
“අපේ රටේ අභ්‍යන්තරයට පිටරටවලට ඇඟිලි ගහන්න දෙන්න බැහැ. ඒක නිසා ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ග්ලැස්ටන් නැවත එංගලන්තයට පිටත්කර යැවිය යුතුයි.” යනුවෙන් ප්‍රකාශ කළේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාය. 1989 වර්ෂයේ දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන එවකට ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ග්ලැස්ටන් යළි බ්‍රිතාන්‍යයට යැවීමට ක්‍රියා කළේ එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාසය. එම මැතිවරණයේ දී දික්වැල්ල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකට ගිය බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ග්ලැස්ටන් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කර තිබුණි.
එදා රණසිංහ ප්‍රේමදාස මෙහෙම ප්‍රකාශ කළාට මෙදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ කුමක් ද?
“අපි ආණ්ඩුවට විරුද්ධව පිටරටවලට ගිහිල්ලා කේලම් කියන්නේ නැහැ. නමුත් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ජයග්‍රහණය කිරීම ගැන අපි කනගාටු වෙනවා. මේ යෝජනාව පරාජයට පත්වුණේ වර්තමාන ආණ්ඩුවේ දුර්වල විදේශ ප්‍රතිපත්තිය නිසයි.” යනුවෙන් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ පසුගිය 25 වැනි දා පාර්ලිමේන්තුවේදීය.
46 වැනි ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී පැවති ජගත් මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ඇතුළු මුළු විපක්ෂයට ම විහිළුවක් බවට පත් වී තිබේ.
“අපි පිටරටට ගිහිල්ලා කේලම් කියන්නේ නැහැ” යනුවෙන් සජිත් ප්‍රකාශ කළේ ඇයි?
බළලා මල්ලෙන් එළියට පනින්නේ සජිත්ගේ මේ කතාවත් එක්කය.
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය යන දේශපාලන පක්ෂ දෙකේ ම චින්තනය එකය.
තමන් පැරණි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සිටින බව පෙන්වීමට සමගි ජන බලවේගය සෑහෙන උත්සාහයක් ගත්ත ද ඵලක් නැත. අලුත් බෝතලයේ ඇත්තේ පරණ වයින්මය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් මෙන් නොව තමන් නව ලිබරල් ආර්ථිකය ප්‍රතික්ෂේප කරන බවක් පෙන්වීමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා උත්සාහ ගනි.
සජිත් එහෙම උත්සාහ ගන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න දෙපස තබාගෙනය.
හර්ෂ සහ ඉරාන් යනු නව ලිබරල් ආර්ථිකයේ කප්පිත්තන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ජිනීවාවල දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාව ගැන කිඹුල් කඳුළු හෙළා අමුතු දේශප්‍රේමයක් පෙන්වීමට සජිත් ඇතුළු සමගි ජන බලවේගය උත්සාහ දරයි. ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද විමසීම සඳහා ජිනීවා මානව හිමිකම් සමුළුවට එල්ල වුණු යෝජනාවේ වාර්තාවට පිටු 17 1/2 කි. මින් පිටු 15 1/2 ක්ම වෙන්කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය පිළිබඳවයි.
මෙම පිටු 15 1/2 තිබෙන අසත්‍ය චෝදනා සහ පසුගිය දිනවල රනිල්ලා, සජිත්ලා, අනුර කුමාරලා, සුමන්තිරන්ලා, විග්නේෂ්වරන්ලා, සම්බන්ධන්ලා, හකීම්ලා, රිෂාඩ්ලා මාධ්‍ය හමු පවත්වමින්, මාධ්‍ය නිවේදන සිදු කරමින් සිදුකරන ලද අසත්‍ය චෝදනා බව ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ දින සිට මේ දක්වා ගත වී ඇත්තේ වසරකුත් මාස 04 ක පමණ කාලයක් පමණි.
මෙම කාලයෙන් වසරකට ආසන්න කාලයක් කොවිඩ් - 19 හෙවත් කොරෝනා වසංගතය සමඟ පොරබැදීමට සිදුවිය.
