පාසල් අඩපණ කළ කොරෝනා රැල්ල | සිළුමිණ

පාසල් අඩපණ කළ කොරෝනා රැල්ල

කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් වසා දැමූ පාසල් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව නැවතත් විවෘත වූයේ පසුගිය 19 වැනිදා වුවත්, අවාසනාවකට මෙන් සීමිත දින ගණනක් පාසල් පැවැත්වීමෙන් අනතුරුව නැවතත් සතියක කාලයකට පාසල් හදිසියේ වසා දමන්නට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවූයේ මේ වන විට දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින කොවිඩ් තුන් වැනි රැල්ලේ ව්‍යාප්තියෙන් පාසල් දරුවන් රැක ගැනීමේ ආරක්ෂක පියවරක් වශයෙනි.

සාමාන්‍යයෙන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණන 194- 210 ක් වුවත් මේ පසුගිය වසරේ පාසල් පැවැත්වූයේ ඉතා සීමිත දින ගණන නිසාවෙන් අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ පාසල් වාරයෙන් පසුව බොහෝ දෙනෙක් අපේක්ෂා දල්වමින් බලා සිටියේ මේ වසරේ හෝ දරුවන්ගේ අධ්‍යාපනය අමිහිරි නොවනු ඇත කියාය.

එහෙයින් පසුගිය දින කිහිපයේ සිසුන්ගේ පැමිණීම 90% ක් දක්වා සාධනීය මට්ටමක තිබුණත් කොවිඩ් තුන්වැනි රැල්ලේ භායානක අඳුරු සේයා මැද ගෙවි ගිය සති අන්තයේ සිසු පැමිණීම ශීඝ්‍රයෙන් අඩු වූ අතර ගෙවුණු සතිය ආරම්භය වන විට සතියකට කාලයකට පාසල් වසා දමන්නට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයට රටම පැසසුම් කළේ පාසල් විවෘත කර තිබීම සෞඛ්‍ය අතින් දැඩි අවදානම් කරුණක් වන නිසාවෙනි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ තීරණයට පිවිසීමට ප්‍රථම පළාත් ආණ්ඩුකාරවරුන්ට හිමිව ඇති බලතල අනුව කොවිඩ් පැතිරයමින් පවතින ප්‍රදේශවල පාසල් පමණක් නොව දරුවන් ගුරුවරුන් එකා දෙන්නා බැගින් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පැවැතුණු පාසල් වසා දමන්නට තීරණය කළහ.

විදුහල්පතිවරු රැසක් කොවිඩ් ආසාදිතයන් අතර

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිහිටි පාසල්වල ගුරුවරුන් සහ සිසුන් කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉකුත් සතිය තුළ වරින් වර වාර්තා වූ අතර ඒ මෙසේය.

මොනරාගල නගරයේ ජාතික පාසලක ඉගෙනුම ලබන තාක්ෂණික අංශයේ සිසුන් 4 දෙනකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ පසුගිය 26 වැනිදාය.

මොනරාගල අධ්‍යාපන කලාපයේ පාසල් 3ක විදුහල්පතිවරු තිදෙනකු ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබූ අතර එම දිස්ත්‍රික්කයේ සේවය කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ආසාදිතයන් අතරට එක්විය. මේ අතර වැල්ලවාය නගරයේ සිදු කළ PCR පරීක්ෂණ 53ක ප්‍රතිඵල අනුව නගරවාසීන් 46 දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන තිබීම නිසා ආරක්ෂිත පියවරක් වශයෙන් එම පාසල් වැසිමට තීරණය විය.

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් 06ක්, මොනරාගල ප්‍රදේශයේ පාසල් 05ක්, බුත්තල ප්‍රදේශයේ පාසල් 04ක් මෙසේ වසා දැමුණි.

