වරාය නග­රය ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

වරාය නග­රය ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1. වරාය නගරය චීන කොලනියක් ද ?

2. මෙය පාලනය කරන්නේ කොමිෂන් සභාවක් මඟින් ද?  එහිදි ලංකාවේ ඇතැම් අණපනත් බලාත්මක  නොවන්නේ ද ?

3. මෙහි ආයෝජනය කළ හැක්කේ චීනයට පමණක්ද?

4. සම්මත මුදල් ඒකකය රුපියල නොවෙයිද?  සාමාන්‍ය පුරවැසියකුට මෙයට ඇතුළු වීමට  නොහැකිද ?

5. වරාය නගර ව්‍යාපෘතියෙන් රටේ ආර්ථික  ප්‍රවර්ධනයට කිනම් දායකත්වක් ලබා දෙන්නේ ද?

 

1 චීන කොලනියක් කියන කතාව සම්පූර්ණ අසත්‍ය කටකතාවක්. එහෙම කිසි තැනක අවකාශයක් ලබා දීලා නැහැ. අනිත් කාරණාව යම් කිසි ආකාරයකින් රටේ ඒකීභාවය, ස්වෛරීත්වයට තර්ජනයක් තිබෙනවා නම්, නීතියේ තියෙන ඒවැනි කොටස් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබයි. අපි දන්නවා එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා. මොකද අපිට දැනටමත් නීතිපතිතුමා දීලා තියෙනවා නිර්දේශ මේ පනතේ එවැනි කිසි දෙයක් නැහැ කියලා. ඒ වුණත් දැනට පෙත්සම් 21ක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරලා තියෙනවා. ඒ පෙත්සම් ගැන සොයා බලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරාවි එහෙම ප්‍රශ්නයක් තියෙනවා ද නැද්ද කියලා. අපිට ප්‍රශ්නයක් නෑ, මෙවැනි දෙයක් නැති බව අපිට තහවුරු කරන්න පුළුවන්. මේ අය නඩු දැම්මට දිගින් දිගටම එහෙම දෙයක් පැවසුවට එවැන්නක් කිසිවිටෙක වෙන්නේ නැති බව අපිට තහවුරු කරන්න පුළුවන්.

 

2 වරාය නගරය පරිපාලනය සඳහා වරාය නගර කොමිෂන් සභාවක් ජනාධිපතිතුමා විසින් පත් කරලා, ඒ හරහායි සම්පූර්ණ පාලනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ.

 

3 ඕනෑම රටකින් මේ වරාය නගරයට ආයෝජනය සිදු කරන්න පුළුවන්. ඕනෑම මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්නත් පුළුවන්.

වරාය නගරයේ සියලුම වැඩ කටයුතු සිදුවන්නේ එක කවුළුවකින්. ඒ තුළින් ආයෝජකයන්ට සම්පූර්ණයෙන්ම සහාය ලැබෙනවා; ඒ වගේම පහසුව ලැබෙනවා. ඒ නිසා විවිධ පනත්වලින් ලියැවී තිබෙන දේවල් වලට අනුව කටයුතු කරනවාට වඩා පහසුයි එක පනතක් යටතේ කරන්න. සැලසුමක් අනුමත කර ගන්න අවශ්‍ය නම් හෝ ඒ අයට ගොඩනැගිල්ලක් හදන්න අවශ්‍ය නම් එය අනුමත කරගන්න වෙන්නේ මේ කොමිෂන් සභාව යටතෙයි. යම් කිසි වෙළඳාමක් කිරීම සඳහා අවකාශයක් වේ නම්, බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒක ලැබෙන්නේ මේ කොමිෂන් සභාව තුළින්. ඒ වැඩ කටයුතු සියල්ලම මේ කොමිෂන් සභාව හරහා සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඒ ඒ ආයතනවලට තියන බලතල එතනින් අයින් කරලා තියෙන්නේ. මොකද ඒ කටයුතු සියල්ලම එක තැනකින් සිද්ධ වෙනවා.