ලෝකයේ දරුණුතම වසංගතයකට මුහුණ දෙමින් රට මේ ආකාරයට හෝ කළමනාකරණය කිරීම ගැන විපක්ෂය වචනයකුදු කතා කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති බව ජාත්‍යන්තරයට ගතු කීමටය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව මේ රටට අහිමි වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද?
සජිත් ප්‍රේමදාස හා ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මාධ්‍ය නිදහසට බාධා එල්ල වී ඇති බවයි.
සමාජ මාධ්‍ය ජාලයේ විපක්ෂයේ කණ්ඩායම් සහ විපක්ෂයට ඉතා ඉහළ සහයෝගයක් ලබාදෙන මාධ්‍ය ජාලයක් දිගින් දිගට ම ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරයි. පැපොල් ගසක් කැපුව ද ඔවුන් එය නිර්මාණශීලීව බැරකරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කැලෑ කපනවා බව ප්‍රකාශ කිරීමටය.
මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගේ නාට්‍ය ජවනිකාවෙන් එම පැහැර ගැනීමේ සිද්ධිය බොරුවක් බව පැහැදිලි විය. ස්විස් තානාපති කාර්යාලයේ නාටකයේ අංක 02 පසුගිය දා රඟ දැක්වූයේ සමගි ජන බලවේගයේ ප්‍රබලයන් දෙදෙනකු වන දොස්තර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්නයි.
මාධ්‍යවේදියකු පැහැරගැනීමට ලක්වූවා සේ රඟ දක්වමින් එහි වරද ආණ්ඩුව පිට පැටවීමට උත්සාහ කළ සිද්ධිය සම්බන්ධයෙන් රාජිතගෙන් සහ චතුරගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරමින් සිටි.
සාමාන්‍යයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය සමීප වන විට මේ ආකාරයේ නාට්‍ය ජවනිකා රඟ දැක්වීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ. මෙම සිදුවීම්වලට අදාළ තොරතුරු ජිනීවා වෙත ගෙනයාමට පිරිසක් කල්තියා සූදානමින් සිටිය ද වෙබ් මාධ්‍යවේදියාගේ පැහැර ගැනීමේ සිදුවීම බොරුවක් බව හෙළිවීම නිසා ජිනීවාවලට ගෙන යාමේ උත්සාහය ව්‍යාර්ථ විය.
කිඹුල් නාටකයේ අංක 02 වෙබ් මාධ්‍යවේදියාගේ අතුරුදන්වීමේ නාටකය ගැන සමාජය මීට වඩා දැනුම්වත් විය යුතුයි.
මෙවැනි අසත්‍ය ප්‍රචාර දිගින් දිගට ම සිදුකරගෙන යනවා නම් ආණ්ඩුව නීතිමය ක්‍රියා මාර්ගවලට යා යුතුයි. එසේ නොවුණොත් මෙම අසත්‍ය චෝදනා වුව ද ඒවා ආණ්ඩුවේ ගිණුමට බැර කිරීමට විපක්ෂයේ පිරිස් කටයුතු කරනවා ඇත.
කැළෑ හෙළි පෙහෙළිකරන බව ප්‍රකාශ කරමින් විපක්ෂය තවත් චෝදනාවක් එල්ල කරන අතර එම චෝදනාව ද මානව හිමිකම් වාර්තාවේ සඳහන්වේ.
රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට ආරක්ෂක අංශ ප්‍රධානීන් පත් කිරීමෙන් එම ආයතනවල ද ප්‍රජාතන්ත්‍රවාදය නැති වන බවට ද විපක්ෂය චෝදනා නගයි.
මෙම චෝදනාවම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ යෝජනාවේ සඳහන් වේ.
මෙම චෝදනා එකම තැනකින් එන බව කීමට තවත් සාක්ෂි වුවමනා නැත.
එම්.ඒ. සුමන්තිරන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ද සිදුකරන්නේ මෙම චෝදනාවමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිදු වුණා යැයි කියන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කුමක් ද?
