
පසුගිය අප්‍රේල් 17 වැනිදා රාත්‍රියේ දකුණේ ජාතික උද්‍යානයකට යාබද වෙරළ ආසන්නයේ පිහිටි තරු පහේ හෝටලයක සාදයක් පැවැත්විණ. මෙම රාත්‍රි භෝජන සංග්‍රහය සහිත සාදය සූදානම් කර තිබුණේ විරුද්ධ පක්ෂයේ ප්‍රබලයකුගේ ආදරණීය බිරිඳගේ උපන් දිනය වෙනුවෙනි. එදින සවස් කාලයේදී හම්බන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකට ද මෙම විපක්ෂයේ ප්‍රබලයා සහභාගි වූ අතර ඔහුත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ඊට එක්ව සිටියහ.
එම උත්සවයෙන් අනතුරුව බොහෝ දෙනෙකු පැමිණියේ එම ප්‍රදේශයේ පිහිටි මෙම තරු පහේ හෝටලයටයි.
විපක්ෂයේ මෙම ප්‍රබලයා ජාතික වනෝද්‍යානයවලට සහ එහි ජීවත්වෙන සතුන්ට වැඩි ඇල්මක් දැක්වීම නිසා සිය බිරිඳගේ උපන් දින සාදය සඳහා මෙම හෝටලය තෝරාගෙන තිබුණි.
අවුරුදු කාලය නිසා නිවාඩුව ගත කිරීම සඳහා කිහිපදෙනෙක් ද මෙම හෝටලයට පැමිණ නවාතැන්ගෙන සිටි අතර ඔවුන්ගේ ද අවධානය ප්‍රභූවරයාගේ බිරිඳගේ මෙම උපන් දින සාදය සඳහා යොමුවී තිබුණි.
උපන් දින කේක් ගෙඩිය කපා කේක් කැවීමෙන් අනතුරුව සාදයේ කටයුතු ආරම්භ විය.
මධුවිත ද යහමින් තිබූ අතර වයින් වර්ග ඇතුළු විවිධ බීම වර්ග ද විය.
ප්‍රභූවරයාගේ බිරිඳ ද වයින් වර්ග ඇතුළු බීම වර්ග පානය කළ අතර පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනෙක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මධුවිත පානය කළහ. සංගීත රාවයක් ද පැවතුණු අතර ප්‍රභූවරයාගේ බිරිඳ සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කිහිප දෙනෙකු ද කතා බස් කරමින් සිටිනු දක්නට ලැබුණි.
මේ අතර තෑගි බෝග රැසක් ද විපක්ෂයේ ප්‍රභූවරයාට ලැබුණේ උපන් දිනයට සුබපැතුම් ද එක් කරමිනි.
උපන් දින සාදයේ සිනා මනා
රාත්‍රි ආහාරය ගැනීමේ කටයුතු ද ආරම්භ වූ අතර පිරිසක් ආහාර ගන්නා අතර තවත් පිරිසක් මධුවිත පානය කරමින් කතාබස් කරමින් විහිළු කරමින් තවදුරටත් සිටියහ.
මේ අතර උපන් දිනයට ලැබුණු ත්‍යාග විවෘත කර බැලීමේ වැඩසටහනක් ද තවත් පැත්තකින් ආරම්භ වී තිබුණි.
මිල අධික සුවඳ විලවුන්, සාරි, ඔරලෝසු ඇතුළු ත්‍යාග ලැබී තිබුණු අතර එහි තිබූ තවත් ත්‍යාගයක් ගැන ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණි.
අමුතුම ආකාරයේ ත්‍යාගයක් වූ මෙය කුමක්දැයි බොහෝ දෙනෙකු කල්පනා කරන්නට වූ අතර හොඳින් බලන විට පෙනී ගියේ මෙය පුරුෂයෙකුගේ අවයවයකට සමාන ආකාරයෙන් ප්ලාස්ටික්වලින් හැදූ අවයවයක් බවයි.
මෙම අපූරු උපන් දින තෑග්ග දුටු බොහෝ දෙනෙකු බඩවල් අල්ලාගෙන සිනාසුණු අතර මෙයින් දැඩි ලෙස කෝපයට පත්වූ විපක්ෂයේ ප්‍රභූවරයා මෙම උපන් දින තෑග්ග පොළොවේ ගසා කඩා දැමුවේය.
