට රජය විසින් ක්‍රියාත්මක කරනවා.

නැවතී තිබූ අධිවේගී මාර්ග සෑදීම යළි ආරම්භය, කොළඹ වරාය නගරයේ කටයුතු, ගම්වල කුඩා පාලම් සහ පාරවල් තැනීමේ කටයුතු වැනි රටේ සංවර්ධනයට අදාළ සෑම දෙයකම යළි වැඩ ආරම්භ කොට තිබෙනවා.ඒ අනුව, පෙර කී මොඩලයට අදාළ සියලු වැඩපිළිවෙළ ඉදිරියේ දී ක්‍රියාත්මක වනවා.

රට වහන්න පරක්කු වුණා වැඩි නැද්ද; කලින් වැහුවා නම්, මේ ව්‍යාප්තිය මේ තරම් දුර දිග යන්නේ නෑ නේද?

එහෙම වසා දමලා, මේ වසංගතයට මුහුණ දීපු රටවල අත්දැකීම් බැලුවොත් පේනවා, එහෙම කළා කියලා මේ වසංගතය මර්දනය කර ගන්නට ඔවුන්ටත් හැකි වූයේ නැති බව.

හොඳම උදාහරණය ඉන්දියාව. මාස තුනක් රට වසා තැබුණා. ඒත් දවසකට තුන් හාරදාහක් මැරෙනවා. ලක්ෂ ගණනින් ආසාදිතයන් හමුවනවා. ඉන්දියාවට තිබෙන අභියෝග කාටවත් හිතාගන්න බැහැ. හේතුව, බිලියන 1.3 ක් ඉන්න රටක කොහොමද, ලක්ෂ පහකට දෛනික ප්‍රතිකාර ලබා දෙන්නේ. අපි මිලියන විසි එකක් ජනගහනය ඉන්න කුඩා රටක්. ඩොලර් බිලියන අසූ හතරක කුඩා ආර්ථිකයක්. ඉතින් අපි කොහොමද, රට වසා දමලා ආර්ථිකයක් ගොඩනඟන්නේ. අද වන විට, පළාත් අතර සංචරණ සීමා පනවා තිබෙනවා. එහෙම කියලා, රටේ නිෂ්පාදන ක්‍රියාවලිය නවතා දමන්න පුළුවන් කමක් නැහැ. අපිට සිද්ධ වෙලා තියෙනවා, භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ප්‍රවාහනය කරන්න. කර්මාන්තශාලා පවත්වා ගෙන යන්න.

මොකද, අපේ රට හොඳටම තිබියදීත් රටේ දෛනික ආදායම, රුපියල් බිලියන 8යි. දෛනික වියදම රුපියල් බිලියන 12 යි. ඒ අනුව, දවසකට රුපියල් බිලියන 4 ක අතිරේක ප්‍රතිපාදන අප සම්පාදනය කර ගත යුතුයි.

අවුරුද්දක් ගත් විට රටේ ආදායම, ඇමෙරිකන් ඩොලර් බිලියන 8යි. වියදම ඩොලර් බිලියන 12 යි. එතැනත් ඩොලර් බිලියන 4ක හිඩැසක් තිබෙනවා. එය පියවා ගන්න නම්, විදේශ ආදායම් ඩොලර්වලින්ම උපයා ගත යුතුයි. එසේ නම් රට වසා දමලා, අපනයන කටයුතු නවතා දමලා මේ වැඩේ කරන්නට බැහැ.

ඒත් රටක් පවතින්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ නේද?

අපිට ඩොලර් ආදායම් නොලැබුණොත් විදේශ ණය ගෙවන්නේ කොහොමද? අනික් පැත්තෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්නේ කොහොමද? කොයිතරම් ආනයන සීමා පැනවුවත් පසු ගිය මාසයේ විතරක් ඩොලර් බිලියන 1.7 ක භාණ්ඩ ආනයනයකොට තිබෙනවා. ඒවා රටට අත්‍යවශ්‍ය ඉන්ධන, බෙහෙත් ඖෂධ, වෛද්‍ය උපකරණ හෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විය හැකියි.

