
“අපි රඟපාන්නේ නැහැ. අපි නළුවෝ නෙවෙයි. ඒක නිසා අපිට ඔය බොරු රඟපෑම් ඕන නැහැ. අපි වැඩේ හරියට කරනවා” යනුවෙන් පසුගිය 05 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ දී උස් හඬින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාය.දිනේෂ් ගුණවර්ධන මේ චෝදනාව පාර්ලිමේන්තුවේ දී මුහුණට ම එල්ල කළේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ය. කවුද රඟපාන්නේ ඇයි රඟපාන්නේ යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. එය හරියට “මේ කවුද? මොනවද කරන්නේ” කතාව සිහිපත් කරවන ආකාරයේ සිද්ධියකි.විදෙස් රටවල් කිහිපයක තානාපතිවරුන් කැඳවීමට සජිත් තීරණය කළේ ඇයි?
එක් පැත්තකින් කොරෝනා මැඩීමට ආණ්ඩුවට උදව් ලබා දෙන බව ප්‍රකාශ කරන සජිත් අනෙක් පැත්තෙන් කරන්නේ කුමක් ද?
විදෙස් රටවල තානාපතිවරුන් කැඳවා සජිත් විපක්ෂ නායක වශයෙන් ඔවුන්ට කීවේ මොනවාද? ඔවුන් සජිත්ට කීවේ මොනවාද?
මේ සිද්ධිය අතරතුර “අපි රඟපාන්නේ නැතුව වැඩේ කරනවා” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ ඇයි?
සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පසුගිය 05 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස වැනි විපක්ෂ නායකයකු මීට පෙර නොසිටි බවයි.
”මේ විපක්ෂ නායකතුමා තමයි කොරෝනා ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ දී කතා කළේ. අද වගකීමෙන් කටයුතු කරනවා; තානාපතිවරුන් දිනපතා මුණගැහෙනවා; ඇඳන් දෙන්න කියනවා. ඉල්ලීම් කරනවා; රෝහල්වලට පහසුකම් දෙන්න කියනවා. විවිධ ඉල්ලීම් කරනවා.” යනුවෙන් ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය.
ඒ අවස්ථාවේදී ම නැඟී සිටි විදේශ කටයුතු අමාත්‍ය මෙන් ම පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය.
“රජය, අතිගරු ජනාධිපතිතුමාගේ, ගරු අගමැතිතුමාගේ උපදෙස් පරිදි විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් මා ඇතුළු අදාළ පිරිස් විදේශ රටවල තානාපතිවරුන් රැසක් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මේ රටේ සිටින තානාපතිවරුන් සමඟ පමණක් නොවෙයි; විදෙස් රටවල සිටින තානාපතිවරුන් සමඟ පවා සාකච්ඡා කරලා තියෙනවා.
“ඒ නිසා චිත්‍රපටිවලට අපි කොවිඩ් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. චිත්‍රපටි නළුවෝ ඉන්නවා ඒ පැත්තෙ, ඒක නිසා ඒගොල්ලන්ට ඕනෑම තානාපති කෙනෙක් හමුවෙලා නළු වෘත්තිය කරන්න පුළුවන්” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිසි පරිදි කටයුතු කරද්දී සජිත් මෙලෙස රඟන්නෙ ඇයි? යනුවෙන් බොහෝ දෙනකු තුළ යම් සැකයක් ඇති වීම සාධාරණය.
ලෝකයේ දරුණුතම වසංගතයක් මඟින් මුළු ලෝකයම වසා ගනිද්දී එය සත පහකට මායිම් නොකරමින් වර්තමාන විපක්ෂය කොරෝනා වයිරසයේ සම්පූර්ණ බරපැන වර්තමාන ආණ්ඩුව වෙත එල්ල කිරීමට කටයුතු කළේය.
කොරෝනා මුල්ම අවස්ථාවේ දී චිනයේ වුහාන් ප්‍රාන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් ගෙන ඒම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කරන විට ඊට විරෝධය පළ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ අවස්ථාවේදී සමගි ජනබලවේගය සිටියේ එක්සත් ජාතික පක්ෂය තුළ ය.