ඒ සාක්ෂි සහිතව ප්‍රායෝගිකව ඔප්පු කිරීමට හැකි ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ දක්වා පාලන සමය තුළ වැඩිම අවධානයක් යොමුවූයේ කොරෝනා පාලනය කිරීම, සෞඛ්‍ය උපදෙස් හා නිරෝධායන ක්‍රියාවලියත්, ජන ජීවිතය නඟා සිටුවීම, ආදායම් අහිමි වූ ජනතාවට ආදායම් ලබාදීම, ගම සමඟ පිළිසඳර මඟින් ගම්වල ජනතාවගේ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහිය. ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ගත් ක්‍රියාමාර්ග ද අමතක කළ නොහැක. මෙතැනදී සිදු වී තිබෙන මානව හිමිකම් කඩවීම කුමක් ද? කියා එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ කරුණු ඉදිරිපත් කළ යුතුයි.
එසේ කරුණු ඉදිරිපත් නොකර සිදුකරන්නේ මඩ අවලාද නැගීම පමණි. ඒ සඳහා මුදල් දී ලබාගත් ෆේස්බුක් කල්ලි සිටිති.
මෙම ෆේස්බුක් කල්ලිවලට මුදල් පොම්පකරන්නේ ඇතැම් බටහිර රටවලිනි, ඇතැම් තානාපති කාර්යාල හරහා ද මුදල් පොම්ප බවට තොරතුරු වාර්තා වේ.
කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ද මුදල් යහමින් වියදම් කරයි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ද ඒ පිටුපස සිටි. ඔවුන්ට අවශ්‍ය කුමන හෝ ආකාරයකින් ආණ්ඩුවට එරෙහිව කුමන හෝ දෙයක් ප්‍රචාරය කිරීමට ය.
පැපොල් ගසක් කැපුව ද එය ෆේස්බුක් හරහා “ආණ්ඩුව ගස් කපනවා” යනුවෙන් ප්‍රකාශ කරන්නේ එම නිසාය.
ඒ තරමටම වර්තමාන විපක්ෂය දේශපාලනමය වශයෙන් බංකොලොත් වී සිටින්නේ ඔවුන්ට යන එන මං නැති වී තිබෙන නිසාය.
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන වාර්තාවෙන් තවත් අසත්‍ය චෝදනාවක් මෙරටට එල්ල කරයි. ඒ රට මිලිටරිකරණය වී ඇති බවට එල්ල වන චෝදනාවයි.
ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස යුධ හමුදාවේ කීර්තිමත් නිලධාරීන් හෝ විශ්‍රාම ගිය නිලධාරින් පත් කිරීම වරදක් වන්නේ කෙසේ ද? ඔවුන් මෙම චෝදනාව එල්ල කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට පමණයි.
ආරක්ෂක අංශ රට තුළ සුවිශේෂී කාර්යභාරයක් සිදු කරද්දී ඔවුන්ට එරෙහිව මෙසේ චෝදනා එල්ල කරනු ලබන්නේ කාගේ වුවමනාවට දැයි සිතා ගැනීමට අපහසු නොවනු ඇත. කොරෝනා ව්‍යවසනය හමුවේ ලෝකයේ ම නිරෝධායනයෙන් ඉහළ ම ස්ථානයක් හිමිකර ගත්තේ රටවල් 3 ක් පමණි. ඒ ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය සහ වියට්නාමයයි. නිරෝධායන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ඉතා හොඳින් සිදු කරගෙන යන බවත් ඒ සඳහා මෙරට ආරක්ෂක අංශ සුවිශේෂී කාර්යභාර්යයක් සිදු කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කළේ ය.
නිරෝධායන සහ සමාජ සුබ සාධන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලෝකයෙන් ම දෙවන ස්ථානය හිමිකරගත් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසිද්ධියේ කියා සිටියේ ය.
එවැනි සහතිකයක් ලබා දීමෙන් අනතුරුවත් වර්තමාන ආණ්ඩුව යටතේ මෙරට මානව හිමිකම් උල්ලංඝණය වන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් වෙන්නේ කෙසේ ද?
ඒ සඳහා ගතු කේලම් කියන්නේ මෙරට වර්තමාන විපක්ෂයයි.