“අපේ පළාතේ විදුහල්පතිවරුන් තිදෙනක් සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු කොවිඩ් ආසාදිතයන් වුණා. මොනරාගල කොටිගල්ගෙල, තෙගල්ලන්ද විදුහල් දෙක හා බඩල්කුඹුර මඩුකොටන් අරාව ඒ විදුහල් තුනයි. මේ අය ආසාදිත වුණේ දෙමළ පාඨමාලාවකට සහභාගි විමෙන් කියලයි අපි විශ්වාස කරන්නේ. මුලින්ම මොනරාගල පාසල් 15 ක් වහන්න තීරණය කළේ යම් යම් ආසාදිත පුද්ගලයින් සිටින ගම්මානවලින් දරුවන් පාසල් පැමිණීම නිසාවෙන්. ඒ වගේම අඹගස්දෝව ජනාධිපති විදුහලේ දරුවෙකුගේ පියකු ආසාදිත වීම නිසා ඒ පාසල වසා දමන්න සිදු වුණා. අපේ පාසල් තුළින්ම සිසුන් ආසාදිත නොවුණත් හුදකලා කිරීමට සිදුවූ ගම්මානවලින් සිසුන් දෙදෙනකු පමණ ආසාදිත වුණා. ඊට අමතරව වැල්ලවාය නගරයේ ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවීම නිසා ඒ පළාතෙත් පාසල් වසා දැමීමට සිදුවුණා...“ ඒ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම්. රත්නායකය.

බස්නාහිර පළාත තුළද යම් යම් ප්‍රදේශවල කොවිඩ් ආසාදිත දරුවන් වාර්තා වූ අතර ගුරුවරුද ඒ අතර විය.

මිනුවන්ගොඩ, කළුතර, කොට්ටාව, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක පාසල්වලින් කොවිඩ් ආසාදිත සිසුන් හා ගුරුවරුන්, විදුහල්පතිවරුන් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළේය.

හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතව තිබූ 142 වැනි රාජකීය - ශාන්ත තෝමස් මහ ක්‍රිකට් තරගය කල් දමා තිබුණේ තරගයට පෙර කොවිඩ් සම්බන්ධව ක්‍රිඩකයන්ගේ සිදුකළ පී.සී ආර් පරික්ෂණ වලදි සිවු දෙනෙක් ධනාත්මක වීම නිසාය. මේ නිසා පාසල් දෙකේ ක්‍රිඩකයන් සඳහා පී.සි.ආර් කළ අතර වාර්තා වන අන්දමට ඒ හේතුවෙන් කොළඹ ප්‍රධාන පාසලක උසස් පෙළ අංශය වසා දමා තිබුණි.

“ පාසල් ආණ්ඩුකාරවරුන්ට බලය දිල තියෙනවා හදිසි අවස්ථාවක පාසල් වැසීම පිළිබඳව. නමුත් රජය විසින්ම සතියකට පාසල් වසා දැමීමට තීරණය කළා. නැවත විවෘත කිරීම සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුවේවී. සමහර විට එකම වතාවට සියලු පාසල් විවෘත කිරිමට නොහැකි වේවි. අපි පසුගිය 23 වැනිදා දක්වා වාර්තා ලබා ගත්තා. ඒ අනුව සිසුන් 38 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගත්තා....“ ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රි ලාල් නෝනිස් ය.

කෙසේ වෙතත් වලල්ලාවිට හා මතුගම පාසල් තුනක පන්ති කිහිපයක් වසා දැමීමට සිදුවූ අතර ඒ මතුගම ප්‍රධාන පාසලක සිසුන් තිදෙනකු කොවිඩ් ආසාදනය වීම හා වලල්ලාවිට පැලවත්ත, මිරිස්වත්ත ප්‍රදේශයේ පාසල් දෙකක ළමුන්, මීගහතැන්න ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු හා වලල්ලාවිට ගුරුවරියකද කොවිඩ් ආසාදිත වී ඇති බව වාර්තා විය.