මෙම අසික්කිත වැඩේ සිදු කළේ කවුරුන්ද කියා සොයමින් ප්‍රභූවරයා බැණ වදිමින් හෝටලයේ ඔබ මොබ ගිය අතර ඔහු සන්සුන් කරගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක් දැරීමට ඇතැම් මන්ත්‍රීවරුන්ට සහ ආරක්ෂක අංශවලට සිදුවිය. නොසිතූ ලෙස උපන් දින සාදය තුළ ඇතිවූ මෙම තත්ත්වය හේතුවෙන් සාදය එවේලේම අවසන් වූ අතර සමහරුන් හෝටලයෙන් පිටතට ආවේ රාත්‍රි ආහාරයවත් නොගෙනයි.
විපක්ෂයේ ප්‍රභූවරයාට කෙතරම් කේන්ති ගොස් තිබුණේ ද කියනවා නම් එදින රාත්‍රි ගත කිරීමට හෝටල් කාමර වෙන්කර තිබූ ඇතැම් මන්ත්‍රීවරුන් ද හෝටලයෙන් පිටත්වූයේ පැදුරටත් නොකියාය.
තමාගේ ආදරණීය බිරිඳට මෙවැනි ත්‍යාගයක් දුන්නේ ඇත්තටම විහිළුවට ද නැත්නම් වෙනත් අරමුණකින් ද කියා දැනගැනීම සඳහා විපක්ෂයේ ප්‍රභූවරයා මේ දිනවල වැඩි අවධානයක් යොමු කර තිබේ.
පාර්ලිමේන්තුවේ ගුටි කෙළියේ මුල මැද අග
මේ අතර පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූයේ පසුගිය 21 වැනිදා ය.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට වර්ෂ 2 ක් පිරුණු එදින ඒ ගැන මැතිසබය තුළ කතා කිරීමට ගොස් මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.
සාමාන්‍යයෙන් කළුපටි Black belt පලඳින්නේ කරාටේ ශූරයන් ය. කරාටේ ක්‍රීඩාවේ බ්ලැක් බෙල්ට් එකක් ලබාගැනීම එම ක්‍රීඩාවේ ජයග්‍රහණයකි.
පාර්ලිමේන්තුවේ බ්ලැක් බෙල්ට් තිබෙන ජනතා නියෝජිතයන් නැත්තේම නොවේ.
නමුත් විරෝධතාවකට අත්වල ගැටගසන කළුපටිවලට අමතරව ඇත්තටම කළුපටි ශූරයන් පාර්ලිමේන්තුවේ සිටිනවාද?
මෙවර පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයෙන් මෙන් ම විරුද්ධ පක්ෂයෙන් ද නවක තරුණ මන්ත්‍රීවරුන් රැසක් තේරීපත්වීම නිසා ඔවුන් අතර කරාටේ බ්ලැක් බෙල්ට් ශූරයන් සිටීමට පුළුවන.
නමුත් පාර්ලිමේන්තුවේ සිටින සැබෑම කළුපටි කරාටේ ශූරයෙකු වන්නේ ඊ.පී.ඩී.පී. නායක වර්තමාන ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දයි. කරාටේ ක්‍රීඩාව කොළඹදී ඔහු හොඳින් පුහුණු කර ඇති අතර ඩග්ලස් දේවානන්දගේ කරාටේ ගුරුවරයා වන්නේ දක්ෂ කරාටේ ශූරයෙක් වන ජේ.ඒ.ටී. ලිවේරායි.
ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සිටින විට ඩග්ලස් දේවානන්දා කරාටේ ශූරයකු පමණක් නොව ගිනි අවි හරඹ ද ඉතා හොඳින් දන්නා හොඳ සටන් කරුවෙකි.
පසුගිය (21) දින පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී අවස්ථාවන්ට හා ගුටිබැට හුවමාරුවලට කෙතරම් දක්ෂ සටන්කාමියකු වුවත් ඩග්ලස් දේවානන්දා ඊට සහභාගි වූයේ නැත.
එම උණුසුම්කාරී තත්ත්වය සහ ගුටිබැට හුවමාරුව ඇතිවූයේ ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතරය.
බදුල්ලේ මන්ත්‍රීවරු දෙදෙනාගේ හුටපටේ
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි ය. විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ය.
දෙදෙනාම මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වීම තවත් විශේෂත්වයකි.
