
මෙවර මැයි රැළි සහ පෙළපාළි රට තුළ පවතින කොරෝනා අවදානම් කාරි තත්ත්වය නිසා අවලංගු කිරීමට අප්‍රේල් 20 වැනිදා රැස්වූ ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රධානීන් සාමූහික එකඟතාවකට පැමිණි බව ජාතික කොරෝනා ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණි. ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය 2021 මැයි දිනය සමරන්නේ 135 වැනි වරටය.
ඉකුත් 2020 මැයි 1වැනිදා ද ලොව පුරා අති බහුතරයක් රටවල් මැයි දින රැළි සහ උත්සව නොපැවැත්වූහ. ඒ කෝවිඩ් 19 වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීම හේතුව නිසාවෙනි. එහෙත් නව තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට මැයි දින රැස්වීම් එතෙර මෙන්ම ලංකාවේ ද පැවැත්විණි. පාස්කු ප්‍රහාරය හේතු කොටගෙන 2019 මැයි දින පෙළපාළි සහ රැලි ද ශ්‍රී ලංකාවේ පැවැත්වූයේ ඉතා සුළු වශයෙනි.
‘‘යහපාලන‘‘ රාජ්‍ය සමයේ 2018 මැයි දිනය මැයි 7 වැනිදාට කල්දමන ලෙස එවකට ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය. එයට හේතු වූයේ එම වසරේ මැයි මාසේ මුල් සතිය ලොවපුරා වෙසක් සතියක් ලෙස බෞද්ධයින් විසින් උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු යොදා තිබීම නිසාය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග රජය විසින් ද 1996 මැයි පෙළපාලි මැයි 1 වැනිදා පැවැත්වීම තහනම් කරන ලදී. ආරක්ෂක හේතු මත එම තීරණය ගත් බව නිවේදනය කෙරිණි. මෙවැනි මැයි දින තහනම් අවස්ථා කිහිපයක්ම ඉකුත් දශක කිහිපය තුළ අසන්නට ලැබිණි.
ලොව මැයි දින සැමරුම් 1890 සිටම සිදුවූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව පවත්වන ලද්දේ 1927දී බව ලංකා කම්කරු සංගමයේ ඊ.ඒ. ගුණසිංහ පවසා තිබේ. එහෙත් දේශපාලන විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකා පළමු මැයි රැලිය 1933 ගුණසිංහගේ නායකත්වයෙන් කොළඹ ගාලු මුවදොරින් ආරම්භවී වික්ටෝරියා (විහාර මහා දේවි) උයන දක්වා ගමන් කර එහිදී රැස්වීම පැවැත්වූ බවය. 1934දී කොළඹ තරුණ සංගමයේ මාක්ස්වාදීන්ද මැයි දින රැලියක් පැවැත් වූ අතර 1935දී සමාජවාදීන්ගේ මැයි දින රැලියක් කොළඹ ප්‍රයිස් පිටියේදී වෛද්‍ය එස්. ඒ. වික්‍රමසිංහගේ මුලසුනින් පවත්වන ලදී. සමසමාජයේ ප්‍රථම මැයි රැලිය 1936දී පැවැත්වූ අතර මැයි දිනය මෙරට රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කෙළේ 1956දී අගමැති බණ්ඩාරනායක ගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව මඟිනි. එය කම්කරු අමාත්‍ය ටී. බී. ඉලංගරත්නගේ යෝජනාවකි.
එජාපය බලයට පත්වීමෙන් පසු 1978 සිට මැයි දින සැමරුම සිදුවූයේ ජාතික සංස්කෘතික උලෙළක් ලෙසිනි. ජනතා විමුක්ති පෙරමුණද 1978 සිට සිය මැයි දිනය 1983 දක්වා උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය. 1983 වසරේ ජූලි මාසයේ ජවිපෙ තහනම් කිරීමෙන් පසු එහි අනුගාමී සංවිධානයක් වූ සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මඟින් 1985 සහ 1986දී ජවිපෙ නිල නොවන මැයි රැලි නව නගර ශාලාවේදී පවත්වන ලදී. 1984 වසරේදී සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ එක් වී එක්සත් මැයි රැලියක්ද පවත්වන ලදී.
