විදුලිබල සේවකයන්ට එරෙහිව පාර මැද්දේ මාර යුද්දේ | සිළුමිණ

විදුලිබල සේවකයන්ට එරෙහිව පාර මැද්දේ මාර යුද්දේ

හනුවර ඉහළ කටුකැලේ ග්‍රාම සේවා වසමට අයත් ටැංකිය වත්ත ග්‍රාමයේ නිවසක වහලය මතට විදුලි කණුවක් කඩා වැටුණේ පසුගිය 19 දින පස්වරුවේය. පෙර පිනකට මෙන් නිවැසියන් කිසිවකුටත් මෙම සිදුවීමෙන් අනතුරක් සිදු නොවූවත් මෙය මුල්කර ගනිමින් ඇතිවූ ගැටුමේ උණුසුම තවමත් පහව ගොස් නොමැත. කඩා වැටුණු කණුව නිවෙස් වහලය මතින් ඉවත්කර වෙනත් ස්ථානයක සිටුවීමට ගිය විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරිවරුන් දෙදෙනෙකුට හා නඩත්තු අංශයේ සේවකයකුට පිරිසක් පහරදීමේ ප්‍රතිඵලය වූයේ බහිරවකන්ද, පුෂ්පදාන මාවත හා කටුකැලේ ප්‍රදේශ විදුලිය නොමැතිව අඳුරේ ගිලීමය. මෙම ප්‍රදේශය තුළ බහිරවකන්ද ශ්‍රී මහ බෝධි විහාරය,මහනුවර දිසාපති නිල නිවස,මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිල නිවස පිහිටා තිබීම නිසා බිඳ වැටී තිබුණු විදුලි සැපයුම යළි ලබා ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමටද පොලීසියට සිදුවිය.

 

පහරදීම සිදු කළ පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් විදුලි සේවකයන් මහනුවර පොලීසිය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙත්දී අනෙක් පසින් බහිවරකන්ද, කටුකැලේ හා පුෂ්පදාන මාවතේ පදිංචි ජනතාව පොලීසියට බලපෑම් කළේ විදුලි සේවකයන්ගේ හිතුවක්කාරී ක්‍රියාව නතර කර කඩිනමින් තමන්ට විදුලි සැපයුම ලබා දෙන ලෙස ඉල්ලී‍ෙමනි. මේ නිසා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පොලිස් කණ්ඩායම් තුනක් යෙදවූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවය. ඒ වනවිටත් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් සිටි නිසා ඔවුන් ඉන්නා ඉසව්ව සොයා ගැනීමට ජංගම දුරකතන සංඥා ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය පියවර ගෙන තිබිණි.කෙසේ වුවත් සිද්ධියෙන් පැය 24 කට පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.ඒ අතර හතළිස් හය හැවිරිදි පුද්ගලයකුද ඔහුගේ පහළොස් වියැති පුතා හා බෑණාද වූහ.

මහනුවර ඉහළ තනතුරු හොබවන රජයේ නිලධාරීන් රැසක් ජීවත්වන ප්‍රදේශ කිහිපයක් පැය 24 කට වැඩි කාලයක් අඳුරේ ගිල්වන්නට සමත්වූ මෙම සිදුවීමේ සුලමුල සොයා යෑමේදී අප මුලින්ම කතා කළේ මහනුවර ටැංකිය වත්තේ පදිංචි තනූෂා නාගලිංගම්ටය. ඇය විදුලි කණුව කඩා වැටුණු නිවසේ හිමිකාරියයි.

‘සිද්ධිය වෙන වෙලාවේ මම විතරයි ගෙදර හිටියේ. මේ කඩා වැටුණු ලයිට් කණුව එතන හිටවලා මාස දෙකක්වත් නැහැ. මම ගෙදරින් එළියට ඇවිත් විනාඩි දෙකක් ගියේ නැහැ කණුව අපේ ගේ උඩට වැටුණා. වහලේ තහඩුවත් කඩාගෙන පහළට වැටුණා. ඇදත් කැඩිලා තියෙන්නේ. මේ වගේ තවත් කණුවක් එහා පැත්තේ තියෙනවා. මණ්ඩලේ අය බාගෙට මේවා හිටවලා යනවා. ටිකක් ගැඹුරට වළක් හාරලා හිටවනවා නම් මෙහෙම ගෙවල් වලට කණු කඩාගෙන වැටෙන්නේ නැහැ. කොන්ත්‍රාත් දෙනවා නම් ඒ අය හරියට වැඩේ කරනවාද කියලා විදුලි බල මණ්ඩලය හොයා බලන්න ඕන. මේ සිද්ධියෙන් පස්සේ ලයිට් කණුව වෙන තැනක හිටවන්න ගිය වෙලාවේ තමයි ගැටුමක් ඇති වෙලා තියෙන්නේ. ඒකට අපේ කවුරුවත් සම්බන්ධ වුණේ නැහැ‘