මධ්‍යම පළාතේ පාසල්ද පසුගිය සතිය ආරම්භය වන විට වසා දමනවාද නැද්ද යන්න තීරණය කරමින් සිටි අතර ඒ වන විට මධ්‍යම පළාතේ පාසල් 1519 න් සිසුන් 35 දෙනෙක්ම කොවිඩ් ආසාදිත දරුවන් බවට පත් වී තිබුණි. එසේම වාර්තා වූයේ ගුරුවරුන් කිහිප දෙනෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බවකි.

“පාසල් වැසුණු පසු තොරතුරු ලබා ගත්තේ නැහැ. නමුත් පසුගිය 23 වැනිදා වන විට ලබා ගත් දත්ත අනුව සිසුන් 35 දෙනෙකු ආසාදිත වී ඇති බව හඳුනා ගත්තා. ගුරුවරු 8 දෙනෙකුත් ඒ අතර. ඒ වගේම නිරෝධායනය වන දරුවන් 476 ක් හා අනිකුත් අනධ්‍යන හා අධ්‍යන පිරිස් 127 දෙනෙකත් නිරෝධායනය වෙනවා. අපේ පළාතේ පාසල් කිසිවක් කලින් වසා දැමීමක් සිදුවූයේ නැහැ. අවසන් දින සිසුන්ගේ පැමිණිම 55% දක්වා අඩුවුණා. නමුත් ගුරුවරු පැමිණිම 77% ක් වුණා......“ ඒ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායකය. මාතලේ තැන්න මහා විදුහලේ සිසුන් සිවු දෙනෙකු කොවිඩ් ආසාදනය වූ අතර මේ හේතුවෙන් පාසල් පවත්වා ගෙන යාමේ ගටලු මතුවිය. එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල්ද එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කළේ සියලු පාසල් වසා දැමීමට රජය තීරණය කිරීමට පෙරය.

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ කොවිඩ් අවදානම මත සිදු නොවූ අතර අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එම සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල්දමා ඇති බවය.

සබරගමුව පළාතේද පසුගිය 23 වැනිදා වන විට කොවිඩ් ආසාදිත දරුවන් 12 දෙනෙකු වාර්තා විය. ඒ පාසල් 1121 කිනි. ඒ නිවිතිගල වත්තේහේන විදුහලින් 2 හා මාවනැල්ල බලවත්ගම විදුහලෙන් 5 දෙනෙකු ඇතුළුවය.

“ අපේ දරුවන් 12 ක් හා ගුරුවරු 2 ක් පසුගිය 23 දා වන විට කොවිඩ් ආසාදිත බවට වාර්තා වුණා. කෙසේ වෙතත් පසුගිය සඳුදා සිසුන්ගේ පැමිණීම 29% යි. අපි පාසල් වසා දැමීමට ඉල්ලීම් කළේ මේ රෝගය පැතිරිම අඩු කිරීමටයි. ළමයින් පාසලට වඩා නිවසේදි රෝග ලක්ෂණ හඳුනා ගැනීම පහසුවන අතර ව්‍යාප්ත වීමත් අවම වෙනවා. දරුවන් රෝග ලක්ෂණ නොදැන පාසල් පැමිණියහොත් සියලු පාසල්ම වසා දැමීමට සිදු වෙනවා. ඒ වගේම පසුගිය කාලයේ යමෙකුට රෝගය බෝවී ඇතිනම් මේ කාලය රෝග ලක්ෂණ මතුවීමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මේ සතිය පාසල් වසා දැමීම...“ ඒ සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චිය.

මේ අතර කොවිඩ් පැතිරීමේ ආරක්ෂක පියවරක් ලෙස නැගෙනහිර පළාතේ පාසල් 87 ක් වසා දමන්නට පියවර ගෙන තිබුණි. මේ අතරින් 81 ක් ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයට අයත්ය.