 

4 ශ්‍රී ලංකා රුපියල් මෙහිදී පාවිචිචි කළ හැකියි. නමුත් මේ කලාපය තුළ අපේ අවශ්‍යතාව තමයි පිටරට මුදල් වලින් ගනුදෙනු කිරීම. මොකද පිටරට මුදල් ගලාගෙන එන්න තමයි මේ ප්‍රවේශය අපි පාවිච්චි කරන්නේ. එතනදී ඒ අයට මුදල් පිටින් ගෙන ආවොත් පමණයි අපේ රටේ විදේශ විනිමය ප්‍රශ්නෙත් බොහෝ දුරට විසඳෙන්නේ. සියලුම අවස්ථාවලදී විදේශ විනිමය මෙරටට ගලා එන්නට කටයුතු කරන ගමන්ම අපේ අදහස රුපියල්වලින් ගනුදෙනු කරන්න අවශ්‍ය අයට ගනුදෙනු කිරීමට කිසිම බාධාවක් නෑ. ඕනෑම කෙනෙකුට වරාය නගරයට යන්න පුළුවන්. ඒ නිසා බොරු කියලා මිනිස්සුන්ව මුලාවට පත් කරලා, මිනිස්සුන්ට භීතියක් ඇති කිරීම තමයි මෙතන කරන්නේ. මේ වගේ ව්‍යාපෘති සම්බන්ධයෙන් මිනිසුන් නොමඟ යවලා මේවාට බාධා කිරීම සම්බන්ධයෙන් ඇත්තේ කනගාටුවක්. ඒ වගේම අපේ අයට ආයෝජනය කිරීමට පුළුවන්. අනෙක් කාරණාව රටේ නීතිය සම්පූර්ණයෙන්ම වරාය නගරය තුළ ක්‍රියාත්මක වෙනවා. එහි ක්‍රියාත්මක වෙන පොලිසිය, යුද හමුදාව, ගුවන් හමුදාව හා අනෙකුත් සේවා, අපේ රටේ උසාවි ඒ සියලු අංගයන් එතන බල පැවැත්වෙමින් ති‍ෙයනවා. කිසිම විටක ඒ කිසිවකට බාධාවක් ඇති වන්නේ නෑ.

 

5 රැකියාවල් 83000ක් විතර අපි බලාපොරොත්තු වෙනවා. 83000 ක් කියන්නේ පිටරටට යන්නේ නැතුව, වේතන අපේ ජනතාවට ලබා ගන්න පුළුවන් වෙන ආකාරයේ රැකියා අවස්ථාවලට අවකාශය ලැබෙනවා. දැන් අපේ රටේ ජනතාව සිංගප්පූරුවට, ඇමරිකාවට ඩුබායි, සයිප්‍රස් වලට යනවා.

මේ රටේම ඉතාමත් හොඳ වේතනයකට කටයුතු කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි.

ඒ නිසා අපේ අදහස වෙන්නේ මෙවැනි ව්‍යපෘති තුළින් මේ රට ජනතාවටත් හොඳ වේතනයක් ලබා ගැනීම සඳහා අවකාශය ලබා දීමයි. අප රටේ බොහෝ ආයතනවල විවිධත්වය නිසා යම් විශේෂ වැඩ කටයුත්තක් රජයෙන් කර ගැනීමට සිදු වන විට ඉතා විශාල කාලයක් සහ රස්තියාදුවක් වීමට බොහෝ දෙනෙකුට සිදු වෙනවා.

ඒ හරහා ආයෝජකයන් අධෛර්යවත් වීම සහ ඔවුන්ට පාඩු විය හැකියි.

ඒ හරහා ආයෝජකයන් අපේ රටට පිවිසීම සෑහෙන දුරකට අඩු වීමට ඉඩ තියෙනවා. ඒ නිසා ඒ දුර්වලතාව මගහරවා ගැනීම සඳහා මේ පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එක කවුළුවකින් සියලුම වැඩ කටයුතු කරගැනීමට හැකිවන ලෙස ආයතනයක් පිහිටුවීමයි. අපි මෙයින් බලාපොරොත්තුව වෙන්නේ ඉතා ඉක්මනින් ඉතා පුළුල් ලෙස ආයෝජකයන් මේ රට පිවිසෙයි කියලා. රටේ සංවර්ධනය උදෙසා වසරකට බිලියන 3ක් වත් මෙරටට ගලා ඒමට බොහෝ දුරට මේ වරාය නගරයෙන් රුකුලක් ලැබේවි කියලා. මේ වරාය නගරය ඉදිකිරීමේ අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ද එයයි.