නිරෝධායනය කිරීම, බුද්ධි අංශ මඟින් කොරෝනා ආසාදිතයන් සොයා යෑම, නිසි ප්‍රතිකාර සිදු කිරීම වැනි කාරණා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ මේ සඳහා යොදා ගැනීම ගැන විරෝධය පළ කළ බව රහසක් නොවේ.
සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අතර මත ගැටුමක් ඇති කිරීමට ද විපක්ෂය සියුම් උපායමාර්ග දියත් කළ ද පලක් වූයේ නැහැ.
එන්නත් ලබා ගැනීම සඳහා මුලින්ම රජය කටයුතු කරන විට එයට ද විවිධ චෝදනා එල්ල කළේය.
ඉන්දියාවෙන්, චීනයෙන්, රුසියාවෙන් එන්නත් ලබා ගැනීමට කටයුතු කරන විට විපක්ෂය කීවේ ඒවා සාර්ථක නොවන බවයි.
චීනයෙන් සයිනොෆාම් එන්නත් ලක්ෂ 06 ක් මෙරටට ප්‍රදානයක් වශයෙන් ලැබෙන විට විපක්ෂය ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතියකින් තොරව සයිනොෆාම් එන්නත භාවිතයට සුදුසු නොවන බවයි.
එමඟින් විපක්ෂය උත්සාහ කළේ එන්නත්කරණය සඳහා ජනතාව තුළ යම් බියක් හා සැකයක් ඇති කිරීමටයි. නමුත් සයිනොෆාම් එන්නත ලොව පුරා සාර්ථකව එන්නත්කරණය කෙරෙමින් පවතී.
මෙරට සිටින චීන ජාතිකයන් 2500 දෙනෙකු සයිනොෆාම් එන්නත මාත්‍රා දෙකම එන්නත් කරගෙන ඇති අතර ඔවුන් කිසිවකුට කිසිදු අතුරු ආබාධයක් ඇති වී නැත.
සයිනොෆාම් එන්නත මෙරට එන්නත්කරණය කිරීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති අතර අප බලා සිටින්නේ ඒ සඳහා අනුමැතිය ලැබෙන තුරුය.
රුසියාවෙන් ස්පුට්නික් එන්නත් ලක්ෂ 27 ක් මිලදී ගැනීමට රජය ඇණවුම් කළේ බොහෝ කාලයකට පෙර සිට ය.
ඇස්ට්‍රාසෙනිකා එන්නතට සාපේක්ෂව ස්පුට්නික් එන්නත මිල අධිකය. එක් ස්පුට්නික් එන්නතක වටිනාකම ඇමරිකානු ඩොලර් 9.95 කි. ස්පුට්නික් එන්නත් ලක්ෂ 27 ක් මිලදී ගැනීම සඳහා රජය විසින් දැනටමත් රුපියල් මිලියන 5304 වෙන්කර තිබේ.
මීට අමතරව තවත් එන්නත් රුසියාව ඇතුළු වෙනත් රටවල් කිහිපයකින්ම මිලදී ගැනීම සඳහා දැනටමත් කටයුතු කරමින් සිටි. ප්‍රධාන රෝහල් ඇතුළු ප්‍රාදේශීය රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු සිදු කරමින් සිටින අතර ඔක්සිජන්වල කිසිදු හිඟතාවක් නොමැති බව ඔක්සිජන් සමාගම් ද ප්‍රකාශ කරයි.
ගැටලුවක්ව පවතින්නේ කොරෝනා වයිරසය ආසාදනය වී සිටින සමහර ප්‍රදේශවල පුද්ගලයන් තවමත් රෝහල්ගත වීමට නොහැකිව ඔවුන්ගේ නිවාස තුළම රැඳී සිටීමයි.
එවැනි රෝගීන් රෝහල් සඳහා ගෙන යාමට ගිලන් රථවල යම් ගැටලුවක් මතුව ඇති නිසා “සුවසැරිය 1990” ගිලන් රථ සේවය සඳහා අලුතින් ගිලන් රථ 112 ක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි.
මෙවැනි තත්ත්වයක් ඇතිකරමින් රජය කටයුතු කරන විට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙරට සිටින තෝරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පමණක් විපක්ෂ නායක කාර්යාලය කැඳවන්නේ ඇයි?
