වැලිකඩ වටරවුමේදී දිවි අහිමි වූ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා | Page 2 | සිළුමිණ

වැලිකඩ වටරවුමේදී දිවි අහිමි වූ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා

රංජිත් ප්‍රියං­ක­ර උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය අසල හඬා වටෙන බිරිය  මානෙල් ඉන්ද්‍රාණි සහ දියණිය පි.ආර්.දේශාණි ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්
රංජිත් ප්‍රියං­ක­ර උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය අසල හඬා වටෙන බිරිය මානෙල් ඉන්ද්‍රාණි සහ දියණිය පි.ආර්.දේශාණි ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්

ප පොලිස් පරික්ෂක රංජිත් ප්‍රියංකර හා ලොරි රථයේ සහායකවරයකුට මරු කැඳවමින් පසුගිය 23 දින උදෑසන රාජගිරියේදී සිදු වූ අනතුර බොහෝදෙනකුගේ නෙතට කඳුළක් නැංවීමට සමත් විය. සිය රාජකාරියේ යෙදෙමින් වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී බත්තරමුල්ල දෙසින් අධික වේගයෙන් පැමිණි වෑන්රථයක් මොවුන් දෙදෙනා යටකරගෙන ගියහ. එහි දී බරපතළ තුවාල ලැබූ රංජිත් ප්‍රියංකර උප පොලිස් පරීක්ෂකවරයාගේ මෘත දේහය රඳවා ඇති ඔහුගේ නිවෙසට අප ගියේ වැඩිවිස්තර සොයා ගනු වස්ය.

වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේ දි රථවාහන රාජකාරියේ යෙදී සිටියදී අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් යටකරගෙන යෑමෙන් මෙම උප පොලිස් පරික්ෂකවරයා හා තවත් අයකු මිය ගියේය. කොළඹ ජාතික රෝහලේ දී කළ හදිසි මරණ පරීක්ෂණයේ දී පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව අනතුරට පත් රංජිත් ප්‍රියංකරගේ එක් පාදයක් ස්ථාන තුනකින් කැඩී ගොස් ඇති බවත්, පපු ප්‍රදේශයෙන් ඉරණම් ඇට 4ට වැඩි ප්‍රමාණයක් බිඳී ගොස් ඇති බවත්, හිසෙහි පිටුපසින් මොලය ප්‍රදේශයට බරපතළ ලෙස තුවාල සිදුවී ඇති බවත් සඳහන් වී ඇත.

මෙම අනතුරෙන් මියගිය උප පොලිස් පරික්ෂකවරයා අක්මීමන බඳුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නැගණිය අප සමඟ මෙසේද කීවාය.

උප පොලිස් පරීක්ෂකවරයා‍ පොලිස් ආචාර මැද අවසන් ගමන් ගිය අයුරු

‘අයියාට මෙහෙම දෙයක් වේවි කියලා අපි සිහිනෙකින්වත් සිතුවේ නැහැ. පොලිස් කොස්තාපල්වරයකු ලෙස තමයි මුලින්ම පොලිසියට බැඳුණේ. අයියා පොලිස් සේවයට එක්වෙලා වසර 30කටත් වැඩියි. ඔහු කොළඹ, වවුනියාව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන රැසක රාජකාරි කළා. ‘

උපපොලිස් පරික්ෂකවරයාගේ හදිසි වියෝවය දරාගත නොහැකිව බිරිඳ හා එකම දියණිය දැඩි කම්පනයට පත්ව සිටිති. මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ දේහය පසුගිය (23)දා රාත්‍රි නිවසට රැගෙන විත් තිබුණි. තම සැමියාගේ හදිසි වියෝවය දරාගත නොහැකිව බිරිද වන අතුලහේවගේ මානෙල් ඉන්ද්‍රාණි හැඩූකඳුළින් යුතුව මෙසේ කීවාය.

‘අනේ මගේ මහත්තයාට මොකද වුණේ. ඇය එසේ කියමින් හඬා වැළපෙන්නීය. නිවසේ සාලයේ තැන්පත්කොට ඇති සිය සැමියාගේ මෘත දේහය දෙස බලාගෙන වැලහින්නියක් ලෙස හඩා වැලපෙන්නීය.

