
දෙස් විදෙස් සංචාරකයන් අතර වලසුන් සුලභව දක්නට ඇති බවට ප්‍රචලිත වස්ගමුව ජාතික උද්‍යානය අපේ රටේ ඉහළම ජෛව විවිධත්වයක් ඇති සුන්දර ගහ කොළ හා සතා සීපාවාගෙන් අලංකෘත වූ ජාතික උද්‍යානයකි.
එසේ වුවත් වස්ගමුවට ඇතුළුවීමට මෙතෙක් භාවිත වූයේ කොළඹ සිට ලග්ගල විල්ගමුව හරහා හා හසලක විල්ගමුව හරහා මේ උද්‍යානයට ඇතුළු වූ හඳුන්ගමුව පිවිසුම පමණි. ඒ මාර්ගය කොළඹ සිට කිලෝමීටර් 225 දුර දුෂ්කර මාර්ගයකි.
නමුත් මොරගහකන්ද - කළුගඟ යෝජනා ක්‍රමය යටතේ දැන් මේ වන උයන අසලට පුළුල් කාපට් කර ඇති මාර්ග පද්ධතියක් සකස් වී ඇත. ඒ අනුව වත්මන් රජයේ වනජීවී සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ද මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ දැන් නව ලග්ගල කිරිඔය ප්‍රදේශයේ වස්ගමුව වන උයනට අලුත් පිවිසුමක් විවෘත කර ඇත.
කොළඹ දඹුල්ල නාවුල සිට මොරගහකන්ද ජලාශය අසල ඇති පුළුල් නව මාර්ගය ඔස්සේ මෙම නව කිරිඔය පිවිසුමට ළඟාවිය හැකි බවත්, මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය මඟින් ඉදිකරන නව ලග්ගල නව නගරයට ආසන්නව මේ නව වනජීවී පිවිසුම ඉදිකර ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර පවසයි.
මෙම නව පිවිසුමට අපේ රටේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයන් වන දඹුල්ල, හබරණ, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශ හරහා පැමිණ මොරගහකන්ද ජලාශය ද නරඹා පහසුවෙන් ළඟාවිය හැකි බව ද ඔහු කියයි.
කිරිඔය නව පිවිසුමේ නව පරිපාලන ගොඩනැගිල්ල පරිසර හිතකාමී ලෙස පරිගණක පහසුකම් හා පාරිසරික සන්නිවේදන මධ්‍යස්ථානයක් ද සහිතව ලග්ගල - කළුගඟ අසබඩ කිරි ඔය නව පාලම ආසන්නයේ ඉදිකර ඇතැයි වනජීවී අධ්‍යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න කියයි.
මෙම කිරිඔය උද්‍යාන පිවිසුම පසුගියදා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂයන් අතින් විවෘත විය. මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් වනජීවි අමාත්‍යාංශ ලේකම්වරුන්වන සෝමරත්න විදාන පතිරණ සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අය ඇතුළු වනජීවී සංරක්ෂණ නිලධාරීහු එක්වූහ.
කෙසේ වුවත් මෙතෙක් සංචාරකයන් වස්ගමුව ජාතික වන උයන වෙත පැමිණි පැරැණි නැඳුන්ගමුව පිවිසුම ද තවදුරටත් විවෘතව තැබෙන බව ද මංජුල අමරරත්න පවසයි.
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.බී. විජයරත්න පවසන පරිදි එම ව්‍යාපෘතිය මඟින් මෙම කිරිඔය නව වනජීවී පිවිසුමට හා ඒ ආශ්‍රිත නව පාලම සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් ලක්ෂ 1100 කි. ඉදිරියටත් මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ කටයුතු සඳහා උදව්කරන බව ද විජයරත්න පවසයි.
පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලට අයත්ව පිහිටා ඇති වස්ගමුව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ උතුරු මැද හා මධ්‍යම පළාත්වල විහිදී ඇත. වනජීවී විශේෂ 300 කට ආසන්න සංඛ්‍යාවකට වාසස්ථාන සපයන මේ ජාතික උද්‍යානයේ නැගෙනහිර මායිම මහවැලි ගඟෙන් ද බටහිර සිට උතුර දක්වා කළු සහ අඹන් යන ගංගාවලින් ද මායිම් වී ඇත. 1977 දී කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී වනාන්තර සහ වන සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන විශාල වශයෙන් අහිමි විය. එසේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේදී අවතැන් වූ වන සතුන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සැලසීම සඳහා ඒ ව්‍යාපෘතිය යටතේ 1984 දී ප්‍රකාශයට පත් කරන ලද ජාතික උද්‍යාන හතරෙන් එකකි වස්ගමු ජාතික උද්‍යානය. මාදුරුඔය, සෝමාවතිය සහ මින්නේරිය ජාතික උද්‍යාන එසේ ප්‍රකාශයට පත් කළ අනෙකුත් ජාතික උද්‍යාන වේ.