කෙසේ නමුත් තිස්සකුට්ටිආරච්චි සහ හරින් ප්‍රනාන්දු අතර ගැටුමට පාර කැපුණේ එම ගැටුම ඇතිවූ අවස්ථාවේදී නොවේ.
එම ගැටුමට පාර කැපුණේ පාර්ලිමේන්තුවේ මැතිසබය තුළදීය.
21 වැනිදා මැතිසබයේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝගයක්ය.
නමුත් ඊට පෙර මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූයේ 22 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන යෝජනාවක් සම්බන්ධයෙනි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසන් සභා වාර්තාවට අදාළ පාර්ලිමේන්තුවේ කල්තැබීමේ අවස්ථාවේ විවාදය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉල්ලීමක් සිදු කරන ලදී.
“දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති හා විමර්ශන කොමිසමේ වාර්තාව ගැන විවාදය ආරම්භ කරන්න අපට අවස්ථාව ලබාදිය යුතුයි. අපියි මේ විවාදය ඉල්ලා සිටියේ. ඒක නිසා මේ විවාදය ආරම්භ කිරීම අපිට අවශ්‍යයයි” යනුවෙන් කිරිඇල්ල දිගින් දිගටම කියා සිටියේය.
දිනේෂ් ‘‘බොරලුගොඩ සිංහයා වගේ’’
ඊට පිළිතුරු ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාය.
“පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන තීන්දුවක් ගත්තා. කිරිඇල්ල මන්ත්‍රීතුමා මෙතනට ඇවිල්ලා දැන් වෙන දෙයක් කරනවා.” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.
“එහෙම නැහැ. එහෙම නැහැ.” යනුවෙන් කිරිඇල්ල ඊට වහාම ප්‍රතිචාර දැක්වීය.
පක්ෂ නායක රැස්වීමේදී එකඟවූ ආකාරයට මෙම විවාදය පැවැත්විය යුතුයි” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන දිගින් දිගටම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ද මේ අවස්ථාවේ නැඟී සිටියේය.
“මේක කල්තැබීමේ විවාදයක්. මේක ඉදිරිපත් කරන්න විපක්ෂයට ලබාදිය යුතුයි. විපක්ෂයේ යෝජනාව ආණ්ඩුව හයිජැක් කරන්න හදනවා!” යනුවෙන් රවුෆ් හකීම් කියා සිටියේය. හකීම්ගේ මේ කතාවට දිනේෂ්ට තරමක් කේන්ති ගියේය. උස් හඬින් දිනේෂ් සභාව ඇමතුවේ බොරලුගොඩ සිංහයා වන තම පියා වන පිලිප් ගුණවර්ධන සිහිපත් වන ආකාරයටයි.
“මේ පක්ෂ නායක රැස්වීමේදී එකඟවූ කරුණක් ගැන දැන් මෙහෙම වෙනස් කරන එක වැරැදියි. මේ දේශපාලන පළිගැනීම් නිසා වැඩියෙන් ම පීඩා වින්දේ මේ අපියි. එදා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදු කරන ලද දේශපාලන පළිගැනීම් කොච්චර ද? මේ දේශපාලන පළිගැනීම්වලින් රිදුණේ බැට කෑවේ ගුටි කෑවේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්මයි.
එමනිසා මේක ඉදිරිපත් කරන්න ඕන, ඒකෙන් විඳවපු අපේ මන්ත්‍රීවරුන්. ඒක නිසා මේක රජය විසින් ඉදිරිපත් කළ යුතුයි. අපේ අය තමයි 100%ක්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වුණේ.
බොරු නඩුදාලා අපේ මන්ත්‍රීවරුන් කීදෙනෙක් සිරගත කළාද? රාජ්‍ය සේවකයන් කීදෙනෙකුට නඩු දැම්මාද? ලැජ්ජයි. එහෙම දේශපාලන පළිගැනීම් සිදුකරලා දැන් කියනවා, ඒ යෝජනාව ඉදිරිපත් කරන්න ඕන ඒගොල්ලන්ට කියලා.” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා උස් හඬින් ඉතා වේගවත්ව අදහස් දැක්විය.
“මේකේ නඩුදාලා තියෙන්නේ අපි නොවෙයි. දැන් ඉන්න අගවිනිසුරුතුමා නීතිපති වශයෙන් ඉන්නකොටයි මේ නඩුදාලා තියෙන්නේ. ඒක නිසා මේක දේශපාලන පළිගැනීමක් කියලා කියන්න බැහැ.” යනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේය.