උප පොලිස් පරික්ෂකවරයාගේ එකම දියණියට ද තම පියාගේ වියේවය දරාගත නොහැකිය.

...මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ එකම දියණිය වන පි.ආර්.දේශාණි සිය පියාගේ වියෝව ගැන මෙසේ පැවසීය.

සිද්ධිය වූ දිනයේ මමත් අම්මත් ගොදර නිදියගෙන හිටියෙ. උදේ 5ට පමණ හදිසි අනතුරු අංශයෙන් දුරකතන ඇමතුමක් ආවා; ඉක්මනට අම්මත් එක්ක රෝහලට එන්න කියලා. අපි දුරකතන ඇමතුම ආ විගසම රෝහලට ගියා. එතනදි අපිට කිව්ව තාත්ත රාජකාරියේ යෙදී සිටින විට රිය අනතුරක් සිදුවෙලා කියල. අපි පස්සෙ දැනගත්ත රිය අනතුරින් තාත්ත මියගොස් ඇති බව. අනේ මගේ තාත්තා, රාත්‍රී රාජකාරියට ගියේ මාව උදේට කැම්පස් එක්ක යන්න එනව කියලා‘

රංජිත් ප්‍රියංකර දක්ෂ පොලිස් නිළධාරියෙකි. තමාට පවරන ඕනෑම රාජකාරියක් අකුරටම ඉටු කිරීමට උපරිම ලෙස උනන්දු වන නිසාම ඉහළ නිළධාරීන්ගේ පැසසුමට ලක්වී ඇති නිලධාරියෙකි.

උසස් පොලිස් නිලධාරීන් පැවසූ ආකාරයට රංජිත් ප්‍රියංකර කිසිවකුගෙත් සිත් නොරිදවා රාජකාරිය ඉටු කරන්නට උත්සාහ ගත් අයෙක්. ඔහු රාජකාරියත් හරියටම කරපු අයෙක්. ඒ වගේම කාගෙවත් හිත් නොරිදෙන ආකාරයෙන් කටයුතු කරන්නත් උත්සාහ ගත් අයෙක්. ඒ හින්දම ඔහුට ප්‍රශංසා පිරිනැමීම් 160ක් ඉක්මවා ඇති බවත් පොලිස්පති තුමාගේ එක් ප්‍රශංසා පිරිනැමීමක් සිදුව ඇති බවත් එම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ විය. එමෙන්ම උසස් නිලයන්ගේ මෙන්ම පහත් නිළධාරීන්ගේ ද සිත් දිනාගෙන කටයුතු කරන්නට සමත් වූ රංජිත් ප්‍රියංකර උප පොලිස් පරීක්ෂකවරයා කෙරෙහි හැම කෙනෙක්ගෙන්ම ලෙන්ගතු සෙනෙහසක් හිමි වූ බවද ඔහු සමඟ සේවයේ යෙදී සිටින නිළධාරීන්ගෙන් අසන්නට ලැබුණු කරුණකි.

ඒ නිසාම සිද්ධිය වූ මොහොතේ පටන් ඔහුත් සමඟ රාජකාරි කළ සෑම තරාතිරකම නිලධාරීන් ඔහුගේ වියෝවින් කම්පාවට පත් වී ඔහු වෙනුවෙන් කළ හැකි සියල්ලම ඉටු කරන්නට උත්සාහ ගත් ආකාරය දකින්නට ලැබිණි.

මෘත දේහය නිවසේ තැන්පත් කළ අවස්ථාවේ සිට අවසන් කටයුතු කරන තෙක් නිවසේ සිදුවූ සියලුම දේ එම නිළදාරින්ගෙන් ඉටුවීම ප්‍රශංසනීය වේ. උප පොලිස් පරීක්ෂකවරයාට කරන ගෞරවයක් වශයෙන් ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් කටයුතු කරමින් මියගිය රංජිත් ප්‍රියංකරට එසේ කෘතගුණ සැලකීය.

උප පොලිස් පරික්ෂකවරයාගේ අවසන් කටයුතු පසුගිය 25 දින පූර්ණ පොලිස් ගෞරව මැද පවුලේ සුසාන භුමියේ දී සිදුකෙරිණි.

ඡායාරූප-ජයලාල් ජයවර්ධන - ගාල්ල

 

Comments