වස්ගමුව ජාතික උද්‍යානය 1984 අගෝස්තු 7 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අතර මෙහි වර්ගඵලය හෙක්ටරයාර් 37,062.9 කට ආසන්නවේ. කොළඹ සිට කිලෝමීටර් 225 ක දුරකින් පිහිටා ඇති මේ ජාතික උද්‍යානය පාරිසරික හා ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් මනස්කාන්ත ජාතික උද්‍යානයකි.
ජලයෙන් පෝෂණය නොඅඩුව ලබන වස්ගමුව ජාතික උද්‍යානය තුළ ක්‍රි.ව. 1153 – 1186 පළමු වන පරාක්‍රමබාහු රජු සමයේ ඉදිකරන ලදැයි සැලකෙන කාලිංග යෝධ ඇළ, මාලගමුව, විල්මිටිය, දාස්තොට වැනි ඇළ මාර්ගයන්හි නටබුන් ද තවමත් දැකගත හැකිය. දුටුගැමුණු රජු සහ එළාර රජු අතර සිදු වූ සටනේ කඳවුරු බඳින ලදැයි සැලකෙන යුදගනාපිටිය ද, එම සටන ශාසනයේ ඉදිරි පැවැත්මට බාධාවක් වේ යැයි සැක කළ රහතන් වහන්සේ එය වැළැක්වීමට මවා ඇති කන්ද වන රහතන් මැවූ කන්ද ද පිහිටා ඇත්තේ වස්ගමු ජාතික උද්‍යානය තුළය.
වියළි සහ අතරමැදි කලාපයට අයත් වන අතර බොහෝ දුරට ඔක්තෝබර් - පෙබරවාරි මාසවල ඊසාන දිග මෝසම් වැසි බලපෑම් කරනු ලැබේ. අන්තර් මෝසම් වැසි මාර්තු - මැයි මාසවලදී සිදු වුව ද වර්ෂාව අඩු ජූනි - සැප්තැම්බර් කාලය සංචාරය සඳහා සුදුසුම කාලය වේ. වාර්ෂික වර්ෂාපතනය උතුරේ මිලිමීටර් 1,750 සිට දකුණේ මි.මී. 2,250 දක්වා ඉහළ යන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ වන අතර වසර පුරා සුළු වෙනස්කම් ද ඇත.
මහවැලි ගඟ, අඹන් ගඟ සහ කළු ගඟේ ජලාප්‍රවහන ද්‍රෝණි තුනක් තුළ මෙම උද්‍යානය පිහිටා ඇති අතර කරාපන ඇළ, කිරුලේ ඇළ, වැද්දිගේ ඇළ, පලුගහ ඇළ, මිදිරනේ ඇළ, නවගඟ ඇළ, වස්ගමු ඔය ආදී දිය පහර වලින් ද පෝෂණය ලබයි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මී. 470 ක් පමණ උස් වන දර්ශනීය සුදු කන්ද ආශ්‍රිතව ගලා බසින දිය දහරින් උද්‍යානය තුළ ගංගා ඇළ දොළ පෝෂණය වේ. උද්‍යානයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල රතු පැහැයට හුරු දුඹුරු පැහැ පොළොවක් මෙන් ම රොන් මඩ පිරුණු පසින් ද යුක්ත වන අතර කොන්ඩලයිට්, තිරුවාන සහ කිරිගරුඩ වැනි ඛනිජ සම්පත්වලින්ද පෝෂිත වේ. ජාතික උද්‍යානයේ ඉහළ ජෛව විවිධත්වයට හේතුවී ඇත්තේ ද උද්‍යානය හතර වටින් ගලා යන ගංගා හේතුවෙන් පසෙහි සාරවත්භාවය හා විවිධත්වය ඉහළ යාම බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සූරිය බණ්ඩාර පවසයි.
වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ හා මහවැලි සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් නව පිවිසුම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ මංජුල අමරරත්න සමඟ සාකච්ඡාවක නිරතවෙමින්
වස්ගමුව වනාන්තර ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වියළි සදාහරිත වනාන්තර නියෝජනය කරන අතර මෙම උද්‍යානය තුළ ප්‍රාථමික වනාන්තර, ද්විතීයික වනාන්තර, ගංගාධර වනාන්තර, තෘණ බිම්, කටු පදුරු සහ ගල් සහිත ප්‍රදේශවලින් ද සමන්විත වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ප්‍රදේශ අතර ඉහළම ජෛව විවිධත්වයක් ප්‍රදර්ශනය කරනු ලබන උද්‍යානයකි. ශාක විශේෂ 150 කට වැඩි ප්‍රමාණයක් උද්‍යානයෙන් වාර්තා වී ඇත. වනාන්තරය ස්තර කිහිපයකින් සමන්විත වන අතර ඉහළ ස්තර ශාක ලෙස බුරුත, පලු, වෙලන්, කළුවර, මිල්ල, වීර සහ හල්මිල්ල ශාක ද ලඳු කැලෑ ආශ්‍රිතව දිවුල්, රතු වා, කටුපිල ආදි අනෙකුත් ස්තරවල ශාක ද අන්තර්ගත වේ. ජලාශ සහ ගංගාධාර වනාන්තර විශාල සත්ව විශේෂවලට නිජභූමි වන අතර වස්ගමුව උද්‍යානයේ හිමිකරුවන් ලෙස ක්ෂීරපායි විශේෂ 23 ක්, පක්ෂීන් විශේෂ 149 ක්, උභයජීවී විශේෂ 8 ක්, උරගය විශේෂ 17 ක්, මත්ස්‍යය විශේෂ 17 ක් සහ සමනල විශේෂ 50 ක් පමණ ජීවත්වෙති. මෙහි ක්ෂීරපායි විශේෂ අතුරින් විශේෂ 2 ක් ආවේණික වන අතර විශේෂ 6 ක් වඳ වීමේ තර්ජනයට ද, පක්ෂි විශේෂ 8 ක් ආවේණික වන අතර 9 ක් වඳ වීමේ තර්ජනයට ද උරග විශේෂ 5 ක් ආවේණික වන අතර විශේෂ 8 ක් වඳවීමේ තර්ජනයට ද මුහුණ දී ඇත. ජාතික උද්‍යානයේ ශ්‍රී ලාංකීය වල් අලි 150 ක රංචුවක් මහවැලි ගංගා ප්‍රදේශයේ සැරිසරන අතර මෙම අලින් විල් අලින් ලෙස ද ව්‍යවහාර වනු ලැබේ. ශ්‍රී ලංකාවට ආවේණික මහ වඳුරා හා රිළවා, හිවලුන්, උනහපුලුවා, වල් ඌරා, තණ බිම් උලගා කමින් සැරිසරන වල් මී හරකුන් සහ තිත් මුවන් නිරීක්ෂණය ද සාමාන්‍ය වන අතර දුර්ලභ කොටියා, සහ වලසා කලාතුරකින් දැකගත හැකි වේ.
ශ්‍රී ලංකාවේ පක්ෂි විශේෂවලින් 143 ක් ම උද්‍යානය තුළ දැක ගත හැකි අතර ගංගාධර වනපෙතේ හමුවන වතුරතු මල්කොහා, වලි කුකුළා, බහුරු මානාවා, රන් නළල් කොට්ටෝරුවා, ශ්‍රී ලංකා සිළු මහාකවුඩා, හබන් කුකුළා, අළු කෑදැත්තා මේ අතර විශේෂ තැනක් ගනී.
ආවේණික හා වඳවීමේ තර්ජනයට ලක්වී ඇති සත්ව විශේෂ අතරට උභය ජීවියෙක් වන ලංකා බැදි මැඩියා, උරග විශේෂයක් වූ ලක්හීරළුවා, කටුසු වර්ගයක් වූ තොල විසිතුරු කටුස්සා හා පිනුම් කටුස්සා හා සර්ප විශේෂයක් වන දගර දණ්ඩා ද ජීවත් වන අතර තලගොයා, හැල කිඹුලන්, කබරගොයින් මේ අතර වේ. මෙහි ඇති ජලාශයන්හි ආවේණික මත්ස්‍ය විශේෂයක් වන ගල්පාඩියා ද සමනලයන් විශේෂ 50 ක් වාර්තා වී ඇත.
නේවාසික පහසුකම් සඳහා උද්‍යාන තුළ කදුරුපිටිය, වවුල්ඇබේ හා මහවැලි යන (ගඟ අසබඩ) සංචාරක නිවහන් තුනක් ඇත. හතරමං හන්දිය, මහවැලි I, මහවැලි II, මැදපිටිය I, මැදපිටිය II, වවුල්ඇබේ සහ උල්පත් හත ආදී කඳවුරු බිම් ද උද්‍යාන තුළ පිහිටා ඇති අතර ඒවා වෙන් කරවා ගැනීම කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරනු ලැබේ. එසේම සංචාරකයන්ගේ පැමිණීමේ පහසුව සඳහා කිරිඔය පිවිසුම අප්‍රේල් 25 වැනි දින විවෘත විය. මෙලෙස සෞන්දර්යාත්මක ඓතිහාසික වටිනාකමින් යුක්ත වූ ජාතික උද්‍යාන තුළ වන සතුන්ගේ වාසභූමිවලට හානි පමුණුවන ආකාරයෙන් යමක් සිදු කිරීම, කැදලි විනාශ කිරීම, පැටවුන් සහ බිත්තර විනාශ කිරීම, සතුන් ඝාතනය කිරීම මුළුමනින්ම තහනම් වේ.
ඒ අනුව වාරිමාර්ග අමාත්‍යාංශයේ මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතියේ මූල්‍ය ආධාර ඇතිව ඉදිකළ කිරිඔය නව උද්‍යාන පිවිසුම මඟින් එතෙර මෙතෙර වන ජීවී ලෝලයන්ට පරිසරයත් වන සත්ව පරපුරත් පිළිබඳව මනා වින්දනයක් හා දැනුමක් ලැබෙනු ඇත. කෙසේ වුවත් වස්ගමුවට යන කවුරුත් පා සටහන් හැර වෙනත් කිසිවක් එහි නොතබා ආපසු එන්න. පාරිසරික සුන්දරත්වය පමණක් විඳගෙන වස්ගමුව සුරකින්න.
සේයාරූ - රෝහිත ගුණවර්ධන