පසුගිය 04 වැනි දා රුසියාවෙන් ස්පුට්නික් එන්නත් 15000 ක් මෙරටට එවීමට රුසියාව කටයුතු කළේය.
එන්නත් 15000 ක් රුසියාව එවන්නේ මෙම ස්පුට්නික් එන්නත් තොගය නිවැරදිව ලබාගෙන නිවැරදිව ගබඩා කර ඉන් අනතුරුව ප්‍රවාහනය කරමින් නියමිත පරිදි ජනතාවට එන්නත් කරනවා ද යන්න සොයා බැලීමටය.
අලුත් ම වාර්තාවලින් කියවෙන්නේ ස්පුට්නික් එන්නත් ලක්ෂ 130 ක් මේ වසර අවසන්වීමට පෙර අදියරෙන් අදියර මෙරටට එවීමට රුසියාව සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවයි.
රුසියානු එන්නත පසුගිය 04 වැනිදා මෙරටට ගෙන ඒම සඳහා රුසියාවේ ගුවන් යානයට මොස්කව්වල දී එන්නත් තොගය පටවන විට මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එදින ම මෙරට සිටින රුසියානු තානාපතිවරයා හමු වීමට කටයුතු කරයි.
එම හමුවීමේ දී ඔහු ඉල්ලා සිටින්නේ රුසියානු ස්පුට්නික් එන්නත මෙරටට ලබා දීමට ක්‍රියා කරන ලෙසයි. ඒ වන විටත් මෙරටට ගෙන ඒම සඳහා රුසියාවේ දී අදාළ ගුවන් යානයට එන්නත් පටවා අවසන්ය.
සජිත්ට අවශ්‍ය වූයේ මාධ්‍ය සන්දර්ශනයක් සිදුකර ඔවුන්ගේ ඉල්ලීම මත රුසියානු ස්පුට්නික් එන්නත මෙරටට ලැබුණු බවට කියාපෑමටය. නමුත් සත්‍යය එය නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙන අතර බොහෝ දෙනෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත්ට දක්වන්නෙ අනුකම්පාවකි. ඔහු ඒ තරමටම දේශපාලනයට ළද බොළඳ වී ඇත. ඔහු සිතන්නේ ළද බොළඳ දේශපාලනයෙන් මේ රටේ ජනතාව ඉතාම පහසුවෙන් රැවටිය හැකිය කියාය.
රුසියාවෙන් ස්පුට්නික් එන්නත මෙරටට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකා රජය රුසියාවේ අදාළ සමාගම සමඟ සාකච්ඡා කළේ මීට මාස කිහිපයකට පෙරය.
රජයේ අවසරය පරිදි අදාළ සෞඛ්‍ය නිලධාරීන් දිවා රාත්‍රී නොතකමින් ’zoom‘ තාක්ෂණය ඔස්සේ දින ගණන්, වරු ගණන් සාකච්ඡා කරමින් කේවල් කළේ ස්පුට්නික් එන්නත ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමටය.
තවත් රටවල් තරගකාරි මට්ටමින් ස්පුට්නික් එන්නත ඉල්ලා සිටිය දී ඒ එන්නත් තොග මෙරටට ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීම, කේවල් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
කොරෝනා නිසා එම රටවල්වලට යෑමට නොහැකි අතර සියලු සාකච්ඡා සහ තීරණ ගනු ලබන්නේ ’zoom‘ තාක්ෂණය ඔස්සේය. ඊට අමතරව දුරකථන සංවාද, ෆැක්ස් පණිවිඩ ද එමටය. මෙය ප්‍රායෝගිකව සිදු කිරීම තවත් අභියෝගයකි.
මෙසේ ගන්නට යන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි භෞතික භාණ්ඩ නොවේ. මේ ගන්නට යන්නේ ජීවිත බේරා ගැනීම සඳහා වන එන්නත්ය. මෙම එන්නත්වල ප්‍රමිතිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඇතුළු අදාළ තත්වයන් ගැන ද දැඩි ලෙස විමසිය යුතුය.