 

 

1 චීන කොලනියක් තමයි මෙහි ගොඩනැගෙන්නේ. චීනය තමන්ගේ රටක් හදාගන්නවා. කෙ‍ෙනකුට ප්‍රතිතර්කයක් ගේන්න පුළුවන් මේ ලංකාවට අයිති නැති භූමියක් තමයි ගොඩ කළේ‍ කියලා. එහෙම නෑ.

මේ අපේ මුහුද, භූමිය, අහස ගොඩ කළේ. ශ්‍රී ලංකාවට අයිති භූමි ප්‍රදේශය ගොඩ කළ පමණින් එය වෙන රටවල්වලට අයිති කරන්න බැහැ. ඒක අපේ රටේ කොටසක් නෙවෙයි කියලා කාටවත් කියන්න බැහැ.

පුදුම දේශප්‍රේමියෝ මේ ඉන්නේ. එයාලා විපක්ෂයේ ඉන්නකොට දේශප්‍රේමී; අද කියනවා ඒක වෙනම ගොඩ කරගත්ත එකක් කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදියි. මේ බිම් කොටස ලංකාවට අයිති මුහුදේ කොටසක්. අපි චීනයට විරුද්ධව කතා කරන්නේ ඇමරිකාවට හෝ ඉන්දියාවට පක්ෂ වෙලා කියලා කියන්න බැහැ.

ඇත්තටම චීනය කරේ තියාගෙන යාම විසින් අද ලෝකය ඇතුළේ ලංකාව හුදකලා කරලා තියෙන්නේ මේ ආණ්ඩුව; අපි නෙවෙයි; ජනතාව නෙවෙයි. මේක විවේචනය කරන අය නෙවෙයි ලෝකෙ ඉස්සරහ ලංකාව අසරණ කරලා තියෙන්නේ.

අද අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන මැදිහත්වීම් වලට බරපතළ ප්‍රශ්නයක් බවට මෙය පත් කර තියෙනවා. මේ ජාත්‍යන්තර දේශපාලන බලපෑම්වලට අපි අනිවාර්යයෙන්ම හිරවෙනවා; එක රටකට විශේෂයක් කිරීම නිසා. ආණ්ඩුවේ ලොක්කොන්ට ලැබෙන කොමිස් වලට, වරප්‍රසාදවලට රට බිලිදීමක් තියෙන්නෙ.

 

2 ඇත්තටම මුලින්ම අපි තේරුම් ගන්න අවශ්‍යයි, අපේ රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව. ඒ අනුව ගත්තොත් රටේ ඉඩම්, ඒ වගේම රටේ ආර්ථිකය ඕනෑම ස්ථානයක ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශය නම් තියෙන්නේ ඒක පාලනය කරන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවටයි රාජ්‍ය මූල්‍ය පාලන බලය, අයිතිය තියෙන්නෙ. ශ්‍රී ලංකා රජයේ අයිතිය වෙනුවට වෙනමනීතිරීති, පරිපාලන ව්‍යුහයක් හදලා ,වෙනම මූල්‍ය බලතල සහිතව ලංකාවට අයිති නැති ස්වභාවයක් හා ආකෘතියක් නිර්මාණය කිරීම මේ තුළින් වෙන්නේ.

මේ හදන ව්‍යුහය ශ්‍රී ලංකාවේ රජයේ පාලනයෙන් එපිටට යන ස්වාධීනත්වයකින් හදලා තියෙන එකක්. අද වන විට අපේ රටේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැන නැඟලා තියෙන්නේ.

මේ ආර්ථික කලාපයේ පාලනය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා පත් කරන වරාය නගර කොමිෂන් සභාව යටතට ගේනවා.

ඒ කොමිෂන් සභාව රටේ මූලික නීතියෙන්, ව්‍යවස්ථාවෙන්, අණ පනත්වලින්, මුදල් පනතින්, රේගු ආඥා පනතින් ,දේශීය ආදායම් බදු පනතින් නිදහස් වෙනවා නම්, එවැනි බලපෑම් කිරීමට බැරි ආයතනයක් බවට පත් වෙනවා නම් මේ පාලනය ඇත්තේ කොමිෂන් සභාව යටතේ පමණයි.

එම කොමිෂන් සභාවේ සංයුතිය අනුවයි ඒක තීරණය වන්නේ. ඊළඟට   කොමිෂන් සභාවේ බලතල අනුව ගත්තොත්, රටේ තිබෙන අනෙකුත් නීති රීති ඉක්මවා එන බලයක් කොමිෂන් සභාවෙන් හදලා තියෙනවා.

