
‘සිය රටදේ සිරි සැපදේ’ යන අදහස මගේ මතකයට ආවේ වසර 27කට පසු යළි ලංකා අශෝක් ලේලන්ඩ් බර වාහන යළි මෙරටදීම නිපදවන බව දැනගන්නට ලැබුණු නිසාය. වසර 40 තිස්සේ අපේ මහා මාර්ගවලට බර වාහන 70,000 ක් යොමු කර ඇති ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම දැන් තම නිපැයුම් වේගවත් කර ලොව ඉහළම අධි සුඛෝපභෝගී බස් රථ ද අපේ රටේ හෝමාගමදී නිපදවීමට දැන් කටයුතු කරයි.
ලංකා අශෝක් ලේලන්ඩ් සහ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටස් සියයට 28 ඇත. හෝමාගම ජල්තර එහි ප්‍රධාන කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත. මෙහි කොටස් 72 ක් ශ්‍රී ලංකාවට හිමි අතර ඉන් සියයට 30 ක් දේශීය කොටස් හිමිකරුවන්ට අයිතිය ඉතිරි සියයට 42 අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා ලේලන්ඩ් රාජ්‍ය සමාගමටයි.
1981 දී පිහිටුවනු ලැබූ මේ සමාගම් 1981 – 1994 කාලයේදී අපේ රටට අවශ්‍ය බස්වලින් වැඩි ප්‍රමාණයක් නිපදවිය. නමුත් 1994 න් පසු ඉන්දියාවෙන් සම්පූර්ණ අශෝක් ලේලන්ඩ් බස් රථ හා ට්‍රක් අපේ රටට ආනයනය කිරීම ලාභදායක වන තත්ත්වයක් නිර්මාණය වී තිබූ නිසා 1994 දී සිට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ මෙරට වාහන එකලස් කිරීම අඩපණ විය.
ඒනිසා එහි සේවකයන්ට අතිකාල ඇතුළු දීමනා අඩුවූ අතර සමාගමේද ලාභය අඩු විය.
පිටරටින් අශෝක් ලේලන්ඩ් වාහන දිගටම ගෙන්වූ අතර හෝමාගම ජල්තර කර්මාන්ත ශාලාව පවත්වා ගෙන ගියේ ඉබි ගමනින්ය. නමුත් වත්මන් රජය පිටරටින් වාහන ගෙන්වීම නැවැත්වීමත් සමඟ දැන් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම අපේ රටට අවශ්‍ය බස් ලොරි ට්‍රක් රථ පමණක් නොව ලොව දියුණු රටවල අධිවේගී මාර්ගවල පවා ධාවනය වන නවීන අධි සුඛෝපභෝගී බස් රථ හදන්නට දැන් කටයුතු කරයි.
මේ පිළිබඳව එම කර්මාන්ත ශාලා සේවකයන් උනන්දු කිරීමට එහි ගිය කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පැවසුවේ මේ රජය වාහන එකලස් කිරීම හා වාහන අමතර කොටස් උපාංග නිපදවීමේ ආයතන සඳහා ලබාදී ඇති බදු සහන සමඟ වෙළෙඳ පොළ අවස්ථා යොදා ගනිමින් ලංකා අශෝක් ලේලන්ඩ් වාහන දහස් ගණනක් මෙරට නිපදවීමට කටයුතු කරන බවයි.
“කර්මාන්ත අමාත්‍යාංශය මඟින් අපේ රටේ වාහන නිපදවීම වාහන එකලස් කිරීම හා වාහන අමතර උපාංග නිපදවීමේ කර්මාන්තයන් පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) ජනගත කළා. ඒ අනුව මෙරට වාහන එකලස් කිරීමේ හා වාහන උපාංග නිපදවීමේ සමාගම් ඔවුන් කරන නිෂ්පාදනවල ප්‍රතිශතයට අනුව ඒ අයට බදු සහන ලබාදෙනවා. ඒ අනුව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වාහන ආනයනය සීමාකර සිය වාහන මෙරටදී එකලස් කිරීම දැන් සිදුකිරීම ඉතාම ලාභදායක කටයුත්තක්. ඒ නිසා ඉදිරි වසර කිහිපය ඇතුළත අපි ලංකා අශෝක් ලේලන්ඩ් වාහන දහස් ගණනක් එතෙර මෙතෙර වෙළෙඳ පොළට දමනවා. ඒ වාහන තමයි අපේ පාරවල්වලට සුදුසු. අනෙක් එක අපේ ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනවල හා බස් සමාගම්වල යුතුකම මේ අපේ රටේ නිපදවන බස්, ලොරි හා ට්‍රක් මිලදී ගැනීමයි” ඇමැති විමල් වීරවංශ පවසයි.