කඩා වැටුණු විදුලි කණුව ඉවත්කර නව කණුවක් ස්ථාපිත කිරීමට ගිය අවස්ථාවේ පහර කෑමට ලක්වූ ගාමීණී ජයලාල් අතුකෝරාළ වෘත්තියෙන් විදුලි අධිකාරිවරයෙකි. තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරි සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වන ඔහු සිද්ධිය පිළිබඳව මෙසේ අදහස් දැක්වුවේය.

‘මම බාස්ලා දෙන්නෙකුත් එක්ක දොඩම්වල ප්‍රදේශයේ රාජකාරි කටයුත්තකට ගොස් ආපහු වාහනයෙන් එමින් සිටියදී මිනිස්සු වගයක් පාරේ රැස්වෙලා ඉන්නවා දැක්කා. විදුලි බල මණ්ඩලයේ වාහනය දැක්කම කට්ටිය කිව්වා විදුලි කණුවක් වහලයක් උඩට වැටිලා කියලා. මම අහම්බයෙන් ඒ ස්ථානයට යනවිට අපේ නඩත්තු අංශයටවත් සිද්ධිය වාර්තා වෙලා තිබුණේ නැහැ. මම බාස්ලා දෙන්නගෙන් එක්කෙනෙක්ව යැව්වා කණුව ඉවත් කරන්න අවශ්‍ය අායුධ ගේන්න කියලා. නඩත්තු අංශය බාර විදුලි අධිකාරී ඉන්දිකටත් දුරතතන ඇමැතුමක් ලබාදී එතන්ට ගෙන්වා ගත්තා. විදුලි කණුවක් මීටර 8.3 ක් උසයි. ඒ උසින් පහෙන් එකක් වලන්න ඕන. ඒ කියන්නේ ආසන්න වශයෙන් අඩි හතරක් විතර. කඩා වැටුණු කණුවත් ඒ විදිහට වළලලා තිබුණේ. මොකද මේවා වැළලුවට පස්සේ අපි කම්බි අදින්න ඒක උඩට ඉණිමගක් හේත්තු කරලා නගිනවා. අඩියක් දෙකක් යටකරලා අපිට ඒක උඩට නග­ින්න පුළුවන්ද? මහනුවරට පසුගිය දිනවල අධික වර්ෂාවත් ඇද හැළුණා. මේ වැස්සට පස් සෝදගෙන ගිහින් ගමයි කණුව බුරුල් වෙලා තියෙන්නේ. මේ ළඟ ටෙලිෆෝන් කණුවක් තියෙනවා. ඒක හිටවලා තියෙන තැන තමයි මේ ලයිට් කණුව හිටවන්න අපේ නිලධාරීන් ප්ලෑන් කරලා තිබුණේ. නමුත් ඒ අසල නිවසක අය ඒකට විරුද්ධ වෙලා. මොකද ඒ අයගේ වාහනයක් එතන පාක් කරනවලු. ඒ විරෝධතාව සැලකිල්ලට අරන් මේ නිලධාරීන් වෙනත් තැනක කණුව හිටවලා. ඒක තමයි කඩා වැටිලා තියෙන්නේ. නැවත අද ටෙලිෆෝන් කණුව හිටවලා තියෙන තැන කණුව හිටවන්න ගියාම තමයි කිහිප දෙනෙක් ඇවිත් අපට පහර දුන්නේ.ඒ වෙලාවේ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් එතන්ට ආවා. ඒ අය බලාගෙන හිටියා. අපි කිව්වා පහරදීපු අය අත්අඩංගුවට ගන්න කියලා. පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියලා ඒ නිලධාරීන් කිව්වා. ඒ නිසා තමයි මේ සිද්ධිය මෙතරම් දුරදිග ගියේ.