නමුත් ඇත්තටම මේක තියෙන්නේ චීනයට හෝ එම ආයෝජනය ගේන ආයතන හා සමාගම්වලට ස්වාධීනත්වය හදන වෙනම පාලනයක්. පාලන ඒකකයක් හැටියටත් මේ වෙනම රටක් ලෙස තමයි හඳුනා ගැනීමට තිබෙන්නේ. එයට හේතුව ලංකාවේ නීති රීති මෙයට අදාළ කරන්නේ නැති නිසා. ශ්‍රී ලංකාවේ පාලනය සහිත නම්, ලංකාවට අයිති දෙයක් නම් අණ පනත් වලින් නිදහස් කළ යුතු වන්නේ නැහැ. විශේෂයෙන්ම මෙහි තිබෙන්නේ මුදල් පනත රේගු ආඥා පනත ආදී පනත්. රේගු ආඥා පනතින් නිදහස් කළහම ඒකෙන් දිරිගැන්වීම් කෙරෙනවා කියන එකෙන් මොකක්ද වෙන්නේ? එයාලට කැමති දේවල් ගෙන්න පුළුවන් වෙනවා. එතකොට අවි ආයුධ ගෙන ආවත් අපිට මේක අහන්න බලන්න බැරි තත්ත්වයක් එනවා. ලංකාවේ අයට රැකියා අවස්ථා ලබා දෙනවා යැයි පැවසුවත් අවසානයේ ලංකාවේ අය සේවය කරන්න ඕන විදිය ගැන කොන්දේසි හදන්නේ එයාලා නම්, ඒවාට මැදිහත් වීමට ශ්‍රී ලංකාවේ රජයට බැරි නම්, එතන බරපතළ ප්‍රශ්නයක් පැන නඟිනවා.

 

3 මීට පෙර සූදු ව්‍යාපාර සඳහා ආයෝජන කැඳවීමේදී ක්‍රමෝපාය සංවර්ධනය පනත සම්මත කළා. මෙවැනි කටයුතු කිරීමේදි හම්බන්තොට වරාය විකිණීම සඳහා බදු සහන දෙන විට ක්‍රමෝපාය සංවර්ධන පනත, ආයෝජන මණ්ඩල පනත වගේ පනත් අදාළයි. ඒවා රටේ පාර්ලිමේන්තුවට වග කියන ආයතන. ලංකාවේ විගණකාධිපතිවරයාට බලපෑමක් කිරීමට මෙහිදී හැකියාවක් නැහැ.

පාර්ලිමේන්තුවේ තිබෙන අනෙකුත් ආයතනවලට සම්බන්ධ වන්නේ නැහැ එහෙම ස්වාධීනත්වයක් හදන්න. ආණ්ඩුව මෙවැනි කොමිෂන් සභාවක් පිහිටු වන්නේම ආණ්ඩුව මුහුණපාලා තියෙන මූල්‍ය අර්බුදය නිසා. ආණ්ඩුවට ඕන රට ලිහල දාලා රටේ නීතිරීති සම්පූර්ණයෙන්ම විවෘත කරල දාලා, ආයෝජන ලෙස මෙම මූල්‍ය අර්බුදයට ඩොලර් කැඳවා ගැනීම. ගැටලුව වන්නේ එම විදේශ මුදල් ගෙන එන්නේ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නොවීමයි.

 

4 මෙහි රුපියල් වලින් ගනුදෙනු කරන්න පුළුවන් යම් සීමාවකට පමණයි. ඒ ඉතා පැහැදිලිව ම 35 වැනි වගන්තියේ සඳහන් කරලා තියෙනවා.

වැටුප් ගෙවීම සිද්ධ වන්නේ විදේශ ව්‍යවහාර මුදල් වලින්; රුපියල් හැර කියලා තියෙනවා. එතකොට අපි රටක් හැටියට කොහොමද අනන්‍යතාවක් ගොඩනඟා ගන්නේ. අපේ රටේ අනන්‍යතාව රුපියල්වලින්නේ තියෙන්නෙ. ඔවුන් පඩි ගෙවන්නෙත් ඔවුන්ගේ විදේශ මුදල්වලින්. මෙතන තියන ගැටලුව එයයි. මේ ව්‍යාපාර සියල්ලම පවත්වාගෙන යන්නේ වෙනම රටක් හැටියට බවයි අපට පෙනෙන්නේ.