මේ පිළිබඳව අපට දැකගන්නට ලැබුණු තොරතුරු අනුව දැන් ජල්තර ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට වේගවත් ලෙස අධි සුඛෝපභෝගී බස් රථ හා ලොරි ට්‍රක් රථ ආදිය ඉතා කාර්යක්ෂම ලෙස නිපදවීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව මේ සමාගම කසළ ලොරි, වතුර බවුසර පමණක් නොව කොන්ක්‍රීට් මිශ්‍රණ ලොරි ද නිපදවමින් සිටී.
දකුණු ආසියානු කලාපවල වෙළෙඳ ගිවිසුම් අනුව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමටත් වාහන නිපදවා පිටරට යැවීමටත් අවස්ථා ලැබෙනු ඇති බවත් ඇමැති විමල් වීරවංශ පවසයි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පසුගිය වසර 40 තුළ බස්, ලොරි ඇතුළු බර වාහන 70000 ක් පමණ අප රටේ මහා මාර්ගවලට යොමුකර තිබේ.
ඒ අතර ආසන 20 සිට ආසන 75 දක්වා වූ බස් රථ දහස් ගණනක් වන අතර ටොන් 2.8 සිට ටොන් 49 දක්වා වූ ලොරි රථ ද ට්‍රක් රථ ද දහස් ගණනක් වන බව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ පාලනාධිකාරිය පවසයි.
එම ආයතනය එකලස් කළ අලුත්ම අධිසුඛෝපභෝගි බස් රථය තුළ නවීන සයනයක්, නවීන මාදිලියේ වැසිකිළි පද්ධතියක්, ශීතකරණ හා ඉතා සුඛෝපභෝගී ආසන කට්ටල ඇත.
ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම ජල්තර කර්මාන්ත ශාලාවේ වැඩ ප්‍රධානි ඒ.එච්.එන්.එස්. වීරකෝන් පවසන්නේ දැන් ඉන්දියාවෙන් මෙතෙක් කල් ගෙන්වු බස් රථ, ලොරි රථ ඇතුළු බර වාහන තම සමාගමෙන් එකලස් කිරීම දැන් අරඹා ඇති බවයි. විශේෂයෙන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශයන්ගේ කර්මාන්ත සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ අපට මේ නව නිපැයුම් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ සියලු වැඩකටයුතු සිදු කරන්නේ ලංකා අශෝක් ෙල්ලන්ඩ් සමාගමේ සභාපති ශාන්ත ජයසේන හා කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම් යන මහත්වරුන්ගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණය මතයි.
![]() |
කර්මාන්ත ඇමැති විමල් වීරවංශ හෝමාගම පනාගොඩ ජල්තර ලංකා අශෝක ලේලන්ඩ් සමාගමේ නව නිපැයුම් පිළිබඳව නිරීක්ෂණය කළ අවස්ථාව. එම අවස්ථාවට ලංකා අශෝක් ෙල්ලන්ඩ් සමාගමේ සභාපති ශාන්ත ජයසේන හා කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම් හා ලංකා අශෝක ලේලන්ඩ් සමාගමේ ජල්තර කර්මාන්ත ශාලාවේ වැඩ ප්‍රධානී ඒ.එන්.එම්.එස්. වීරකෝන් යන අයද එක්වූහ. |
“1981 ඉඳන් 1994 දක්වා අපි ලංකාවේ දී බර වාහන රැසක් එකලස් කළා. 1994 නතර වුණු ඒ කටයුත්ත දැන් අපි යළිත් ආරම්භ කළා. ඒ අනුව අපි දැනටමත් ට්‍රක් රථ හා සුඛෝපභෝගී බස් රථ දැන් අපේ පරිශ්‍රයෙන් එකලස් කරනවා. සතියකට එවැනි බර වාහන විස්සක් පමණ එළියට දාන්න අපි කටයුතු කරනවා.