කිතුල්උතුවේ ඝාතනය
දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මඟින් 1987 වසරේ අප්‍රේල් 17වැනිදා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට කොළඹ බලා එමින් තිබූ බස් රථවලට හබරණට නුදුරු කිතුල්උතුවේදී වෙඩි තබා මඟින් 126 දෙනෙකු ඝාතනය කළ අතර ඉන් 75 දෙනෙකු නිවාඩුවට ගම්බලා එමින් සිටි හමුදා සෙබළුන් විය. දෙමළ බෙදුම්වාදීන් විසින් ඉන් දින 4කට පසු එනම් 1987 අප්‍රේල් 21වැනිදා පස්වරු 4.30ට පමණ කොළඹ ප්‍රධාන බස්නැවතුම්පොළේදී බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සාමාන්‍ය පුරවැසියන් 122ක් ඝාතනයට ලක් කරන ලදී.
බෝම්බය පිපිරී විනාඩි 10කට පසු එම ස්ථානයට ගිය පිරිස අතර ශ්‍රීලනිපයේ අනුරුද්ධ රත්වත්තේ සහ අලෙවි මවුලානා සමඟ ලේඛකයාද විය. එදිනම රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 5 දක්වාද අප්‍රේල් 22වැනිදා පෙරවරු 9 සිට යළිත් පසුදා අලුයම වන තෙක්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලට ඇදිරි නීතිය පනවන ලදී. රජයේ නිවාඩු දිනයක් වශයෙන්ද 1987 අප්‍රේල් 22වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබිණි. පල්ලකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15වැනිදා පහර දුන් ජවිපෙ විසින් අවි පැහැරගනු ලැබුවද මසක් පමණ යනතෙක් ඒ පිළිබඳව ආරක්ෂක අංශවල සැකයක් ජවිපෙ වෙත එල්ල වූයේ නැත.
වීදි බට දහස් ගණනක පිරිස්
ඇඳිරි නීතියද නොතකා 1987 අප්‍රේල් 22වැනිදා ආරක්ෂාව ඉල්ලමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙස නිවස දෙසට පෙළපාළියෙන් පැමිණ උද්ඝෝෂණය කළහ. මෙයට නායකත්වය දුන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසකි. රජය මඟින් අප්‍රේල් 22වැනිදා 1987 මැයි දින රැස්වීම් සහ පෙළපාළි තහනම් කළ අතර එය 1987 මැයි 22වැනිදා පවත්වන මෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව සියලු මැයි දින රැලි සහ පෙළපාළි තහනම් කරන ලදී.
රජයේ එම මැයි දින තහනම බිඳගෙන මැයි රැලියක් සහ පෙළපාළියක් පැවැත්වීමට මව්බිම සුරැකීමේ ව්‍යාපාරය තීරණය කර තිබුණි. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය 1986 ජුලි 26වැනිදා කොළඹ දෙමටගොඩ පාඨානගාර විහාරයේදී ආරම්භ වූවකි. එහි අදිසි හස්තයවූ ජනතා විමුක්ති පෙරමුණ එය ගොඩනැගීමේදී අනුගමනය කළ උපක්‍රමික ප්‍රවේශය වූයේ දේශපාලනික වශයෙන් මව්බිම සුරකීම සඳහා ඒකාබද්ධ කළ යුතු බලවේග ඒකරාශී කිරීම සහ නිද්‍රාශීලිත්වයට මෙන්ම අක්‍රීයකොට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැනනැඟී ඇති තත්ත්වයට එරෙහිව අවදිකිරීමේ උත්සාහයක්ය.
මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මැයි දින රැස්වීම සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා 1987 අප්‍රේල් 22වැනිදා සිට දිනපතා නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. සාකච්ඡා වාර 5ක් පැවති අතර අවසාන සාකච්ඡාව 1987 අප්‍රේල් 27 සවස 2ට පැවැත්විණි. ඉහත පිරිසට අමතරව ජවිපෙ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගමද දේශවිමුක්ති ජනතා පක්ෂයේ නිහාල් පෙරේරාද දෙවරක් එක්විය. ලේඛකයා මේ සියලු රැස්වීම් ආවරණය කළේය.
ආණ්ඩුවේ 1987 මැයි දින තහනම නොසලකා හරිමින් සමසමාජ පක්ෂ කාර්යාලය ඉදිරිපිට මහ පාරේ මේසයක් දමා රැස්වීමක් පැවැත්වූ අතර එයට සමසමාජ, කොමියුනිස්ට්, මහජන සහ නව සමසමාජ පක්ෂද එක්විය. පොලිසිය කඳුළු ගෑස් දමා පිරිස විසුරුවා හැරි අතර සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර්. සිල්වාද වයෝවෘද්ධභාවය හේතුකොට ගෙන කඳුළු ගෑස් ප්‍රහාරයෙන් රෝගාතුර විය. ශ්‍රීලනිප රැස්වීම ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මහනුවර, ගාල්ල, අනුරාධපුරය යන නගරවලද මැයි දින සැමරුම් පැවැත්වුවද ඒවා පොලිසිය මඟින් විසුරුවා හරින ලදී.