මෙය ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ගනුදෙනු කරන කලාපයක් නොවේ. ශ්‍රී ලංකාවේ රුපියල්වලින් වැඩ කරන අයට පඩි ගෙවන්නෙත් නැහැ. වැටුප් ගෙවීම පවා තීරණය වන්නේ විදේශ මුදල්වලින්. මෙතැනට පැමිණ යන අය බඩු මූට්ටු ගේනවා නම් තීරු ගාස්තුව ගෙවිය යුතුයි. එතකොට අපි වෙනම රටකට ගිහිල්ලා එනවා වගේ තමා. ඒකෙ වෙනසක් නෑ. මේවා අදාළ වන්නේ රටවල් දෙකක් අතර ගනුදෙනුවකටනේ. රටක් ඇතුළේ රටක් හදන ආර්ථික කලාපයක් මේ තියෙන්නෙ. එතකොට චීනය කැඳවපු එකට අපිට බලපෑමක් කරන්න බැහැනේ. වරාය නගරයේ විශාලම පංගුවක බලපෑම කිරීමේ හැකියාව තිබෙන්නේ චීනයට.

 

5 ආර්ථික ප්‍රවර්ධනයට මෙහි වන බලපෑම් වෙන්නේ අනික් පැත්තටයි. මෙහි ආර්ථික අයිතිය අපට නැහැ. ඉලක්කම්වලින් ගිණුම් වලට එකතු කරන්න පුළුවන්කමක් ලැබේවි. අපිට මෙන්න මෙච්චර ආදායමක් ලැබෙනවා කියලා. නමුත් ඒක අනිත් පැත්තට යනවා.

මෙහි ශ්‍රමය විකුණන කොටසත් අපිට නොලැබීමට ඉඩ තිබෙනවා. සංසන්දනාත්මකව ගතහොත් ආර්ථික වශයෙන් අපිට ලැබෙන වාසියට වඩා දේශපාලන වශයෙන් අපට ලැබෙන අවාසිය වැඩියි. දේශපාලන වශයෙන් අප ලොව ඉදිරියේ හුදෙකලා වීමේ ප්‍රවණතාව වැඩියි. ජාත්‍යන්තර බලපෑම් වලට නතු වීමේ ඉඩකඩ වැඩියි. ආර්ථික වශයෙන් කියලා ලැබෙන දෙයක් නෑ අපිට ඇත්තටම. එතකොට මෙය තනිකරම ජාත්‍යන්තර වෙළෙඳපොළක කොටසක් බවට පත් වෙනවා හැරෙන්නට මෙය වෙනම ආර්ථික කලාපයක්. මෙහිදි එම ආර්ථිකයේ මොඩලයට ගැළපෙන සංස්කෘතියක් නිර්මාණය කර ගන්නවා.

1 මේ වරාය නගරය චීනයේ කොලනියක් කියන කතාව ඇතිවෙන්න හේතුව යම් ගනුදෙනුවක් කරගෙන යනවිට ණය දෙන පිරිස, කොන්ත්‍රාත්කරුවන් ඒ අයගේම අයවීම; ඒ අයගේ සේවකයන් ඒ රටින් ම ගේනවා නම් එවැනි තැනක් කොලනියක් යැයි සිතිය හැකියි. දැන් වරාය නගර රාමුව තුළ කම්කරු සේවකයන් සියයට 25% ගේන්න පුළුවන් කියනවා. වෘත්තියවේදීන් 35% වැනි ප්‍රමාණයක් ගේන්න නීතියෙන්ම සැලසුමක් තියෙනවා.

 