අදාළ සිදුවීමෙන් පසු ප්‍රදේශ කිහිපයකට ම යළි විදුලිය ලබා නොදීම සම්බන්ධව ජනතවාගේ දෝෂාරෝපණය විදුලි බල මණ්ඩලයට එල්ල විය. මේ පිළිබඳව ජයලාල් මෙසේ කීවේය. විදුලි කණුව කඩා වැටිලා තියෙත්දී අපි මුලින්ම කරන්නේ අනතුරක් වීම වළක්වා ගැනීමට ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමයි. ඒ අනුව අදාළ ට්‍රාන්ෆෝමරයේ බේරෙකර් එක ඔෆ් කළා. ඉතා ඉක්මනින් යළි සම්බන්ධතාව දීමේ බලාපොරොත්තුව ඇතිව මේක කළේ. නමුත් නොසිතූ ලෙස සිදුකළ පහර දීම නිසා ක්ෂේත්‍ර නිලධාරීන් ඒ ප්‍රදේශයේ වැඩට යන්න අකමැති වුණා. අපි කිව්වේ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන අපිට වැඩ කරන්න පොලිස් ආරක්ෂාව දෙන්න කියලා. අපි හිතාමතා ජනතාව පීඩාවට පත්කළේ නැහැ. ඒ මොහොත් ඇතිවූ තත්ත්වය මත සිදුවූ දෙයක් ඒක.

මහනුවර බහිරවකන්ද ශ්‍රී මහා බෝධි විහාරාධිපති, ශාස්ත්‍රපති යටවත්තේ ධම්මානන්ද නාහිමියෝ මෙසේ පැවසුහ. කොවිඩ් තත්ත්වයත් එක්ක අද ළමුන් බොහෝ පිරිසක් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නේ ඔන් ලයින් ක්‍රමයට. සෑම ගෙදරකම වගේ උයන්නේ පිහන්නේ, රෙදි සෝදගන්නේ විදුලි බලයෙන්. අලුත් අවුරුද්දට ගෙනාපු ගොඩක් ආහාර ද්‍රව්‍ය ශීතරකරණ වල ගබඩා කරලා තියෙනවා. මේ නිසා යම් දෙතුන් දෙනෙක් කළ සිදුවීමක් මුල්කරගෙන විශාල පිරිසක් පීඩාවට පත්කිරීම අනුමත කරන්න බැහැ. අනිත් පැත්තෙන් ඕනෑම නිලධාරියකුට බාධාවකින් තොරව නිදහසේ රාජකාරිය කරන්න හැකියාව තියෙන්න ඕන. මිනිස්සු අමනුෂ්‍යයෝ වගේ හැසිරෙන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා. සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න ඕන තරම් හැකියාව තියෙත්දී ගහ මරා ගන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ සිද්ධියට අවුරුදු 15 ක දරුවකුත් පැටලිලා. ඉක්මන් කෝපය හොඳ නැහැ.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා මේ සම්බන්ධව දැක්වූයේ මෙවන් අදහසකි. පහරදීම සිදුවෙලා පැය 24 ක් වගේ කාලයකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපට හැකියාව ලැබුණා. විදුලි සේවකයන් මෙම පහරදීමට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් විරෝධයක් පළ කළා. අපි කිව්වේ ජනතාව පීඩාවට පත් නොකර විදුලිය විසන්ධි වී ඇති ප්‍රදේශ වලට විදුලිය ලබා දෙන්න කියලයි. අවසානයේ පොලීසිය මේ සම්බන්ධව අධිකරණ නියෝගයක් ලබා ගත්තා. අයුතු ජන රාශිය හා සාපරාධි පහරදීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරන්න පොලීසිය පියවර ගත්තා. ක්ෂේත්‍ර රාජකාරිවලට යන විදුලි සේවකයන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍යය නම් අපි ඒක ලබා දෙන්න සූදානම්. අනාරක්ෂිත තත්ත්වයේ තිබෙන විදුලි කණු නිසා තමන්ගේ ජීවිත වලට තර්ජනයක් තිබෙන බවට ජනතාව චෝදනා කරනවා.මේ ගැන අපි අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව එවැනි විදුලි කණු ඇත්නම් ඒවා ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තිදෙනා අතරින් පාසැල් සිසුවා රුපියල් 15000.00 ක මුදල් හා රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූ මහනුවර මහේස්ත්‍රාත්වරයා සෙසු සැකකරුවන් දෙදෙනා මේ මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Comments