වඩාත්ම සටන්කාමි සහ උණුසුම් මැයි දින සැමරුම පැවැත්වූයේ නාරාහේන්පිට අභයාරාමයේදීය. කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අබ්දුල් කාදර් ගපූර්ගේ නායකත්වයෙන් 300කට ආසන්න කැරලි මර්දන පොලිස් කණ්ඩායමක් 1987 මැයි 1වැනිදා හිමිදිරියේ සිට අභයාරාමය ඉදිරිපිට සතර දෙසින් රඳවා තිබෙනු දක්නට ලැබිණි. ගපූර් එහිදී ලේඛකයාට කියා සිටියේ කිසිදු මැයි පෙළපාළියක් පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති ජයවර්ධන තමාට පෞද්ගලිකව උපදෙස් දුන් බවය. පස්වරු 2.05ට මැයි දින රැස්වීම ආරම්භ වන විට 2,000කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ මුලසුන දැරූ හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස මහ නායක හිමිය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රැස්වීමේ අරමුණ පැහැදිලි කළ අතර සරසවි පද්ධතිය වෙනුවෙන් බලහරුවේ සෝභිත හිමිද, භික්ෂු පරපුර වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිද අදහස් ප්‍රකාශ කළහ. විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභාව ඇමතීමෙන් පසු දසවිධ කරුණු සහිත මැයි දින යෝජනාවක් සභා සම්මත කරන ලදී.
බැටන් ප්‍රහාරයේ ආරම්භය
රැස්වීම නිමාවෙන් පසු පිරිස මැයි දින තහනමට විරෝධය පළ කරමින් සටන් පාඨ සහිත පුවරු සහ බැනර් අතැතිව මහා මාර්ගයට පිවිසීමට ගමන් කළහ. එවිට ප්‍රතිචාරය වූයේ බැටන් ප්‍රහාරයකි. පසුව කඳුළු ගෑස්ය. රබර් උණ්ඩය. අවසානයේ වෙඩි තැබීම සිදුවිය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගපූර්ගේ උපදෙස් පරිදි වෙඩි තැබීමට නියෝග කළේ කැරැලි මර්දන කණ්ඩායමේ නායකයාවූ උප පොලිස් පරික්ෂක වෙලේගෙදර ප්‍රේමදාසය. ගපූර්ගේ දෙවැනියා වූයේ සහකාර පොලිස් අධිකාරි බන්දුල පරාක්‍රම වික්‍රමසිංහය. විනාඩි ගණනාවක්ම වෙඩි ප්‍රහාරය පැවතිණි. ආනන්ද හිමියන් සහ දිනේෂ් ගුණවර්ධන වෙඩි තැබීම නතර කරන්නැයි ඉල්ලා සිටියද එය නතර නොවීය. වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගිය අතර නාරාහේන්පිට සමන්ත රත්නායක, රත්නපුරේ ආර්. ප්‍රේමසිරි සහ නුවර මහින්ද රණතුංග යන අය තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
වෙඩි වැදී මියගිය දෙදෙනා වූයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු වැල්ලම්පිටියේ බ්‍රැන්ඩියවත්තේ පදිංචි ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාහාරික විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ සිසු පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන් රණවකය. ලෙස්ලි ආනන්දලාල් වෙඩි වැදීමෙන් මියගියේ අභයාරාමය තුළදීමය. කිත්සිරි මෙවන් මියගියේ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. වෙඩි වැදුණු කිත්සිරි මෙවන් රෝහලට ගෙන යෑමට පොලිසිය විනාඩි 30ක පමණ කාලයක් ඉඩ ලබාදුන්නේද නැත. මෙම ඝාතන සිද්ධීන්වලට එරෙහිව රටපුරා සරසවිවල සහ පාසැල් බොහෝමයක විරෝධතා ව්‍යාපාර පැන නැඟිණි.
