සිංහල අලුත් අවු­රු­ද්දට චීන­යෙන් පාඩ­මක් | සිළුමිණ

සිංහල අලුත් අවු­රු­ද්දට චීන­යෙන් පාඩ­මක්

 

 

වසන්ත උත්සවය හෙවත් චන්ද්‍ර නව වසර උදාව, චීන ජාතිකයන් ගේ වැදගත්ම සාම්ප්‍රදායික උත්සවයයි. වසරක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන චීන ජාතිකයෝ තම ඥාතීන් සමඟ නැවත එක්වීමට ඇති හොඳම කාලය ලෙස එය සලකති. කොතරම් දුරක සිටිය ද මේ කාලය තුළ පවුලේ සාාමාජිකයන් සමඟ එක්වීම සඳහා ආපසු උපන් ගමට යාම චීන ජාතිකයෙන් අනාදිමත් කාලයක සිට අනුගමනය කළ පිළිවෙතයි.

 

එබැවින් චීනයේ වාර්ෂික වසන්ත උත්සවය ලොව විශාලතම "ජන සංක්‍රමණය" ලෙස පිළිගැනේ.බිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 3ක් පමණ මෙම අවධිය තුළ සංක්‍රමණය වන බව සාමාන්‍ය පිළිගැනීමයි. වසන්ත උත්සවයට දින කිහිපයකට පෙර ආරම්භ වන මේ සංක්‍රමණ අවදිය සෑම වසරකම දින 40ක කාල සීමාවකි. 2019 වසරේ එම කාලය තුළ චීනයේ වාර්තා වූ සංක්‍රමණ ප්‍රමාණය බිලියන 2.98ක් වූ අතර COVID-19 වසංගතය මධ්‍යයේ වුවද ඉකුත් වසරේ එය බිලියන 1.476 ලෙස සටහන් විය.

මේ ජන සංක්‍රමණය ආරම්භ වන්නේ වසන්ත උත්සවයට දින කිහිපයකට පෙර සිටය. මෙවර නව වසර උදාව යෙදී තිබුණේ පෙබරවාරි 12 වැනි දිනටය. පෙබරවාරි 11 වැනදා සිට 17 වැනිදා දක්වා නව අවුරුදු නිවාඩු කාලය ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර චීනයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන එ් කාලය සඳහා සේවකයන්ට නිවාඩු ලබා දී තිබිණ.

චීනයේ වෙසෙන කෝටි 140 ක ජනතාව විවිධ රාජකාරී වෙනුවෙන් තාවකාලිකව පදිංචි වී සිටින්නේ රටේ විවිධ පළාත්වලයි. චීන ව්‍යාපෘති වෙනුවෙන් ඇතැම් පිරිස් ලොව විවිධ රටවලට ද සංක්‍රමණය වී සිටිති. කෙසේ වෙතත් වසන්ත උත්සවය වෙනුවෙන් සිය ගම් ප්‍රදේශ වෙත යළි පැමිණීමට ඔවුන් දක්වන්නේ දැඩි උනන්දුවකි.

සිංහල අලුත් අවුරුද්දේ දී මෙන්ම, පවුලේ සාමාජිකයන් ඥාතීන් එකට එක්ව අවුරුදු භෝජනය භුක්ති විඳීම චීන සංස්කෘතියේ ද පවතින ලක්ෂණයකි. වැඩිහිටියන් බැහැ දැකීමට යාම, තෑගි බෝග හුවමාරු කර ගැනීම චීන ජනතාව චන්ද්‍ර නව වසර උදාවේ දී ඉටු කරන චාරිත්‍රයන්ය. වසර පුරා මහන්සියෙන් වැඩ කිරීමෙන් පසුව, පවුලේ අය සමඟ විවේකීව ගත කිරීම සඳහා චීන ජනතාවට ලැබෙන වාර්ෂික අවස්ථාව මෙයයි.

ලොව පුරා තවමත් පැතිර යන COVID-19 වසංගතය මධ්‍යයේ නව වසර සැමරීම සම්බන්ධයෙන් චීන ජනතාව අභියෝග රැසකට මුහුණ පා සිටියහ. චීනය තුළ වසංගතය සාර්ථකව පාලනය කර ඇතත් ලොව බොහෝ රටවල පවතින තත්ත්වය අනුව ජන සංක්‍රමණ හරහා වයිරසය යළිත් චීනය තුළ ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව තිබිණ.