පාසල තුළ රෝගී දරුවන් හඳුනා ගැනීම අපහසුයි

“ අපේ පළාතේ පාසල් 1115 සිසුන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු වුණා. ගුරුවරු 18 කටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 5 කුත් කොවිඩ් ආසාදිතයන් බවට පත්වුණා. 23දා වන විට සිසුන් 463 දෙනෙකුත් ගුරුවරු 71 දෙනෙකුත් නිරෝධායනයට ලක් වෙනවා.....“ ඒ නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ටී ඒ නිසාම්ය.

මේ වන විට සියලු පාසල් සතියකට වසා දමා ඇත. පාසල් පද්ධතියේ උද්ගත වෙමින් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු පාසල් වසා දැමිය යුතු බව වෛද්‍යවරු ඇතුළු පාර්ශ්ව රැසක් හා ගුරු සංගම් රැසක් හඬ නැඟුවේ සතිය ආරම්භයේදීය.

උතුරු මැද පළාත තුළ සිසුන් 3ක් හා ගුරුවරු 1 කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති අතර ඒ පාසල් 4 කිනි. එම පළාත් සභාවේ සෞඛ්‍ය අංශ සඳහන් කළේ 24 දෙනෙකු නිරෝධායනය වෙමින් පවතින අතර එම සංඛ්‍යා ලේඛන මීට වඩා වැඩි විය හැකි බවය.

සතියක අවුරුදු නිවාඩුවෙන් අනතුරුව දකුණු පළාතේ පාසල්වල සිසු පැමිණීම 70% ක වර්ධනයක් පෙන්නුම් කළද ගෙවි ගිය සතිය ආරම්භයේ සිසු පැමිණීම අඩුවිය.

“ අම්බලන්ගොඩ, කටු දම්පේ, හා ඉඹුල්ගොඩ යන ප්‍රදේශ හුදකලා කිරිම මත ඒ ප්‍රදේශවල පාසල් වැසීමට සිදුවුණා. එසේම ඇල්පිටිය මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පති හා ඔහුගේ දරුවාට කොවිඩ් ආසාදනය වීම නිසා ඒ පාසල වැහුවා. අපේ පළාත තුළ ආසාදිත දරුවන් 44 ක්, ගුරුවරු 21ක් හා නිරෝධායනය වන දරු හා ගුරු පිරිස් 1098 කට වැඩිය වාර්තා වුණා.

ඒ වගේම ලංකාවේ පාසල් සතියකට වැසීමට ප්‍රථම අම්බලන්ගොඩ මාලාලංකාර, දේවපතිරාජ හා එම පළාතේම ඉඹුල්ගොඩ කනිෂ්ටයත්, අහංගම සාරිපුත්ත විදුහලත් වැසීමට සිදුවුණා. ...“ ඒ දකුණ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් දිසානායකය.

කෙසේ වෙතත් මේ මහා වසංගතයේ අවසානයක් තවමත් දකින්නට නැත. පාසල් කෙසේ, කවදා විවෘත කිරීමට හැකිවේවිද? යන්න නිශ්චිත තීරණයක් මේ වන තෙක් නැත.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.ඇල් පීරිස් හා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සි. පෙරේරා පවසන්නේ ලබන සතියේ පාසල් විවෘත කිරිම සම්බන්ධ තීරණය මේ සති අන්තයේ ලබා ගන්නා බවකි.

විශේෂයෙන් තව නොබෝ දිනකින් පැවැත්වෙන උසස් පෙළ විභාගයට සිසුන් සූදානම් කරන්නේ කෙසේද? හෝඩියේ අකුරු කරවන කුඩා දරුවන්ට අවශ්‍ය පදනම සපයන්නේ කෙසේද? යන්න අධ්‍යාපන බලධාරින් හමුවේ ඇති බලවත් අභියෝගය.

කෙසේ වෙතත් මේ සියල්ලටම වඩා ජීවිතය රැක ගැනීමේ බලවත් අභියෝගයක් සැවොම හමුවේ ඇත. මේ වන විට කොවිඩ් මාරයා කුඩා දරුවන්ද වැඩි මහල්ලන්ද කියා තෝරා බේරා නොගැනීම ඊට හේතුවය.


Comments