2 මේ වරාය නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් පත් කරන අතර එහි බලතල සියල්ල මේ කොමිසමට පවරනවා. එහි පස්දෙනකු හෝ හත් දෙනෙකු පත්කරන අතර එහි නිර්ණායකයන් නැහැ. අපේ ආණ්ඩු කාලයේ මෙය හදනකොට අනිවාර්යෙන් දැමිය යුතු පිරිසක් වන මුදල් අමාත්‍යංශ ලේකම්, මහ බැංකු අධිපතිවරයා හා පරිසර අමාත්‍ය ලේකම් වැනි අය නිලතල අනුව පත් කරනු ලැබුවා. නමුත් මේ කොමිසම සම්බන්ධයෙන් එසේ කිසිවක් නැහැ. ඕනෑම කෙනෙක් පත්කරන්න පුළුවන්. විදෙස් පුරවැසියෙක් වුවත් මේ කොමිසමට දැමිය හැකියි. මෙය බොහොම භයානක වෙන්නේ ඒ නිසා. මේ සඳහා කොමිසන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඒ අය ධනාත්මකව සහ ඍණාත්මක ව මේ සඳහා හේතු කියන්න පුළුවන්. ධන පැත්තෙන් බැලූවිට ඉක්මනින් තීරණය ගැනීමට කියලා කියන්න පුළුවන්. ඍණාත්මක ව බැලූවිට ලංකාවේ නීති රාමුවෙන් පිට නිසා මේ මඟින් මුල්‍යමය ඊළමක් හැදිය හැකියි; අයුතු ලාභ ප්‍රයෝජන ලබාගැනීමට ද විය හැකියි; කළු සල්ලි සුදුකිරීම කරන්න පුළුවන්. දැනට ඇති ආකාරයට අණපනත් විශාල සංඛාවක් මෙහිදී වලංගු වෙන්නෙ නැහැ. මෙය රටේ ස්වෛරීත්වයට ප්‍රශ්නයක් විය හැකියි.

 

3 මෙහි ආයෝජනය කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් සාමාන්‍ය නීතිරිති අනුගමනය කරන අය නොවෙයි, මෙහිදී ජාවාරම්කරුවන්ට වුවත් ආයෝජනය කරන්න පුළුවන්. ලෝකයේ මෙවැනි දේවල් වෙලා තියෙනවා. මින් පෙර ඉතිහාසයෙත්; වෙනත් රටවලත් එවැනි දේවල් අපි දන්නවා.

 

4.සම්මත මුදල් ඒකකය විදේශ ඒකක විය හැකියි. සමහර රටවල්වල මෙවැනි නගර ක්‍රියාත්මක වීමේදී ඒ බව දක්නට ලැබෙනවා. සමහර තැන්වල විශේෂ ඒකක හදලා තියෙනවා. මහ බැංකුවේ අධික්ෂණය නැති නිසා අපිට තාම හිතාගන්න බැහැ; මුදල් ඒකක පිළිබඳව. එක් රටක වුණත් ක්‍රමවේද දෙකක් විය හැකියි. පැනමාව වැනි රටවල්වල මෙවැනි නගරවල ඇමරිකානු ඩොලරය පාවිච්චි කරනවා. අපේ රටේ අයට රැකියාව කළ හැකි කියලා මා හිතන්නේ. මේ වරාය නගරය හදන්නේ සේවාවලට; නිදහස් වෙළෙඳ කලාපයට වගේ නිෂ්පාදනයකට නොවෙයි. සේවාවන්ට හදන නිසා වැඩියෙන්ම පඩි ලබන්නේ වෘත්තියවේදීන්. රැකියා අවස්ථා අපේ අයටත් තියෙයි. වැඩියෙන් විදේශිකයන්ට අවස්ථාව හිමි වෙයි. සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් ද යන කාරණාවත් කෙළින්ම සඳහන් කරන්නේ නැහැ.

 

5 මේ මඟින් මේ රටේ ආර්ථිකයට කුමන ආකාරයේ ප්‍රතිලාභයක් ලැබෙයිද කියන කාරණාවෙ දි; වසර විසිපහකින් මෙහි ආර්ථික ප්‍රතිලාභය හිමි වෙයි කියලා අපි හිතනවා. ප්‍රතිලාභ කෙසේ වෙතත් රටේ ස්වෛරීත්වයට මෙයින් විශාල බලපෑමක් ඇතිවෙලා තියනවා. අපි පොඩි රටක්. අපේ රටේ ආරක්ෂාව ලැබෙන්නේ; අපේ රටේ තියෙන විදෙස් ප්‍රතිපත්ති හරහායි. අපේ විදෙස් ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තියක්. මෙයින් අපිට එකපාර බැඳීම් ඇතිවෙනවා. මේවායින් භූ දේශපාලනික ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපට ලොකු රටවල් සමඟ සටන් කරන්න බැහැ. අපි මුලින්ම මෙය තේරුම් අරගෙනයි මෙවැනි දේවල්වලදී නීති රාමුව සකස් කළ යුත්තේ. දැනට ඇති විදිහට අපි සම්පූර්ණයෙන් මේ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසයි.

Comments