ඊට අමතරව ටෙන් වීල් ලොරි රථ, ට්‍රක් රථ හා විශේෂ රථ අපි සකස් කරනවා. පිටරටින් ගෙන්වන මුදලට වඩා ලක්ෂ 5 – 6 ක් ලාබෙට අපේ වාහන දෙන්න පුළුවන්.
ඒ විතරක් නොවේ අපේ මේ බර වාහන එකලස් කිරීමත් සමඟ කෙළින්ම අපේ රටේ තරුණයන් 400 – 500 රැකියා ලැබිලා තිබෙනවා. ඊට අමතරව අපි උසස් පෙළ තාක්ෂණික විෂය හදාරන සිසුන්ට විෂයානුබද්ධ තාක්ෂණික පුහුණුව ලබාදී NVQ – 4 සහතිකය ලබාදෙනවා. සාමාන්‍ය පෙළ අසමත් තරුණයන්ටත් වසර දෙකක තාක්ෂණික පුහුණුව ලබා දෙනවා.
ඒ අයට පුහුණුවන අතර ගෙවීමක් කරනවා. පුහුණුව අවසානයේ අන්තර් ජාතික ලෙස පිළිගන්නා NVQ - 4 අදාළ සහතිකයක් අපි ලබාදෙනවා.
ඒ අනුව මේ අපේ බර වාහන එකලස් කිරීමේ නව ව්‍යාපෘතිය නිසා අපේ තරුණ පරපුරම මේ බර වාහන එකලස් කිරීම පිළිබඳ පුහුණුවක් ලැබෙනවා. ඒ මඟින් රටේ නව තාක්ෂණය අනුව ඉදිරි ගමනක් යන තරුණ පරපුරක් බිහිවන අතරට රටේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් අපි ලබාදෙනවා” වීරකෝන් මහතා පවසයි.
![]() |
හෝමාගම පනාගොඩ ලංකා අශෝක ලේලන්ඩ් කර්මාන්ත ශාලාවේ එකලස් කළ ලොව නවීනතම අධි සුඛෝපභෝගී බස් රථයක පිටත සහ ඇතුළත දිස්වන අයුරු |
දැනට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ බර වාහන මිලදී ගැනීම සඳහා මාලදිවයින ඇතුළු රටවල් ගණනාවකින් ඇණවුම් ලැබී ඇත. මීට අමතරව ලංකා ලේලන්ඩ් සමාගම තම වාහන එකලස් කිරීම සඳහා අවශ්‍ය යම් යම් උපාංග ද ලබාගන්නේ මෙරට නිෂ්පාදන ආයතනවලිනි. ඒ අනුව එවැනි සැපයුම්කරුවන් 400 – 500 ක් තම ආයතනයට සැපයුම් ලබාදෙන බවත් ඒ මඟින් ඒ ආයතනවල තවත් සේවකයන් 2000 අධික පිරිසකට රැකියා ලැබී ඇති බවත් වැඩ ප්‍රධානී වීරකෝන් පවසයි.
සාමාන්‍ය පෙළ අසමත් ඕනෑම තරුණයකුට අපි සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. පාසල් මට්ටමින් හා පෞද්ගලික මට්ටමට අශෝක් ලේලන්ඩ් සමාගම සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒ අයට හොඳ අනාගතයක් සකස් කරනවා.” වැඩ ප්‍රධානී වීරකෝන් පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වන ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමෙය් සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ තමන් මේ දේශීය දේ අගය කරන බවයි.
“ලංකා අශෝක් ලේලන්ඩ් එකේ ඇන්ජිම විතරයි දැන් රටින් ගෙන්වන්නේ. බස් බොඩිය පමණක් මෙහේ ගහනවා. ඉස්සර මුළු බස් එකම ඉන්දියාවෙන් ගෙන්වූවා. දැන් ඒ බස් මෙහේ එකලස් කරනවා. මේ අපේ නිපැයුම් අපි අගය කරනවා. නමුත් අපේ රටේ බස් කර්මාන්තයම දැන් කඩා වැටිලා තිබෙන්නේ. අපේ කර්මාන්තය නගා සිටුවීමට බස් අපේ රටේ එකලස් කිරීම මෙන් ම තවත් කටයුතු රැසක් සිදුකළ යුතුය.” ගැමුණු විජේරත්න පැවසීය.