එසේ විමසා ස්පුට්නික් එන්නත රුසියාවෙන් ගෙන්වීමට කටයුතු කරන විට මෙරට විපක්ෂ නායක පැයක් ඇතුළත මෙරට සිටින රුසියානු තානාපති හමුවී ස්පුට්නික් එන්නත ලබාදෙන ලෙස ඉල්ලයි.
තමා ස්පුට්නික් එන්නත කඩිනමින් ලබාදෙන ලෙස රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ කිසිදු හිරිකිතයකින් තොර වීම තවත් විශේෂ සිද්ධියකි.
“කොවිඩ් වෙනුවෙන් අපිට රඟපාන්න අවශ්‍ය නැහැ. අපිට නළුවන් වෙන්න අවශ්‍ය නැහැ.” යනුවෙන් දිනේෂ් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ඇයි ද කියා දැන් ඉතා හොඳින් පැහැදිලිය.
රුසියාවෙන් ස්පුට්නික් එන්නත මෙරටට ලැබෙන්නේ තමා නිසා යැයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළහොත් එය ද පුදුමයට කරුණක් නොවේ.
මෙසේ කටයුතු කරමින් විපක්ෂය කියා සිටින්නේ කොරෝනා මැඬපැවැත්වීම සඳහා ආණ්ඩුවට සහය ලබාදීමට සුදානම් බවයි.
මෙහෙම සහාය ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කරන විපක්ෂයේ තවත් ප්‍රබලයකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරනු ලබන්නේ මෙරට ජනගහනය ලක්ෂ 210 ක් එන්නත් කළ යුතු බවයි.
දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා නොදේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයකි. ඊට අමතරව මෙම එන්නත නොදෙන කාණ්ඩයට ගැබිනි මවුවරු ද අයත් වෙති.
එම කොටස් මුළු ජනගහනය වන ලක්ෂ 210 න් වෙන් කළ විට එන්නත ලබා ගැනීම සඳහා සුදුසු මෙරට සිටින ජනගහනය ලක්ෂ එකහමාරකට ආසන්න වේ. ඒ බවවත් නොදැන මේ ආකාරයට එන්නත්කරණය ගැන කතා කිරීම තරම් තවත් විහිළුවක් තිබෙනවාද?
ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව 925000 කට මේ වන විට ලබා දී ඇති අතර එම පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබාදීමට කටයුතු ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ ඇති වූ හදිසි තත්වය හේතුවෙන් ඉන්දියාවෙන් එන්නත් ලබා ගැනීමේ ගැටලුවක් පවතින නිසා ඇස්ට්‍රොසෙනිකා එන්නත දෙවන මාත්‍රාව සම්පූර්ණ කිරීමේ මතුවන ගැටලුවට දැනටමත් ආණ්ඩුව විසඳුම් ලබා දී ඇත.
එන්නත් අතිරික්තයක් ඇති ඉන්දුනීසියාව, සූඩානය ඇතුළු රටවල් කිහිපයක් සමඟ රජයේ නියෝජිතයන් සාකච්ඡා කර ඇති අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත් ඉන්දුනීසියාවෙන් කඩිනමින් ලබා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය දැනටමත් යොමුවී තිබේ.
ස්පුට්නික් එන්නත් ලක්ෂ 130 ක් ද, ෆයිසර් එන්නත් ලක්ෂ 50 ක් ද මේ වසර අවසන්වීමට පෙර මෙරට ජනතාවට ලබාදීමට නියමිතයි.
චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් ලක්ෂ 06 ක් මෙරට සතුවන අතර ඊට WHO අනුමැතිය ලද විගස සයිනොෆාම් එන්නත මෙරට ජනතාවට ලබාදීමට නියමිතය.
මේ වන විට දැනටමත් 925000 කට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී ඇත.
මේ සියල්ලෙහි එකතුව ගත්විට මේ වන විට මේ වසර තුළ දී මෙරට ජනගහනයෙන් ලක්ෂ 103 කට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සැලසුම් කර තිබේ.
ඉතිරි ලක්ෂ 32 කට ද ලබාදීමට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සඳහා දැනටමත් රටවල් කීපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර එම එන්නත් කඩිනමින් ඇණවුම් කිරීමට ද කටයුතු කර ඇත.