ආනන්දලාල්ගේ නිවස
වැල්ලම්පිටිය බ්‍රැන්ඩ්‍රියාවත්තේ ලෙස්ලි ආනන්දලාල් ගේ නිවසට ලේඛකයා එදිනම රාත්‍රීයේ යනවිට එහි සිටියේ සොහොයුරෙකු වන ගාමිණී, සොහොයුරියකවූ කුමාරි සහ මව කල්‍යාණි පෙරේරාය. ලෙස්ලි ආනන්දලාල් රත්තොටදී උපන්නේ 1953 සැප්තැම්බර් මස 15 වැනිදාය. ඔහු මියයන විට 33 හැවිරිදි අවිවාහකයෙකි. ලෙස්ලිගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. තෙල්දෙණියේ හෙණගැහුවෙල මහ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළ ලෙස්ලිගේ පියා 1965දී දිවියෙන් සමුගෙන තිබිණි. ඔහු ශ්‍රීලනිපයට ළැදිවීම නිසා අනේකවිධි දේශපාලන පළිගැනීමේ මාරුවීම් වලට ලක්වූ අයෙකි. ලෙස්ලිගේ මව කල්‍යාණි පුහුණු උප ගුරුවරියක් වූ අතර ඇය වැල්ලම්පිටිය සේදවත්ත මහා විද්‍යාලයේ සේවය කළාය. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ 6වැනියා වූ ලෙස්ලි ආනන්දලාල්ට සොහොයුරන් සහ සොහොයුරියන් 3 බැගින් සිටියේය.
කටුගස්තොට ශාන්ත අන්තෝනි, තෙල්දෙණිය මධ්‍ය මහා සහ සේදවත්ත සිද්ධාර්ථ විදුහලේ අධ්‍යාපනය ලත් ලෙස්ලි 1973 ආරම්භ වූ වැල්ලම්පිටිය මිත්‍ර වොලිබෝල් ක්‍රීඩා සමාජයේ කාරක සභිකයෙකි. ලෙස්ලි ආනන්ද මරදාන කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරිමෙන් පසු කැලණි කේබල් සමාගමේද, ලංකා පොහොර සංස්ථාවේ යන්ත්‍ර සහාය ක්‍රියාකරුවෙක් වශයෙන් කෙටිකලක් සේවය කළ අතර මියයන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු විය. එදින මැයි දින රැස්වීමට සහභාගිවීම සඳහා නිවසේ සිට කැලණිය පන්සල අසල බස්නැවතුම්පොළට ලෙස්ලිව පාපැදියෙන් ගෙන ආවේ පසුව රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරියෙකු වූ ඩබ්ලිව්. එස්. සුනිල් විජේසිංහය.
ලෙස්ලි ජවිපෙට එක්වූයේ 1982දීය. ලෙස්ලිගේ අවමඟුල් කටයුතු සිදුවූයේ 1987 මැයි 3වැනිදා පස්වරු 6.30ට කොහිලවත්ත සුසාන භූමියේය. බ්‍රිතාන්‍යයේ සිටින ලෙස්ලිගේ සොහොයුරිය තිලකා විවියන්ද අවමඟුලට එක්වීමට පැමිණ සිටියාය. එදින මුළු දවසම වාගේ ලෙස්ලිගේ නිවසේ ගත කළ ලේඛකයාට දැකගන්නට හැකිවූයේ පොලිස් නියෝග මත කොඩිවැල් හෝ සැරසිලි පවා තහනම් නමුත් දහසකට අධික පිරිසක් රැස්වූ අවමඟුලකි. දේහය නිවසේ තැන්පත් කිරීමට පොලිස් අවසරය ලැබුණේ පැය 5කි. මුරුත්තෙට්ටුවේ හිමියෝ එකම පැවිදි අනුශාසනාව සිදු කළහ. ලෙස්ලිගේ මවද 1997 දිවියෙන් සමුගත්තාය.
සරසවි ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවකගේ අවමඟුල් කටයුතු යෙදී තිබුණේ 1987 මැයි 4වැනිදාය. පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන්ගේ පියා නීතිඥයෙකු මෙන්ම මහජන එක්සත් පෙරමුණේ උප සභාපතිවරයෙකි. පස්දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ 1963 දෙසැම්බර් 2වැනිදා උපන් කිත්සිරිගේ සොහොයුරු සොහොයුරියන් වූයේ කිත්මිණි, සඳරුවන්, නිල්මිණී සහ සුගන්ධය. කිත්සිරි මියයන විට ඔහු මෙන්ම ඔහුගේ නැඟණියවූ කිත්මිණීද ජයවර්ධනපුර සරසවියේ සිසුවියකි. වර්තමානයේ ඇය රජයේ ආයතනයක කළමනාකරණවරියකි. කිත්සිරිගේ කනිටු සොහොයුරා වූ සුගන්ධ වර්තමානයේ පෞද්ගලික අංශයේ විධායකයෙකි. සඳරුවන් ව්‍යාපාරිකයකු වන අතර නිල්මිණීද රජයේ ආයතනයක සේවය කරනු ලබයි. කිත්සිරි මෙවන් මියයන විටද සිය පියා මෙන් මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකි. කිත්සිරිගේ අවසන් කටයුතු සිදුකෙරුණේ සිසුන්, භික්ෂූන් සහ කම්කරුවන් 2,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සටන්කාමී අයුරෙනි. සියලු පොලිස් බාධක සහ තහංචි බිඳ දමමින් දේහයේ අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ සිදු කිරීමෙන් පසුව රැස්වූ දහසකට අධික පිරිස පානදුර නගරය පුරා පෙළපාළි පවත්වා පසුව රැස්වීමක්ද තබා විසිර ගියහ. කිත්සිරිගේ පියාද 2012 දෙසැම්බර් 12 දිවියෙන් සමුගත්තේය.