ජනතාවගේ සාම්ප්‍රදායික සිරිත් විරිත් ආරක්ෂා කෙරෙන පරිදි නව වසර සැමරීමට පහසුකම් සැලසීමට චීන රජය පියවර ගත්තේය. ඒ අනුව පොදුවේ සමස්ත චීන ජනතාව වෙතින් රජය ඉල්ලා සිටියේ අත්‍යාවශ්‍ය කරුණකට හැරෙන්නට නව වසර වෙනුවෙන් ගම් බිම් බලා යෑමෙන් වළකින ලෙසයි. දැනට රැඳී සිටින තාවකාලික ස්ථානවල ම හිඳිමින් නව වසර සැමරීම සඳහා සියලු පහසුකම් සැලසීමට රජය ප්‍රතිඥා දුන්නේය. ඒ සඳහා දිරිගැන්වීම් රැසක් ද ප්‍රදානය කෙරිණ.

COVID-19 වසංගතයෙන් තම ජීවිත මෙන්ම මාතෘ භූමියද ආරක්ෂා කර ගැනීමේ වගකීම සිහියට ගත් චීන ජනතාව රජයේ ඉල්ලීමට සුබදායී ලෙස ප්‍රතිචාර දැක්වූහ.

ඒ අනුව ජනතාවට දුර බැහැර සිටින තම ඥාතීන් හිතවතුන් වෙත තෑගි බෝග යැවීම සඳහා විශේෂ අන්තර්ජාල වේදිකා සකස් කෙරිණ. ඒවා භාවිත කරන්නන්ට විශේෂ මුල්‍ය වාසි රැසක් හිමි විය. පවුල් පිටින් වෙළඳපොළට යාම වෙනුවට ජනතාව එම වේදිකා හරහා ලාබදායී ලෙස භාණ්ඩ මිලදී ගනිමින් ඒ ඔස්සේම හිතවතුන්ට යැවීමට පෙලඹුණහ. එබැවින් ජනතාව එක්රැස් වීම සැලකිය යුතු ලෙස මෙවර පහළ ගියේය.

එමෙන්ම මෙවර චීනයේ නව අවුරුදු මේසයට පවුලේ ඇතැම් සාමාජිකයන් එක් වූයේ අන්තර්ජාලය හරහා ය. චීනය සතු අධි තාක්ෂණික අන්තර්ජාල පහසුකම් හේතුවෙන් බිලියන සංඛ්‍යාත ජනතාවට ඉතා පහසුවෙන් එය කළ හැකි විය. චීන වාණිජ අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, වසන්ත උළෙල සතියේ පාරිභෝගික වියදම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර සිල්ලර හා ආහාරපාන ව්‍යාපාරවල ඒකාබද්ධ අලෙවිය යුවාන් බිලියන 821 දක්වා සියයට 28.7 කින් ඉහළ ගොස් තිබේ. අන්තර්ජාල භාණ්ඩ අලෙවිය යුවාන් බිලියන 122 ඉක්මවයි. මේ වසරේ මාර්ගගත ආහාර ඇණවුම් සේවා සියයට 135කින් ඉහළ ගොස් ඇත. එමඟින් පැහැදිලිව පෙනී යන්නේ චීන ජනතාව ඉතා උනන්දුවෙන් අවුරුදු සමය ගත කර ඇති බවයි.

චීනයේ කුරියර් සේවා, සති අන්ත වසන්ත උත්සව නිවාඩු කාලය තුළ පාර්සල් මිලියන 660 ක් බෙදා හැර ඇති අතර එය පසුගිය වසරේ එම කාල සීමාවට වඩා සියයට 260 කින් ඉහළ යෑමක් බව රාජ්‍ය තැපැල් කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව චීන ජනතාව වසංගතය මධ්‍යයේ වුවද නව වසර වෙනුවෙන් ඥාතීන්ට හිතවතුන්ට තෑගි බෝග පිරිනැමීමේ චාරිත්‍රය අතහැර නැති බව පෙනේ.

නව අවුරුදු නිවාඩු සමය තුළ චීනයේ සිනමාශාලා වෙත ගිය ප්‍රේක්ෂක ප්‍රමාණය ද වාර්තාගත ලෙස ඉහළ ගියේය. කෙසේ වෙතත් චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය. එම ආදායම යුවාන් බිලියන 7.82 ලෙස සටහන් වී තිබේ. 2019 වසරේ මේ කාලය තුළ වාර්තා වූයේ බිලියන 5.9ක ආදායමකි.