මේ සමඟම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එරෙහිව විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතා දක්වන්නට වූ අතර ඒ සමඟම නැගී සිටි ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයෝ ද විරෝධතා සටන් පාඨ කීමත් සමඟම මුළු සවස තුළ ඇති වූයේ දැඩි උණුසුම්කාරි තත්ත්වයකි.
ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ට විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයන් සිදුකිරීමට යන විරෝධතාවය ආරංචි වී තිබුණි.
සජබ මන්ත්‍රීවරු කළු ඇඳගෙන ඇවිදින්
සමගි ජනබලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී ඊයේ දින පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට තීරණය කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාය.
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් තවම නීතිය ඉදිරියට පමුණුවා නොමැති නිසා ආණ්ඩුවට එරෙහිව විරෝධතාව දැක්වීමටත් පාස්කු ප්‍රහාරයෙන් මියගිය සා විපතට පත්වූ පවුල්වලට ශෝකය පළකිරීම සඳහාත් මෙසේ කළුපාට ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරණය කළහ.
ඊයේ මැති සබය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2ට රැස්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාස්කු ප්‍රහාරය සිදුවීම සිහිපත් කරන්නට වූයේ එම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල සිදුවූ සියලුදෙනා සිහිපත් කරමිනි.
මෙවැනි ශෝකය පළකිරීමක් සිදුකළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට යෝජනා කළේ සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිෙම්න්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා විසිනි. සමගි ජනබලවේගයේ සියලුමදෙනා කළු ඇඳුමින් සැරසී පැමිණි අතර දෙදෙනකු එක හා සමාන කළු පැහැති යුරෝපීය ඇඳුමින් සැරසී සිටීම ද විශේෂත්වයකි.
සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ එම මන්ත්‍රීවරුන් දෙදෙනායි.
කළු ඇඳුමින් සැරසි පැමිණිය යුතු බවට සිදුකරන ලද දැනුම්දීමක් අනුව චමින්ද හා හේෂා කොළඹ රෙදි සාප්පුවකට ගොස් එකම වර්ගයේ යුරෝපීය ඇඳුම් 2ක් මිලදී ගැනීමට කටයුතු කර තිබුණි.
පරුෂ වචන කියමින් ගුටි කෙළිය ඇරැඹෙයි
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සටන් පාඨ පුවරු අතට ගැන්මට පෙර ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයෝ පාස්කු ප්‍රහාරය ගැන විපක්ෂයට චෝදනා එල්ල කරමින් සකස් කරන ලද සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කිරීමට පටන් ගත්හ.
මේ අවස්ථාවේදී මැති සබය එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබුණේ දෙපාර්ශ්වයෙන්ම සටන් පාඨ කියමින් කෑගසමින් එකිනෙකාට චෝදනා එල්ල කරගැන්ම නිසාය.
මේ අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු තමාගේ ළඟ තිබූ සටන් පාඨ දැන්වීම් ටිකත් එළියට ගැන්මට සූදානම් වූයේ ඒවා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර බෙදීමටය.
ඒ බව නලින් බණ්ඩාර විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් විමසා සිටියද සජිත්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
ඉන්පසුව හරීන් කළේ මැතිසබය මැද සිට සභාගර්භයට පැමිණීමයි.
ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් සටන්පාඨ පුවරු රැගෙන සිටගෙන විරෝධතාව දැක්වීම තම ජංගම දුරකථනයෙන් රූගත කර ෆේස් බුක් වෙත සජීවීව ලබාදීමට හරීන් ප්‍රනාන්දු කටයුතු කළේය.
ඊට ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුවද එය නොතකමින් හරීන් දිගටම තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගෙන ගියේය.
මේ අවස්ථාවේදි සටන් පාඨ පුවරුවක් සමඟ මැතිසබය මැදට පැමිණි ජානක තිස්සකුට්ටිආරච්චි හරින්ගෙන් මෙම වීඩියෝ කිරීම ගැන විමසා සිටියේය.
හරීන්ගේ මෙම ක්‍රියාව නවතන ලෙසට තිස්සකුට්ටිආරච්චි කෑගසමින් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ද ඉල්ලීමක් කළේය.
ඉන් අනතුරුව “මොකක්ද .......... පුතා කියන්නේ” යනුවෙන් හරීන් පරුෂ වචනයෙන් බණිමින් කෑගැසුවේය.