දිනේෂ්ගේ අරගලය
එජාප ආණ්ඩුවේ 1987 මැයි දින තහනම කඩමින් ජීවිත 2ක් බිලිගත් මැයි දින ද්විත්ව ඝාතන පිළිබඳ පරීක්ෂණය පැවැත්වීමට ආණ්ඩුවට සිදුවූයේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කළ අඛණ්ඩ අරගලයේ ප්‍රතිඵලයක් වශයෙනි. ලෙස්ලි ආනන්දලාල් සහ කිත්සිරි මෙවන්ගේ මරණ පරික්ෂණ 1987 මැයි මස 3දා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එස්.එල්. සල්ගාදු විසින් පවත්වනු ලැබූ අතර එම ඝාතනවලට බලපෑ වෛද්‍ය හේතු ඇතුළත් පර්යේෂණ වාර්තාව 1987 මැයි 4වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මැයි දින ද්විත්ව ඝාතන පරීක්ෂණ 1987 මැයි 14වැනිදා කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ජී.එල්.එම්.ද සිල්වා ඉදිරියේ විභාග විය. මෙහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි ලෝරන්ස් අමරසේන පෙනී සිටි අතර මියගිය ලෙස්ලි ආනන්දලාල් කිරිබත්ගොඩ වෙනුවෙන් බාල තම්පෝ, සරත් විජේසිංහ සහ පියසේන දිසානායක යන නීතිඥවරුන් පෙනී සිටියහ. මියගිය සරසවි සිසු කිත්සිරි මෙවන් රණවක වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය, සරත් විජේසිංහ, ලසන්ත වික්‍රමතුංග සහ ජනප්‍රිය පේදුරුහේවා යන නීතිඥවරු පෙනී සිටියහ. එම මැයි දින සිද්ධිය සියැසින් දුටු සහ අනතුරුව පැන නැඟුණු සියලු සිද්ධි මාලාවන් වාර්තා කළ එකම ජනමාධ්‍යවේදියා වූයේද මේ ලේඛකයාය.
අදාළ පරීක්ෂණ කොමිසම දින 30කට ආසන්න කාලයක් රැස්වී මැයි දින මරණ පරික්ෂණ සාක්ෂි විභාගය පවත්වන ලදී. එම මරණ පරීක්ෂණයන්හි සාක්කි විභාගයන්ගේ අවසානය වූයේ 1988 මාර්තු 28වැනිදාය. පරීක්ෂණ මාස 9ක් තිස්සේ විභාගයට ගත්තේය. සාක්ෂි සටහන් පොත පිටු 1,800කි. පරීක්ෂණය අවසන් වූයේ 1988 අගෝස්තු 2වැනිදාය. මෙහි තවත් එක් තීරණාත්මක අවස්ථාවක් වූයේ සාක්ෂි උපුටා දක්වමින් නීතිඥ දේශන පැවැත්වීමට විරෝධය දැක්වීමය.
මැයි දින ඝාතන 2 පිළිබඳව මහාධිකරණ සාක්ෂි විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරු සිල්වා කියා සිටියේ පොලිසිය වෙනුවෙන් සාක්ෂි දුන් දහදෙනාගේම සාක්කි පිළිගත නොහැකි බවය. එයට හේතුවක් ලෙස මහාධිකරණ විනිසුරු දැක්වූයේ පොලිසිය කලබල අවස්ථාවේදී කිසිම විටක නාරහේන්පිට අභයාරාමයට ඇතුළු වූයේ නැතැයි ප්‍රකාශ කළද රජයේ සහකාර රස පරීක්ෂකගේ වාර්තා අනුව වෙඩි තබා ඇත්තේ අඩි 10ක පමණ දුරකින් බව තහවුරු වී ඇති බවය. හදිසි නීති රෙගුලාසි අංක 55 වගන්තිය යටතේ මෙම මරණ පරික්ෂණයේ අවසන් නිගමන සහ පරීක්ෂණ වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලදී