මතකයේ රැඳෙන ගීතයක් ලියූ කාටත් අම­තක ගී පද රච­කයා | සිළුමිණ

මතකයේ රැඳෙන ගීතයක් ලියූ කාටත් අම­තක ගී පද රච­කයා

ඔහු ලැබූ ඇගයීම් සම්මාන

 

ඉහත අපුර්ව, අර්ථපුර්ණ, රස පුර්ණ ගීතයේ පද රචකයා කවුරුන් නම් විය හැකිද ? කොයි ප්‍රදේශයක වෙසෙන්නෙක් නම් විය හැකි ද ? ඔහු අද ජීවිතයේ සැදෑ සමයට පිවිසි ප්‍රත්‍යන්ත ගම්මැද්දකට වී නිහඬ දිවියක් ගෙවන අහිංසක කලාකරුවෙකි. ඒ අපුර්ව මිනිසා ගේය පදරචක“සිරිල් සමරකෝන්” ය. සිරිල් සමරකෝන් කලාකරුවා යනු කවරෙක්දැයි අද සමහරෙකු නොදනිතත් ඔහු අතින් ලියැවුණ මේ ගීතය ඔබට මතක ඇතැයි සිතමි.

 

“කැරකෙන රෝදේ පුංචි කරත්තේ

ඉඳගෙන මම ඉන්නේ

පදික වේදිකා පසුකර යන්නට

තල්ලු කරන් පුතුණේ”

එඩ්වඩ් ජයකොඩි ගයන මේ හද තත් විනිවිදින අර්ථපුර්ණ පදවැල සිරිල් සමරකෝන් කලාකරුවා අතින් ලියැවී ඇත්තේ මීට දශක හතරකටත් එපිටින්ය.

කලා ලෝකයේ බොහෝ දෙනෙකුට අද ඔහු සිටින ඉසව්වක් ගැන හෝ නිච්චියක් නැත. එහෙත් කැකිරාව, අලගොල්ලෑව ගම්මැද්දට වී ඔහු අද ගෙවන දිවිය තෘප්තිමත් එකකි.

කවියක්, කෙටි කතාවක් ලියන්නට තරම් තවමත් ඔහුගේ හිත පොහොසත්ය. සාහිත, කලා වැඩමුළු, ප්‍රසංග ආදිය සඳහා ද නිතැතින් සිරිල් ඇදී යන්නේ තම තරුණ අවදියේ තිබු උද්යෝගයෙන්මය. ගුවන් විදුලියේ රජරට සේවය හා තිබු බැදීම හේතුවෙන්ම පසුකාලීනව ඔහු විසින්ම ලියු ගී කිහිපයකට සිය හඬ මාධුර්ය එකතු කිරීමට සිරිල් සමරකෝන් කලාකරුවාට වාසනාව පෑදී ඇත. බස් කොන්දොස්තරවරයෙකු ලෙස ගෙවු

වෘත්තීය ජීවිතයෙන් ද විශ්‍රාම ලබා ඔහු දැන් ජීවිතය ගෙවන්නේ උපේක්ෂාවෙනි. හේනෙහි, කුඹුරෙහි පැලකට වී ගොවිතැන් බත් කරමින් දවස දිවි ගත කිරිම ඔහුට සැනසීමකි.

“1970 අවුරුද්දේ තමයි මං ලංගම රස්සාවට ගියේ. මට මතකයි 1972 අවුරුද්දේ තමයි කැරකෙන රෝදේ ගීතය ලියවුණේ. බස් කොන්දොස්තර රස්සාවට මගේ හිතේ කැමැත්තක් තිබුණේ නෑ. මට ඕනකම තිබ්බේ ශිෂ්‍ය ගුරු පත්වීමක් අරගෙන කොහේ හරි දුෂ්කර ගමක දරුවන්ට උගන්නන්න යන්න. ඒත් දෛවය ලියැවිලා තිබුණේ වෙන විදිහකට. ඒ කාලේ ශිෂ්‍ය ගුරු පත්වීමකට මාසික පඩිය හැටියට ගෙව්වේ රුපියල් සීයයි.

ලංගම බස් කොන්දොස්තර කෙනෙකුට මාසෙට රුපියල් 220 ක් ගෙව්වා. ඒ වෙනකොට තිබ්බ දුෂ්කරතාත් එක්ක අකමැත්තෙන් වුණත් කොන්දොස්තර රස්සාවට ආවා. එතකොට මට අවුරුදු විසිතුනයි. රස්සාවට එන්න කලින් ගඩොල් කැපුවා, ලී ඉරුවා, ගල් කැඩුවා. ඔය වගේ දුෂ්කර ජීවිතයක් ගත කෙරුවේ. ඒ කාලේ ඉදන්ම නිකං ඉන්ඩ හිතක් තිබුණේ නෑ මට.”

2015 වර්ෂයේ දී කලාභුෂණ සම්මානය සහ 2016 වර්ෂයේ දී කලා කීර්තිධර සම්මානය ඇතුළුව තවත් සාහිත, කලා උපහාර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති සිරිල් සමරකෝන් කලාකරුවාට අද ඒ සියල්ලක් සොඳුරු මතක මාත්‍රයක් පමණකි. එහෙත් ඒ අතීත මතකයන් බොහෝමයක් ඔහුට තවමත් අද ඊයේ මෙනි.

“බස් කොන්දොස්තර පත්වීම ලැබිලා මං මුලින්ම වැඩකෙරුවේ 134 පාරේ ගල්කිස්ස - අංගොඩ බස් එකේ. දවසක් හවස පහට විතර පිටකොටුව කාර්මික විද්‍යාලය හරියෙදි බස් එක විනාඩියකට නැවැත්තුවා. ඉස්සර කොළඹ වැඩි හරියක් දිව්වේ ඩබල් ඩෙකර් බස්. මං වැඩකෙරුවේ බස් එකේ උඩ කෑල්ලේ. පහළ වෙන කොන්දොස්තර කෙනෙක් ඉන්නවා.

ඉතිං අර බස් එක නවත්තපු වෙලාවේ මං ජනේලෙකින් දැක්කා රෝද හයි කරපු ලෑලි තට්ටුවක් උඩ මනුස්සයෙක් වාඩිවෙලා ඉන්නවා. මං හිතන්නේ ඇවිදින්න බැරි ආබාධයක් තිබුණ මනුස්සයෙක්. පරණ කුඩයක් දෙකක්, තව පොඩි පොඩි ආම්පන්න ටිකක් මේ මනුස්සයා ළඟ තිබුණා. එතැන සංවේදීම දර්ශනේ තමයි අර ලෑලි තට්ටුව තල්ලු කෙරුවේ අවුරුදු දොළහක් විතර වෙච්ච පුංචි දරුවෙක්. තාත්තයි, පුතයි වෙන්ඩ ඇති. මේ සිද්ධිය දැක්කහම එකපාරටම වගේ මගේ පපුව පිච්චිලා ගියා. මට මගේ අම්මා, අප්පච්චි, ගෙදර මතක් වුණා. මටත් නොදැනිම අතේ තිබ්බ බස් ටිකට් අමුණලා තිබුණ කාඩ්බෝඩ් කෑල්ලේ කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉදගෙන මං ඉන්නේ - පදික වේදිකා පසුකර

යන්නට තල්ලු කරන් පුතුණේ කියලා ලිව්වේ. නිරායාසයෙන්මයි එය ලියවුණේ. එදා ලිව්වේ එච්චරයි. ඉන් පස්සේ තමයි ඉතිරි ටික ලියැවුණේ.

පොඩිරත්න අගමලේ කවියා සමඟ සිරිල් සමරකෝන්

“ඒ කාලේ ගුවන් විදුලියේ ගීත බැංකුවට අලුත් පදමාලා භාර ගන්නවා. රත්මලානේ ඩිපෝ එකේ ඉන්නකොට මට ඇහුණා ගීත බැංකුව ගැන ගුවන්විදුලියේ කියනවා. මට හිතුණා මේ ගීතය ගුවන්විදුලියට යවන්න ඕන කියලා මම එය ගුවන් විදුලියට තැපැල් කළා. අවුරුද්දකට විතර පස්සේ මට දන්වලා එවලා තිබුණා ඔබේ ගීතය තෝරාගත්තා අහවල් දවසේ පටිගත කරනවා ඇවිත් සහභාගි වෙන්න කියලා. මට මතක හැටියට ඒ 1973 අවුරුද්දේ. ගීතය සංගීතවත් කෙරුවේ කලනි පෙරේරා, ගායනා කළේ. ඒ කාලේ නැගී එන ගායකයෙක් වෙච්ච එඩ්වඩ් ජයකොඩි. සරල ගී වැඩසටහනකට තමයි ගීතය ගායනා කෙරුවේ. මට ගුවන් විදුලියෙන් රුපියල් තිහක් දුන්නා.”

නුවරගෙදර ජොසපිනාහාමි මෑණියන්ටත්, ටිකිරිබණ්ඩා සමරකෝන් පියාණන්ටත් දාව වර්ෂ 1947 ක්වු පෙබරවාරි මස 14 වැනිදාවක කැකිරාව, අලගොල්ලෑවේ දී ජන්ම දායාදය ලැබු සිරිල් සමරකෝන් දැන් හැත්තෑහතර හැවිරිදිය. පාරම්පරික නැටුම් ශිල්පියෙක් මෙන්ම විශිෂ්ට ගනයේ උඩැක්කි වාද්‍ය ශිල්පියෙකු ලෙස නම් තැබු පියාණන්ගේ උරුමකම් දෝතින් ගත් කෙනෙකි. සිරිල් - චන්ද්‍රලතා සෙනෙහේ කැදැල්ලේ පුතු පස්දෙනෙකි.