එන්නත්කරණය සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දී තානාපතිවරුන් පිරිසක් ගෙන්වා ගරු රඟපෑම්වල යෙදෙන්නේ කවුරුන් ද කියා අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.
මෙරට එන්නත්කරණ වැඩසටහන සාර්ථක ලෙස ආරම්භ වන විට එන්නත් නොගෙන එම වැඩසටහන කෙරෙහි ජනතාව තුළ යම් සැකයක් ඇති කිරීමට විපක්ෂය ක්‍රියා කළේ ඉතා පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙනි.
එන්නත්කරණය කඩාකප්පල් වූවා නම් විපක්ෂයට රජ මඟුල් ය. නමුත් එය එසේ නොවීය.
අවුරුදු සමයේ දී යම් යම් සංචරණ සීමා පැන වූවා නම් හොඳ බව දැන් සමහරු කියති. විපක්ෂය නම් කියන්නේ ඒ අවස්ථාවේ දී lockdown කළ යුතුව තිබුණු බවයි.
එසේ හුදෙකලා කළා නම් විපක්ෂය කියන්නේ ජනතාවට අවුරුදු සැමරීමට යම් නිදහසක් ලබාදිය යුතුව තිබුණු බවයි.
එසේ කළ විට දැන් කියන්නේ හුදෙකලා කළ යුතුව තිබුණු බවයි. මේ අපේ රටේ විපක්ෂයේ හැටිය.
යහපාලන ආණ්ඩුව වෙනුවෙන් එදා කඩේ ගිය විවිධ සෞඛ්‍ය සංවිධාන මෙදා දිනපතා මාධ්‍ය හමු පවත්මින් විවිධ කතා කියන්නේ රටට හා ජනතාවට ආදරය නිසා නොව ආණ්ඩුව අර්බුදයක් කරා ගෙනයාමට මණ්ඩලය කචල් කිරීමට බව කවුරුත් දනිති.
අවාසනාවකට කැස්බෑව, පිළියන්දල ප්‍රදේශවල රජයේ දේශපාලනඥයන්ගෙන් සිදුවූ ඇතැම් බලපෑම් මතු කරමින් කරුණු කාරණා ලබා දෙන්නේ රවි කුමුදේශ්ලාට, සමන් රත්නප්‍රියලාට හයේ පාරවල් එල්ල කිරීමටය.
T20 තරගයකදී ෆුල්ටෝස් පන්දුවක් දැම්මොත් පන්දුව නවතින්නේ කොහෙද කියා ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් තවමත් තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි.
මෙසේ දමන ෆුල්ටෝස්වලට 6 පාරවල් ලැබුණ විට විසිල් ගසමින් උඩ පනිමින් ලබාගන්නා චූන් එක නියම චූන් එකක් ද මෝඩ චූන් එකක් ද කියා ප්‍රකාශ කිරීමට තවමත් කල් මදිය.
ඒක නිසා කොවිඩ්වලින් දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂයේ විකට රංගනවල යෙදෙන නළුවන් ලෙස හැසිරෙන විට ආණ්ඩුවේ සමහර දේශපාලනඥයන් ඊටත් වඩා විකට රංගනවල යෙදෙන විට කොවිඩ් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව සාර්ථකව මේ දක්වා කරගෙන පැමිණි වැඩපිළිවෙළට සිදුවන්නේ කුමක්ද?
විපක්ෂයේ හැම සටන් පාඨයක් ම පරාජය වී දේශපාලන වශයෙන් බංකොළොත් වී සිටින අවස්ථාවක විපක්ෂයට හයේ පාරවල් එල්ල කිරීමට ආණ්ඩුවෙන් ම ෆුල්ටෝස් දැමීම මේ රටේ ජනතාව අනුමත නොකරති.
සෑම සටන් පාඨයක් ම මේ දක්වා අසාර්ථක වී ඇති නිසා විපක්ෂයට අවශ්‍ය ආණ්ඩුව ඇතුළේ මණ්ඩලය කචල් කිරීමට බව ආණ්ඩුව නියෝජනය කරන සෑම පාර්ශ්වයක් ම හොඳින් සිහි තබාගත යුතුය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම එතරම් අපහසු නොවනු ඇත.