බෙයිජිං අගනුවර උද්‍යාන හා විනෝද මධ්‍යස්ථානවල ආදායම ද ඉහළ ගොස් තිබිණ. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ චීන ජනතාව අලුත් අවුරුද්ද ඉතා සතුටින් ගත කර ඇති බවයි. නමුත් දුම්රිය ස්ථාන සහ ගුවන්තොටුපළවල ජන ශූන්‍ය තත්ත්වයක් දැකිය හැකි විය. වෙළඳපොළ තුළ වෙනදා පැවති අධික කාර්යබහුල තත්ත්වය ද මෙවර දක්නට නොවීය.

මෙවර වසන්ත උත්සවයේ ජන සංක්‍රමණ අවදිය ලෙස සැලකුණේ ජනවාරි 28 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා දින 40ක කාලයයි.චීන රජයේ නිල දත්ත වලට අනුව එම කාලය තුළ වාර්තා වී ඇති සංක්‍රමණ ප්‍රමාණය මිලියන 870කි.එය ඉකුත් වසරට සාපේක්ෂව සියයට 40.8 ක පහළ යාමකි.එමෙන්ම එය 2019 වසර හා සැසඳීමේ දී සියයට 70.9කින් අඩු වීමක් බව ද පෙනී යයි. නව වසරේ උද්‍යෝගය පවත්වා ගනිමින් මහජන සෞඛ්‍ය ද ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව සුවිශේෂී කැපවීමක් සිදු කොට තිබේ. ඒ කැපවීමේ ප්‍රතිඵල චීන ජනතාව මේ වන විට අත්විඳිමින් සිටිති.

මාර්තු මස දෙවන සතිය වන විට චීන මහ ගොඩබිම ප්‍රදේශයේ COVID-19 රෝගීන් වාර්තා වීම ශුන්‍ය මට්ටමට පැමිණ තිබේ.ලොව විශාලතම ජන සංක්‍රමණය සිදුවන කාල වකවානුව තුළ චීනය සාක්ෂාත් කර ගත් එම තත්ත්වය සැබැවින්ම ජයග්‍රහණයකි. ඇමරිකාවේ සහ යුරෝපා රටවල ඉකුත් උත්සව සමයන් වලදී වාර්තා වූයේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. නත්තල් සමයෙන් පසුව ඇමරිකාවේ දෛනිකව COVID-19 රෝගීන් වාර්තා වීම හා මරණ සංඛ්‍යා ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. බ්‍රිතාන්‍යයේ පැවතියේ ද ඊට සමාන තත්ත්වයකි.

මෙම අත්දැකීම්, ළඟ එන සිංහල අලුත් අවුරුදු සමයේ දී ශ්‍රී ලංකාවට ද ඉතා වැදගත්ය. අවුරුදු චාරිත්‍ර අතර ජනතාව ඒකරාශී වන අවස්ථා එමටය. විශේෂයෙන් ම අවුරුද්දට පෙර හා පසු කාල වලදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවාවන්හි පවතින්නේ දැඩි තදබදයකි. මෙය වයිරසය දැඩි ලෙස ව්‍යාප්ත වීමට කදිම පරිසරය නිර්මාණය වීමක් විය හැකිය.

COVID-19 රෝගීන් වාර්තාවීම අඩුවී තිබුණ ද සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කිරීම, යළි වසංගතය උග්‍ර වීමට හේතු විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා තිබේ.

නව අවුරුදු උදාව ප්‍රීතියෙන් සැමරීම මෙන්ම, අනාදිමත් කාලයක සිට පැවත එන චාරිත්‍ර නිසි ලෙස පවත්වා ගෙන යාම ද ඉතා වැදගත්ය. මේ අතරම තමාගේ හා තම පවුලේ ඥාතීන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින් සමස්ත රට ව්‍යසනයෙන් මුදවා ගැනීමට ද දායක විය යුතුය. එය සාක්ෂාත් කළ හැක්කේ සෑම පුරවැසියකුගේම කැපවීම තුළින් පමණි. වසංගත පාලනයේ දී චීන ජනතාවගෙන් උගත හැකි හොඳම පාඩම ද එයය.

 

Comments