
- ග්‍රාම නිලධාරීවරිය සාරියෙන් එල්ලන බව කියා මන්ත්‍රීවරිය තර්ජනය කරලාලු
- මේ පහරදීම කිසිසේත් අනුමත කරන්නේ නැතිබව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් කියයි
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය මැඬලීම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරින් මෙන්ම සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ පිරිසක් වෙහෙසවී කටයුතු කරන කාලයකි. නමුත් රාජ්‍ය නිලධාරීන්ට විටෙක යම් යම් වැඩකටයුතු සිදු කිරිමේදී සිදු වන්නේ තමුන් අපේක්ෂා කරන දේවල් නොවේය.
මෙවන් පසුබිමක් තුළ කොරොනා ව්‍යාප්තිය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, දඹූල්ල, ගලේවෙල, උකුවෙල, නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ල සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙත් ග්‍රාම නිලධාරි වසමක් සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් ඉකුත් දිනවල හුදෙකලා තත්ත්වයට පත් කළහ.
මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම රෝගින් වාර්තා වන්නේද උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙනි. මේ හේතුවෙන් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිිරිම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරින් මෙන්ම අනෙකුත් පිරිස්ද මහත් පරිශ්‍රමයක් දරා කටයුතු කරමින් සිටිති.
වසම් 73කින් සමන්විත උකුවෙල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 20476ක ජනගහනය 79448 සිටියි.
හුදෙකලා තත්ත්වය හේතුවේ ආර්ථික පීඩා සඳහා ලක්වුණු මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් පනස්දහසක් වෙත භාණ්ඩ මල්ල ලබා දීමට මාතලේ දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය ප්‍රමුඛ මාතලේ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.
මෙම තත්ත්වය නිසා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් විසිදහසකට ආසන්න පිරිසකට මේ භාණ්ඩ මල්ල ලබා දීමට සැලසුම් කර ඇති අතර මේ වන විට ලබා දෙමින් කටයුතු කර ඇති අතර ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා ග්‍රාමීය කමිටුව මගින් තෝරාගෙන ඇති අතර බඩු මල්ල ලබා දිමේදි විවිධ ගැටලු පැන නැඟි ඇති බවද වාර්තා වේ.
මෙසේ මේ භාණ්ඩ ලබා දීම සඳහා උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්. කේ සේරසිංහගේ උපදෙස් පරිදි ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලු දෙනා භාණ්ඩ ලබා දීමට යුහුසුළලුව කටයුතු කරමින් සිටින අතරතුරදි උකුවෙල, කැන්දගොල්ලාමඩ වසමේද මෙම කටයුතු සිදු විය.
නමුත් එම වසමේ වැඩබලන ග්‍රාම නිලධාරි සමුද්‍ර ඒකනායකයට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරිමට හැකියාව ලැබුණේ දින කිහිපයක් පමණක් වන අතර එම කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හිමාලි එරන්දිකා අබේරත්න විසින් භාණ්ඩ ලබා දීමේදි විවිධ අවස්ථාවලදී සහභාගී වෙමින් සිය රාජකාරියට බාධා කළ බව වාර්තා වේ.
කොවිඩ් තත්ත්වය හේතුවෙන් සංචරණ සිමා පැනවීම හේතුවෙන් අඩු ආදායම් ලාභි පවුල් සඳහා රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙළ යටතේ ඇතිවූ ආසන්නතම සිද්ධිය ඉකුත් 16දා පස්වරුවේ සිදු වූයේ ග්‍රාම නිලධාරීවරිය බලාපොරොත්තු නොවූ දෙයකි. ඇය සුපුරුදු පරිදි වසමේ රාජකාරී සඳහා පිටත්ව ගිය අතර භාණ්ඩ ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස ජනතාවට දැන්වූ අතර ඇතැම් පිරිස්ට භාණ්ඩ නොලැබී ඇති බවට චෝදනාද ඉදිරිපත් වී තිබුණි.
මේ සම්බන්ධයෙන් ගැටලු විමසීම සඳහා ග්‍රාම නිලධාරිනිය සහ මන්ත්‍රීවරිය අතර ඇතිවූ කතාබවත් සිද්ධියට මුල්වී තිබෙන අතර දෙදෙනා අතර ඇතිවූ සිද්ධියෙන් ග්‍රාම නිලධාරිනිය තුවාල ලබා මහනුවර ජම්බුගස්පිටිය රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ අතර පසුව මෙයට විරෝධය පා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරීන් බඩු මල්ල බෙදිමේ කාර්යයෙන් සියලු දෙනා ඉවත්ව සිටියහ.
පසුව මන්ත්‍රිවරියද මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති අතර මාතලේ මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක ශරිර ඇපයක් මත මුදා හැරුණු අතර ඉන් පසුව ග්‍රාම නිලධාරීන් නැවත සේවයට වාර්තා කළේය.