“මොකද උඹ කියන්නේ මාත් ඔට්ටුයි” යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ ජානක තිස්සකුට්ටිආරච්චිය.
දෙදෙනා එකිනෙකාට ළංවූ අතර එම අවස්ථාවේදී ගැටුම එළිදැක්වීමට මැදිවූයේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සහ දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයාය.
ඉන්පසුව දෙපාර්ශ්වයේම තවත් ජනතා නියෝජිතයෝ පැමිණ ගැටුම සමථයකට පත්කිරීමට කටයුතු කළහ.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හරීන්ව ඇදගෙන යන්නට වූ අතර හරීන් “කෑ.....යා, පො..... යා යනුවෙන් මහ හයියෙන් කියමින් කෑගැසිය.
මෙම උණුසුම්කාරී තත්ත්වය නිසා මැතිසබය විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයාට සිදුවිය.
දහවල් දිවා ආහාරය වේලාවේදි ජානක තිස්සකුට්ටිආරච්චි පැමිණියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ තිබෙන මන්ත්‍රීවරුන්ගේ පැලඳුම් කාමරයටය.
එහි සිට ඔහු පිටතට පැමිණෙන විට හරීන් ප්‍රනාන්දු ඔහුට ඉදිරියෙන් ගමන් කළේ පාර්ලිමේන්තුවෙන් පිටතට යාම සඳහායි.
හරීන් තම උරයේ කළු පැහැති බෑගයක් ද එල්ලාගෙන සිටියේය. ජානක තිස්සකුට්ටිආරච්චි දුටු හරීන්ට තරමක් කේන්ති ගියේය. හරීන් - තිස්සකුට්ටිආරච්චි සමඟ ඇවිළුනේය.
“උඹ වරෙන් එළියට. මට තියෙනවා උඹත් එක්ක ප්‍රශ්නයක් විසඳගන්න.” යනුවෙන් හරීන් කීවේය.
“උඹත් එක්ක එළියේ විසඳගන්න දෙයක් නැහැ. මෙතනම විසඳගමු” යනුවෙන් ජානක තිස්සකුට්ටිආරච්චි ප්‍රකාශ කිරීමත් සමඟම දෙදෙනාම ළංවූ අතර ‘චට’ ‘පට’ හඬින් පාරවල් කිහිපයක්ම දෙදෙනා අතර හුවමාරු විය.
පළාත් සභා ඡන්දය ඉක්මන් කරන්න ප්‍රසන්නගෙන් ඉල්ලීමක්
යළිත් දෙදෙනා අතර ගැටුම පටන්ගත් අතර එය වැළැක්වීමට එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීහු සහ මන්ත්‍රිවරු දැඩි උත්සාහයක් ගත්හ. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධුර විතානගේ, කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් මෙම ගැටුම සමතයකට පත්කිරීමට දැඩි උත්සාහයක් ගත්හ.
පිරිසක් තිස්සකුට්ටිආරච්චි රැගෙන පාර්ලිමේන්තුව ඇතුළට යන්න වූ අතර හරීන් පාර්ලිමේන්තුවෙන් එළියට යාමට සූදානම් විය. තිස්සකුට්ටිආරච්චි යළිත් වරක් හරීන්ට කියන ලද ප්‍රකාශයකට හරීන්ට කේන්ති ගොස් යළිත් තිස්සකුට්ටිආරච්චි දෙසට දිවගියේ පහර දීමටය. නමුත් පිරිස සිටි නිසා එය ව්‍යර්ථ විය. ඉන්පසුව කෑගසා, පො........ යා කියමින් කෑමොර දෙමින් හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවෙන් පිටතට ගියේය.
ඉකුත් සඳුදා හවස අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී පළමුව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු සම්බන්ධයෙනි. පසුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක “පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන්න ඕනේ. නමුත්, දැනට තිබෙන ක්‍රමයට වඩා යෝජනා වෙලා තිබෙන 70% - 30% ක්‍රමයත්, එක කොට්ඨාසයකට අපේක්ෂකයන් තුන්දෙනෙක් දැමීමේ ක්‍රමය වඩා සුදුසුයි” කියලා යෝජනා කරනවා.
“ඒ කාරණය මම ස්ථිර කරනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නත් ඕනේ” පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල ද සඳහන් කළේය.