ඒ නිසා, ආනයන සීමා කළාට සම්පූර්ණයෙන් නතර කරන්න රජයක් හැටියට අපිට පුළුවන් කමක් නැහැ. හැබැයි අනෙක් අතට, මේ අත්‍යවශ්‍ය දේ ආනයනය කරන්න නම්, රටක් විදියට අපනයන ආදායම් උපයන්නත් ඕනේ. ඒ සඳහා කර්මාන්ත ක්‍රියාත්මකව, නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ.

මේ රටේ මිලියන 7ක් රැකියා කරන්නේ පුද්ගලික අංශයේ. පුද්ගලික අංශය වසා දමලා හෝ අපනයනයට යොමු වූ කර්මාන්ත වසා දමලා, අපි විදේශ විනිමය උපයන්නේ කොහොමද? පුද්ගලික අංශය වසා දැමූ විට ඉන් යැපෙන මිලියන 7 සහ ඔවුන්ගේ දරු පවුල් ජීවත් වන්නේ කොහොමද?

මේ වන විට, ඩොලර් බිලියන 4ක ධාරිතාවක් ඇති ව රටට විදේශ විනිමය ගෙනෙන සංචාරක ව්‍යාපාරයත් එහෙම පිටින් ම කඩා වැටිලා. හෝටල් කාමර 50,000 වැහී ගිහින්. සේවකයන් ලක්ෂ හතරකගේ රැකියා අහිමි වී ගිහින්. හෝටල් නඩත්තු කරගන්න බැරුව හෝටල් හිමියන් විශාල අර්බුදයක. සම්පූර්ණයෙන් ම රට වහන්න කියන අය, මේ වගේ කාරණා සෑම පැත්තකින්ම හිතා බලන්න ඕනේ.

පවතින අවදානමත් නොතකා, ඇඟලුම් වැනි සෙනඟ වැඩි කර්මාන්ත පවත්වාගෙන යෑමට රජය ඉඩ දී තිබෙන්නේ මේ නිසා ද?

අපේ නිෂ්පාදන කර්මාන්ත බොහොමයක් ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත. ඒ කියන්නේ, වැඩිපුර ශ්‍රමිකයන් යොදවා කරන, ඇඟලුම්, කොහුබත් වැනි ශ්‍රමය මුල් කරගෙන කරන කර්මාන්ත. ඇඟලුම් කර්මාන්තය කියන්නේ, අපේ රටට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක්.

අනික තමයි, කෘෂිකර්මාන්තය. එළවළු, පලතුරු, පොල්, සීනි; මේ හැමදේම දේශීයව වගා කර ගත හැකි දේ. මේවා නතර කළොත් ඊළඟ කන්නය පැහෙන කල් අපි ජීවත් වෙන්නේ කොහොමද. ඒ වගේම, කෘෂි කර්මාන්තය හා බැඳුණු ග්‍රාමීය ආර්ථිකයට මොකද වෙන්නේ. තැඹිලි කුරුම්බා විකුණන, බයිසිකල්, ත්‍රීවීල් රෙපෙයාර් කරන කුඩා ම ව්‍යවසායකයාට මොකද වෙන්නේ. එවැනි ස්වයං රැකියාවල නියුතු මිලියන දෙකක් පමණ මේ රටේ ජීවත් වනවා. ආණ්ඩුවට පුළුවන්ද ඔය හැම පවුලකටම මාසයක් කන්න රුපියල් විසිදාහක් විතර නිකම් දෙන්න. බැහැ.

ඉතින් මගේ මතය නම්, සංචරණ සීමාවන් සමඟම, නිසි සෞඛ්‍ය නීති රීතිවලට අනුගත ව රටේ ආර්ථිකයත් දුවන්න ඕනේ. මේ වෙලාවේ රජය අරන් තියෙන්නේ හරිම තීන්දුව.

Comments