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පවසන්නේ,
ග්‍රාම නිලධාරීන් ලෙස කොවිඩ් වංසගත තත්ත්වය හමුවේ දැඩි වෙහෙසක් දරා රාජකාරි සිදු කරන බවත් නිලධාරිවරයකුගෙන් යම් අඩුපාඩුවක් හෝ වැරැද්දක් සිදුව ඇත්නම් අදාළ උසස් නිලධාරීන්ට පැමිණිලි කර අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවය. එසේ නොකර මහජන නියෝජිතයන් මෙලෙස හැසිරීම දැඩි ලෙස හෙළා දකින බවත් අදාළ මන්ත්‍රිවරියට එරෙහිව රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා එල්ල වන බවත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් අදාළ පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම සිද්ධියට මුල්වූ උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිනී හිමාලි එරන්දිකා අබේරත්නයගෙන් අප කළ විමසීමේදි ඇය මෙසේ සඳහන් කළාය.
‘හුදකලා හේතුවෙන් අපේ වසමේ ජනතාවට රුපියල් පන්දහසේ බඩුමල්ල බෙදා දිම් සිදු කළා. වසමේ දේශපාලන අධිකාරිය සහ නියෝජිතවරිය ලෙස මා සහභෘගි වුණා. නමුත් වසමේ ලැබිය යුතු අයට මෙම සහනාධාරය ලැබී නැති බව ග්‍රාම නිලධාරිනිය ප්‍රකාශ කළා. ඇතැම් ගමේ අයගේ නම් කපලා තිබුණා. මේ පිළිබඳව මම විමසිමක් කළා; අදාළ ජනතාවගෙන් අභියාචනා මා ලබා ගත්තා. අපි දේශපාලන අධිකාරිය ලෙස රජයෙන් දෙන සහනාධාරයකට සහභාගි විය යුතුයි. ග්‍රාම නිලධාරිනිය ඒ මොහොතේදි මෙය නිලධාරීන්ගේ වැඩක් කියලා කිව්වා. ඊට පස්සේ කතාබහක් ඇති වුණා; පහර දීමක් සිදු වුණේ නැහැ. පස්සේ මම පහර දුන්නා කියලා රෝහල් ගතවෙලා තියෙනවා‘
සිද්ධිය පිළිබදව අදහස් දැක්වු උකුවෙල ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු වන සිසිර ජයම්පති ඇටිපොල කියා සිටියේ මෙවැන්නකි.
‘මෙම සිද්ධිය පිළිබඳව දැඩි ලෙස කනාගාටුවට පත්වෙනවා. අපි පසුගිය පළාත් පාලන මැතිවරණයේදි දැක්කා පැවති යහපාලන ආණ්ඩුවට එරෙහිව මහජන අප්‍රසාදයක් තිබුණා. ඒ නිසා පක්ෂවලින් ඉදිරිපත් කරපු කුමන හෝ අයෙක් පත්වුණා. එහිදි දේශපාලනයේ පරිණතභාවයෙන් යුතු අයට එන්න බැරිවුණා‘ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් දරන්නේ මෙවැනි අදහසකි.
‘උකුවෙල තාලිංගමඩ ග්‍රාම නිලධාරිනියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරිය විසින් පහර දීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මහජන නියෝජිතයන්ට මේ මොහොතේ ඉවසීමෙන් වැඩ කරන ලෙස ඉල්ලා සිටිනවා. මන්ත්‍රීවරිය වහාම අත්අඩංගුවට ගෙන පරික්ෂණයක් සිදු කරන ලෙස මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නා‘
මේ වන විට අදාළ මන්ත්‍රිනී හිමාලි එරන්දිකා අබේරත්නගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා විනය පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නිතිඥ සාගර කාරියවසම් පැවසීය.
සිද්ධියට මුහුණ පෑ ග්‍රාම නිලධාරි සමුද්‍ර ඒකනායක කියා සිටියේ මන්ත්‍රිවරිය සහ ඇයගේ මව පැමිණ විටින්විට බඩු මලු බෙදා දීමේ කටයුතු සඳහා බාධා කළ බවය.
‘ඔවුන් එවා තිබූ නම් ලැයිස්තුවක් සඳහා භාණ්ඩ ලබා දෙන ලෙස පැවසුවා. මාතලේ රෝහලට එන්න එපා කිව්වා. සාරියෙන් එල්ලන බවට මට තර්ජනය කර පහර දුන්නා. පසුව මේ බව ප්‍රාදේශීය ලේකම්වරියට මා දැනුම් දුන් පසු බඩු බෙදන එක නවත්වන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව නැවත පිටත්වන අවස්ථාවේ ඇය මට පහර දුන්නා. කනක් ඇහැනේ නැතිව ගියා‘
මාතලේ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල භාණ්ඩ බෙදා දීමේදී ගැටලු කිහිපයක් වාර්තා වී තිබෙන අතර ඇතැම් දේශපාලනඥයන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගෙන් සුලු පිරිසක් වගකීම් විරහිතව කටයුතු කර තත්ත්වයක් පවතින බව මහජනතාව පවසයි.
කොරෝනා ව්‍යසනය හමුවේ සමස්ත රටේ රාජ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ හමුදා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දේශපාලන අධිකාරිය ඇතුළු සියලු දෙනා කොරෝනා උවදුරෙන් මිදීම සඳහාත් මෙය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහාත් පියවර ගනිමින් සිටින අවස්ථාවේදී ප්‍රාදේශීය වශයෙන් බලය උදුම්මාගෙන සිටින ජනතා නියෝජිතයන් මිට වඩා වගකීමෙන් කටයුතු කිරිම වැදගත් ය.
මහේෂ් රුවන් කිර්තිරත්න - මාතලේ