වරාය නගරය ගැන දැනුම්වත් කරන්න රජය පෙරමුණ ගනී
“මේ කාරණය මමත් අනුමත කරනවා අගමැතිතුමනි, මේ වෙලාවේ විරුද්ධ පක්ෂය ආණ්ඩුවට එරෙහිව චෝදනා රැසක් ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ වුණත් අපි මැතිවරණ කල් දැමීමට විරුද්ධව පෙනී සිටිය කණ්ඩායමක් විදියට මැතිවරණය ඉක්මනින් පවත්වන්න ඕන” යි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරුන්ගේ අදහස් දැක්වීමට සාවධානව ඇහුම්කන් දුන් අග්‍රාමාත්‍යවරයා “ඔයාලා කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත. මැතිවරණ කල් දාන්න හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයන ආණඩුවක් විදිහට පුළුවන් ඉක්මනට මැතිවරණය පවත්වන්න ඕනෙ.
එක පාර්ශ්වයක් මේ වෙලාවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම අනවශ්‍ය කාරණයක් කියලා කියනවා. හැම පාර්ශ්වයකගේම අදහස් වලට කන්දීලා සුදුසු පියවර ඉක්මනින් ගන්න එක තමයි අපි කරන්න ඕනේ.” අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප කමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉකුත් සතිය පුරා විවිධ චෝදනා රැසක් එල්ල විණි. විරුද්ධ පක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පවා පනත් කෙටුම්පත සම්බන්ධව ඍණාත්මක අදහස් දැක්වීම පිළිබඳව සමාජයේ කතිකාවතක් ඇති වෙමින් තිබිණි. මෙම පනත් කෙටුම්පත රටේ ආර්ථිකය නගා සිටුවීම සම්බන්ධයෙන් කෙතරම් වැදගත්ද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. එහි පළමු පියවර වශයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකත්වය දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළ ඉකුත් සතියේ ආරම්භ විය.
වරාය නගරයේ නීති කෙටුම්පත් ගැන රනිල්ගේ අවධානය
අලුත් අවුරුදු නිවාඩුවට කොළඹින් පිටතට ගොස් සිටියත් එක්සත් ජාතික පක්ෂ නායකයාට එය නිවාඩුවක් නොවූවේ වරාය නගර පනත් කෙටුම්පතට අදාළව ගැනීමට නියමිත නීති කටයුතු පිළිබඳව වෙහෙසීමට වූ නිසාය. කොළඹ පැමිණි විගස නායකයා නැවත සිය නීතිඥයන් හමුවී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මතු කළ යුතු නීති තර්ක ගැන සාකච්ඡා කළේය.
එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේදී සකස් කළ පනත් කෙටුම්පත ගැන ද පෙන්වා දෙමින් ඔහු කරුණු දීර්ඝ ලෙස විස්තර කළේය. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙත්සම් ගොනු කරනු ලැබුවේ නීතිඥ ඉරාජ් ද සිල්වා ය. ඔහු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ පුතණුවන්ය. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා පෙනී සිටියදී ඔහුගේ පියා වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙනුවෙනි.
එකම නඩුවක පිය පුතු දෙපළ ප්‍රතිවාදීන් දෙදෙනෙකු වී සිටීම දෛවෝපගත සිද්ධියකි. නීතිඥවරු හමුවී වරාය නගර පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ නායකයා අඟහරුවාදා සිරිකොතට ගියේ සුපුරුදු පරිදි පැවැත්වෙන පක්ෂ නිලධාරි මණ්ඩල හමුවටය. එහිදී මැයි දිනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. ඊට නියෝජ්‍ය නායක රුවන්, සභාපති වජිර, මහලේකම් රංගේ, උපනායක අකිල, සමන් රත්නප්‍රිය සහ ෂමල් සෙනෙරත් ඇතුළු මැයි දින කමිටුවේ සාමාජිකයන් සහභාගීව සිටියහ.
අවුරුදු සමයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සමාජ සේවා කටයුතු කිහිපයකටම සහාය වූහ.
හම්බන්තොට, කතරගම, තිස්සමහාරාම ඇතුළු ප්‍රදේශ කිහිපයකම සමාජ සේවා කටයුතු මෙම යුවළගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මේ අතර යාල ජාතික උද්‍යානයේ සුබසාධක සමිතියට පුටු බෙදාදීම ද සිදුවූයේ සජිත් - ජලනි අතිනි.