නොයෙක් අවලාද, මඩ ප්‍රචාර ගෙනයමින් මෙම විපක්ෂය සිදුකරගෙන යනු ලබන මෙම ප්‍රචාර මේ වන විට මේ රටේ පොදු මහජනතාව වෙනදාටත් වඩා හොඳට අවබෝධ කරගෙන ඇත.
බ්‍රිතාන්‍ය සාම මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන නේස් බී ස්වාමිවරයාට ශ්‍රී ලංකාව ගැන තිබෙන කැක්කුම වර්තමාන විපක්ෂයට නොතිබීම ඉතාම කනගාටුදායකය. ඒ ගැන නේස් බී ස්වාමිවරයා සිය මවිතය ද පළ කරයි. “ශ්‍රී ලංකාව ලස්සන රටක්. ඒ රටේ ලස්සන නාස්තිකරලා රට වැනසුවේ කොටි නායක ප්‍රභාකරන්.” නේස් බී ස්වාමිවරයාගේ මෙම කතාව රනිල්ගේ, සජිත්ගේ, අනුර කුමාරගේ, සුමන්තිරන්ගේ, මනෝ ගනේෂන්ගේ මුවින් පිටවෙන්නේ නැත.
ඔවුන්ගේ කටවල්වලින් ප්‍රකාශ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවයි.
ගෝඨාභය රාජපක්ෂ මේ රටේ සිදුකර තිබෙන මානව හිමිකම් කඩ කිරීම් මොනවා ද? කියා විපක්ෂයට නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකිය. ඔවුන් සිදු කරන්නේ මඩ ප්‍රහාර එල්ල කිරීම පමණි.
පසුගිය වසරක කාලය තුළ සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන් ඇතුළු විපක්ෂයේ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවේ දී සිදු කළ විවිධ ප්‍රකාශවල පිටපත් සම්බන්ධ කරගෙන ජිනීවාවලදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සකස් වී තිබේ.
එකසත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මුලින් ම ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවේත්, පසුගිය 22 වැනි දා ජීනීවා මානව හිමිකම් සමුළුවේ ඡන්ද විමසීමට ලක් කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ද ඇතුළත් කර තිබෙන කරුණු සහ මෙරට විපක්ෂයේ ප්‍රවෘත්ති නිවේදන අතර කිසිදු වෙනසක් නොමැත.
මෙරට ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම, පළාත් සභා ඡන්දය පැවැත්වීම යන කරුණු සම්බන්ධයෙන් මෙම වාර්තාවට ඇතුළත් කොට තිබෙන යෝජනා සම්බන්ධයෙන් මෙම ගැළපීම් වඩාත් හොඳින් තහවුරු වෙයි.
විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතැම් රාජ්‍ය ආයතනවලට යොදා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය සිටින්නේ හරිම කනගාටුවෙනි.
ඊට හේතුව එම විශ්‍රාමික හමුදා නිලධාරීන් නිවැරදිව කටයුතු කිරීම නිසා එම ආයතන නිවැරදි මාවතකට රැගෙන යනවාට විපක්ෂය අකමැතිය. විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරුවලට පත්කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් මාධ්‍ය නිවේදන දිගට හරහට නිකුත් කරන ලද්දේ වත්මන් විපක්ෂයයි. පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව තුළ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුවට චෝදනා කළේ ද වත්මන් විපක්ෂයයි.
පළාත් සභා ඡන්දය පැවැත්වීම කල්දැමීමට හේතු වී තිබෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ දී පළාත් සභා පනතට ඉදිරිපත් කරන ලද සංශෝධනයයි.
එම සංශෝධනය හේතුවෙන් පළාත් සභා ඡන්දය පැවැත්වීම අතරමඟ නතර වී ඇත. එදා යහපාලන ආණ්ඩුව කාලෙදී පාර්ලිමේන්තු වෙලාව පැය 2 ක් 3 ක් දීර්ඝ කරගනිමින් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහාය විවිධ වරප්‍රසාද දී ලබාගෙන පාර්ලිමේන්තුවේ 3/2 ක් ලබාගෙන පළාත් සභා පනත සංශෝධනය කළේය.