“මං 1976 අවුරුද්දේ කොළඹින් අනුරාධපුරේට මාරුවක් අරගෙන ආවා. ගුවන් තොටුපළ - අනුරාධපුර බස් එකේ තමයි වැඩ කෙරුවේ. බස් එකේ රියැදුරු විදිහට වැඩ කෙරුවේ පොඩිරත්න අගමලේ. ඔහුත් අද ගොඩක්දෙනෙක් දන්න දක්ෂ කලාකාරයෙක්. ඔහොම ඉන්න කොට තමයි 1979 අවුරුද්දේ ගුවන් විදුලියේ රජරට සේවය පටන් ගත්තේ. එතැන ඒ කාලේ අපි වගේ ආධුනික කලාකරුවන්ට ලොකු හෙවණක් වුණා.

විශේෂයෙන් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්තයා දක්ෂයෝ හොයා හොයා උදවු කරපු විශිෂ්ට මනුස්සයෙක්.”

සිරිල් සමරකෝන් ලියු සිය ගණනක් වු ගී පද රචනා මුද්‍රණද්වාරයෙන් කෘතියක් ලෙස පළවී ඇත්තේ “කැරකෙන රෝදේ” නමිනි. ඒ 2014 වර්ෂයේදී ය. ඔහු විසින් ලියා, ඔහුම ගී ගැයු “මට මාගේ අම්මා වගේ” සංයුක්ත තැටිය ද ජීවිතයේ තවත් මිහිරි මතකයකි. “නිත්තෑවෝ” සහ “සඳ එළිය” නමින් කෙටි සංග්‍රහ දෙකක් පාඨකයා අතට පත්කිරීමේ වෑයම තවමත් ඔහුගේ ඉටුනොවු සිහිනයකි. ඔහු ලියා ඔහුම ගැයු “අඹර කුරක්කන් කළුවේ” ගීතය පසුකලෙක 11 වැනි වසරේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතට තෝරා පළකිරීම ද සිරිල් වැනි

අහිංසක කලාකරුවෙකුට දැක්වු යම් පමණක උපහාරයකි.

“මං අනුරාධපුරේ වැඩ කරන කාලේ විජය කුමාරතුංග මහත්තයා එයාගේ දේශපාලන වැඩවලට එහේ එනවා. විජය අදුරන විජයපුර පැත්තේ තේ කඩේක මුදලාලි කෙනෙක් එයාට කියලා තියෙනවා කැරකෙන රෝදේ පුංචි කරත්තේ සින්දුව ලියපු මනුස්සයා මෙහේ ඉන්නේ කියලා. දවසක් විජය මහත්තයා මාව හොයාගෙන අනුරාධපුර ඩිපෝවට ආවා. ඇවිත් මගෙන් ඇහැව්වා සිරිල් සින්දු දෙක තුනක් ලියාගන්න ඕන පුළුවන්ද කියලා. මං කිව්වා පුළුවන් කියලා. පස්සේ මං සින්දු තුනක් ලියලා දුන්නා. සරත් දසනායක මහත්තයා ලව්වා තනු දාලා ගීත පටිගත කරන බවත් මට කිව්වා. අනේ ගීත එළියට එන්ඩ කලින් විජය මහත්තයා මැරුණා.”

ඔහු පවසන්නේ කනගාටුවෙනි. ඔහු මේ දිනවල අලුත් වැඩක් කිරීමට සැලසුම් කරගෙන යන්නේය.

“සංගීතවේදී නිමල් ගුණසේකර මහත්තයා එක්ක එකතුවෙලා තරු මල් පිපීලා කියන නමින් ගී රසාස්වාදන වැඩමුළු මාලාවක් පවත්වන්න සැලසුම් කරගෙන යනවා මේ දවස්වල. මත්ද්‍රව්‍ය නිවාරණයට, පරිසර හිතකාමී බවට වගේම අනාගත දරු පරම්පරාව විවිධ නොපනත්කම් වලින් මුදව ගන්න සාහිත්‍යය, ගීතය යොදා ගන්නේ කොහොමද කියන එක පෙන්නලා දෙන එක තමයි අපේ අරමුණ. දැනට ඉතිං ඒකට තමයි සුදානම් වෙන්නේ. එහෙම යහපත් දේවල් කරනකොට මුදල් ප්‍රශ්න මතුවෙනවනේ. එතැන තමයි අපි හිරවෙලා ඉන්නේ. ඒ ඇරුනහම ඉතිං හේන්, කුඹුරු කරගෙන, හවසට වැවෙන් වතුර ටිකක් නාලා සැනසීමෙන් ඉන්නවා.”

ඔහු පවසන්නේ ජීවිතයේ සැනසිල්ල විඳිමිනි.

 

Comments