නමුත් දැන් එය පවතින්නේ අතරමඟ තත්වයකය. පළාත් සභා ඡන්දය පැවැත්විය යුත්තේ නව මැතිවරණ ක්‍රමයකට ද? පැරණි ක්‍රමයකට ද? කියා තවම නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැක.
එවැනි තත්වයක් ඇතිකළේ පසුගිය යහපාලන ආණ්ඩුව විසිනි. එම නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැටලුවක් වී ඇති අතර එම ගැටලුව විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 ක බලයක් අත්‍යවශ්‍ය වි ඇත. ඉදිරි පළාත් සභා මැතිවරණය නව ක්‍රමයකට පැවැත්වුවත් පැරණි ක්‍රමයට පැවැත්වුවත් පාර්ලිමේන්තුවේ 3/2 ක බහුතරයකගෙන් යෝජනා සම්මතයක් කරගත යුතුව ඇත.
එවැනි තත්වයක් ඇති කිරීමට මූල් වූ යහපාලන ආණ්ඩුවේ නියෝජිතයන් විපක්ෂයට ගොස් අද වර්තමාන ආණ්ඩුවෙන් පළාත් සභා ඡන්දය පවත්වන්නේ කවද්ද? කියා ප්‍රශ්න කරයි. එම ප්‍රශ්න කිරීමට අද ජිනීවා මානව හිමිකම් සමුළු වාර්තාවෙන් ද ප්‍රශ්න කිරීම හරිම අපූරුවට ගැළපේ.
ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන රටවල්, දෙමළ ඩයස්පෝරාව ඇතැම් භඨධ කල්ලි ක්‍රියාකරන ආකාරය සහ මෙරට විපක්ෂය කෙතරම් අවබෝධයකින් මෙම කටයුත්ත සිදුකරනවා ද යන්න හොඳින්ම පැහැදිලි වනු ඇත.
මෙසේ රට එක් පැත්තකින් පවා දෙන ගමන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක අනෙක් පැත්තෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවට අත පෙවීමට විදේශ රටවල්වලට ඉඩ ලබා නොදෙන බවයි.
වර්තමාන යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට යෑමට ඉඩ ලබාදෙන ලෙස තමා ඉල්ලා සිටින බව සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරයි.
නමුත් ජිනීවා මානව හිමිකම් කොමිසම් වාර්තාවෙන් අපේ රණවිරුවන්ට, විශ්‍රාම ගිය රණවිරුවන්ට එල්ල කරන චෝදනා ගැන සජිත් වචනයකුදු කතා නොකරයි.
එම සිද්ධීන්වලදී සජිත් සිටින්නේ බීරි අලින්ට වීණා වයනවා වැනි තත්ත්වයකය.
පසුගිය 24 වැනි දා පාර්ලිමේන්තුවේ සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්නයක් විමසන ලදී.
“විපක්ෂ නායකතුමා ඔබතුමා ඉන්නේ මොන පැත්තේ ද? ශ්‍රී ලංකාව පැත්තේ ද, ඊට එරෙහි පැත්තේ ද යනුවෙන් දිනේෂ් ගුණවර්ධන විමසන්නේය.
ඊට කිසිදු පිළිතුරක් නොදුන් සජිත් දිගට ම කතාව කරගෙන ගියේය.
තමා පෙනී ඉන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බව සජිත්, කිරිඅැල්ල ඇතුළු සමගි ජන බලවේගයේ කිසිවෙකු ප්‍රකාශ කළේ නැත.
ඊට හේතුව ඔවුන්ට එසේ කීමට නොහැකිවීමට හේතු ගණනාවක් ම තිබීමයි.
එසේ ප්‍රකාශ කළහොත් සමගි ජන බලවේගය සමඟ සිටින සමහරෙක් ඔවුන්ගෙන් ඈත්වනු ඇත. දෙමළ ඩයස්පෝරාව ඇතැම් NGO සංවිධාන ඇතැම් බෙදුම්වාදී බලවේග දැනට සමගි ජන බලවේගය සමඟ කටයුතු කරන බව නොරහසකි. ජිනීවාවල ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන චෝදනා සහ විපක්ෂයේ මාධ්‍ය නිවේදන එකම පෑනකින්, එකම අතකින් ලිවීම නිසා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය සිටින්නේ කුමන පැත්තේ ද කියා දැනගැනිම එතරම් අපහසු නොවනු ඇත.
“පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී නම් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මෙසේ ශ්‍රී ලංකාව පරාජය වන්නේ නැහැ.” යනුවෙන් පාර්ලිමේන්තුවේ දී පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ලය.
පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ හැසිරීම කෙබඳුදැයි කියා අමුතුවෙන් කිව යුතු නැත.
රට උපරිම ආකාරයෙන් පාවා දුන්නා නම් ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී කිසිඳු ගැටලුවක් ඇතිවන්න් නැත.
යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය, මංගල සමරවීර 30/1 යෝජනාව සඳහා ඇමරිකාව සමඟ සම අනුග්‍රාහකත්වය ලබා දෙමින් යෝජනාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.
ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාව විසින් ම යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වන විට ඉන් කෙතරම් ජොලියක් කොටි ඩයස්පෝරාවට අැතිවන්නට ඇද්ද?
2002 - 2004 වසර කාලවල සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙද්දී හමුදා කඳවුරු ඉදිරිපිටට පැමිණෙන කොටි සාමාජිකයන් නිදහසේ මුත්‍රා කරන්නේ හමුදාවට කොලොප්පන් ද කරමිනි.
එවැනි තත්ත්වයක් යළි උදා කළේ පසුගිය යහපාලන ආණ්ඩුව ජිනීවාවලදී රට පාවා දුන් නිසාය. එහෙම කළා නම් කිසිම ගැටලුවක් ශ්‍රී ලංකාවට ඇතිවන්නේ නැත. රට ඒ ආකාරයෙන් පාවා දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සහතික ලබාගෙන තියෙන ප්‍රතිඵලය කුමක් ද?
වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ඒ ආකාරයෙන් රට පාවා නොදෙන බවයි.
රටවල් 22 ක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරද්දී රටවල් 11 ක් එම යෝජනාවට විරුද්ධ වී තිබේ.
රටවල් 14 ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටි සෑම රටක ම නියෝජිතයන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාව ඔවුන් පිළිනොගන්නා බවයි. මෙය ඉතාම වැදගත් වේ.
එවිට බහුතරයක් වන රටවල් 25 ක්ම සිටින්නේ මෙම යෝජනා පිළිනොගන්නා තත්වයකය. මෙම කාරණයට සජිත් ප්‍රේමදාස විහිළු සපයමින් ප්‍රකාශ කරනු ලබන්නේ ඒ ආකාරයට ගණන් බැලුවොත් තමා මේ රටේ ජනාධිපතිවරයා බවයි.
මේ ආකාරයෙන් විහිළු සපයන විපක්ෂ නායකවරයෙක් සිටීම මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කෙතරම් හිතකර වන්නේ ද? කියා සිතා බැලිය යුතුය.
ජිනීවාවලින් මෙසේ කාලකණ්ණි සතුටක් ලැබුවාට රටට ගැටලුවක් නොවේ. තමන්ගේ අභිමානය රැකගෙන රට ඉදිරියට යන ගමන් ජාත්‍යන්තරයේ විශ්වාසය සහ සහාය ලබා ගැනීමට වර්තමාන ආණ්ඩුව තීරණය කර ඇත.
නමුත් විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවත් ඉදිරිපත් වී ඇති නිසා ඉදිරියේ දී රටට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙතැයි කියමින් ජනතාව මානසිකත්වයෙන් වැට්ටවීමටය.
ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීම වැනි ක්‍රියා කිසිඳු ආකාරයකින් සිදුකළ නොහැකිය.
මෙම මානව හිමිකම් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන ක්‍රියා නීති විරෝධි බවත් එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කර ඇති බවත් ආණ්ඩුව විසින් පෙන්වා දෙන ලදී.
එම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ලබන කාලකණ්ණි සතුට තාවකාලික වන්නේ මේ වන විට වෘක වෙස්ගත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ බැටළු හම ගැලවෙමින් තිබෙන නිසාය.